අලුත් වෙන ආදරේ.

ඉරිදා නිවාඩු දවස.නිස්කලංක ඉරිද දවසේ නිපුනිටත් සරනිටත් කරන්න තියන ලොකුම වැඩේ හොඳට නිදා ගන්න එක.සතිය පුරාම මහන්සි වෙවී ඔෆිස් ගිහිල්ලා සති අන්තය වැටුණු තැන නිදාගන්න තරම් සතුටක් කොහෙන්ද? හවස්වරුවක පෙම්වතුන් එක්ක කොහේහරි ගියත් දවස පුරා සංචාරනම් දෙන්නටම හරියන්නේ නෑ.

“වෙලාවට එකොළහත් පහු වෙලා.”

සරනි දනිපනි ගාලා නැගිටගත්තේ බඩගින්න උහුලා ගන්න බෑ කියල එයාටම දැනුණු නිසා.නිපුනි තාම නිදි ඇති.එහෙම හිතපු සරනි ඇඳෙන් නැගිටිනකොට නිපුනි ලොකු වැඩක්. වේලුණු මල්,සිප්පිකටු,අනං මනං අරුමෝසම් ගොඩක් වටකරගෙන නිපුනි මොකද කරන්නේ කියලා සරනිට ඇති වුණේ කුතුහලයක්.

“මොනවද කරන්නේ?”

සරනි එහෙම අහනකොට නිපුනි හිනාවෙවී ලස්සන උත්තරයක් දුන්නා.

“හෙට වැලන්ටයින්නෙ.ධනුකට කාඩ් එකක් හදනව..”

සරනිගේ උත්තරයට නිපුනි මහ හයියෙන් හිනාවෙන්න හිනා වෙන්න පටන් ගත්තා.තව මාස කීපයකින් වෙඩින් එකක් ගන්න බලාගෙන ඉන්න සරණි ඉස්කෝලේ දහයේ පන්තියෙ ඉන්න කෙල්ලක් කරන වැඩ කරන්නේ මොකද මන්දා.නිපුනි එහෙම හිතන්න පටන් ගත්තා.

“සීරියස්ලි ඔයාට පිස්සුද?”

නිපුනි එහෙම අහනකොට සරණි මිතුරිය දිහා බැලුවේ බැරෑරුම් බැල්මකින්.මේසෙ උඩ පුංචි පුංචි කොළ කෑලි තොගයක්.ඒවගෙ තියෙන්නෙ මොනවද කියලා නිපුනිට බලන්න හිතුනත් සරනී ඒකට ඉඩ දුන්නේ නෑ.

“ඒවා ලව් නෝට්ස්.මම මේ ජාර් එකට ඒවා ඔක්කොම දානව..”

වැලන්ටයින් සංකල්පය මේ වගේ පොඩි පොඩි තෑගි හුවමාරු කරගන්න තරම් සිල්ලර එකක් නෙමෙයි කියලා සරණි ට පැහැදිලි කරන්න නිපුනි සෑහෙන වෙලාවක් ගත්තා.කාඩ් එකේ මලකට වේලිච්ච රෝස පෙති අලවන ගමන් සරණි නිපුණි දිහා බැලුවේ හිනාවකින්.

“එච්චර මහ බරට ජීවිතය ගැන හිතන් නැතුව මේ වගේ ලස්සනට සරල හිතන්නත් පුළුවන්.”

සරණි උපන්දින සහ සංවත්සර බොහොම ඉහළින් සමරන බව නිපුනි දන්නවා.ධනුකගේ උපන්දිනය විතරක් නෙමෙයි ඔෆිස් එකේ යාලුවෙක්ගෙ උපන්දිනයකට වුණත් මහන්සිවෙලා කාඩ් එකක් හදන එක සරණිගේ පුරුද්දක්. ඒවට ඔය තරම් කාලය වෙන් කරන්නේ ඇයි කියලා නිපුනිට හිතාගන්නත් බෑ.

“ආදරේ කරන්න එක දවසක් ඕනේ නෑනේ..”

නිපුනි දිගටම තර්ක කරන්න පටන් ගත්තා.සරනි මොකුත්ම නොකිය තමන්ගේ වැඩේට ඇහැ අලවා ගත්තු නිසා සරනි ෆේස්බුක් පැත්තට ගියා.රෝස මල් බර ගාණක ඇණවුමක් ලැබීම ගැන ප්‍රසිද්ධ සමාගමක හිමිකාරයෙක් තැබූ සටහනකට නිපුනිගෙ ඇහැ ගියේ ඒ වෙලාවෙමයි.මොනතරම් විකාර වැඩක්ද? නිපුනි හිතන්න පටන් ගත්තා.ආදරේ කරන්න එක දවසක් ඕනෑ නෑ කියලා චාමර නිතරම කියනවා.නිපුනි විශ්වාස කරන්නේ ඒ කතාව.

“ආදරේ කරන්න එක දවසක් ඕනේ නෑ තමයි.ඒත් ඒකට විශේෂ වුණු එක දවසක් තියෙන එකත් ලස්සන වැඩක් නිපු.”

සරනි ඇය ලිව්ව පුංචි සටහන් වලින් වීදුරු බෝතලය පුරවන අතර කියන්න ගත්තා.නිපුනි ඒ දිහා බලාගෙන හිටියා.

“ඔතන චිට්ස් කීයක් තියනවද?”

නිපුනි එහෙම අහනකොට සරනිගේ මුහුණට වැටුණේ අපූරු දිස්නයක්.

“චිට්ස් තුන්සිය හැට පහක්.මේ හැම එකක්ම දවසකට එක ගාණේ අරන් ඊළඟ අවුරුද්දේ වැලන්ටයින් දවස එනකම් කියවන්න කියලා මම ධනුකට කියන්න ඉන්නේ..”

ඒක හරිම ලස්සන වැඩක් කියලා නිපුනිට හිතුණේ එකපාරටම.”ඔයාට මොනවද ඕනේ” කියලා චාමර ගෙන් අහල අරන් දෙන්න දේකට වඩා මේක මොන තරම් ලස්සන වැඩක්ද?

“ඔයාට රෝස මලුත් හම්බවෙයිද?”

නිපුනි අහන්නේ හදිසියේ ඇතිවුණු ඉරිසියාවකින්.අලුත්පාට රතු රෝස මල් මිටක් තමන්ටත් ලැබෙනවානම් කියලා ඇති වුණු හදිසි ආශාවකින් නිපුනිව පිරෙන්න පටන් ගත්තා.තේරුමක් නැති වැඩ කියලා එහෙම දේවල් නොකරන චාමර කීයටවත් රෝසමල් නම් එවන්නේ නැහැ.

“ධනුක මොනව කරයිද මම දන්නෙ නෑ.ඒ උනාට මං මේ දේවල් කරනවා..”

සරණි කියන්නේ බොහොම නිවුණු කටහඬකින්.ඊට පස්සේ එයා තවත් කතාවක් කියන්න පටන් ගත්තා.

“මම කතාවක් අහලා තියෙනවා ආදරය කියන්නේ කණ්ණාඩියක් වගේ දෙයක්ලු.අපි ආදරේ කරොත් අපටත් ආපහු ආදරය ලැබෙනවාලු.කණ්ණාඩියට හිනා වුනොත් කණ්ණාඩියත් අපිට හිනා වෙනවා අපි කණ්නාඩියට ‍රැව්වොත් කණ්ණාඩියත් අපිට රවනවා..”

පුංචි පුංචි දේවල් තරම් ගණන් නොගන්න චාමරට ආදරවන්තයින්ගේ දවසට සුභ පැතුම්පතක් හැදුවොත් එයා මොනවා කියයිද? සමහරවිට හිනා වෙන්නත් පුළුවන්.

“මටත් හිතෙනවා කාඩ් එකක් හදලා එයාට හෙට උදේ දෙන්න..”

නිපුනි කිව්වේ බරපතළ කල්පනාවකින්.සරණි ඇය සුබපැතුම්පත් හදමින් සිටි බඩු නිපුනිගේ පැත්තෙන් තිබ්බේ ආදරණීය හිනාවක් එක්ක

“ඔයා හදන්න.හදලා හෙට උදෙන්ම දෙන්න.එතකොට එයාටත් ඔයාට රෝස මල් පොකුරක් එවන්න හිතෙන්න පුලුවන්..

ආදරය කියන්නේ සිල්ලර දෙයක් නෙමෙයි කියලා තර්ක කරන්න අපි හැමෝටම පුළුවන්.ඇයි ආදරේ කියන්නේ බොළඳ කම අඩු වැඩි නැතිව තියෙන්න ඕන දේකට.ආදරය කරන්න එක දවසක් තියෙන්න ඕනි නෑ.හැබැයි එක දවසකින් ආදරේ අලුත් කර ගත්තම අවුරුද්දක් පුරාවට ඒ ආදරේ පවත්වාගෙන යන්නත් අපට පහසු වෙන්න පුළුවන්.එනිසා පුංචි පුංචි බොළඳ තැන් වලත් ජීවත් වෙන්න හේතු හොයා ගන්න එක හරිම ලස්සන වැඩක්.

හෙට දවස උදා වෙන්න තව පැය ගාණක් තියෙනවා.මතක තියාගන්න.අපි ආදරේ කළොත් අපිටත් ආදරේ අඩු නැතුව ලැබෙන්න පුලුවන්.

More Stories

Don't Miss


Latest Articles