සචිර අයියාගේ අම්මා අපේ අම්මා සමඟ බොහෝ වෙලාවක් ගත කළා ය.රාත්‍රී ආහාරය ගෙන යන්නට අම්මා පෙරැත්ත කරද්දී ඇය හිනැහුණේ මදෙස බලමිනි.
“ඕන නෑ අනෝමා.මම වෙන දවසක එන්නම්.සචිරයි එයාගේ තාත්තයි දෙන්නම එක්ක එන්නම්කො.අපිට කතා කරන්න බොහොම දේවල් තියනවනෙ..”
මා ලැජ්ජාශීලි වෙද්දී දෙකන් රත්පැහැ ගැනෙන බව මගේ මිතුරියන් අතර ජනප්‍රිය විහිළුවකි.මේ මොහොතේ මට සිදුවෙමින් පැවතුණේ එය ය.මගේ කම්මුල් රත් පැහැයට හැරෙමින් තිබිණ.ඇය අදහස් කරන දෙය මට නොවැටහුණා නොවේ.නමුත් එය නොදන්නා ගාණට හිඳීම ම මට සහනයක් විණ.
ඇය නික්ම ගිය පසු මට මහත් දෙගිඩියාවක් ඇති විණ.දෙනෙත් පුරසාරම් දෙඩූ අන්දමට අර හඬපට ඇයට දෙන්නට නැති බව අනතුරුව මම සිතිමී.ඒවා දුන්නා නම් ඇය මෙතරම් ආදරයකින් මා සමඟ කතා කරන්නට ඉඩක් නැත.එහෙත් සෑම දරුවෙකුටම බොහෝ ආදරය කරන හැම දරුවෙකුටම සචිර අයියාට මෙන් සලකන ඔහුගේ අම්මා දෙනෙත් ගැන කලකිරීමට පත් වීම මට ගෙන ආවේ දුකකි.මම බැනුමක් බලාපොරොත්තුවෙන් ම ඒ බව දෙමිතුරියන්ට පැවසීමි.අඳුර ගලා එන බරාඳයට වී ඔවුන්ගේ පිළිතුර ලැබෙනතුරු මම ඒ මේ අත සක්මන් කරන්නට පටන් ගතිමි.
“දැන් ඔයාට මොකටද එයාට වුණු දේ..”
මුල්ම සැර වීම උවනිගෙනි.මම සිනා මුහුණක් පමණක් යවන්නට ප්‍රවේසම් වුණෙමි.
“හැමදෙයක්ම හොඳටම වෙන්න හදනකොට මෝඩ වැඩනම් කරලා අඬාගෙන එන්න එපා.මුහුදට දානව හරිද?”
ඊළඟ පණිවිඩය යෙත්මි එවා තිබුණා ය.
“අර ශෂිකා සින්දුවක් කියන්නෙ.එහෙව් නුඹට නොදැනුණේ නුඹට දුන්නු හිත තමයි කියලා..මටත් ඒක මතක් වෙනවා..”
මගේ කතාවට වහා සිනා මුහුණු පෝලිමක් එවන්නට යෙත්මි ප්‍රවේසම් වූවා ය.නමුත් උවනි බොහෝ වෙලා යමක් ලීවා ය.
“ඔයා දන්නවාද? ඔයාට නොකියා හිටියට අපි දෙනෙත්ගෙ නරක වැඩ සේරම දන්නව.එයා ඔයා ආදරෙයි කියපු හැම පණිවිඩයක් ම සචිරට යවල තියනව.ඒ මනුස්සයා ඔයා ගැන හිතන්න හදනකොටම අපූරු වැඩක් ඒ කරේ..”
ඔහු පැවසුවේ එය සචිර අයියාගේ අම්මාට කියන බවකි.ඇය කිසිම කම්පනයක් නැතිව හිඳීමට හේතුව එය ය.සචිර අයියා? ඔහු මට ඇමතුමක් හෝ කිසිදු පණිවිඩයක් නොතැබූ බව මට සිහිව ආයේ ඒ මොහොතේ ය.
“මට හිතෙන දේ කියන්නං”
මම ලියා යැවීමි.අම්මාගේ විෂ සහිත ස්වරූපය නිසා මම බොහෝ කල් පීඩා වින්දෙමි.නමුත් දැන් මට ඇය ලැබී ඇත.මගේ පවුල කාලාන්තරයකට පසු සතුටිනි.ප්‍රේමය නිසා හිත් පීඩා ඇති කරගෙන පෙළෙන්නට යාමෙන් සිදු වන්නේ අනෙකක් නොවේ.මේ සතුටුදායක කාලය නිමා වී යාම ය.
“මම හිතන්නේ මට දෙනෙත්ව නෙවේ සචිරවත් ඕන නැහැ.මට දැන්ම ආදරයක් ඕන නැහැ.මට ඔයාලට වගේ අම්මගෙ ආදරේ ලැබුණේ නෑනෙ කාලයක් තිස්සෙ.දැන් ඒ දේ ලැබෙන්න පටන් අරන්.මට ආදරවන්තියක් වෙන්න කලින් හොඳ දුවක් වෙන්න ඕන..”
ජීවිතය අපට ප්‍රමුඛතා ලැයිස්තු තෝරා ගන්නට අවස්ථා ලබා දෙන බව මම කොහෙන්දෝ අසා තිබිණ.මේ එළඹ ඇත්තේ ද එවැනි අවස්ථාවකි.මට මාවත් දෙකක් දිස් වේ.ප්‍රේමවන්තියක වී ආදරය කරන්නට යාමේ දී කඳුළ සහ සිනාව සමසමව විඳදරා ගන්නට සිදු වන බව මම දනිමි
නැත!
එවැනි අභියෝග දරා ගන්නට මම තවම ශක්තිමත් නැත.සූකිරි කෙල්ල වී තව කාලයක් හිඳින්නට මම තදබල තීරණයක් ගතිමි.තීරණය සහමුලින්ම වැරදි බවට මිතුරියන් තරයේම දොස් නඟද්දී පවා ඒ කතාව අවසන් කර දැමූ මම යහනට වැටී නෙත් පියා ගතිමි.නොතේරුම් කඳුලක් ගලා ගොස් ඇසින් බිමට වැටෙන අන්දම මට දැනේ.මම ඉකි ගැසීම පාලනය කර ගත්තෙමි.