“අර දුලනි කෙල්ලවත් අරන් අරයට නොදන්න පළාත්වල යන්න දෙන්නෙ මොකටද?”
අක්කාගේ චෝදනාවට අවිශ්කට සිනා ඉපිදිණ.ඔහුගේ මුවින් සිනාවක් නිකුත් වන අන්දම නයනි බලා හුන්නේ කෝපයෙනි.
“නොදන්න පළාත්?”
ඔහු අසන්නේ සෝපහාසයෙනි.
“ඔව්..එහෙම ඇවිදිනවද ගෑනු..උඹ තමයි ඒකිට ඕනෑ පදං නටන්න දෙන්නේ..”
නයනි එසේ කියන්නේ කෝපයෙනි.ඇය සැමියාගේ උදව්වෙන් තොරව ළඟම ඇති නගරයටවත් යන්නට දැන හුන්නේ නැත.මේ අන්දමට අමන්දී රස්තියාදු ගැසීම ගැන ඇයට උපදින්නේ සුළුපටු කෝපයක් නොවේ.
“එයා දන්න පළාත තමයි ඒක.නොදන්න පළාත මේක.ඒ ළමයා ඉපදිලා හැදුණෙ වැඩුණෙ කොළඹ අක්කෙ..එයාට ඒක මඟ වැරදෙන පළාතක් නෙවෙයි..”
අවිශ්ක සන්සුන්ව පැවසී ය.
සැබෑවටම ඔහුට අමන්දී කරන කියන දෑ ගැන සැකයක් වූයේම නැත.ඇය දැනුම් තේරුම් ඇත්තියක බව අවිශ්ක දැන සිටියේ ය.නයනි අමුතු වියරුවකින් හැසිරෙන්නට හේතු පැහැදිලි නොවූව ද ඔහු අමන්දී තදින් විශ්වාස කළේ ය.
“ඔය දුලනිට උගන්නන සංගීත කාරයා නේද අමන්දිගෙ පරණ කොල්ල..”
නයනි අසන්නේ මල්ලීව සහමුලින්ම අවුල් කරන්නට සිතමිනි.
“ඉතින් ඒ කොල්ලා රටේම හීන කුමාරයා වුණාට එයාගෙ කෙල්ල මාව බැන්ද..රඟපාලා සින්දු කියලා හිටියනම් මට ෂාරුක් ඛාන් පරද්දන්න පුලුවන් ඒ කියන්නෙ..”
අවිශ්කගේ සිනාවට කෝපයෙන් පිරී ගිය නයනි එතැනින් යන්නට ගියේ ගස්සාගෙන ය.සඳුනි අයියා වෙත ආවේ කරදර මුහුණකිනි.
“මෙයාට මොකක්ද අයියෙ වෙලා තියෙන්නෙ..ඔයාලා ගෙදර දාලා යනවටත් මම නම් ආස නෑ..”
සඳුනිට අමන්දී සැබෑ සහෝදරියකි.සුරංගගේ සම්බන්ධය ඈ නොවූවා නම් දුරදිග ගොස් තමා අසීරුවට පත් කරන බව දැන් සඳුනිට වැටහී අවසන් ය.නමුත් අමන්දී සඳුනිව යළි ඉගෙන ගන්නට පවා පෙළඹවූවා ය.ඇය ආදරය උතුරන අක්කා කෙනෙකු ලෙස සඳුනිට දැනෙන්නේ එනිසා ය.
“මේක මහ ගෙදරනෙ පොඩ්ඩි..අපි තුන්දෙනාගෙම ගෙදර.ඔයත් දැන් ඔය ඉගෙන ගෙන කැම්පස් යන්නනෙ කල්පනාව.ඊටපස්සෙ හොඳ කොල්ලෙක් බැඳලා ඔයත් යන්න යයි..මටත් අමන්දිත් එක්ක සැනසිල්ලෙ හිටියැකි අයින් උනාම..”
සඳුනි අයියා දෙස බලා සිටියේ දුකකිනි.මේ වේදනාව ඇති කළේ අක්කා ය.
“අමන්දි අක්කා එක්ක එයාට තියන ප්‍රශ්නෙ තමයි අයියා මට නොතේරෙන්නෙ..”
සඳුනි පවසන්නේ ගැටලුකාරී මුහුණකිනි.අමන්දී කියන්නේ ආදරය කරන්නට හිතෙන කෙනෙකු මිස ගැටුම් ඇති කරගන්නට සිතෙන්නියක නොවේ.
“එයාට අමන්දි එක්ක ප්‍රශ්නයක් නෑ..”
අවිශ්ක කීවේ සිනාමුසුව ය.
“අක්කට ප්‍රශ්නෙ තියෙන්නෙ අක්කා එක්කමයි පොඩ්ඩි.එයා ඉන්නෙ මොකක්ද තරහකින්.හැමදාම හැමවෙලේම ඒක කාගෙ හරි පිටින් යවන්නයි එයා කැමති..”
අයියාගේ කතාවට ඌණපූර්ණයක් එක් කරන්නට සඳුනිට ඕනෑ විය.ඇය අයියාට වඩා සමීප වූවා ය.
“අනික අපේ අක්කා අමා අක්කා එක්ක නෙවේ ඔය තරහ.නෑනා කියන චරිතෙ එක්ක.අප්පේ, ඉස්සර සුරේකා අක්කට දීපු කරදර.ඉවරයක් තිබ්බෙම නෑ..”
අවිශ්ක සුසුමක් හෙළී ය.අක්කා සුරේකාට බැන වැදුණු දවස් අපමණ විය.ඇගේ නිවසටම ගොස් ඇයට පහර දුන් වාර පවා තිබූ බව ඔහු දැන නොසිටියා නොවේ.නමුත් නව යෞවනයෙකු ලෙස ඔහුට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට ධෛර්යයක් වූයේ නැත.එහෙත් දැන් හිඳින්නේ වැඩුණු මිනිසෙකි.පෙම්වතියට හිරිහැර කළ අක්කාට එරෙහිව කරන්නට දෙයක් නොතිබූ යෞවනයා දැන් එසේ හිඳින්නට සූදානම් නැත.
ඔහු තමන්ගේ ආදරණීය බිරිඳට හිරිහැරයක් නොවන්නට බොහෝ දෑ කරන්නෙකි.
අමන්දීද සිටියේ ගැටලුවක ය.හදවත නැවත චංචල වන්නට පටන් ගෙන ඇති බව ඇය තේරුම් ගත්තා ය.ඇය සනුරි සමඟ ඒ වේදනාව බෙදා ගත්තේ ඒ නිසා ය.
“මට මේක හිතන්න තිබ්බා සනූ..”
සනුරි මිතුරියගේ ශෝකි ස්වරය අසා හුන්නා ය.ඇයට පෑරෙන්නට ඉඩ නොතබන්නට ඉටා ගත්තා ය.
“අමා..මෙහෙමනෙ..ඔයාට දැන් ඉඳුවර එක්ක ගනුදෙනු කරන්නම වෙනව..නේද? ඒ ඔයාගෙ පර්සනල් දෙයක් ගැන නෙවේනෙ.ඔයාලා දෙන්නගෙම ගෝලයා ගැන.අපිට මෙහෙම අපේ දරුවෙක්ගෙ අනාගතේටත් මහන්සි වෙන්න තිබුණානෙ කියල හිතෙනව තමයි..නොහිතා ඉන්න.ඒක පහසුයි..”
අමන්දී සුසුමක් වා තලයට මුදා හැරියා ය.ඇයට රිදෙන්නේ ඉඳුවරගෙන් දුලනි සම්බන්ධයෙන් එන ඇමතුම් වලට නොවේ.දුලනිගේ පුහුණුවීම් සහ තරග කටයුතු පිණිස ගිය විට ඉඳුවර දකිද්දී ය.ඔහු දැකීමෙන් ද නොරිද්දාගෙන හිඳින්නට හැකි ය.නමුත් තරිඳි ඔහු විෂයෙහි හැසිරෙන ආකාරය අමන්දීට ඇති කරන්නේ වේදනාවකි.
තරිඳිගේ සැබෑ ආදරයක් ඇති බවක් පනෙන්නට නැත.ඇය ඔහුට අධිපති ස්වභාවයක් දක්වන බවක් අමන්දී නිරන්තරයෙන් නිරීක්ෂණය කළා ය.තරිඳිට සෑම මොහොතකම ඕනෑ වූයේ ඔහු තමන්ගේ බව ලෝකයට පෙන්වන්නට ය. ආදරය කරන්නට ඇති සෑම මොහොතක්ම තරිඳි ඒ විකාර සංකල්ප වර්ධනයට වැය කළා ය.එනිසාම ඉඳුවරට සතුටින් පිරුණු ලෝකයක් නැති වග අමන්දීට පැහැදිලිවම දැනිණ.
“ඇත්තටම අමෝ..ඉඳුවර අර නිලි සමයම එක්ක හොඳින් හිටියත් නරකින් හිටියත් අපිට මොකෝ..”
සනුරි ඇසුවේ තද හඬකිනි.මිතුරියට යළි යළිත් පීඩා විඳින්නට ඉඩ හරිනවාට වඩා ඇයව ඉන් මුදවා ගැනීම තම යුතුකම බව සනුරි විශ්වාස කළා ය.එනිසාම ඇය ඉඳුවර ගැන අමන්දී කතා කරන කිසිවකට අනුබල දුන්නේ නැත.මේ මොහොතේ ඔවුන්‍ට එක්ව ඉටු කරන්නට ඇත්තේ එක් දෙයකි.ඒ දුලනි තරු කිරුළ වෙත රැගෙන යාම පමණකි.ඒ ගනුදෙනුවට අමතරව අතීතය හාරාවුස්සමින් කාලය ගෙවිය යුතු නැතැයි සනුරි සිතුවා ය.