“ඔයා මොකක්ද අර කරලා තියෙන්නේ?”
අයියා නිවසේ නොවූ දිනක දෙනෙත් සුළි කුණාටුවක් වී අපේ නිවසට කඩා වැදුණේ ය.කිසිවක් සිතා ගත නොහැකිව මම ඔහු දෙස විස්මයෙන් බලා සිටියෙමි.ඔහුගේ දෑසේ කෝපයක් වූ අතර එය පිළිකුලකට සමීප බව මට සිතිණ.නමුත් මා කිසිවක් නොදන්නා බැවින් මම බියට පත් වූයෙමි.
“ඔයාගේ ලැජ්ජා භය නැති වුණේ කවදා ඉඳන්ද”
ඔහු අසද්දී මේ මගේ ප්‍රේමය ගැන බව මට වැටහිණි.මම දෑස් සඟවා ගන්නට තැත් කළෙමි.නමුත් මේ එළඹ තිබුණේ ඔහුගෙන් නොසැඟවිය හැකි මොහොතකි.ඔහුගේ දෙනෙත් තවදුරටත් විදුලි කොටන ඇස් දෙකක් නොවී ය.එය කුණාටුවක සළකුණු සටහන් වුණු දෑසකි.
“කොල්ලෙක්ගෙන් කැමතිද කියල අහන්න තරම් ඔයාට ලැජ්ජාවක් නැති උනේ කවදා ඉඳලද?”
ඔහු අසද්දී මගේ දෑසින් ගලාගිය කඳුළක් ඔහුට නොපෙනීම පොළොවට වැටිණ.
“මේ ඔයාගේ යාළුව මට එවපු මැසේජ් එකක්.මම කැමතියි මේක එයාලගේ ජෝක් එකක් කියලා ඔයා කියනවා නම්.”
දෙනෙත් මට පෙන්වන්නේ උවනි විසින් ඔහුට යවන ලද පණිවිඩයකි.එය ඇගේ විහිලුවක් බව පවසා සියල්ලෙන් නිදහස් වන්නට මට හැකියාව තිබේ.නමුත් එය මා පිළිබඳ සිතූ මගේ සතුට පිළිබඳ සිහින මැවූ මිතුරියව පහතට ඇද දමන කාරණයකි.මා ආදරය කරන තරුණයා මා පිළිබඳ මවාගෙන ඇති චිත්‍රය වෙනස් කිරීම වෙනුවෙන් සුරිය පාවා දෙන්නට මට කොහොමටවත් උවමනා නොවී ය. ඔහු නික්ම යන බව දැන් මම හොඳින්ම දනිමි.නමුත් මට උවනි ද අහිමි කරගන්නට නුවුමනා ය.
“මේක කියවනව..”
ඒ කටහඬ කෝපයෙන් පිරී ඇත.මම ඔහු අතින් දුරකථනය ගත්තේ ගැහෙමිනි.
“මේ කතාව කිව යුතුද කියලා මම දන්නේ නෑ.ඒත් මේක නොකියා ඉඳීම නිසා ඔයාලගේ ජීවිත වලට වෙන්නේ වැරැද්දක් කියලා මම හිතනවා.සමහරවිට ඔයාට තේරෙනවා ඇති.සමහරවිට ඔයා නොතේරෙනවා වගේ ඉන්නවත් ඇති.මම මේ කතාව අයියට කියන්නේ ඔයා මේ ගැන කිසිම දෙයක් නොදන්නවා කියලා හිතාගෙන.හසරැලි ඉන්නේ ඔයා ගැන ආදරෙන්.ඒක ක්‍රෂ් එකක් නෙමෙයි ආදරයක් කියලා හොඳටම දන්න නිසා මම මේ ගැන ලියන්න හිතුව.ගෑනු ළමයෙක් ඉස්සෙල්ලා ආදරෙයි කියන එක වරදක් කියලා අපි හිතන්නේ නෑ.ඒ නිසා හසරැලි ඔයාට ආදරෙයි කියලා ඔන්න අපි ඔයාට කිව්ව. ජීවිතේ ඔයාට ලැබෙන්න නියමිත හොඳම ආදරය දෙනෙත් අයියා අහිමි නොකර ගනී කියලා අපි හිතනවා.”
උවනි මගේ දයාබර මිතුරිය එසේ ඔහුට ලියා යවා තිබුණා ය.ඔහු මේ කෝප ගෙන සිටින්නේ ඒ පණිවිඩයට ය.
“මම මේක හසරැල්ට පෙන්නනවා.ආන්ටි ගැන හොඳටම දන්න නිසා තමයි මං පෙන්නන්නේ නැත්තේ.හැබැයි මේ නැට්ටිච්චියො ආයෙත් මට මේ ගැන කියන්න ආවොත් මම මේ ගැන කෙලින්ම කතා කරන්නේ ආන්ටි එක්ක..”
දරාගත නොහැකි විශාල ලැජ්ජාවත් ඊට ඉහළින් ඇති වේදනාවත් මට කලාන්ත ගතියක් ඇති කරමින් තිබිණ.ප්‍රේමයක් ගැන පැවසීම මෙතරම් නින්දා විඳීමට සිදු වෙන කාරණයක් බව මම කිසිසේත්ම සිතා නොතිබිණි.නමුත් ඒ එසේ සිදුවෙමින් පැවතිණි.
“අයියා මට බනියි..”
මගේ කටහඬ කෙඳිරුමක් වන්නට ඇත.එය ඔහුගේ උස් සිනා හඬින් යටපත් විණි.
“ඒව හිතන්න තිබුණෙ මේ වගේ දේවල් කරන්න කලින්..”
ආත්ම ගෞරවය බිංදුවටම විනාශ වෙමින් තිබියදී පවා ඔහු ගැන තරහක් ඇති කරගන්නට මගේ හිත මට ඉඩ දුන්නේ නැත.නමුත් මරණීය වේදනාවක් අත් වූයේ ඔහුගේ ඊළඟ වචන වලට ය.
“තමුන් දන්නවද මන් තමුන්ට කැමැත්තෙන් හිටියා කියලා.මං ඒක තමුන්ට කියන්න බලාගෙනයි හිටියෙ.ඒ අදහස වෙනස් වෙලා විනාශ වෙලා ගියේ මේ මැසේජ් එක නිසා..”
අහස කඩා වැටීම මෙතැනම මියදී යන්නට තරම් වේදනාවක් මට ඇති විණි.ඔහු දබරැඟිල්ල ඔසවා මා දෙස බැලුවේ කෝපයෙනි.
“මට තමුන් ගැන තිබුණෙ හොඳ චිත්‍රයක්.කොල්ලෙක්ට කැමති කියන්න තරම් ලැජ්ජාවක් නැති කෙල්ලෙක් කියලා මම හිතුවේ නෑ.ආදරය ගැන කෙල්ලෙක් ගෙන් අහන්න පුළුවන් කොල්ලෙකුට.ඒක නොදන්න තමුන්ට කියන්න ඉක්මන් නොවෙච්ච එක ගැන මට තියෙන්නේ සතුටක්..”
දෙනෙත් එසේ කියා යන්නට ගියේ ය.ඔහු මගේ ආදරය ප්‍රතික්ෂේප කිරීම මට මෙතැන ඇති සුළු වේදනාව ය.ඔහු මගේ අතින් ගිලිහී ගිය බව හදවතට වටහා දී කාලය සමඟ සුවපත් වන්නට මට තිබිණ.ඔහු අයියට පැමිණිලි කිරීම ද මට ගැටළුවක් නොවේ.
“මේ පේපර් එක හංගනවා මේකට ලකුණු අඩුයි කියන්නෙ තමුසෙට අම්මා ගහනවා.”
අයියා මා වෙනුවෙන් එවැනි දේ කළේ ය.මා අතින් බිඳෙන මල් බඳුන් ද වීදුරු පිඟන් ද ඔහුගේ ගිණුමට බැර කර ගත්තේ ය.ඔහු මට ආදරය කරන්නේ අයියා කෙනෙකුට වඩා වැඩියෙන් බව නිර්මාණි අක්කා නිරන්තරයෙන් පවසන්නී ය.එනිසාම ඔහු මේ ප්රශ්නයේදී පිළිබඳ අහිතකින් නො බලන බව මම දනිමි.
ඒ සියල්ලම එසේ ය.නමුත් උසුලාගත නොහැකි කාරණය ඔහු මට ආදරය කළ බව ය.ඔහු ඒ ගැන කියන්නට කලින් මා ඒ ගැන පැවසීම ම මට ඔහු අහිමි වූ හේතුව වීම ය.ජීවිතය පුරා මා මටම සමාව නොදෙන්නට ඔහුගේ ඒ වචන ප්‍රමාණවත් ය.ඔහු අහිමි කරගත්තේ මා ය.මගේ ඉක්මන්කම සහ ඔහු පවසන අන්දමට ලැජ්ජාවක් නොමැති කම ය.ජීවිතය හැර යන්නට හිතෙන තරමේ ශෝකයකින් පෙළෙන්නට ගත් මම උස් හඬින් වැළපෙන්නට පටන් ගතිමි.