(අ)හිමි සිහින -61

සිංගප්පූරුවේ තරගයට යන්නට දින කීපයකට කලින් මගේ කකුලේ සුළු සීරීමක් ඇති වුණා.මම ඒක පොඩ්ඩක්වත් ගණනකට ගත්තේ නැහැ.පුංචි සීරිමක් ගණන් ගන්නේ කවුද? ඒ නිසා මට ඒ ගැන ඇත්තටම හිතන්න කාලයක් තිබුණේ නැහැ.තරගයට සූදානම් වෙන්න දින තුනක් ලැබෙනවා.තරග කරන්න දින තුනක් ලැබෙනවා.මම ඊට අමතරව තවත් දවස් තුනකට ටිකට් බුක් කළා.අපි ටිකක් ෂොපින් කරන්නත් එපැයි.මම තාත්තා සහ චමල් එක්ක ඒ ගමන යන්න පිටත් වුණා.මගේ මුදලින් තමයි මම මුළු ගමනටම වියදම් කරේ.

එහෙට ගොඩ බැස්සා විතරයි.මට නොසිතූ කරදරයකට මුහුණ පාන්නට සිදු වුණා.මගේ කකුල හොල්ලා ගන්න බෑ! මම සැකසූ කේක් නිර්මාණවල සම්පුර්ණ වැඩ මම නිමා කරලත් නැහැ.කකුල එන්න එන්නම ඉදිමෙනවා.සැරව ගලනවා.
කකුල ක්‍රමයෙන් ඉදිමෙන අතර මට පුදුමාකාර අපහසුවක් දැනෙන්නට පටන් ගත්තා.කකුල හොලවන්නවත් බැරි වෙලා මට තදින් උණ ගන්න පටන් ගත්තා.

ජීවිතය මට බොහෝ අවස්ථාවල තිළිණ කරන්නේ මෙහෙම දේවල්.මම එයට හුරු වෙමින් හිටියා ද කියලාද මට හිතුණා.ඒත් මම ඔය වගේ කුණාටුවලින් සැලෙන ගෑනියෙක් නෙවෙයි.

තරගය පැවැත්වෙන්නේ හෙට කියලා තියෙද්දී මට තදින් උණ ගන්න පටන් ගත්තා.කෑමට කිසිම පිරියක් නැති නිසා චොකලට් ජාති,බීම වර්ග වලින් තමයි මම බඩ පුරවා ගත්තේ.මොනතරම් කට තිත්ත කෑම අප්පිරියාව තිබ්බත් නොකා නොබී බෑ කියලා මට හිතුණා.

තරගය වෙත මම ගියේ හිතේ හයියට.අසම්පූර්ණ නිර්මාණයක් නිසා මම “සුදුසුකම් සපුරා නැත” කියන කොටසට වැටෙන බව මම දන්නවා.ඒත් මම හිත හදා ගත්තා.කමක් නෑ! මම රට වෙනුවෙන් තරගයකට සහභාගී වුණානේ කියන හැඟීම මට හිත හදා ගන්න ප්‍රමාණවත් වුණා.මම වැඩ නිම කළ කොටස පෙනෙන ලෙස ප්‍රදර්ශනයට තියලා එන්න ආවා.ආවා තමයි.කකුල හොලවන්නවත් බෑ.දිගින් දිගටම කකුල ඉදිමෙනවා.මම චමල්ටත් තාත්තාටත් ඉල්ලීමක් කරා. “මට වෝකින් ස්ටික් එකක් ගෙනත් දෙන්න”. මගේ දණහිස කලවයක් තරමට මහත් වෙලා.මම ප්‍රතිකාර ගත යුතු වුණත් නොදන්නා රටක රෝහලකට යන්න මට දැනුණේ දෙගිඩියාවක්.මොනවා වෙයිද නොදන්නාකමින් මම පීඩිත වුණා.

තරගයේ අවසාන දවස උදා වුණා.මට ජයක් නැති බව ස්ථිරව දන්න මම මගේ බඩුමුට්ටු අරන් එන්න හිතාගෙන ඒ පැත්තට ගියා.

හරිම පුදුමයක්! මට ඒ අංශයේ ලෝකඩ පදක්කම ලැබිලා.

ඒක පුදුමයක් වුණත් මම කරේ පහසු දෙයක් නෙවෙයි.මම අයිසින් වලින් නූලක මහතට කතිර මැස්ම සේ පෙනෙන ලොකු මල් මෝස්තර කේක් එකක් නිර්මාණය කළා.එක වගේ කේක් හතරක එකම විදියේ මල් මෝස්තරය තියෙනකොට මේ අයිසින් නිර්මාණයක් ද මුද්‍රණය කර ඇලවූවක් ද කියලා මගෙන් විනිශ්ච මණ්ඩලය විමසුවා.කේක් තට්ටු සියල්ලම එක වගේ! ඒක අමාරු වැඩක් බව මටත් හිතුණේ ජයග්‍රහණය එක්ක.එයාලා කවුරුත්ම මට වුණු අකරතැබ්බය දන්නෙ නැහැ.මෙය ලැබුණෙ මගේ හැකියාවට.මට දැනුණේ පුදුම සතුටක්.මම මගේ අතින් මුදල් වියදම් කරගෙන ගිය තරගයක් ඒ.අනික දරුණු ලෙස අසනීපෙන් ඉන්න වෙලාවක්.ඒ වගේ වෙලාවක ජයග්‍රහණයක් කියන්නේ පුදුමාකාර සතුටක්.

මම පදක්කම ගන්න වේදිකාවට නැග්ගෙත් අනිත් අයගේ වාරුවෙන්.දරුණු උණ ගතියකින් මාව වෙව්ලමින් තිබුණා.මට සෑහෙන ලොකු අසනීපයක් ඇති බවත් රෝහල් ගත විය යුතු බවත් මට තේරුණා.අපි ළඟම ඇති රෝහලට උත්සවය අවසන් වූ වහාම ගියා.

වෛද්‍යවරයෙක් කකුල පරීක්ෂා කර බලා ඔලුවේ අත ගහ ගත්තා.ඊටත් පස්සේ දරුණුම ප්‍රකාශයක් නිකුත් කළා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles