ඔබ දකින තුරා -25

මූලස්ථානයේ පැවති ගිනුම් අංශ සාකච්ඡාව අවසාන වන විට තරමක් හවස් වී තිබිණි. යළිත් කාර්යාලය වෙත යනවා වෙනුවට එතැනින් ම ගෙවල් බලා යන්නට අමාරසී හා තරුෂි කතිකා කර ගත්හ. තාත්තා කාර්යාලය ළඟට එන්නට පෙර දුරකතන ඇමතුමක් දී ඔහු ට එන්න එපා කියන්නට ඇය ට සිහි වූයේ දිසත් තරුණියන් දෙදෙනා ව මගින් බස්වා යන්නට එකඟ වීමෙන් ද පසුව ය.

අජිත් පොලීසියට යන්නට සිදු වූ පුවත අමාරසී ට කීවේ එවෙලේ ය.

“මං පුතාට කියන්නමයි හිටියෙ…කැබ් එකක් දාගෙන එන්න කියල. මං ගෙවන්නංකො කැබ් එකට”

යොහාන් කර ඇති දේ දැන ගත් අමාරසී තුළ ඇති වූයේ කේන්තියකට වඩා කලකිරීමකි. මිනිස් සම්බන්ධතා යනු කුමක් දැයි නො දන්නා මිනිස්සු ඒවා ද මුදලින් හෝ බලයෙන් ලබා ගත හැකි යයි සිතා සිටීම ම අවාසනාවකි. ඒ සියල්ලට හේතුව තමන් දුර දිග බලන්නේ නැති ව දුන් වචනයක් යයි සිහිපත් වෙත්දී ඇය තමන් කෙරේ ද නො රිස්සුම් වූවා ය. හිත දැඩි කර ගෙන යොහාන් ව දකින්නටත් පෙර ඔහු හා විවාහ වීමට කැමැත්ත පළ කළ ඕ, පසුව ඊට පසු බෑවේ ඇයි? අමාරසී ඇය ගෙන් ම ඒ ප්‍රශ්නය ඇසුවා ය. ඍජු පිළිුරක් නොවුණත්, එවැන්නකට බලපෑ හේතු අතරේ ඈත කොනක දිසත් ගේ දෑස් දිළෙමින් තිබිණ.

“ඔය මිනිහව ටවුන් එකක් මැද්දට ගෙනත් ගල් ගහන්න ඕන. මොන පෙරේතයෙක්ද…”

තරුෂි යොහාන් ට පැමිණවිය යුතු දඬුවම් ගැන කියත්දී, රියෙහි ඉදිරි කැඩපතින් අමාරසී දෙස බැලූ තරුණයා ගේ දෙතොල් අතරේ සිනහ රේඛාවක් විය. 

තරුෂි බැස ගන්නා තැනින් බැස ත්‍රීරෝද රියක නැගෙන්නට අමා උත්සාහ කළ ද දිසත් ඊට ඉඩ දුන්නේ නැත. ඇයත් එක්ක මේ විදිහට නිදහස් ව කතා කරන්නට බොහෝ දේ ඇතැයි ඔහු ට දැනුණේ ය..

“මිනිස්සු මැරේජ් එකක් කර ගන්න ඕනෙ හරිම ලස්සන ගමනක් යන්නයි. ඒත් හුඟක් අය මැරේජ් එකක් කර ගන්නෙ එහෙම නොකර ඉන්න එක අඩුපාඩුවක් නිසා. එහෙම නැත්තං ඒ කර ගන්න කසාදෙ හරහා තමන්ගෙ වෙන වෙන අරමුණු වලට යන්න. අන්තිමට එතන ඉතුරු වෙන්නෙ මහ නීරස සම්බන්දෙකුයි කරදරකාර හැඟීමකුයි විතරයි. ඔයා කලින් ම ඒකෙං ගැලවුණ එක ලොකු දෙයක්..ඒක පොලීසියට ගිහිංම ඉවර වුණ එකත් හොඳයි කියල හිතන්න. මං හිතන්නෑ යොහාන් වගේ මනුස්සයෙක් ආයෙත් අඩියක් ඉස්සරහට තියයි කියල”

තරුෂි බැස ගිය පසු දිසත් කතාවකට මුලක් පාදා ගත්තේ ය. 

“කේෂිට වුණත් ඕන වුණේ ලෝකෙට පේන්න නමට විතරක් මැරේජ් එකක්. එයයි යොහානුයි විදි දෙකක අය. හැබැයි කසාදෙ කියන දේ දිහා ඒ දෙන්නම බලන්නෙ එකම විදිහට කියලයි මට හිතෙන්නෙ”

“මිස් කේෂි…තාමත් මිස්ට දිසත් ට ආදරෙයි කියල හිතෙන්නෙ නැද්ද…”

අමා ගේ ඒ ප්‍රශ්නය දිසත් ගේ ආත්මය හරහා එල්ල කළ පොලු පහරක් සේ ඔහු ට දැනිණ. රියෙහි වේගය බාල කළ දිසත් ඉඩ ඇති තැනක එය නතර කළේ ය.

ඒ වෙලාවට මහ මග අතිශය කාර්ය බහුල ය. මිනිස්සු සිය ගමනාන්ත හා අරමුණු කරා ඉගිල යමින් සිටිති. අමාරසී ඇසූ ඒ ප්‍රශ්නය පහුගිය වසර කිහිපය තුළ දිසත් ඔහු ගෙන් ම කිහිප වර ඇසුවේ ය.

“අපි අපිට කවදාවත් ආදරේ කරල නෑ කියල…හුඟක් කල්පනා කළාට පස්සෙ මං තේරුං ගත්තා අමා”

එය පශ්චත්තාපය තැවරි ප්‍රකාශයකි. අමාරසී කිසි සේත් ඒ පිලිතුරෙන් සෑහීමට පත් වූයේ නැත.

“එහෙනං මිස්ට දිසත් එයාව මැරි කළේ…”

“සම්බන්දකං දෙකක්ම කැඩිල ගිහිං…කොළඹ ස්ටැබ්ලිෂ් වෙන ඕනකමකුත් එක්ක මං හිටියෙ. ඒක කොහොමත් ආදරේ කියන දේ ගැන විශ්වාසයක් නැතුව ගිහිං තිබුණ කාලයක්. වර්ගයා බෝ කර ගන්න විතරක් කසාදයක් බැන්දහම ඇති කියන තැනයි යුනිවසිටි කොල්ලො වුණත් හිටියෙ. ඒ අතරෙ කේෂි මට ආදරෙයි කිය කියා පස්සෙං පන්නද්දි…ගමෙං ආපු කොල්ලෙක් විදිහට මටත් ඒක පය ගහ ගන්න පුළුවන් අත්තක් වගේ දැනෙන්න ඇති. හැබැයි ඒගොල්ලොංගෙ සල්ලි වලට කවදාවත් මං නැවුණෙ නෑ. කොතනකිං හරි කොළඹ ජීවිතේ පටං ගන්න මට තිබුණ ඕනකමයි කේෂි මට ආදරෙයි කියල හිතපු එකයි තමයි ඒ මැරේජ් එක සිද්ද වෙන්න මගෙ පැත්තෙං තිබුණ හේතු. කේෂිට තිබුණ හේතු මොනාද කියල අදටත් මට හිතා ගන්න බෑ. කීප දවසක් මං එයාගෙං ඇහුවත් එයාට ඒකට උත්තරයක් දී ගන්න බෑ. සමහර විට එයාට වැදගත් වුණේ මගෙං එයා දැකපු රූපෙ”

අමාරසී ගේ මුහුණට සිනහවක් ආවේ ය. දිසත් ඒ සිනහව දෙස උවමනාවෙන් බලා සිටියේ ය. ඇය වූ කලී කඩා හැලෙනා ලස්සනක් ඇති ගෑනු ළමයෙකු නොවේ. නමුත් සිතක් වසඟ වෙන ලක්ෂණ කෝටි ගණනන් ඈ තුළ අන්තර්ගත ය. ඒ හුරුබුහුටි සරල බව සියල්ල අතරින් කැපී පෙනේ.

“ඇයි…කේෂිගෙ ඇස් පෙනීම වීක් වෙන්නැති කියලද කියන්න යන්නෙ..”

“අපෝ නෑ. එයාට හොඳට ඇස් පෙනිල තියෙනව”

“එහෙනං හිනා වුණේ…”

“තරූ මතක් වෙලා. ඔන්න එයත් මිස්ට දිසත්ට ක්‍රෂ් වෙලා ඉන්නෙ. මට අයිස්ක්‍රීම් අරං දෙනව කිව්ව අද…මිස්ට දිසත් එක්ක හෙඩ් ඔයිස් යනවට”

දිසත් හඬ නගා හිනැහුණේ ය. අමාරසී හැමදාමත් සේ ඒ සිනහව දිගේ බෝ දුරක් ගොස් අතරමං වූවා ය. 

“ඒ කියන්නෙ අපිත් කාගෙ හරි ක්‍රෂ් එකක්නෙ කියල සතුටු වෙන්න පුළුවන් නේ..”

ඔහු යළි රිය පණ ගන්වා ගත්තේ ත් ඒ සිනහවෙන් ම ය. අමා ගේ හිත තුළ ප්‍රශ්න පෝලිමක්, පෝලිම් පනිමින් තිබිණි. කොයි ප්‍රශ්නය කලින් අසා ගන්නද කියා ඇයට තේරුමක් තිබුණේ නැත. අන්තිමට පෝලිම් පනිමින් ඉස්සරහාට ම ආ පැනයට ඇය ඉඩ දුන්නා ය.

“දුක නැද්ද එයාව ඩිවෝස් කරන්න…”

ඔහු රියෙහි ගියරය තද කොට අල්ලා ගත්තේ ය. තොල් කොනක් ද සැපී ගියේ ය. ඇය පිළිතුරක් අපේක්ෂාවෙන් හිඳී. මේ මගහැරිය යුතු නැති ප්‍රශ්නයකි..

“ඕන ම දේක කාලෙත් එක්ක එක එක ස්ටේජස් තියෙනව අමා. අපේ මැරේජ් එක මේ ස්ටේජ් එකට ආවට පස්සෙ…මට එහෙම දුකක් නෑ. අන්තිම මොහොත වෙනකල් තිබුණා ගැස්මක්…ඒක පුරුද්දකින් වෙනස් වෙන්න තියෙන බයක් විතරයි කියන එක තේරුං ගත්තට පස්සෙ…”

ඔහු සුසුමක් හෙළුවේ ය.

“එතන පහු කර ගෙන යන්න පුළුවන් අමාරුවක් නැතුව..”

ඇය ට හිතන්නට හුඟක් දේවල් තිබුණේ ය. විවාහයක් කියන්නේ සරල වූ සම්බන්ධයක් නොවේ. එය කෙතරම් සංකීර්ණ ගනු දෙනුවක් ද කියා ජීවිත කාලය පුරා ම ඇය දුටුවා ය.ඒ සිය ගෙතුල දී ම ය. නමුත් අම්මාට හෝ තාත්තා ට කවදාවත් අත්වැලු ලිහා දමන්නට උවමනා නොවූ බව ඇය දනී.

“මොන කෙහෙල්මලක්ද අම්ම කරන්නෙ දික්කසාද වෙන්නෙ නැතුව”

කියා රුක්ෂාන් ගෙදරින් දොට්ට බසින්නට පෙර නිර්මලා විමසුවේ ය. ඒ වෙලාවේ හැඬු කඳුළින් සිටිය ද ඇය අත දිගු කොට ඔහු ගේ කම්මුල හරහා පහරක් එල්ල කළා ය.

අමාරසී  ගෙදර ගිය පසුත් හිටියේ කල්පනාවේ ය. ඇය යොහාන් කළ දේ ගැන සිතනවා යි නිර්මලා සේ ම අජිත් ද සිතූහ.

“දැන් ඉතින් ඔය හාදය ආයෙ එන්නෑ  මගදි හම්බ වුණොත් මූණ බලන්නවත්..”

අජිත් එසේ කීවේ අමාරසී ගේ හිත සන්සුන් වන්නට ය. නමුත් ඇගේ හිත තිබුණේ වෙනත් ලෝකය ක පා වෙවී බව තාත්තා දැන සිටියේ නැත.

ඒ සැඳෑවේ කේෂි සිය පෙම්වතා වන ඩිලන් හමු වූවා ය. දිසත් බලාපොරොත්තු වන දික්කසාදය ගැනත්, කුස තුළ වැඩෙන කළලය ගැනත් ඇය සිටියේ බියෙනි. නමුත් ඩිලන් ඉතා සැහැල්ලුවෙන් හැසිරුණේ ය.

“ඉතිං හොඳයිනෙ ඩිවෝස් එකකට යන එක”

“ඇයි…”

කේෂි ගේ දෑස් විසල් ව තිබිණ.

“ළමයො…ඔය විකාර බැඳීම් වලින් මොකද්ද අපිට ලැබෙන්නෙ…මේ ජීවත් වෙන ටිකේ අපි හිර කාරයො වෙනව විතරයි. ඕකෙං ගැලවුණහම වී කැන් ජස්ට් ලිව් ටුගෙදර් කේෂි. ඒක මාර ෆ්‍රීඩම් එකක්. අපි දෙන්නම නිදහස්. එතකොට අපි අපිට රෙස්පෙක්ට් කරනව. අපිව අපි බලෙං බැඳගෙන තියා ගන්නෙ නෑ. දවසක ඒ රිලේශන්ෂිප් එක ඇතුළෙ ෆෙඩප් වුණොත් අපිට පාඩුවෙ දෙපැත්තකට යන්න පුළුවන්. නඩු කියල අපහාස කරල දඟලන්න ඕන නෑ. ඒ වගේම අපිට හිතෙනවනං අපිට හැමදාම අපි ළඟ ඉන්න ඕන කියල…වී කැන් ඩූ සෝ..නෝ වොරීස් කේෂි. ඩිවෝස් එකට යන්න”

“ඒත් මේ බබා…දිසත් ඉන්නවනං මේ එයාගෙ බබෙක් වගේ ලෝකෙට පෙන්නන්න තිබුණා”

“අපි ඒකෙං නිදහස් වෙමු. ඕකේ….”

කේෂි ට දැනුණේ මහා බයක් නොවේ. අපමණ සැහැල්ලුවකි. සිය ජීවිතය ඇද වැටෙන්නට නියමිත අවදානම ගැන හෝ නො හිතා ඇය ඩිලන් විසින් මග පෙන්වන ලද ඝාතකාගාරය වෙත යොමු වූවා ය.

ඒ බව දකින්නට දිසත් ඒ ගෙදර නො සිටි එක හොඳ ය!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles