මතක දිගහැරුම 79 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ නවවන දිගහැරුම ,

ටයරය පුපුරා ගිය මොහොතේ සිට විනාඩි කිහිපයක් ගත වන තුරු සියලු දෙනාම වාහනය තුළ රැඳී සිටියහ.ඉන්පසු වාහනයෙන් බහින ලෙස තාත්තාට පවසා මමද වාහනයෙන් බැස්සෙමි.වාහනයෙන් බැස ගත් මා හට දක්නට ලැබුණේ විවිධ ආකාරයේ මිනිසුන් වාහනය වටා එක්‍ රොක් වී සිටින ආකාරයයි.යම්කිසි මත් ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් හෝ මත්පැන් පානය කිරීමෙන් දෑස් රතු වූ මිනිසුන් පවා ඒ අතර විය.හිතවතුන් පැවසූ පරිදි කළු ජාතිකයන් ජීවත්වන ප්‍රදේශ වල දී සිදුවන හොරකම් සහ මංකොල්ලකෑම් පිළිබඳව දැන සිටි නිසා මා සිටියේ ඉතාම බියට පත් වීය.ඔවුන් සමග සන්නිවේදනය කිරීමට ඔවුන් ඉංග්‍රීසි භාෂාව දැන සිටියේ නැත.මා බියට පත්වී ඇති බව ඔවුන්ට නොපෙන්වා ඔවුන් සමග සිනා වූයෙමි.නමුත් තාත්තා ඇතුලු අනෙක් අය බියපත්ව සිටියහ.

අප පිට රටක සිට පැමිණි බවත් , මේ මොහොතේ මුහුණ පාන්නට සිදුවී ඇති දේ නිසා වාහනයට අලුතෙන් ටයරයක් දමා ගත යුතු බවත් මා ඔවුන් හට සංඥා භාශාවෙන් කීවෙමි.ඉන්පසුව මගේ සැමියා ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කරන බව මා අතින් පෙන්වමින් ඔවුන් හට පහදා දීමට උත්සහ කලෙමි.කෙසේ හෝ මද වේලාවක් මා එසේ ඔවුන් සමග සන්නිවේදනය කළ විට පිරිස අතර සිටි එක් තරුණ පිරිමි ළමයකු ඉදිරියට පැමිණ ,අනෙක් අයට පසුපසට යන ලෙස දැන්වූයේය.අප වෙතට ලං වෙමින් සිටි පිරිස අපෙන් මදක් ඈත් වීමට පටන් ගත්තේ ඉන්පසුවය.පිරිස ඈත් වූ පසු අප අසලට පැමිණි ඒ තරුණයා අප හට උපකාර කරන බව සංඥා කලේය.

වාහනයේ ඇති අමතර ටයරය පිටතට ගැනීමට පෙර අපගේ සියලු බඩුබාහිරාදිය පිටතට ගත යුතු විය.අදාළ තරුණයා ඉදිරිපත්වී අපගේ සියලු බඩු බාහිරාදිය සහ බෑග් වාහනයෙන් පිටතට ගත්තේය.ඔහු ටයරය පිටතට ගත්තේ ඉන්පසුවය.තවත් තරුණයකුට කතා කළ ඔහු එම තරුණයා ගේ ද සහාය ඇතිව පුපුරා ගිය ටයරය ඉවත්කර අමතර ටයරය වාහනයට සවි කළේය.ටයරය පුපුරන අවස්ථාවේදී එහි ආවරණය ගැලවී ඈතට විසි වී ගොස් තිබුණි.පිරිස අතර සිටි තවත් තරුණයෙක් එම ටයරයේ ආවරණය සොයාගෙන අප සිටි ස්ථානයට පැමිණියේ ඒ අතරතුරදීය.ඒ අවස්ථාවේදී මම ඔහුට ස්තූති කලෙමි.ටයරය වාහනයට සවි කර අපට උපකාර කළ තරුණයා අපගේ බඩුබාහිරාදිය සහ බෑග් සියල්ල නැවත වාහනයට පටවා වාහනයට නගින්නැයි අතින් සංඥා කරමින් අපට කීවේය.එවිට මා දෑත් එකතු කරමින් අපට කළ උපකාරය වෙනුවෙන් ඔහුට ස්තූති කළෙමි.තවද මා , මා සතුව තිබූ යම් මුදල් ප්‍රමාණයක් අතර ගෙන අපට කල උපකාරය වෙනුවෙන් ඔහුට දීමට සූදානම් වූයෙමි.නමුත් මා පුදුමයෙන් පුදුමයට පත් කරමින් එම තරුණයා මා දුන් මුදල් ප්‍රතික්ෂේප කළේය.අප වාහනයට නගින තුරු ඔහු අවට සිටි පිරිසට අපට ළං වීමට නොදී පාලනය කරමින් සිටියේය.අපි වාහනයට නැගුනු පසු ඔහු අත දිගු කරමින් Sun city වෙත යාමට නියමිත මාවත අපට පෙන්වීය.අප පැමිණ තිබුනේ දුර පාරකින් වන අතර ඉන්පසුව අප හෙමින් හෙමින් Sun city වෙත ළඟා වූයෙමු.

Sun city යනු වෙනස්ම අත්දැකීම් ලැබිය හැකි වෙනස්ම ලෝකයක් බඳු තැනකි.විදේශිකයන් බොහෝ දෙනා පැමිණෙන එහි කෘතිම මුහුදක් පවා දක්නට ඇති අතර ස්වාභාවික මුහුදක මෙන් රැළි ගැසීමද එහි විශේශත්වයකි.සංචාරයකයින් එහි ස්නානය කරමින් බොහෝ වේලා ගත කරමින් විනෝද වෙති.ඊට අමතරව සුපිරි හෝටල්, අවන්හල් සහ විවිධ ක්‍රීඩා වල නිතර විය හැකි ස්ථාන වලින් සමන්විත Sun city යනු සංචාරකයන්ගේ සිත් ඇද බැඳ තබා ගන්න ස්ථානයක් ලෙස කිව හැකිය.

අප්‍රිකානු වනාන්තරබද සමහර තැන් වල සතුන්ට වෙඩි තැබීම සඳහා බලපත්‍රයක් ලබා දී ඇති අතර සංචාරකයන් හට ඔවුන් කැමති සතෙකුට වෙඩි තැබීමට හැකියාව ඇත.ඉන්පසුව එම සතාගේ මුහුණ, සම වැනි කොටස් රාමු කර ඔවුන් විසින් අදාල සංචාරකයාටම ලබා දෙන අතර එය ලඟ තබා ගැනීම වෙනුවෙන් බලපත්‍රයක් ද ලබා දෙනවා. තවද ඇත් දළ වලින් සහ රයිනෝ සත්වයාගේ අඟෙන් කල විවිධාකාරයේ නිර්මාණද එහි මිලදි ගැනීමට ඇත.Sun city හි බොහෝ ස්ථාන නැරඹීමට අප ගිය අතර අප සමඟ ගිය අපගේ දරුවන් දෙදෙනාද බොහෝ සේ විනෝද විය.

පසුදින හවස නැවතත් අප අපේ ගමන ආරම්භ කලේ තරඟ පැවැත්වෙන ස්ථානයට මදක් නුදුරින් අප නවාතැන් ගෙන සිටි නිසාය.අපේ ගමනාන්තය වූයේ ජොහැන්නස්බර්ග් ය.එහි සිටි අපගේ මිතුරෙකු වූ ” නිශාන් අයියා ” ගේ ගෙදර අප නවාතැන් ගත්තෙමු.නිශාන් අයියා එම රටේ රැකියාවක නිරත වෙමින් තනිවම ජීවත් වූ නිසා ඔහුගේ නිවස අප වෙනුවෙන් සූදානම් කර තිබුනි.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles