සාම්ප්‍රදායික ගැහැණු

උත්තරා වෙනදා පුරුද්දටම පාන්දර හය වෙද්දි ඇහැරුනා.විදේශ වෙබ් අඩවියක සේවය කරපු උත්තරා වැඩකළේ ගෙදර ඉදං වුණත් ඇගේ සැමියා වුණ කවිඳු හැමදාම පෞද්ගලික ආයතනයක රැකියාවට ගියා.විවාහ වෙලා හයවෙනි මාසය පසු කරමින් හිටපු ඔවුන් දෙන්නා තවමත් ඉන්නේ අද ඊයෙක විවාහ වුණා වගේ

” අද සෙනසුරාදනේ උත්තරා. ටිකක් නිදා නිදා ගන්න. හැමදාම පාන්දර උයනව නේ “

” ඔයා මාව කම්මැලි කරනවනේ කවිඳු “

” කම්මැලි කරනවා නෙමෙයි අනේ, අපි අද එළියෙන් කමු. එක දවසක් එළියෙන් කෑවා කියලා මැරෙන්නෙ නැහැ නේ “

නිවාඩු දවසේ වත් උත්තරාට නිවාඩුවක් දෙන්න ඕන කියලා හිතාගෙන කවිඳු එහෙම කියපු නිසා තවත් පැයක් දෙකක් නිදාගන්න උත්තරාට පුළුවන් වුණා

” අපි තව රෝස පැල ටිකක් ගේමුද කවිඳු ? “

උදේ කෑමෙන් පස්සේ දෙන්නම එකතුවෙලා ගෙවත්තේ වැඩ පටන් ගත්තා.කවිඳු නැති වෙලාවටත් මල් පැළවලට සාත්තු කරන උත්තරා සති අන්තයේ දී කවිඳු එක්කම ගෙවත්තේ වැඩ කළා. සති දෙකකට කලින් හිටවපු රෝස පැල වල මල් පිපිලා තිබීම දෙන්නගෙම හිත් වලට ගෙනාවේ සතුටක්

” හවසට ගිහින් ගේමුද ? එහෙමම එළියෙන් කාලම එමු රෑට. දවල්ට කොහෙන් හරි ඕඩර් කරලා ගෙන්න ගමු “

කවිඳු කිව්වේ අලුත්ම රෝස පාත්තිය සුද්ද කරන ගමන්.ගේට්ටුව ළඟ ත්‍රීරෝද රථයක් නතර කරන හඬ ඇහුණ නිසා කවිඳු නැගිට්ටා

” ආ අම්මේ.කියන්නෙම නැතුව ඇවිල්ලානේ “

ගේට්ටුවෙන් ඇතුළු වුණේ කවිඳුගේ අම්මා.අත් දෙකේම පස් ගාගෙන ඉන්න කවිඳු දිහා වගේම ඉදලක් අතේ තියාගෙන ඉන්න උත්තරා දිහාත් මාලතී බැලුවේ අමුතුවට

” නිවාඩු දවසේ කොල්ලාගෙන් වැඩ ගන්නවා වගේ මෙයා “

මාලතී කිව්වේ මුව අග යන්තමින් හිනාවක් තියාගෙන.උත්තරා හෙමින් සීරුවෙ කවිඳු දිහා බැලුවා

” සතියේ දවස් පහේම මේ ඔක්කොම බලන්න උත්තරා.ඉතිං අද මමත් එයාට උදව් වුණා අම්මේ “

කවිඳු කිව්වේ උත්තරාව බේරගන්න වගේ

” අපි තේ එකක් බීලා ඉමු අම්මෙ. යමු ගෙට “

උත්තරා කතා කළේ ගේ ඇතුලට යන ගමන්.මාලතීගේ ඇස් මිදුල පුරාත් ගේ පුරාත් ගමන් කළා

” අද උයලා නැද්ද ? “

කුස්සියට ආව ගමන් මාලතී ඇහුවා

” නෑ අම්මේ.අද අපි එළියෙන් කන්නේ “

උත්තරා වතුර කේතලේ ලිපියේ තියෙන ගමන් තේ හදන්න සූදානම් වුණා

” ඒක තමයි මේ අපේ ළමයා කෙට්ටු වෙලා තියෙන්නේ.ඔය කඩවල් වල කෑම ඇඟට අල්ලන්නේ නැහැ ළමයො. හොඳ එළවළු ටිකක් පලා ටිකක් ගෙදරම හදන්න කම්මැලි වෙන්නෙ නැතුව “

ආයෙමත් උත්තරාගේ ඇස් නතර වුණේ කවිඳු ළඟ

” උත්තරා හැමදාම පාන්දර නැගිටලා මට කෑම හදලා දෙනවා.ඒ නිසා එයාට මම අද නිවාඩුවක් දුන්නා “

” අනේ මම දන්නේ නැහැ ඔය ළමයිගෙ විකාර වැඩ “

කුස්සියේ තියෙන පුංචි කෑම මේසෙන් මාලති වාඩි වුණා.උත්තරා තේ හදන අතරේ කවිඳු කබඩ් එකකින් ගත්ත පීරිසි කෝප්ප හෝදන්න ගත්තා

” තේ හදන වැඩේ වත් උත්තරාට තනියම කරගන්න බැරිද ? “

මාලතී එහෙම අහනකොට අනෙක් පසට හැරිලා තේ හදමින් හිටපු උත්තරාගේ මූනේ මද හිනාවක් ඇඳෙන හැටි කවිඳු දැක්කා

” මම උත්තරාගේ වැඩ වලට උදව් කරන එකේ තේරුම එයාට තනියම වැඩ කරගන්න බැහැ කියන එක නෙමෙයි අම්මේ “

කවිඳු කතාකලේ සංසුන්ව

” මම නං ඒ කාලේ තාත්තාට කාපු පිඟානක් වත් හෝදන්න දුන්නේ නැහැ “

” ඉතිං අම්මේ මට උත්තරාට උදව් කරන්න පුලුවන්කම තියෙද්දි ඇයි මම නොකර ඉන්නේ ? මගේ අනිත් හැම වැඩේම උත්තරා කරලා දෙනවා නේ.සමහර දවසට ඔෆිස් එකේ ඉඳලා මම ගෙදරට උස්සගෙන එන accounts පවා උත්තරා මට බලලා දෙනවා “

” ආ.. උත්තරාට ඒවත් පුලුවන්ද ?”

මාලතී ඇහුවේ පුදුමයෙන්.උත්තරා හදලා ඉවර වුණ තේ එක මාලතීට පිළිගැන්වූයේ නිහඬවම

” උත්තරා වැඩ කරන්නේ මට වඩා හොද international company එකක වෙබ් සයිට් එකක.සමහර මාස වල මට වඩා පඩියක් උත්තරාට ලැබෙනවා මං අම්මට කලින් කියලා තියෙනවා නේ “

” අනේ මට තේරෙන්නේ නැහැ ළමයො ඕවා “

” මම ඔෆිස් ගිහින් කරනවට වඩා වැඩ තොගයක් උත්තරා කරනවා.ඒ නිසා තමයි අම්මෙ නිවාඩු දවසට වුණත් මම එයාට උදව් කරන්නේ. මම ජොබ් එක විතරක් කළාට උත්තරා ජොබ් එකයි ගෙදර වැඩයි දෙකම කරනවා “

කවිඳු එහෙම කියද්දී මාලතී නිහඬ වුණා

” අම්මට ඉතින් ඒ කාලේ තිබුනෙර් ගෙදර වැඩ විතරයිනේ. උත්තරාට ඊට වඩා දෙගුණයක් වැඩ තියෙනවා “

තමන්ගේ අම්මා වුණත් තමන්ගේ බිරිදව පහත් කොට සලකන එක කවිඳු ඉවසුවේ නැහැ.ඒ නිසා ඔහු බොහොම ඉවසීමෙන් යුතුව තමන්ගේ අම්මට කරුණු පැහැදිලි කළා

” අම්මා දවල් කෑමට ඉන්නවද ? අපි අම්මටත් එක්ක කෑම ඕඩර් කරන්නම් “

” නෑ නෑ මම යනවා.ඔය කඩ කෑම මට දිරවන්නේ නැහැ ළමයෝ .මම අක්කලගෙ ගෙදර යන ගමන් ආවෙ අනික “

සාම්ප්‍රදායික ගති පැවතුම් මෙන්ම සිතිවිලි ද ඇති තමන්ගේ අම්මා නිසා උත්තරාගේ හිත කොච්චර රිදුනා ද කියලා කවිඳුට හිතාගන්න බැරි වුණා.මාලතී පිටත් වෙලා ගියාට පස්සෙ කවිඳු ගේට්ටුව වහලා ගේ ඇතුලට ආවේ උත්තරාගේ හිත හදන්නේ කොහොමද කියලා හිතන ගමන්

” ඔයා අම්මා කියපුවා ගණන් ගන්න එපා උත්තරා “

කවිඳු කතා කළේ ඇහෙන නෑහෙන ගානට

” අපේ කාලේ වගේ නෙමෙයි නේ කවිඳු අම්මලාගේ කාලේ.ඒ කාලේ ගෙදර හැම වැඩේම ගෑනු අය කළාට දැන් ඒක වෙනස්.ඉතිං අපේ විදිහ එයාලට අමුතුයි තමයි “

” අම්මට ඔය සමහර දේවල් ගැන ඒ හැටි තේරුමක් නැහැ.ඉතින් ඔහේ කියවනවා “

” මගේ හිත රිදෙන්නේ නැහැ කවිඳු ඕවට. මට අම්මව තේරුම් ගන්න පුළුවන් “

තමන්ගේ බිරිඳ, අම්මා වගේ සාම්ප්‍රදායික බිරිඳක් නොවුණ එක ගැන හිත යටින් සතුටු වෙන ගමන් කවිඳු නගරයේ තියෙන හොඳම අවන්හලට උත්තරාව එක්කගෙන යන්න සූදානම් වුණා

More Stories

Don't Miss


Latest Articles