හසරැලි වැස්සේ -07

සමහර හැඟීම් ජීවිතය සහමුලින්ම කනපිට හරවන්නට සමත් ය.ප්‍රේමය කියන්නේ එවැනි හැඟීමකි.මා ආදරය නිසා දැවෙන්නටත් ඉරිසියා කරන්නටත් හඬන්නටත් පටන් ගත්තේ ආදරවන්තියක බවට පත් වී නොවේ.

ඒකපාර්ශ්වික ප්‍රේමයක් නිසා ය.

එය කවදා ඇති වූ ප්‍රේමයක්දැයි නිශ්චිත නොවූ නමුත් මා මගේ ප්‍රේමයට මහත් සේ කැප වී සිටි බව මම දනිමි.ඔහුගේ යහපතත් සුබ සිද්ධියත් පතමින් මා හැසිරෙන්නට වූයේ දෙනෙත් ගැන කිසිම අයිතියක් නොලබා ය.

අප විභාග සඳහා මුහුණ දෙන්නට පෙර අපව බෙල්ලන්විල පන්සලට රැගෙන යාම මම්මාගේ සාමාන්‍ය සිරිත වූවා ය.අපේ නිවසේ සිට පන්සලට වැඩි දුරක් නොවූ හන්දාම ඇය ඒ ගමනට එතැන තෝරා ගත්ත ද නැතිනම් රටේ මිනිසුන් විශ්වාස කරන පරිද්දෙන් එතැන අනුහස් බහුල ස්ථානයක් වීම එයට හේතුවදැයි මට පැහැදිලි නැත.නමුත් ඇය අප වෙනුවෙන් බෝධි පූජා තැබුවා ය.

අයියාගේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූ කාලයේ නම් මට ඕනෑ වූයේ අයියාත් ඔහුගේ මිතුරන් දෙදෙනාත් ඉහළින් විභාගය සමත් වනු දකින්නට ය.නමුත් ඔහු උසස් පෙළ පන්තියට එද්දී අයියා කෙසේ වෙතත් දෙනෙත්ට වෛද්‍ය විද්‍යාලයට යන මාවත පළමු වතාවේම විවෘත වේවායි පතමින් මම බෝධිය නෑවූයෙමි.ඒ ප්‍රාර්ථනාවට යට රහස් ප්‍රාර්ථනාවක් ද තිබිණ.

බුදු රජාණන් වහන්සේ බැඳීම් සියල්ල අතැර දැමූ බෝ රුක පාමුලට වී මම ඔහුව ඉල්ලා සිටියෙමි.

හිත සනසන ගුණය සහ ජීවිත යථාර්ථය අවබෝධ කර දී වඩා යහපත්ව ජීවත් වන මාර්ගය පෙන්වා දෙනු මිස මැජික් පෙන්වීමේ හැකියාවක් බුදු දහමට නොවේ.එනිසාම මගේ වතුර කළ ගණනාවක එක් බලාපොරොත්තුවක් අපතේ ගොස් තිබිණ.

දෙනෙත් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් නොලැබී ය!

ඔහුට අණුක ජීව විද්‍යාව හදාරන්නට අවශ්‍ය වූයේ පසුකාලීනව විදෙස්ගතව ඉහළට ඉගෙන ගන්නා ආශාවකින් බව පැවසූයේ අයියා ය.කෙසේ හෝ දෙනෙත් වෛද්‍ය විද්‍යාලය තෝරා නොගත් අතර ඔහුට ඒ වෙනුවෙන් තවත් වතාවක් උත්සාහ කරන්නැයි සචිර අයියාගේ නිවසේ උදවිය ඉල්ලූ ඉල්ලීම් පවා ඉවතට දැමී ය.

“තවපාරක් ට්‍රයි කරන්නකො අයියෙ..”

මම ද ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.දෙනෙත් අමුතු සිනාවක් නඟා ගත්තේ ය.

“මං ආසයි මේක කරන්න.අනික සචිරයි හසරැලුයි ආයේ එක්සෑම් කරන්නෙ නෑනෙ.මටත් බෑ..”

ඔහු තම මිතුරන්ගෙන් අඩියක් පසුපසට නොගන්නා ආඩම්බරකාරයෙකු බවට යෙත්මිත් උවනිත් පරසක්වල ගැසූ හ.නමුත් මට සිතුණේ ඔහු තමන්ගේ සිහින ඉටු කරගන්නට අනුන්ගේ උදව් නොගන්නා අහිංසකයෙකු බව ය.

මා මගේ අයියාගේ දියුණුවටත් වඩා ඔහු වෙනුවෙන් සිහින මැවූ වග ඔහු නොදැන සිටියාට කම් නැත.මා සෑම මොහොතකම ඔහුගේ හදවතට සැනසීම ම උදා වෙන්නට පැතූ බව ඔහු දන්නේ ද නැත.

ඒ කිසිවක්ම දැන සිටීම අවශ්‍ය නොවේ.එහෙත් ඔහු මගේ ප්‍රේමය පිළි ගන්නේනම් මට ප්‍රමාණවත් ය. වචනයකින්වත් මා එවගක් නොහඟවා සිටිය ද ඔහු මගේ දෑසේ කතාව නොකියවා ගන්නා හේතුව මට ඇති කළේ පුදුමයකි.

“මම්මේ..ඔයා කවදාවත් ආදරේ කරලා නැද්ද?”

ඉතා හදිසි සිතුවිල්ලකින් මා එසේ අසද්දී මම්මා තම ඇණවුම් සැකසීම නවතා හිනැහී මදෙස බැලුවා ය.

“මං මනුස්සයෙක් නෙවේයැ..”

මට මගේ මෝඩ ප්‍රශ්නය ගැන ලැජ්ජාවක් හට ගති.සැබෑවටම මනුෂ්‍යයෙකු හට ආදරයක් නොදැනී තිබෙන්නට ඉඩ තිබේ ද?

“ආදරේ කරන හැමෝම බඳින්නෙත් නෑ..ආදරේ කරන්න හිතන් සමහරු බඳින්නෙත් නෑ.දැන් ඔයාලගෙ අම්මා කියලා..”

මම්මා ඒ වාක්‍යය සම්පූර්ණ නොකළා ය.නමුත් මා එහි අරුත වටහා ගතිමි.අම්මා තාත්තාට ආදරය කරනවාදැයි මා කියන්නට දන්නේ නැත.ඇය තම විසි පස් අවුරුදු විවාහ ජීවිතය පුරා ඔහු සමඟ ගෙවූ දවස් අල්ප ය.

“මං කෙනෙක්ට ආදරේ කරා..එයාට දැන් හසරැල්ලගෙ වයසෙ දුවෙකුත් ඉන්නවා..”

මම්මාගේ සිනාව උපේක්ෂා සහගත ය.මා ඇය දෙස බැලුවේ තමන්ට විරහවක් අත් කළ මිනිසා ගැන සිහි කර ප්‍රේමණීය සිනා පෑම ගැන පුදුමයෙනි.

“එයා ඇයි මම්මා දාලා ගියේ?”

මම්මා එයට ද හිනැහුණා ය.

“දාලා ගියේ නෑ සූකිරි…”

“එහෙනං..සීයා විරුද්ධ වුණාද ඒකට?”

මම්මා කිසිත් නොකියා කුරියර් කූපන වල ලිපිනයන් ලියූවා ය.ඇය ඒ ගැන කතා කරන්නට අකමැති බව සිතූ මම එතැනින් නැගී සිටියෙමි.

“චන්දන අදටත් දන් නෑ.සරෝජනී එයාට ආදරේ කරා කියලා.චන්දන මාව මුණ ගැහෙන ගාණට කසාද නොබැන්ද එක ගැන පුදුම වෙනවා.ඇත්තටම ඉතින් එයා මං හිතන් හිටපුවා දන්නෙත් නෑනෙ..”

මට මහත් අපහසුවක් දැනිණ.ඒ මම්මා නිසාම නොවේ.මට ඈ තුළින් මා පෙනෙන්නට විය.ඈ ද මා මෙන් හැඟීම් වලින් පීඩිත යෞවනයක් ගෙවා දමන්නට ඇත.ඈ අප බලාකියා ගන්නවාක් මෙන් අයියාගේ දරුවන් සමඟ වියපත් වන හසරැලි කෙනෙකු මට මැවී පෙනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles