මුතුබෙලි හදවත -17

දුමාල් පැමිණ තිබුණේ මින්දුල ට අලුත් සෙල්ලම් කාර් එකක් ගෙන ය. මින්දුල සාමාන්‍යයෙන් අලුත් සෙල්ලම් බඩු කෙරේ ආකර්ෂණය වන්නේ නැත. ඔහු නිතර තෝරා ගන්නේ එක ම සෙල්ලම් බඩුව ය. මේ වෙලාවේත් මින්දුල ඒ ගැන උනන්දුවක් පෑවේ නැත. එවර දුමාල් එහි රෝද කරකවන්නට පටන් ගත්තේ ය. එතකොට දරුවා කැරකෙන රෝද ගැන අවධානය යොමු කරනා බවක් පෙනිණ. ඔහු එය අතට ගෙන රෝද කරකවන්නට පටන් ගත්තේ ඉනික්බිති ය. ආදිත්‍යා ලොකු හුස්මකින් ළය පුරවා ගත්තා ය.

දුමාල් මඳ වෙලාවක් මේ තරුණ අම්මා දෙස බලා සිටියේ ය. ඔහු හරි බරි ගැසී බංකුවේ අසුන් ගත්තේ ඉනික්බිති ය.

“උදේ ම ගියා අම්ම බලන්න”

ඔහු කතාවට පොටක් පෑදුවේ ය.

“හ්ම්. මං උදේ බලනකොටත් රූම් එකේ දොර වහල”

“අම්ම කියනව දැං කසාදයක් බඳින්න ඕනලු මං”

“ඒක හොඳයි. එහෙනං අපිටත් ළඟදිම වෙඩින් කේක් කෑල්ලක් කන්න පුළුවන් වෙයි වගේ”

ඇගේ කොළ පාට ඇස් සිනහ වුණේ ය. නමුත් හිත ඇතුළේ දුකක් ඇති නොවුණා ම කියා කිව නො හැකි ය. ඔහු විවාහ වූවා ට පස්සේ මේ විදිහට මින්දුල ගැන කැප විය නො හැකි වනු ඇත. වෙනත් ගැහැනියක ගේ දරුවෙකු හට ඔහු ඇඟෑළුම් පානවාට, ඔහු ගේ ජීවිතයට සමීප වන කාන්තාව කිසි සේත් කැමති නො විය හැක. නමුත් එසේ ය කියා ඔහු ට අනුන්ගේ දරුවෙකු මත්තේ කැප වී සිටිය නො හැකි බව ආදිත්‍යා දනී.

“දවසක මං බැන්දොත්…ඒ අම්ම වගේ කෙනෙක් ව විතරයි”

ආදිත්‍යා ට ඒ ගැන යමක් කිව හැකි වූයේ නැත. ඉනිතින් ඕ මඳහස් බැල්මකින් ඔහු දෙස බැලුවා පමණකි. ඔහු ගේ ඇස් වඩාත් තියුණු ලෙස ඇගේ ඇස් අල්ලා ගත්තේ ය. දැන් දැන් ඒ ඇස් බැල්ම කෙරේ ආදිත්‍යා තුළ වන්නේ මඳ බියකි. ඔහු ට තියෙන්නේ ගැහැනු පපුවක් තුළ සුළි කුණාටුවක් ඇති කළ හැකි විදිහේ මෝහනීය පිරිමි දෑසකි.

“මට දැනට මුණගැහිල තියෙන්නෙ ඒ විදිහ එක්කෙනයි”

ආදිත්‍යා යළිත් තරුණයා දෙස බැලුවා ය. හිතට දැනෙන අපහසුතාවය ඔහු ට නො දන්වා හිඳීමට ඇය තැත් දැරුවා ය.

“ඒ ඔයා”

ආදිත්‍යා ට දැනුණේ ඉලක්කය බලා ඔහු සිය පපුව මැද්දට ම වෙඩි ප්‍රහාරයක් එල්ල කළා මෙනි. ඒ කම්පනය තත්පර ගණනාවක් එක දිගට නො වෙනස් ව පැවතිණ. අමාරුවෙන් කෙළ බිඳක් ගිල ගත් ඕ හිතට දිරිය ගෙන සිනහවක් නගා ගත්තා ය.

“අනෙ අම්මෝ…මේ අපි අනුන්ගෙ හොඳේ”

ඒ සිනහවෙන් ම සැහැල්ලුවක් ද මවා ගනිමින් ඕ දඟකාර ලෙස කීවා ය.  දුමාල් තව දුරටත් බලා සිටියේ එක සිනහ පොදක් නැති, ගැහැනු හදක මිනී මැරුමක් සිදු කළ හැකි අර බැල්මෙනි. ආදිත්‍යා ගේ සිනහව තුනී වී වියැකී ගියේ ය. ඇය ට බිම බැලිණි. 

“කාගෙද එතකොට ඔයා…මට දැන ගන්න පුළුවන්ද ඒක…”

ආදිත්‍යා තිගැස්සී ගියා ය. ඒ ප්‍රශ්නය අභියෝගාත්මක ය. විවාහක ගැහැනියක ගෙන් නො බිය ව එහෙම අහන්නට තරම් දිරියක් තිබිය හැකි කිසිවෙකු සිටිය හැකි ද? යුග දිවිය ඇතුළේ කවරාකාර ගැටළු තිබුණත්, එය පිටතට නො හඟවා හිඳීම යහපත් බිරිඳක ගේ ලක්ෂණයක් බව ආදිත්‍යා දනී. ඒත් මින්දුල ගේ ඔටිසම් රෝගී තත්වය නිසාවෙන් විකුම් ඇති කොට තිබෙන්නා වූ අර්බුදය ගැන දුමාල් යම් තාක් දුරකට කාරණා දනී. ඒ නිසා පමණක් සිය සැමියා ගේ වැරදි හා අඩුපාඩු මේ තරුණයා ට හෙළි කළ යුතු දැයි ආදිත්‍යා ක්ෂණික ව සිතුවා ය. නමුත් දැන් විකුම් ගේ නීත්‍යානුකූල නොවන සම්බන්ධය ගැන නො දන්නා කෙනෙකු මේ රට තුළ නොමැති බව ඇය ට සිහි වූයේ ඉනික්බිති ය. ආදිත්‍යා අසරණ හැඟීමකින් බිම බැලුවා ය.

“මට පුළුවන් ඔයාවයි පුතාවයි බලා ගන්න. ඔය කසාදෙ අතෑරල ඔයා එන්න”

දුමාල් එසේ කීවෙ ආදිත්‍යා ගේ උකුල මත වූ දකුණු අතේ අතැඟිලි පටලා අල්ලා ගන්නා ගමන් ය. අහසින් පොළොවට වැටුණා සේ තිගැස්සුණු ඕ වහා සිය අත දුමාල් ගේ අතැඟිලි වලින් ඇද නිදහස් කර ගත්තා ය.

“පිස්සුද ඔයාට…මොනාද මේ කරන්නෙ”

එසැනෙන් එසේ අසා ගන්නට ද ඇය ට හැකි විය.

“ඔයා හිතං ඉන්නෙ මං කවුරු කියලද දුමාල්…හිතුවද මහත්තය එක්ක පොඩි ප්‍රශ්නයක් තිබුණ පළියට ගෑනු කියන්නෙ දකින දකින පිරිමියගෙං ඒ හිස්තැන් පුරෝගන්න ලෑස්ති වෙලා ඉන්න ජාතියක් කියල…මන් දන්නෑ එහෙම ගෑනු ඉන්නවද කියල. හැබැයි මං ඒ ජාතියෙ නෙවෙයි”

ඇය හෙමිහට වුව ඉතා තදින් කතා කළේ බංකුවෙන් පවා නැගිට ගෙන ය. ආදිත්‍යා ගේ කොළ පාට ලස්සන ඇස් ගිනි ගෙන තිබිණ. එතන යම් වෙනසක් සිදු වූ බව වහා ඉව වැටුණ මින්දුල කලබල වී හඬන්නට ගත්තේ ය. මින්දුල ඔහු වඩා ගෙන නලවන්නට විශාල උත්සාහයක් ගත්තේ ය. පුතු වඩා ගන්නට හෝ බැරි තරමට ආදිත්‍යා කේන්තියෙන් ද දුකෙන් ද ඒ දෙකෙන් ම ද කියා නො තේරෙන හැඟුමන් කන්දකින් තෙරපී, වෙව්ලමින් සිටියා ය.

“පිස්සුද…”

දුමාල් කතා කළේ වචන වල තිබිය යුතු වූ දැඩි ගතිය, මින්දුල නිසා ඒවායේ නො තවරමිනි. 

“මේ ළමය බය වෙනව කියල දන්නැද්ද….”

සිය දරුවා ගැන ඇයටත් වඩා බරක්, හැඟීමක්, වේදනාවක් ඔහු ට ඇත්තා සේ ආදිත්‍යා ට දැනිණ. මේ සිදු වෙන්නට යන්නේ මොනවා ද? දුමාල් කියන්නේ උසස් රැකියාවක් කරන උගත් තරුණයෙකි. ඔටිසම් දරුවෙකු හිඳිනා විවාහක ගැහැනියක විවාහ කර ගන්නට තරම් උමතුවක් ඔහු වෙත වෙතැයි  සිතන්නට තරම් ආදිත්‍යා ට පිස්සු නැත. 

“දෙන්න”

ඇය මින්දුල ව දුමාල් ගෙන් ගන්නට ගියා ය. නමුත් දුමාල් ඊට ඉඩ දුන්නේ නැත.

“මින්දුල ඔහොම හිටපුදෙන්”

“දෙන්න. ඒ ළමය මගේ. ඔයාගෙ නෙවෙයිනෙ”

“මෙතන පිස්සු නටන්නැතුව ඉන්නවද…”

හඬ බාල කොට වුව ද දුමාල් කීවේ තදිනි. ඔහු ගේ දෑස් මත්තේ ද වගකීම් සහගත දැඩි බවක් විය. ආදිත්‍යා බංකුව මතට වැටී දෝතෙහි මුහුණ ඔබා ගත්තා ය. නමුත් ඇය හැඬුවේ හෝ ඇයට හැඬුණේ හෝ නැත. හිතේ වන ගින්දර ට නෙතේ වන කඳුළැල් වියළී ගියා සේ ය. 

“අපි බූම් එක පදිමුද පුතා…ම්…”

දුමාල් මින්දුල ව බිම තබා ඔහු ද තණ පලසේ බිම හිඳ සෙල්ලම් කාර් එක තල්ලු කරන්න ට පටන් ගත්තේ ය. මින්දුල ඒ විදිහට සෙල්ලම් කිරීමේ කැමැත්තක් පෙන්වන්නේ නැත. ටික වෙලාවකින් තණ පලසේ බිම දිගා වූ දරුවා, රෝද අතින් කරකවමින් එදෙස බලා සිටින්නට වූයේ ය. එතැන හිඳ ම දුමාල් ආදිත්‍යා දෙස බලා සිටියේ, ඇගේ විලාශය ට ඔහු ට සිනා ගියේ ය. ඒ සිනා සර ට ආදිත්‍යා බැලුවා ය. නමුත් මේ වෙලාවේ සිනහ වෙන්නට ඇයට අමතක වූයේ ය.

“ප්ලීස් දුමාල්. මං ගැන ඔහොම හිතන්නෙපා”

මේ මොහොතේ නම් හැබෑ ආත්මානුකම්පාවක් ආදිත්‍යා ගේ හිතේ පණ ගැහෙමින් තිබිණි. ඇගේ ඇස් පවා තෙත් වී ගෙන ආවේ ය.

“කොහොමද..”

ඒ ස්වරයෙහිත් බැල්මෙහිත් ආදරය විය. ආදිත්‍යා වඩාත් බිය වූවා ය.

“මං නරක ගෑනියෙක් නෙවෙයි”

“හොල්මන්ද ආ…”

ඇය ට බිම බැලිණ. නෙතින් ගිලිහී ගත් කඳුළක් ටක් ගා උකුල මතට වැටිණ.

“කවුද දැං එහෙම කිව්වෙ…”

“කෙළින් ම නොකිව්වත් හිතන්නෙ එහෙමයි කියල මන් දන්නව. දරුවෙක් එක්ක තනි වෙන ගෑනියෙක් ට සමාජෙ ඉන්න පිරිමි සලකන විදිහ මං දන්නව”

“දරුවෙක් එක්ක තනි වෙච්ච ගෑනියෙක් ගැන ඔයාට වැඩිය හොඳට මන් දන්නව ආදිත්‍යා..මොකද එහෙම ගෑනියෙක්ගෙ දරුව වෙලා මං අවුරුදු විසි ගාණක් ම හිටිය නිසා. මාව ඔච්චරටම පහලට දාල හිතන්නෙපා”

“මොන ප්‍රශ්න තිබුණත් මං විකුම් ගෙන් අයින් වෙන්න නො හිතා ඉන්නෙ ඒකයි. ඒ ගෙදරින් දොට්ට බහින්න නොහිතා ඉන්නෙ ඒකයි. කබලෙන් ළිපට වැටෙන්න මට ඕන නෑ”

“මං ඔයා ගැන කවදාවත් ඔයා ඔය හිතන විදිහට හිතල නෑ. එච්චරයි මට කියන්න තියෙන්නෙ”

ඉන් පසු උදා වූ තත්පර හරි දිගැතියි  කියා ද බරැතියි කියා ද ආදිත්‍යා ට සිතිණ..එදා දුමාල් කෙතෙක් බල කළ ද ආදිත්‍යා ඔහු ගේ රියට නැගුණේ නැත.

“මං හිතන්නෙ විකුම් මං යන එන තැන් ගැන හොයනව. වරදක් නොකර වැරදි කාරියෙක් වෙන්න මට බෑ දුමාල්”

ඇය නිදහසට කාරණා ලෙස කීවා ය.

ගෙදර ගියත් වෙනදා වන සැහැල්ලුව ඇය ට දැනුණේ නැත. ආදිත්‍යා හිටියේ හදවත මත පැටවුණ බරකිනි. නමුත් ඒ තත්වය ඉක්මනින් ම වෙනස් විය යුතු බව ද ඕ විශ්වාස කළා ය. 

ඒ හැන්දෑවේ සිය ගුරු පුහුණුව නිම කළ ආමන්තා ගෙදර ආවා ය. සීමාවාසික ගුරු සේවය සඳහා ඇයට නිවස ආසන්න පාසලක් ලැබෙන්නට නියමිත ව තිබුණේ ය. 

“ඊට පස්සෙ තමයි දුෂ්කර යන්න වෙන්නෙ. අම්මෝ දුෂ්කර පලාතක අවුරුදු පහක් ඉන්නව කියන්නෙ…”

ආමන්තා අම්මා හා තාත්තා සමගින් කීවා ය..

“මොකට දුෂ්කර යනවද…අක්ක ඇමති කෙනෙක් ගෙ පුතෙක් බැන්ද එකෙන් වැඩක් තියෙන්න එපායැ. අපි සේනක ඇමති තුමාට කියල මෙහෙ ඉස්කෝලයක් හදා ගමු”

ලලිතා යෝජනා කළා ය. කොළඹ දිස්ත්‍රික්කය තුළ ගෙදරට ආසන්න පාසලක් ලැබෙනවා නම් ආමන්තා ට එය මහ මෙරක් වාගේ ය. ඇය ට ඕන වී තිබුණේ දුමාල් සමගින් ජීවිතය පිළිවෙලක් කර ගන්නට ය. පස් වසක් දුෂ්කර සේවය සඳහා නික්ම යනවා කියන්නේ ඔහු ට සමීප විය හැකි සියලු මං වැසී යනවා කියන එක ය.

“අක්කට කියල බලන්න. අක්ක කීයටවත් බෑ කියන එකක් නෑ”

එසේ කරන්නට ආමන්තා ද සිතා ගත්තා ය. සීමාවාසික කාල පරිච්ඡේදය තුළ හෝ ආදිත්‍යා මින්දුල සමගින් කරගෙන යන යුද්ධයට සහායක් වන්නට ලැබෙන එක ගැන ඇය සතුටු වූවා ය. අඩු තරමින්, තනිව දරුවා තර පින්නා ගෙන අක්කා රෝහල් හා පුහුණු මධ්‍යස්ථාන කරා යත්දී ඇගේ තනියට යන්න ලැබෙන එකත් ලොකු දෙයකි.

එදා ගමනෙන් පසු උද්‍යානයට නොයා ඉන්නටත් දුමාල් මුණ නො ගැහෙන්නටත් ආදිත්‍යා සිතා ගත්තා ය. ටික දිනක් ඈ නො පැමිණෙන විට දුමාල් එහි යාම නවතා දමනු ඇති බව ඇය සිතුවාය. නමුත් ආමන්තා පැමිණි නිසා එසේ කළ හැකි වූයේ නැත. ඇය දුමාල් ට ද පණිවිඩයක් තබමින්, හැන්දෑවේ ඔවුන් උද්‍යානය වෙත එන බව දන්වා සිටියා ය. 

එහි ගියේ වෙනදා සිටි ආදිත්‍යා නම් නොවේ. ඇය වෙනදා තරම් දුමාල් ට බුරුලක් නොදී සිටියා ය. ඔහු ව නො තකා සිටියා ය. ඒ වෙනස ආමන්තා ට නො දැනුණා නොවේ. ඇය දුමාල් ගෙන් ඒ ඇයි කියා ඇසුවේ ඇස් වලින් ඉඟියෙනි. ආමන්තා අතින් අල්ලා ගෙන උන් මින්දුල ගේ අනිත් අතින් අල්ලා ගත් දුමාල්, දිය මත හංසයන් පීනනු පෙන්වන්නට දරුවා ව එදෙසට ගෙන ගියා ය. ආමන්තා එහි වන නිසා ආදිත්‍යා හිතේ බයක් නැතිව බංකුව මතට වී සිටියා ය.

“මොකද අරය අර එක විදිහක්…”

ආමන්තා සිය සොයුරිය ගැන දුමාල් ගෙන් ඇසුවේ, අක්කා උද්‍යානය ට එන එක කිහිප වරක් ම ප්‍රතික්ෂේප කිරීමත්, ඇය දුමාල් ට මුහුණ නොදී සිටීමත් ගැන සිතමිනි. දුමාල් පිරිමිකාර සිනහවකින් මුහුණ සරසා ගත්තේ ය. ආමන්තා ඒ සිනහව තුළ වශී නොවී සිටියේ අසීරුවෙනි.

“ඇයි මුකුත් කිව්වෙ නැද්ද..”

“ම්හු. පාක් එකට එන්න බෑ කියලනං කිව්ව”

“මං හිතුව”

“මොකද්ද අනේ වුණේ…”

“ආමන්තත් අක්කා වගේ මං ගැන වැරදියට හිතන්න එපා”

ආමන්තා ගේ පපුවට අමුතු බියක් දැනිණි.

“මං ආදිත්‍යාවයි පුතාවයි මං ළඟට ගන්න කැමතියි”

“මො…මොකද්ද….”

ආමන්තා අතින් මින්දුල ගේ අත අත්හැරිණි. දුමාල් පුංචි මින්දුල ව වඩා ගත්තේ ය. ආමන්තා තරුණයා දෙස බලා උන්නේ තැති ගත් ඇස් දෙකකිනි. ඔහු මේ කියන්නේ මොනවා ද? ඔහු උමතු වී ගෙන එනවා වත් ද? ඇය ට දැනුණේ සිය දෙපා වෙව්ලා යන බවකි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles