හසාරා බෑග්ස් වල තිබුණු එළවළු අරගෙන ශීතකරණයෙන් අහුරන්න පටන් ගත්තේ සෑහෙන වෙලාවක ඉඳලා.පිළිවෙළකට අහුරාගත්තේ නැත්‍නම් එළවළු පළතුරු ඉක්මනින් නාස්ති වෙනවා.මේ එහෙම නාස්ති කරන්න කාලයක් නෙවෙයි.අනිත් එක ලෝකේ පුරා කන්න බොන්න නැති මිනිස්සු ඕනතරම් ඉන්න හන්දා අපි කන බොන දේවල් නාස්ති කරන්න හොඳ නෑ කියලා අම්මා හසාරාට උගන්නලා සෑහෙන කාලයක්.
“අම්මි, අයිස්ක්‍රීම් ඕන..”
පුංචි වෙනුලි හසාරාගේ කොන්ද බදා ගත්තේ එහෙම කියාගෙන.හසාරා ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙනස් නොකරම වෙනුලිට ඉන්න ඉඩ දුන්නා.හසාරාට හොඳටම හෙම්බිරිස්සාවක් හැදිලා.වෙනුලි මූණ ඉඹින්න ගත්තොත් ඕක නිකම්ම බෝවෙයි.වෙනුලි ලෙඩ වෙනව කියන්නේ හසාරාට තමන් අසනීප වෙනවට වඩා සෑහෙන ලොකු ප්‍රශ්නයක්.
“අයිස්ක්‍රීම් නෑනේ පුතු.අපි බත් කාලා යෝගට් කමු..”
හසාරා එහෙම කියනකොට වෙනුලි හරිබරිගැහිලා බිම ඉඳ ගත්තා.තාත්තා අයිස් ක්‍රීම් අරන් ආවා කියලා වෙනුලිට සහතිකයි..ඒක ඉතින් තාත්තයි දූයි බේර ගන්නෙ නැතැයි කියලා හිතන ගමන් හසාරා කෑම මේසේ ලෑස්ති කරා
වෙනුලිට බත් කවලා හසාරාත් විදුරටත් කෑම කෑවට පස්සේ මෙන්න තාත්තයි දුවයි අයිස්ක්‍රීම් කනවා.
හසාරාට හරියට දුක හිතුණා.පහුගිය දවසක “අයිස්ක්‍රීම් අරන් එන්න හොඳේ..”කිව්ව දවසක “කෙල්ල ඉල්ලුවෙ දෙළුම්නෙ.මං ඔන්නොහෙ ෆෘට්ස්ම අරන් ආවා හසා” කියලා විදුර කිව්ව හැටි හසාරාට මතකයි.
“තාත්තී, අයිස්ක්‍රීම් ගේන්න..”
විදුර මාකට් යන්න කලින් වෙනුලි එහෙම කෑගැහුවා නම් තමයි.ඒත් හසාරාට අද අයිස් ක්‍රීම් තියා බටු ව්‍යාංජනයක්වත් කන්න බෑ.ඒත් තරමට සෙම අමාරුව.ඉතින් හසාරා හිතුවේ අදනම් විදුර කීයටවත්ම හසාරාට කන්න බැරි අයිස් ක්‍රීම් අරන් එන එකක් නෑ කියලා.හසාරාට විටමින් සී ඕන කියලා දොඩම් ගෙඩිත් පළතුරු පාර්සලයක් නම් ගෙනාවා.එතනින් මොනවා හරි වෙනුලිටත් දෙන්නයි හසාරා හිතුවේ.
“මේ කෙහෙල්කැන ඉදෙව්වෙ අම්මටත් එක්ක.අයියයි නංගියි වඳුරු පැටව් වගේ මේක බරු ගහන්න බෑ හරිද?”
හසාරාට අප්පච්චිගේ ආදරේ මතක් වෙන්න ගත්තා.අප්පච්චි ගොවියෙක්.ඒ වුණාට මේ අලුත් පරම්පරාවේ විදුරට වඩා අප්පච්චි ආදරේ ගැන දන්නවා.හසාරා අතීත දවස් මතක් කරමින් හිතුවා.
“අප්පච්චි,අර පැණි දොඩම කඩමු..”
රහංගල පැණි දොඩම් කියලා අප්පච්චි බොහොම ආසාවෙන් හදපු පැණි දොඩම් පැළේ මල් පිපුණු කාලේ ඉඳන්ම අයියා ඒකට ඇහැ ගහගෙන හිටිය හැටි හසාරාට මතක් වුණා.පළවෙනි ගෙඩිය බුද්ධ පූජාවට දුන්නට පස්සෙ හසාරාගෙයි අයියාගෙයි ඇස් තිබුණේ දෙවැනි ගෙඩියට.
“මේක අම්මට..”
අප්පච්චි ඒක දුන්නෙත් අම්මට.
“අම්මා හින්දා තමයි මට කිරි උතුරන්න හරි ගියේ..”
අප්පච්චි එහෙම කියද්දි තමයි හසාරා ආදරේ ගැන ඉගෙන ගත්තේ.ඒ ආදරේ කැම්පස් එකේදී මුණ ගැහුණු විදුර පාට කරානම් තමයි.ඒත් මේ ගාන්නේ හරි පාටද කියලා දැන් දැන් හසාරාට සැකයි.
“පුංචි පුතේ නුඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා..” කියලා සින්දුවක් අහල තිබ්බට මෙහෙ වුණේ ඒකෙ අනිත් පැත්ත කියලා හසාරා හිතුවා.විදුරගේ ලෝකය දැන් කැරකෙන්නේ දූ වටේ.තමන්ව අමතක වෙන තැන් ඕනෑතරම්.
“ආදරේ වුණත් පරණ වෙනව.”
හසාරා ඇඳේ ඇල වුණේ එහෙම හිතන ගමන්.අප්පච්චි තරම් ආදරේ කරන්න කෙනෙක් ඉන්නවයැ.එක අතකට ඉතින් වෙනුලිටත් විදුර ඔච්චර ආදරේ කරාට ලැබෙන කොල්ලා කොහොම වෙයිද කියන්න පුලුවන් යැ.අප්පච්චිගෙ ආදරෙයි විදුරගෙ ආදරෙයි සසඳන ගමන් හසාරාට නින්ද යාගෙන ආව.
“ඔයාට උණ ගතියක් නෑනෙ හසා..”
විදුර කාමරේට ආවේ ඒ වෙලාවේ.හසාරා ඇස් පියාගෙනම නිදි වගේ හිටියා.
“බෙහෙත් බිව්වද? යන්තමට ඇඟ රස්නෙයි..”
විදුර එහෙම කියලා කණ්නාඩි මේසේ උඩ තිබ්බ බෙහෙත් කවර අතට ගන්නකොට හසාරා නැගිටලා “නෑ” කියාගෙන ඇඳෙන් ඉඳ ගත්තා.වෙනුලි ලැබෙන්න ඉන්නකොට නම් විදුරට පැයෙන් පැයට ලෙඩ අහන්න මතකයි.එක අතකට ඒ එයාගේ බබාව පරිස්සම් කරන්න වෙන්න ඇති.බෙහෙත් ටික තෝරලා දීපු විදුර එළියට යනකොට හසාරා කල්පනා කරේ පොඩ්ඩක් ඔළුව අතගාන්නවත් විදුර අමතක කරපු හැටි.දූත් එක්ක සෙල්ලම් කරන්න ඔය යන්න ඇත්තේ.
“කටත් තිත්ත ඇතිනෙ ආ..”
විදුර ආපහු ඇවිත් කතා කරනකොට හසාරා නැගිට්ටේ මූණ දෙක කරගෙන.සීනි හැන්දක් වෙන්න ඇති.එයාට හිතුණා.
නෑ! විදුර අතේ තිබ්බෙ හසාරා කැමතිම චොකලට් ජාතිය.
“දුවට අහුවෙනවට මං ඕක කාර් එකේම තිබ්බ.ෆ්‍රිජ් එකට දැම්මෙ නෑ.ඔයා ඕක කන්න.උණ ගතිය හින්දා හරියට කෑවෙත් නෑනෙ.අද ඔයාට අයිස්ක්‍රීම් කන්න බෑනෙ.”
හසාරා විදුර දිහා බලන් ඉද්දී ඇස් බොර පාට වෙනවා විදුර දැක්කා.
“ඕක කාලා ටිකක් නිදා ගන්න.මං වෙනූට චිත්‍ර අඳින්න කිව්ව.සද්ද වහලා ඉන්න අතරේ ඔයා හොඳට නිදා ගන්න..”
විදුර එහෙම කියද්දී හසාරා චොකලට් එක කඩලා විදුරගේ කටෙත් කෑල්ලක් තිබ්බා.
“නින්ද යනකං ඔලුව අතගානවද?” හසාරා ඔලුව පැත්තකට ඇල කරලා එහෙම අහනකොට විදුර හයියෙන් හිනා වෙලා හසාරාව තුරුළු කරගත්තා
ආදරේ කියන්නේ ලෝබ හිතෙන දේකට.හසාරා හිතුවෙ සැනසිල්ලෙන්.