ගිනි කඳු

“අක්කේ,ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින්ද ඉන්නේ?”

එක ලේ ඇඟේ දුවනකොට සමහර දේවල් නොකිව්වත් දැනෙනවා.මං අක්කාගෙන් එහෙම අහනකොටත් අක්කාගේ ඇස් රතු වෙන්න ඇත්තේ ඒ නිසා.ඒත් අක්කා ඔලුව වනලා මගේ ප්‍රශ්නය මඟ ඇරියා.ඒත් අක්කා ඉන්නේ මොකක්මහරි දුකකින් වේදනාවකින් කියලා මට නොතේරුණා නෙවෙයි.හැබැයි අක්කා රහස් හංගන්න පටන් අරන් දැන් සෑහෙන කාලයක්.

“මොකද අක්කේ අතට වෙලා තියෙන්නෙ?”

උදේ අගේට ගෙදරින් ගිය අක්කා හවස අත බැඳගෙන ආවම මම එහෙම ඇහුවා.අම්මාට ඇහෙයි වගේ ඔරවලා බලපු අක්කා මට කිව්වේ ඔෆිස් එකේ වොෂ් රූම් එකේ වැටුණු කතාවක්.ඒ කතාව ඒ තරම් පිළිගන්න බැරි වුණු නිසා මම අක්කාට රවලා අහක බලා ගත්තා.

අක්කාගේ ආදරේ ඇත්තටම ඇත්ත එකක්ද?

මට එහෙම නොහිතුණා නෙවෙයි.ආදරේ කියන්නේ රෑ තිස්සෙ ඉකි ගහ ගහ අඬන එකද? එහා පැත්තෙන් එන බැනුම් අහගෙන මොකුත්ම නොකියා ආයේ ආයේ ඇමතුම් ගන්න එක ඇත්තටම ආදරේ ද කියලා අක්කාගෙන් අහන්න මට ඕනෑ වුණා.අක්කා ඒ තරම් බයෙන් ආදරේ කිරීම මට මහා ගැටලුවක්.දුකට කාරණාව කියන්නේ ඒක අක්කට ගැටලුවක් නෙවෙයි.

“අක්කේ,මේ ස්ටයිල් එක මරු.ඔයාටත් ගවුමක් ගෙනාවා..”

මම අක්කටත් එක්කම ලස්සන ගවුමක් උස්සන් ආවේ වෙනදට අක්කා මගේ ඇඳුම කොහොමහරි උදුරා ගන්න නිසා.මම අඳින්න බලනකොට අක්කා මගෙ ඇඳුම් ඇඳගෙන ගිහින් ඉවරයි.

“කොටයිනෙ නංගි..”

අක්කා කියන්නේ මුහුණ අමුතු කරන්.මීට වඩා කොටට අපි ඇඳලා නැතුවයැ.මම අක්කා දිහා බැලුවේ සමච්චලෙන්.අක්කා මේ බොරු ලොකුකම් පෙන්නනවා.

“අනේ නංගි..හරිත ආස නෑ මම කොටට අඳිනවට.”

අක්කාගේ මුහුණේ තියෙන්නේ වේදනාවක්.මං අක්කා එක්ක ඉස්සරලම හරිත ගැන කතා කරේ එදා.ආදරේ කියන්නේ නීති දැමිල්ල නම් අපිට වැඩියෙන්ම ආදරේ රටේ පොලිසියයි නීතියයි කියල මම කිව්වම අක්කා ඔහේ බලාගෙන හිටියා.

“ඔයා යන එන තැන් රෙකෝඩ් කරනව වගේ අහන්නෙ ඇයි අක්කේ?”

මං හොඳටම උණ ගැනිලා ඉන්නකොට අක්කා මාව ඩොක්ට ගාවට එක්ක ගියේ හරිත අයියා එක්ක ඇමතුමක ඉන්න ගමන්මයි.මේක මහා කෝලමක්.මට අක්කාගේ උදව් ඕනෑ වෙලාවෙත් එයා ඒවා කරන්නේ හරිතට තත්පරයෙන් තත්පරය වාර්තා කරන ගමන්.

“හරිත කියනවා පූර්ණට තියෙන්නේ මහා කපටි පාටක්ලු.”.

ඒ අස්සේ අක්කා මගේ ප්‍රේමවන්තයාගේ ඇද පළුදු ගැන විපරම් කරන්නත් පටන් අරන්.මට කේන්ති ගියත් අක්කා වෙනුවෙන් ඉවසුවා.මහා මහන්සි දවසකට පූර්ණගෙන් එන ඇමතුම මගේ මුළු වෙහෙසම සෝදා හරිනවා.එක එක දේවල්වලට බනින්නේ නැති,මගේ ඇඳුම්වල දිග පළල ගැන හෑලි කියවන්නේ නැති, මගේ ෆේස්බුක් පෝස්ට් වලට ලයික් දාපු මිනිස්සු ගනින්නේ නැති පූර්ණ මට අරන් එන මානසික නිදහසෙන් සීයෙන් එකක්වත් අක්කාට හරිතගෙන් ලැබෙනවානම්!

ඒ සේරම දේවල් දරාගෙන ඉවසාගෙන හිටපු අක්කා ඊයේ පෙරේදා ඉඳන් හැසිරෙන්නේ යහපත් මානසිකත්වයකින් නොවන බව මට තදින්ම දැනෙන්න පටන් ගත්තා.ඒකට හේතුව හොයන්න මොනතරම් උත්සාහ ගත්තත් අක්කා වචනයක්වත් කියන්නේ නෑ.ඒත් ගිනි කන්දක් වුණත් පුපුරන මොහොතක් එනවා

“නංගි, මම ප්‍රෙග්නන්ට්.”

ඒක මහා බෝම්බයක් කරගන්න මට ඕනෑ වුණේ නෑ.අම්මාටත් තාත්තටත් හෙමින් කියලා විසඳා ගන්න පුලුවන්.අක්කා අකමැති නම් අක්කාට ඒ කළලය ගැන තීරණයක් ගන්න බැරිකමක් නෑ.එයා වැඩිහිටියෙක්.

“මට බබා ඕන..”

අක්කා තරයේම කියනකොට මම ඒකටත් විසඳුමක් ගෙනාවා.හදිසි විවාහයක් කරා යනවා මිසක් කරන්න දෙයක් නෑනෙ.විවාහ මංගල්‍යයකට වුණත් සූදානම් වෙන්න අපිට පුලුවන් කියලා මං අක්කාට මතක් කරා.

“හරිත කියනව බබා එයාගෙ නෙවෙයිලු.”

මේවා මහ පුදුම කතා! නමුත් හරිත අක්කාට එවලා තියන කියවන්නවත් අප්‍රසන්න කතා සහිත හඬපට මම අහගෙන හිටියේ අප්පිරියාවෙන්.ආදරය මේ තරමට හෑල්ලු වෙන්න පුලුවන්ද?

“මේ හැමදෙයක්ම වුණේ ඔයාගෙම වරදින් අක්කෙ.”

එහෙම කියන්න ඕන වුණත් මට මේ වෙලාවේ ඒක කියන්න බෑ.අක්කා දරාගෙන ඉන්නේ කොහොමද කියලා අහන්න හිත හදාගන්නවත් අසීරු ගතියක් මට දැනෙන්න පටන් ගත්තා.

ඇත්තටම අසීරු කාල ගෙවන්න ඕනෑ මොනතරම් ප්‍රවේසමෙන්ද? ජීවිතය අත හරින්න හිතෙන මිනිස්සුන්ට ඒ ගමන නොයා ඉන්න උදව් වෙන මිත්‍රයෙක් වෙන්න කියලා ෆේස්බුක් එකේ පෝස්ට් තියනව තමයි.ඒත් අක්කාට එයා මොනතරම් අසරණ ද කියලා මතක් කරන යෙහෙළියෝ මුණ ගැහුණේ නැතුවාම නෙවෙයි.

“බබා හම්බුණාම මම අයියා ගාවට යනව.”

විදේශයක ජීවත් වෙන අපේ අයියා වගේම විදෙස් ජාතික කාන්තාවක් වුණු අපේ නෑනන්ඩිය අක්කා පිළි ගන්න දෑත් විදාගෙන බලාගෙන හිටියා.

අප්‍රසන්න ආදර කතාවල අවසානය රේල් පාරක්,එල්ලෙන ලණුවක් හෝ විෂ සහිත පානයක් වීම මහා ඛේදවාචකයක්.ඒත් මගෙ අක්කාට ගිනි කන්දක් වී පුපුරා යාමට ඉඩ නොලැබීම ම දෛවය එක අතකට අපිට කාරුණික වීමක් කියලයි මම හිතන්නේ.සින්ගල් මාම් කෙනෙක්! ඒ කතාව ගැටලුවක් නොවන බිමක අක්කා පැල වුණේ ගිනි කන්දක් වීම වෙනුවට පුංචි පැළයකට හෙවණ දෙන මහ ගහක් වීම තෝරාගෙන.

“ආදරේ කියන්නේ රැවටීමක් කියල මං හිතන්නෙත් නෑ..”

අක්කාගේ හඬ වීඩියෝ ඇමතුමකින් ඇහෙනවා.මං මුහුණ නොරොක් කර ගන්නවා.එක අතකට අක්කාට දැන් හොඳ ආදරයක් මුණ ගැහිලා ඇති.ඒත් ඒක එහෙමම නෙවේ.

“ආදරේ කියන්නේ මහ සංකීර්ණ දේකට.මං හොඳටම වැටිලා හිටපු වෙලාවේ ඔයාලා ඔක්කොම මට ආදරේ දුන්නා.මමයි දූයි ජීවත් වෙන්නේ ඒ ආදරේ නිසා.පැරදිලා රිද්දාගෙන හිටිය මට තව රිද්දන්න හිටිය අයට වඩා මාව සනසන්න හිටිය මිනිස්සුන්ගෙ ආදරේ මාව මෙච්චර දුරක් අරන් ආවා..”

අක්කාගේ හඬේ කිසිම වේදනාවක් නෑ.එයා ඉන්නේ සැනසීමෙන්.ගිනි ගත්ත ආදරයකින් නිදහස් වෙලා නිස්කලංක ලෝකයක් හොයා ගත්තු සැනසීමෙන්.

ඇත්තටම ගිනි කන්දක් හිම කන්දක් කරන තරමට එකිනෙකාට ආදරය කරන්න එකිනෙකා දරා ගන්න අපිට පුලුවන් වෙන්න ඕනෑ නේද කියලා මාත් හිතුවා.ආදරය කියන්නේ ඒ වගේ දේකට නෙවෙයිද?

More Stories

Don't Miss


Latest Articles