සඳ කත් මිණි ඇස් 8

වසර බොහෝ ගණනකට පසු ආලෝක තෘප්තිමත් මිනිසෙකු බවට පත් ව සිටියේ ය. ඒ හැඟීම් ප්‍රවාහය මුළු මහත් ඔහු තුළින් ඉතා සියුම් ලෙස බැහැර වෙමින් ද තිබිණි. තරුණයා ගේ ඇස් සිනහ වූයේ ය. ඔහු රිය පැදවූයේ කුඩා දරුවෙකු අතට කරකවන්නට රෝදයක් ලැබුණා වන් සතුටකිනි. ඔහු ගේ රියෙහි ඉදිරි අසුනේ යන්තම් පැත්තට හැරී අසුන් ගෙන උන් සූර්යා   ආලෝක වෙතින් විද්‍යමාන වූ සියල්ල දෑස් පුරා විඳ ගනිමින් සිටියා ය. ඔහු විටෙක ගීයක් උරුහම් බෑවේ ය. ඔහු ටත් හොරෙන් ඒ ලවන් සිනහවකට නලියනා හැටි ද ඇය ට දැක ගත හැකි විය.

පමා වී හෝ එහෙව් නිමේශයක් සිය ජීවිතය වෙත ළඟා කිරීම ගැන සූර්යා විශ්වයට ස්තූතිවන්ත වූවා ය.

නුගේගොඩ ඇගේ අපාට්මන්ට් එක වෙත ආලෝක සූර්යාව ඇරලවූයේ ය. ඒ තුළට ගොඩ වූ ගමන් එය ඔහු ගේ සිත් බැඳ ගත්තේ ය. සූර්යා තෝරා ගෙන තිබුණේ අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ අතලොස්සක් පමණකි. බඩු වෙනුවට ඉඩ එහි බලන බලන අත විය. ඒ හිස් අවකාශය හිත ද හිස් ව තබා ගත හැකි සැනසිල්ලක් දනවනා එකකි.

“ෆර්නිචර් නැති එකට මං හරි කැමතියි”

සූර්යා ආලෝක වෙත අයිස් තේ වීදුරුවක් පිළිගන්වමින් ඔහු ගේ පපුවත් උරහිසත් අතරේ හිස රඳවා ගත්තා ය.

“ෆර්නිචර් වලින් හිස් වුණහම මතකයට පිරෙන්න හොඳට ඉඩ තියෙනව”

ඇය හැඟුම්බර ස්ත්‍රීත්වයක් පෙරදැරිව මිමිණුවා ය. ආලෝක සුසුමකින් පෙනහලු පිරෙන්නට හරිනා ගමන් සූර්යා ගේ හිසත් නළලත් සිප ගත්තේ ය. ඇගේ හිස කේ වලින් සිනිඳු මල් සුවඳක් හමයි. ඒ සුවඳ ඔබ්බවා තිබෙන්නේ ශැම්පූ වර්ගයකට බව ඔහු අනුමාන කළේ ය.

“ඔයාට මේ වරද කළේ මං”

ඔහු පසුතැවිලි හඬකින් මිමිණී ය.

“මං ඒ වරද හරිගස්සනව”

කියා ඔහු කියනු ඇත්දැයි සූර්යා බලා සිටියා ය. නමුත් එවැන්නක් කියවුණේ නැත. ඇය බලයෙන් එවන් පොරොන්දුවක් ගන්නට තරම් කලබල ද නොවුණා ය. මින් මතු කිසි දා ඈ එසේ නො කරනු ද ඇත. සූර්යා ඒ වයස පසු කොට විත් සෑහෙන කාලයකි.

ආලෝක ගෙදර ගොස් දිය නා ඇඳුම් මාරු කොට ගත්තේ ය. ඔහු ගේ අරමුණ වූයේ කාර්යාලයට දිවීම වුණත්, චාන්දනී ඔහු කොටු කර ගැනීමේ තැතක් දැරුවා ය.

“මොකද්ද ළමයො මේ වැඩ වල තේරුම…හිටපු ගමන් ඔයා ගෙදර එන්නෙ නැතුව එක එක තැන් වල නතර වෙනව. මොකද්ද ඔය අපිළිවෙල කම…”

අම්මා ඔහු දෙස බලා ඉන්නේ බලයත් අපරාධකාරයෙකු දෙස බලනා නෙතකිනැයි ආලෝක ට සිතිණ.

“රෑ තිස්සෙ බීල බීල දවල්ට මොන බිස්නස් කළත් මොකටද…ජීවිතේ එත පැත්තක් ලෝකෙ ඉස්සරහට ගියාට අනිත් පැත්ත නරා වළක ගිලෙන්න හදනවනං…ඔයා දිනා ගත්තු කිසි දේකින් ඇති වැඩක් නෑනෙ”

අම්මා සිටින්නේ කේන්තියෙන් බව දත් නිසා ආලෝක කිසිත් නො කියන්නට පරිස්සම් වූයේ ය. ඈ සිනහ ගන්වන්නට කියනා විහිළු කතාවක් වුව ඇහැට ඇඟිල්ලෙන් ඇන කඳුළක් දොවා ලන එකක් වන්නට බැරි නැත.

“රට හදන්නය කියල ගිහිං මහ මනුස්සය ටයර් එකක පිච්චිලා ගියා. මාත් ගෑනියෙක් නේද දෙයියනේ…ඒ මනුස්සය එක්ක ගිය දා ඉඳලම මං කෑවෙ ගින්දර. සැනසිල්ලෙ එක දවසක් නිදා ගත්තද…ලුණු ටිකක් ඉහගෙන බත් ටිකක් කාල ඉන්න හරි හිතට නිවනක් තිබුණද…කෝ දැං හදපු රටක්…ඒ මිනිස්සු නිකං මෝඩ වෙලා අකාලෙ මැරිල ගියා විතරයි. රටක් කොහොම වුණත් උන්දැලගෙ අඹුවන්ටයි දරුවන්ටයි කාත් කවුරුත් නැති වුණ එකයි වුණේ”

චාන්දනී නහය උඩට අදිමින් ගවුම් කරෙන් ඇස් කෙවෙනි තෙත මාත්තු කළා ය. ආලෝක කලිසම් සාක්කු දෙකෙහි දෑත් ඔබා ගෙන ආලින්දව මැද සක්මනෙහි යෙදුණේ ය. ඔහු දුටුවේ සිය උල් සපත්තු වල දීප්තිමත් කළු පැහැය පමණකි. ඒ සපත්තු අඩි ටයිල් බිම මත ගැටෙනා ඩොක් ඩොක් හඬ චාන්දනී ගේ ළය පසාරු කරමින් තිබිණි.

“මිනිහ නැති වුණා කියල මං නිකං උඩ බලං හිටියද…නෑ. කොහොම හරි ඉහළටම ඉගැන්නුව. ගාමන්ට් එකක ජීවිතේ දිය කරල ඇරිය. ඒත් මට අද මොකද්ද පුතේ තියෙන සැනසිල්ල..තනිකම විතරයි. උඹගෙ ජීවිතේ එක තැනක නතර වෙලා. උඹට ඔහොම වෙන්නනං මං කරපු කිසි දේකිං වැඩක් නෑනෙ. මං විතරක් නෙවෙයි අර මැරිල ගිය මිනිහ බලාපොරොත්තු වෙච්ච දෙයක්වත් ඉෂ්ට සිද්ද වෙලා නෑනෙ. කොහේ හරි ගුබ්බෑයමක බිබී ඉන්නනං මොකටද බං මං උඹට ඉගැන්නුවෙ…පුතා. මෙහෙම ජීවත් වෙන්න මට මේ මාළිගාවක් වගේ ගෙයක් ඕන නෑ. කරුණාකරල මාව වැඩිහිටි නිවාසෙකට ගිහින් දාන්න..අඩු ගානෙ එතකොට මට මේව පේන්නෙ නෑ”

ආලෝක සුසුමක් හෙළුවේ ය. චාන්දනී සිතන්නේ ඔහු තවත් සගයන් කිහිප දෙනෙකු සමග මී විතක් පුරමින් රෑ පහන් කළ බවයි. ඔහු හිටියේ මෙලොව ඔහු මත් කරන්නට සමත් වූ එක ම මදිරා ව තුරුලේ බව ඈ දන්නවා නම්!

“අම්ම මට ලේට් වෙනව. අපි හවසට කතා කරමුද…”

ආලෝක ඉක්මනින් පෝටිකෝව වෙත පිය මැන්නේ ය. ඔහු රිය දොර හරිනකොට ම චාන්දනී කතා කළා ය.

“තාත්තා ඉස්සර හැම තිස්සෙම කිව්වෙ එයා ජීවිතේ පරදුවට තිබ්බෙ උඹගෙ අනාගතේ ලස්සන කරන්න කියලයි පුතේ. අන්න ඒක මතක තියා ගත්තොත් හොඳයි”

ආලෝක රිමෝට් එකෙන් ගේට්ටුව අරිනා ගමන් ම මෝටර් රථය පණ ගන්වා ගත්තේ ය. බරැති වූ යමක් ඔහු ගේ හදවත මත විය.

ඒ කාලේ තහනම් දේශපාලනය කිරීම රාජ්‍ය උදහසට ලක් වන කාරණයක් වූ අතර, රජයට ලාක්ෂික වීම දේශප්‍රේමීන් ගේ උදහසට ලක් වෙන කාරණයක් විය. ඒ නිසා ඇඳිරි වැටෙන විට හැම ගෙදරක ම දොරවල් වැසුණේ එළි වෙන විට මොනවා සිදු වී තිබෙනු ඇත්දැයි නො දැන ය. ගේ ඉදිරියේ රියක් නැවතෙන බවට හෝ කටහඬක් ඇසෙනා බවට සලකුණක් දැනුණොත්, සීයා ආලෝකවත් චාන්දනීවත් සිය බාල පුතුවත් ගෙදර පසුපස දොරෙන් දොට්ට දැම්මේ ය.

“වත්ත පහළ පඳුරක් අස්සෙවත් හැංගියල්ල. ආපු එකෙක් ගියාට පස්සෙ මං සංඥාවක් කරන්නං ගෙට එන්න”

“ඒත් තාත්ත…”

බාප්පා හෝ අම්මා හෝ එවන් විටෙක සීයා ගෙන් විමසූ බව ආලෝක ට යන්තමින් මතක ය.

“මං දැං කොහොමත් ජීවත් වෙච්ච මිනිහනෙ. තව හිටියත් එකයි මළත් එකයි. ඒත් උඹල තව ඉන්න ඕන එවුං. ඕනනං ඔය කට පුංචාව මගෙ ඔළුවට තියල කොකා ගස්සල ගියාවෙ..උඹල හැංගියල්ල”

එදා හදවත අත්වින්දා වූ ගැස්ම අද අදටත් එලෙස ම සිහිපත් කර ගත හැක. ඒ වගේ අන්ධකාර රාත්‍රීන් කීයක් නම් ඔහු ගේ ජීවිතයට උරුම වූවා ද? විදුලි පහන් හෝ භූමි තෙල් ලාම්පු හෝ දැල්වීම තහනම් ය. එක් පැත්තකට කීකරු වුණෝතින් අනිත් පැත්තේ උදහසට ලක් වන්නට සිදු වේ.

කොළඹ ආවාට පස්සේ අන්ධකාරය තරමක් තුනී වූවා ට මුළුමනින් පහ වූයේ නැත. දකුණේ යුද්ධයේ ටයර් සෑ වල පුළුටු ගඳ හදවතින් මැකී යන්නටත් පෙර උතුරේ යුධ භීතිකාව හදවතින් දරා ගන්නට සිදු වූ අවාසනාවත් දරු පරපුරක කොටසක් වීම ගැන මේ මොහොතේත් ආලෝක සන්තාප සුසුමක් හෙළුවේ ය.

කොළඹ මහ නගර සභා සීමාවේ පාසල් වලට බෝම්බ හෙළන්නට යනවා ය කියන ආරංචියෙන් උමතු වූ දවසක් ආලෝක ට අද ඊයේ මෙන් සිහි කර ගත හැකි ය. එවකට සූර්යා, ඔහු ගේ සිසුවිය ඔහු ගේ පෙම්වතිය ද වී සිටියේ ය. ආරංචිය ලද මොහොතේ ආලෝක එකසිය තිස් අටක එල්ලී විත් පොලිස් ෆ්ලැට්ස් නැවතුමෙන් බැස ගත්තේ බසය නවතන්නටත් පෙර ය. වජිර පාර දිග ඔහු දිව්වා කීවොත් නිවැරදි ය. සූර්යා ශිල්ප උගන්නා බාලිකාවේ විසල් දොරටුව වැසී තිබිණි. දහවල එය විවර වන තුරු ම ආලෝක ද ෆොන්සේකා බෝඩ් එක ළඟ සක්මන් කරමින් හිටියේ ය. එතැන සෙවන කළ විසල් තුරු මුදුනක හිඳ කාකයෙකු ඔහු ගේ හිසට පසුරු ලූ අයුරු ද මේ දැන් මෙන් මෙන් ඔහු ට මතක ය.

“අයි..යෙ…”

බාලිකාවන් රොත්තත් සමග පාසල් සේවා වෑන් රිය වෙත යන්නට ආ සූර්යා, ආලෝක දැක පුදුම වූවා ය.

“ඉස්කෝල වලට බෝම්බ ගහන කතාවක් ගියා. මං බය වෙලා දුවං ආව සූර්යා”

ඔහු කතා කළේ තරමක බයාදු ස්වරූපයකිනි. මේ කුමාරිකාවන් අතරේ ඔහු ව මේ විදිහට දැකීම ගැන සූර්යා ලැජ්ජා වනු ඇතැයි ඒ වෙලාවේ ආලෝක ට සිතිණි.

“ඉන්නකො මං ඔයාගෙ කොණ්ඩෙ හෝදන්න”

කියමින් ඈ සිය වතුර බෝතලයෙන් වතුර ටිකක් ලේන්සුවට දමා ඔහු ගේ හිස කේ මත වූ කාක අසූචි සේදුවේ ඉමහත් ස්නේහ හැඟීමකිනි. ඒ තරම් තදින් ඔහු ඇගේ හද මඬල බදා වැළඳ ගත් වෙනත් දවසක් ඊට පෙර උදා වී තිබුණේ නැත.

“මං පිහිදා ගන්නං”

කියමින් ආලෝක ඇගේ අතින් ලේන්සුව ගත්තේ ය.

“කවුරුවත් දකින එක ඔයාට හොඳ නෑ”

ඇය තනිව ම සිනහ වෙවී ගොස් වෑන් රියට නැග ගත්තා ය. බාලිකාවෝ සූර්යා ට වද දෙන හැටි ආලෝක යන්තමින් දුටුවේ ය.

එදා වැදගත් රාජකාරී කටයුතු කිහිපයක් ම තිබිණි. අපනයන සංවර්ධන මණ්ඩලය මගින් විදේශ රටක පවත්වන්නට නියමිත ප්‍රදර්ශනයක් සඳහා කුරුඳු තේ වලට නව රස ගැන්වීම් කිරීම ගැන සාකච්ඡාවක් ද සිනමන් ආයතනයේ නිලධාරීන් සමග පවත්වන්නට නියමිත වූයේ ය.

“අද සර් සතුටෙන්”

අධික රාජකාරී කටයුතු අතරේ දී ආලෝක ගේ ලේකම්වරිය කීවා ය. ඔහු ඒ පුංචි කෙල්ල දෙස බලා ලස්සන සිනහවක් පෑවේ ය.

“සතුට කියන්නෙ කොච්චර සල්ලි හම්බ කළත් හම්බ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ කියන්නෙ…නේද නදී…”

ආලෝක අදහස් කළේ කුමක් දැයි ඇය ට තේරුණේ නැත. නමුත් ඇය තේරුණා සේ සිනහ වූවා ය.

එදා දවල් යන්තම් කුස ගින්නක් දැනී ගෙන එත්දී සූර්යා ට ආලෝක සිහි විය. පෙර දා රාත්‍රියේ ඔවුන් දෙදෙනාට ම කුසගිනි දැනුණේ එක ම වෙලාවක ය. ඇය ආලෝක ට ඇමතුමක් ගත්තා ය.

“මාත් මේ ඔයාට කතා කරන්න හිතුවා විතරයි”

“මං ඒත් බයේ ගත්තෙ”

“ඇයි..”

“ඔයා බිසී ද දන්නෑ කියල”

“බිසී වුණා. ඒත් මගෙ සෙක්‍රටරි කිව්ව අද මං සතුටෙන් කියල”

තුනී ඊර්ෂ්‍යාවක් සූර්යාගේ සිත් හි මෝදු නො වුණා නොවේ. එසේ නොවිණි නම් ඇය ගැහැනියක නො විය යුතු ය. නමුත් දැන් ඇය අතීත බොළඳ පෙම්වතිය නො වන බව සූර්යා සිය හදවතට ඒත්තු ගැන්වූවා ය. පිරිමියෙකු කියන්නේ ගෙදර ගේට්ටුවෙන් පිටතට ගිය කල තමන් ට අයිති වස්තුවක් නොවේ යයි පැරිසියේ දී මිතුරියක කීවා ඇය ට සිහි විය. එය ස්ත්‍රී වර්ගයාට පොදු උරුමයකි.

“ඇයි කතා කරන්න හිතුවා කිව්වෙ…”

සූර්යා සිය බිඳුණු සිතින් උගුර යටින් අසා ගත්තා ය. ලොව සෑම ගැහැනියක ම සැමියා ගේ හෝ පෙම්වතා ගේ ලේකම් වරියට ඊර්ෂ්‍යා නො කරනු ඇත්දැයි ඒ අව් අස්සේ ම ඇය ට සිතිණි.

“බඩගිනියි කියන්න”

බඩ පපුව දැවී පිච්චී යන්නා සේ ඇය ට දැනිණ. ළඟ පාතක සිටියා නම් ඔහු ගේ හිස සිය ළයෙහි හොවා සිප ගන්නට ඈ දෙවරක් නො සිතනු ඇත.

“මටත්”

ඔවුන් දෙදෙනා ට ම පෙර දා රාත්‍රිය සිහි නොවුණා කීවොත් මුසාවකි.

“ඉව්වද…”

“ම්හු”

“ඇයි..”

“උයන්න කම්මැළියි ආලෝක. කාට කන්නද…තනි ගෑනියෙක්ට උයන්න කුස්සියට යනව කියන්නෙම නිදිමත හැදෙන වැඩක්. දැන් කාලයක් තිස්සෙම මං බඩගිනි හැදෙන වෙලාවකට මොනා හරි කන්න පුරුදු වෙලා. ඒ රයිස් ඇන්ඩ් කරි කියලම නෑ. අහු වෙන දෙයක්. හිතුණොත් විතරක් මොනා හරි ගෙනත් උයනව”

අන්තිම ටික කියා නිම වන විට ඇයත් නො දැනී සුසුමක් ගිලිහිණි. දරු දෙදෙනා හා ජනිත් වෙනුවෙන් පේ වී කෑම පිසු අතීතයක් ද ඇය ට තිබිණි. දරුවන් ඔවුන් ගේ ජීවිත වල අයිතිය සියතට ගනිමින් වෙන් ව ජීවත් වන්නට පටන් ගත්තා ට පස්සේ ඇය ට අරමුණක් කියා දෙයක් තිබුණේ නැත.

“ලන්ච් ගමු එළියෙන්. මං එන්නං ඔයාව පික් කරන්න”

ආලෝක ගේ හඬ සූර්යා ට ඇසුණේ සුරංගනා ලෝකයකින් සේ ය. කෙනෙකු ගේ ජීවිතයේ බලාපොරොත්තු හා ආශා මුළුමනින් ම වෙනත් කෙනෙකු ට දැල්විය හැකි වන්නේ කෙසේ දැයි සූර්යා බලා සිටියේ විශ්මයෙනි.

“හෙට දවල්ට මං ඔයාටත් එක්ක උයන්නද…”

යළි අපාට්මන්ට් එක ළඟින් බහිත්දී ඇය හෙමිහිට ඇසුවා ය. ඒ ඇස් කොයි තරම් අහිංසක ද කියා ආලෝක ට සිතිණ. මහත් වරදකාර හැඟීමකින් පෙළීමෙන් පසු ආලෝක සූර්යා ගේ අතක් ගෙන තදින් සිප ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles