(අ)හිමි සිහින -22

වැලඳිලා තිබුණේ පිළිකාවක් කියලා දැනගත්තු දවසේ ඉඳලා මගේ නැන්දම්මා මාසයක් ගෙදර, මාස තුනක් රෝහලේ.යන්තම් සුවවෙලා ගෙදර ආවාම ආයෙම අමාරු වෙලා සතියකින් විතර රෝහලට එක්ක යනවා.ඒ විදියට තමයි ඇයගේ ජීවිතය ගෙවිලා ගියේ.ඒ හැම මොහොතකම වැඩිපුරම එයත් එක්ක හිටියේ මම.කොකෝවා ගස් හිටවපු හැටි, මී තෙල් මී තෙල් හිඳපු හැටි වගේ පරණ කතා ඇය මාත් එක්ක බෙදා ගත්තා.කකුලේ අමාරුව තිබ්බට ඇය බොහොම හොඳ සිහියෙන් හිටියේ.ඒ නිසා අම්මා මාත් එක්ක නිතරම කථා කළා. හැම තිස්සෙම කතා කතා කරන්න දෙයක් ඇයට තිබුණා.තමන්ගෙ දරුවොත් එක්කත් බෙදා නොගත්ත රහස් මගේ නැන්දම්මා මාත් එක්ක බෙදා ගත්තා.

“දැන් මේ උඩරට මැණිකේ වෙලා හිටියට ඔයා පොඩි කාලේ ගස් එහෙම නැග්ගා නේද?”

ඇගේ මානසික මට්ටම හොඳින් තියන්නත් විහිළු කරන්නත් හිතාගෙන මම ඒ වගේ කතා අහන්න පුරුදු වෙලා හිටියා.අම්මත් හයියෙන් හිනා වෙන ගමන් ඒවාට උත්තර දෙනවා.රදල ගැහැනියක් විදියට තමන්ගේ අතීත රහස් හංගගෙන හිටියට නැන්දම්මා මට ඉස්සරහා හුඟාක් විවෘත වුණු බව මට තේරුණා.

මට කොහොමත් විශේෂ හැකියාවක් තියෙනවා.කතාවක දේවල් හංගගෙන මට කියන්න මාත් එක්ක කතා කරන කාටවත් බෑ. මගේ කරුණාවන්තකම සහ සුහදත්වයත් මාත් එක්ක කතා කරන ගොඩක් අය මට විවෘත වෙනවා.කිසිම දවසක ඒ රහස් පිට නොකිරීම එයාලට මාත් එක්ක විවෘත වෙන්න එකම හේතුව වෙන්න ඇති.

මම තවදුරටත් මගේ නැන්දම්මගෙ ලේලි වුණේ නැහැ.දුවෙකුටත් වඩා මම ඇයට හොඳම මිතුරියක් වුණා.ඇගේ ජීවිතයේ අමාරුම කාලේ ඇයත් එක්ක බෙදා ගත්තෙ මම කියලා ඇය කවදාවත් අමතක කරන්නත් නැතුව ඇති.ඇයට අසීරුම කාලයේ ළඟ ඉන්න මටත් සිද්ධ වෙන්න ඇත්තෙ පෙර ආත්මෙ මේ මොනවම හරි ගනුදෙනුවක් නිසා වෙන්න ඇති කියල මමත් හිතනවා.මගේ යෞවන කාලය රෝගී ගැහැනියකට උවටැන් කරන්න වැය වුණා කියලා මට පොඩ්ඩක්වත් තරහක් හෝ කනගාටුවක් නැහැ.

ඇත්තටම මේ හැම දෙයක්ම සංසාර බැඳීම්.සුදාරකගේ සහ මගේ සංසාර ගණුදෙනුව නිසා මම ඒක කොහොමටත් අවබෝධ කරගෙන ඉන්නෙ.මගේ කතාව ඉදිරියට කියවාගෙන යනකොට සංසාර බැඳීම් සහ සංසාර ගනුදෙනු කියන්නේ බොරුවක් නෙමෙයි කියලා ඔබත් තදින්ම විශ්වාස කරන්න පටන් ගනී.

ඒ නිසා ඒ අම්මටත් ඇගේ ජීවිතයේ අසීරුම කාලේ මාව මුණ ගැහීම ඇගේ වාසනාවකට වුණු දෙයක් කියලා මම හිතනවා.කිසිම රණ්ඩුවක් අඬදබරයක් නැතුව මම ඇයට උවටැන් කළා.මානසිකව හෝ කායික ව මම ඇයට තනිකමක් දැනෙන්න ඉඩ තිබ්බෙ නෑ.ඇය වෙනුවෙන් කරපු බොහෝ දේවල් මම තවම මගේ අම්මයි තාත්තයි වෙනුවෙන් කරලා නැහැ.තවමත් ඔවුන් මට උපකාර කරනවා මිසක් මම ඔවුන්ට උපකාර නොකරන තරම්.එහෙම උවටැන් කරන්න වෙන්න ඔවුන් කවදාවත් එකතැන් වෙලා දුක් විඳින්න නම් වෙන්න එපා කියලා මම සෑම මොහොතකම ප්‍රාර්ථනා කරනවා.අසංකගේ අම්මා වෙනුවෙන් කරපු හැම පිනක් ම ඔවුන් දෙන්නට අනුමෝදන් වෙන්න ඕනේ.ඒ පින නිසාම රෝගී වී දුක් විඳ මරණය අත්වෙන්න ඔවුන්ට නොලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජීවිතය මහ මුහුදක් වගේ.කතාව පටන් ගනිද්දි මං එහෙම කතාවක් කිව්වා මතකද? නිශ්චල දවස් වගේම සැඩ සුළං කුණාටු හමන දවස් නැති ජීවිතයක් අපි කාටවත් උරුම වෙලා නැහැ.නමුත් ජීවිතය අපිට දෙන හැම දේම අපි බාර ගන්න ඕනේ.දරාගන්න ඕන.මේ දවස් වල අහන සමහර ප්‍රවෘත්ති දැක්කහම ජීවිතයේ මම දරා ගත්තු දේවල් මොන තරම්ද කියලා ඒ යන්න ගිය දරුවන්ට කියන්න තිබුණනම් කියලා මට හිතෙනවා.අසීරුම මොහොතවල් ඕනෑ තරම් එන්න පුළුවන්.ඒ වගේ වෙලාවල්වලදී අපි අපිවම හයියෙන් අල්ල ගත්තොත් හොඳ දවසුත් නෑවිල්ලා ඉන්නේ නෑ.

අසංකගේ අම්මා අසනීප වෙන්නේ මම විවාහ වෙලා මාසෙකට පස්සේ.ඇයගේ වියෝව සිද්ධ වුණෙත් මම ජීවිතේ ලොකු සංක්‍රාන්ති අඩියකට පය තිබ්බට පස්සේ.ඉතිං ඇත්තටම මේවා සංසාර ගනුදෙනු තමයි.මම කුණාටුවකට අහු වෙලා පා වෙවී හිටිය වෙලාවක ඔවුන් ළඟට යන්න ඇත්තේ,ඒ ගෙදර සාමජිකයෙක් වෙන්න ඇත්තේ මොකක් හෝ මේ සංසාර ගනුදෙනුව පියවෙන්න වෙන්න ඇති.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles