දින දෙක තුනක් ගෙවී යන තෙක් නිකිනි කාමරයට වැදී ගෙන ම සිටියා ය. ඈ පිටතට ආවේ ඩෙස්මන් ගේ බෙහෙත් සාත්තුව වෙනුවෙන් පමණකි. පාලිකා ගේ කට හොඳ නැති බව දන්නා නිසා සුමනා ආහාර පිසීමෙන් නිකිනි ව ස්වේච්ඡාවෙන් ම ඉවත් කළා ය.
එසේ කාමරයට වැදී ගෙන සිටියදී ඈ හිතත් එක්ක බොහෝ දේ ගැන කතා කළා ය. විහඟක සේ බෝ දුර හිතෙන් ඉගිල ගියා ය.
මේ ජීවන කාලය තුළ අතපසු වූ හා වැරදුණු තැන් ගැන හිතත්දී ඈ තුළ ඉසියුම් ශෝකාකූල බවක් ඇති විය. හිතට එකඟ ව ඍජු තීරණ ගන්නට තරම් දිරියක් ඇයට නො විණි ද? විදත් කෙරේ කුළුඳුලේ ම හිතේ උපන් ප්‍රේමයට ළඟ හැඟීම සිය හදවතට සීමා කර ගෙන සිටීම ඇය ඇයට සේ ම විදත් ටත් කළ වරදක් වන්නට ඇතැයි නිකිනි ට සිතිණි. නමුත් ඈ එබන්දක් කතා කළ හැකි තරම් වැඩිහිටි වියට එළඹෙත්දී ඔහු හිටියේ මවු බිමෙන් පිටස්තර ව ය. ඒ වෙත්දී ඔහු විවා පත් ව සිටින්නට ද ඇත. නිකිනි ට විදත් පිළිබඳව කිසිදු තොරතුරක් ලද හැකි ක්‍රමයක් වූයේ නැත. ළමා වියේ ඒ සීතල මතකය හදවතේ උණුහුම් ම තැනෙක ලැගුම් ගෙන තිබියදී විදත් ඇගේ ජීවිතයෙන් ඈත ම ඈතකට ගොස් සිටියේ ය. එබඳු තත්වයක් යටතේ ප්‍රේමය අරබයා සාධාරණය ඉටු කරන්නට නො හැකි විණැයි ඇයට ම දොස් නගා ගැනීම ද කළ නො හැක්කක් සේ නිකිනි ට පෙනුණේ ය.
වසර විස්සකට පසු ලංකාවට විත් මිත්‍ර සොබා ඔබේසේකර මැදුරට පය ගසන තුරුත් විදත් ට නිකිනි ගැන වූයේ රෝස බෝනික්කියක ගැන වූ මතකයක් පමණකි. ඇගේ ඇස් එදා වැහි දවසේ විදුලි කෙටුවා ඔහු ට දැනිණ. නමුත් පෙර මතක මුලිනුපුටා දමන්නට හෙතෙම අපොහොසත් වූයේ ය. කෑම මේසයේ දී හිතා මතා ම නිකිනි ට ‘නංගි’ කියා ඇමතීමත්, මිත්‍ර ඒ ගැන විහිළු කළ පසු ‘දුව’ යන ආමන්ත්‍රයෙන් ඈ ඇමතීමත් යන දෙක ම සිදු වූයේ ඔහු උන් විපිළිසර මානසික තත්වයෙන් ගොඩ එනු පිණිස කළ අරගලයක ප්‍රතිඵල වශයෙනි.
යළි විදෙස් ගත වූ පසු නිකිනි ගේ ඇස් වල වූ විදුලි කෙටීම අමතක කර දැමීම විදත් ට හිතූ තරම් සරල කටයුත්තක් වූයේ නැත. ඔහු තමන් ගැන ලැජ්ජා වීමට ද පෙළඹුණේ ය. දැරියක ලෙස දෝතින් වඩා ගෙන ඇති, හුරතලයට සෙල්ලම් කර ඇති ඇය ගැන හිතට එන ආගන්තුක සිතිවිලි වලට හැකි තාක් වැට බඳින්නට ඔහු උත්සාහ කළේ ය. නමුත් ඔහු ඒ සටනින් පරදිමින් සිටි බව පිළි ගත යුතු ය.
තුන් වන දිනයේ නිකිනි පිටතට යාමට සූදානම් වූවා ය. ගුවනි ගේ දේශන වලින් පසු ඈ නිදහස් වීමෙන් ඉක්බිති ඔවුන් දෙදෙනා ගේ හමු වීම යොදා ගෙන තිබිණි. ඒ නුගේගොඩ නගරයේ පීසා හලක දී ය.
“මෙතන නිදහස්. ටිකක් වැඩි වෙලා කතා කරන්නත් පුළුවන්…”
නිකිනි වට පිට බලමින් කීවේ සතුටෙනි. ඇගේ ඇස් දීප්තිමත් ය. ඒ ඡවි කල්‍යාණය පැහැපත් ය. නිරෝගී ය. සමස්ත ඇය වෙතින් දිස් වන්නේ මහත් අපේක්ෂා සහගත බවකි. ඒ සියල්ල ඒකරාශී වූ කල ඈ වටා අදෘශ්‍යමාන රශ්මි කදම්බයක් වන්නා සේ ය. ඒ ස්ත්‍රී පෞරුෂයෙන්, ස්ත්‍රියගේ නෙතු වුව ග්‍රහණය කර ගන්නේ ය.
අතින් පයින් පහර දී සැමියා විසින් පති කුලයෙන් නෙරපනු ලැබීමෙන් පසුත් ගැහැනියකට මෙහෙම බබළන්නට හැකි දැයි ගුවනි සිතුවා ය.
“මිස් හදිස්සියෙම මට එන්න කිව්වෙ…”
ඇය කුකුස් සිතින් විචාලා ය. ඒ කුතුහලය, නිකිනි ඇමතුමක් දී ඇය ව හමු විය යුතු යයි කී වෙලාවේ පටන් ගුවනි තුළ කැකෑරෙමින් පැවතිණ.
“උදව්වක් ඉල්ලන්න”
නිකිනි ඇගේ මන්මත් කරවන මඳහසින් යුතු ව ඍජු ව කීවා ය.
“උදව්වක්…අනේ…මං වගේ කෙනෙක්ගෙං මිස් වගේ කෙනෙක්ට ඉල්ලන්න තියෙන උදව්ව මොකද්ද…”
පීසා සුවඳ හමා ආවේ ය. තවමත් නිකිනි ඇණවුම් කළ පීසා එක ඔවුන් ගේ මේසය වෙත පැමිණ තිබුණේ නැත. ඒ කාලය, සිය කතා බහ කර ගෙන යන්නට ඇය නො මසුරු ව භාවිතා කළා ය.
“මට ඔයාව හම්බ වුණේ මේ ඊයෙ පෙරේදා හරි අහම්බෙන් තමයි. ඒත් මට හිතෙනව මේ උදව්ව ඉල්ලන්න දැනට මට මතක් වෙන හොඳම කෙනා ඔයා කියල”
“ඕන දෙයක් කියන්න මිස්. මිස් හිතනවනං මට ඒක කරන්න පුළුවන් කියල…බෙල්ල කඩා ගෙන හරි මං ඒක කරනව”
නිකිනි දෙතොල් තෙරපා සිනහ වූවා ය. ඒ සිනහවේ අරුත විශ්වාසය බව ගුවනි ට වටහා ගත්තා ය.
“මං ප්ලෑන් කරං ඉන්නෙ බුක් ශොප් එකක් පටං ගන්න. ඔයා ඉතිං පොත් කියවන…පොත් ගැන දන්න වගේම පොත් වලට ආස කෙනෙක්නෙ. ඒ නිසා මට ඔයාගෙං උදව් ඕන වෙනව”
“අනේ…ශෝක්නෙ මිස්. මාත් ආසම වැඩක්. කැම්පස් එන්න කලිං මං කිය කිය හිටියෙ ලයිබ්‍රරි එකක හරි බුක් ශොප් එකක හරි ජොබ් එකක් කරන්න ආසයි කියල”
“ඒකනෙ…මං හරි ම කෙනාට තමයි කතා කරල තියෙන්නෙ…”
වැඩිපුර කියවන හා අලෙවි වන පොත් ගැන අදහසක් ගුවනි ගෙන් ලද හැකි විය. මිත්‍ර දන්නා කියන ලේඛකයන් ද ප්‍රකාශකයන් ද වන බැවින් වට්ටම් සහිත ව ඔවුන් ගෙන් පොත් ලබා ගන්නට මග හෙළි පෙහෙළි කර ගත හැකි විය. කඩ කාමරය හිස් වී ඇති නිසා ත් සිය හිත මුළුමනින් නිදහස් වී ඇති නිසා ත්, ඉක්මනින් වැඩ කටයුතු අරඹන්නට නිකිනි උත්සුක වූවා ය. මංජුල ගැන කිසිවක් දැන ගැනීමේ උවමනාවක් දැන් නිකිනි වෙත නැතත්, ගුවනි යම් යම් තොරතුරු කීවා ය.
“සර් ට ඕනෙ මිස් වැරදි කරනව කියල ලෝකෙට පෙන්නන්න. මේක එයාට හොඳ අවස්ථාවක් වෙන්නෙ ඒකයි”
“මං එයාගෙං අයිං වෙනව කියල තීරණය කළාට පස්සෙ මට එයා කරන කියන කිසිම දෙයක් වැදගත් නෑ ගුවනි. ලෝකෙ මිනිස්සු ඕනෙ දෙයක් හිතපුදෙං. ඒ ගැන හිතන්න ගිහිං තමයි මෙච්චර කල් මං මගෙ ම හිතේ වහලියක් වෙලා හිටියෙ. ඒත් තව දුරටත් මට එහෙම ඉන්න ඕන නෑ”
ගැහැනියක් හිත සවිමත් කර ගත් විට සිය අරමුණු වලට යන එක නතර කළ හැකි ජගතෙකු මිහි පිට වන්නේ නැත. නිකිනි ද පත් ව සිටියේ එවන් තත්වයකට ය. ඒ මට්ටමේ දී ලෝකය මොනවා සිතුවත් ඒ ගැන නැවතී සිතන්නට ඕනෑ කමක් දැනෙන්නේ නැත.
පොත් හල සඳහා පොත් එකතු කිරීමේ කටයුතු ඇරඹිණි. නිකිනි උදේ සිට ම වෙහෙසී පොත් වෙන් කොට රාක්ක වල ඇසිරීමේ කටයුතු කළා ය. දේශන නිම වී ගුවනි කෙලින් ම ආවේ එතැනට ය.
ඔවුන් දෙදෙනා ඒ කටයුතු වල නියැලෙමින් සිටි හවසක සහස් එහි පැමිණියේ ය.
“අක්ක වැඩට ගෑනු ළමයෙක් ගත්ත කියල මං දැනගෙන හිටියෙ නෑනෙ”
සහස් ගේ ඒ කතාව අසා ගුවනි ලැජ්ජාවෙන් ඇඹරුණා නොවේ.
“මාවනං වැඩට අරං නෑ. නේද මිස්…මං මිස්ට ආදරේ නිසා මේ ඇවිත් ඉන්නෙ”
“මෙයා මිස් කියන්නෙ…අක්ක කොහේ හරි උගන්නනවද…”
“මිස් කියන්නෙ ටීච කෙනෙක්ට කතා කරන විදිහක් විතරක්ම නෙවෙයිනෙ. ඒක නෙවෙයි. මිස්ට මල්ලි කෙනෙක් ඉන්නව කියල මං දැනං හිටියෙ නෑනෙ”
“මගෙ නැන්දගෙ පුතා ගුවනි”
“ඒක මිසක්..”
සහස් කොහොමටත් හිටියේ හැකි උපරිමයෙන් නිකිනි ට උදව් කරන්නට ය. ගුවනි පොත් හලට යන එන එක, ඔහු ගේ උනන්දුව වැඩි කළා ද කියා නිකිනි සිතුවා ය. ගින්දරත් පුළුනුත් ලං කළ කල ඇවිළෙන බව ඈ නො දැන හිටියා නොවේ. නමුත් සහස් ට සේ ම ගුවනි ට ද ඈ එක සේ ළෙංගතු වූයෙන් ඔවුන් ගේ හිත රිදෙන යමක් වේ යි ඇය බිය වූවා ය. අනිත් අතට ගුවනි වූ කලී සිය සීමාවන් නො දැන සිටි තරුණියක නොවේ. මුල සිට ම ඇය හඹා යන්නට වූයේ සහස් බව ද නිකිනි ට නො රහසකි.
විදත් එක්ක කතා කරමින් සිටි රාත්‍රියක නිකිනි මේ ගැන ඔහුත් එක්ක කීවා ය. ඔහු හඬ නගා හිනැහුණේ ඇය මවිත කරමිනි.
“ඇයි හිනා වෙන්නෙ…”
“අනේ බං. මිස් රැඩිකල් වගේ කතා කළාට මොකද හිතන්නෙ අනිත් සාමාන්‍ය ගෑනු හිතන විදිහටම තමයි”
“ඇයි…”
“ඇයි කියන්නෙ…දැං ඔයාට තියෙන්නෙ සහස් ගුවනි එක්ක යාළු වෙයි කියන බයනෙ…”
“ඉතිං ඒක වරදක්ද…එහෙම වුණොත් පාලිකා නැන්දා මගෙ ඔළුවත් කයි”
“ඒක එහෙම බයක්ම නෙවෙයි නිකිනි”
හදවත ගැස්සී යනවා නිකිනි ට දැනිණි. ‘එහෙනං’ කියා අසන්නට පවා ඇය අනවශ්‍ය තරම් වෙලාවක් ගත්තා ය.
“ඔයා බයයි ඔයාගෙ මල්ලි මංජුල අතින් පාවිච්චි වෙච්ච කෙල්ලට ආදරේ කරයි කියල. අන්න ඒකයි ඇත්ත”
ඊට එරෙහි ව එක වචනයක් හෝ කතා කර ගන්නට තරම් අවංක කමක් හෝ දිරියක් ඈ වෙත වූයේ නැත.
“අනිත් හැම ගෑනු කෙනෙක් වගේ ම ඔයාටත් ඕනෙ ඔයාගෙ මල්ලි වෙන පිරිමියෙකුගෙ හුස්ම නො වැදුණ නොඉඳුල් ගෑනු ළමයෙක්ට ආදරේ කරනවට”
නිකිනි තොල් පට සපා ගත්තා ය. එවන් බියක් සිය ඇතුළු හද ගැබෙහි නො විණි දැයි ඇය ඇගෙන් ම ප්‍රශ්න කළා ය. ගුවනි ට ඈ හදවතින් ම කැමති බව ඇත්ත ය. නමුත් ඇයට සහස් ලං වීම ගැන නිකිනි ගේ වන බිය, සැබවින් ම විදත් විසින් හඳුනා ගනු ලැබූ එක ය.
දක්ෂ මනෝ වෛද්‍යවරයෙකු විසින් ව්‍යාධිය ඇති තැන නිසැක ව හැඳින ඊට අත තැබුවා සේ, විදත් ඇගේ හිත අස්සේ හැංගී තිබුණ විසප්පුව අල්ලා මිරිකා හළේ ය.
ඔවුන් අතරේ කුමක් සිදු වුණත් ඒ ගැන මැදිහත් නො වන්නට ඒ මොහොතේ නිකිනි සිතා ගත්තා ය.
“මට ඔයා ගැන වෙලාවකට ආඩම්බරයි…”
විදත් කීවේ ය.
“එතකොට අනිත් වෙලාවට….”
නිකිනි සිනහ වෙවී ඇසුවා ය.
“අනිත් වෙලාවට දුකයි”
“ඇයි දුක…”
“ඔයාට ඕනෙ බිස්නස් එකක් හැන්ඩ්ල් කරන යකඩ ගෑනියෙක් වෙන්න නෙවෙයි නිසා”
පපුව පිච්චී ගෙන එනවා වගේ නිකිනි ට දැනිණි. ගුවන් සැතපුම් දහස් ගණනක් එපිටින් සිටින, වසර විස්සකට පසු එක් දිනක් එක් වතාවක් පමණක් දුටු මිනිසෙකු මේ විදිහට පොතක් මෙන් සිය හිත කියවන එක සැබවින් ම විශ්මයකි. ඔහු ඒ තරමට ඈ හඳුනන්නේ කෙසේද? ඇය ට උවමනා ව්‍යාපාරිකාවක වී මුදල් හරි හම්බ කිරීමේ තරඟයකට පිවිසෙන්නට නොව පවුල් සංස්ථාව මෙහෙයවන දක්ෂ පතිණියක වන්නට ය. උදේට මල් වවමින් ද පොත් කියවමින් ද හැන්දෑවට කෑම වර්ග තනමින් ද සැමියා හා දරුවන් වෙනුවෙන් පේ වුණ බිරිඳක් වන්නට ය. මිහි මත වන මනරම් ම ඉසව්ව සිය නිවස බවට පත් කරවන ගැහැනියක වන්නට ය. නමුත් එසේ කළ නො හැකි සීමාවේ දී ගැහැනිය ට සිය අනෙකුත් හැකියාවන් උර ගා බලන්නට සිතීම ස්වභාවය ය.
“ගොඩක් සල්ලි හම්බ කරල මං යනව ලෝකෙ වටේ ඇවිදින්න. ඇත්තටම මං ආසයි ලෝකෙ බලන්න යන්න”
“ඔසී එන්න. මං ඔයාව බලා ගන්නං”
නිකිනි හඬ නගා හිනැහුණා ය. විදත් තරමක් මවිත වූයේ ය.
“ඇයි…”
“නෑ…මාව බලා ගන්න නෙවෙයි…මං කිව්වෙ මට ලෝකෙ බලන්න ඕනෙ කියල”
ඒ වචන ටික නැවත ගිල ගන්නට ඇත්නම් කියා විදත් ට සිතිණ.
“හරි ඉතිං…මං ඔයාව ඔසී වල හැම තැන ම එක්කං යන්නං”
“ඊට වඩා හොඳයි වගේ මාව බලා ගන්නං කියපු සෙන්ටෙන්ස් එක…ඒක දැනෙනව”
නිකිනි නැවතත් සිනහ වූවා ය. ඇගේ හද ගැබ සැහැල්ලුවට පත් වී ඇති බවක් ඇය ට දැනිණ. නමුත් ඒ අමතක කරන්නට හෝ අමතක වූවා සේ ඉන්නට හෝ තතනන මහ කන්දක බරකට මුවහ වූ සැහැල්ලුවකි.