Chat with Star – පියුමි ශ්‍රීනායක

ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන “පාර දිගේ “මේ දවස්‌වල හරි ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි රඟපාන රුක්ෂානා බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වෙන චරිතයක්. හැබැයි පියුමි කියන්නේ රුක්ෂානා වගේ කෙනෙක්නම් නෙවෙයි. ඉතින් පියුමි ගැන අපි ඇගෙන්ම අහලා බලමු.

පියුමි… මේ දවස්‌වල මොනවාද කරන්නේ..?

මේ දවස්‌වල ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන “පාර දිගේ “ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙනවා. සුනිල් කොස්තා මහතා අධ්‍යක්ෂණ කරන “පානම් බඳින කල” ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා තියෙනවා . ඊට අමතරව සනත් ගුණතිලක මහතාගේ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම් වලට සම්බන්ධ වුණා.මේ දවස්‌වල ඒ චිත්‍රපටයේ හඬ කැවීම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

පියුමි පුංචි කාලේ දැකපු හීනයක්ද මේ හැබෑ වෙලා තියෙන්නේ..?

ඔව්…මම පුංචි කාලේ ඉදන්ම නිලියක් වෙන්න හරිම ආස කලා. මම මුලින්ම හිටියේ හසලක. පසුව මම කදාන මගේ ලොකු අම්මගේ ගෙදරට ආවා. තුන වසරේ පන්තියේ ඉඳන් මම ලොකු අම්මයි ලොකු තාත්තායි එක්කයි හිටියේ.

හසලක ගමේ ගතකරපු ඒ ලමා කාලය පියුමිට මතකද…?

අම්මෝ ඔව්. ගොඩක් මතකයි. එතකොට අම්මායි තාත්තායි මමයි මල්ලියි හිටියේ. ඒ දවස්වල හරි ෂෝක්. ඒ මගේ ජීවිතේ සතුටුම කාලයක්. ඒ තුන්දෙනා එක්ක ගතකරපු බොහෝම පොඩි කාලය වුණත් මට හොඳට මතකයි. මගේ තාත්තා ගොවිතැන් කලා. ඊට අමතරව වඩු වැඩ කලා. මගේ අම්මා රස්සාවක් කලේ නැහැ. හසලක ගමේ සුන්දරත්වය හරි අපූරුයි. ගහකොළ එක්ක ගෙවුණ මගෙයි මල්ලිගෙයි ඒ ලමා කාලයට මම අදටත් හරි ආදරෙයි. අපේ ගෙදර ආර්ථික අපහසුතා නොතිබුණාම නෙවෙයි. හැබැයි මල්ලිටයි මටයි ඒ ආර්ථික අපහසුතා දැනෙන්න අම්මා තාත්තා ඉඩ දුන්නේ නැහැ. අපිට පුළුවන් විදිහට ඒ දෙන්නා අපිට සැලකුවා. ආර්ථික ප්‍රශ්නත් එක්ක මට උගන්වගන්න බැරි වේවි කියලා හිතපු ඒ දෙන්නා මාව ලොකු අම්මට හදාගන්න බාර දුන්නා. ඊට පස්සේ මාව හදාගත්තේ මගේ ලොකු අම්මයි.

පුංචි කාලේ පියුමි හීන දැක්කේ කවුරු වෙන්නද?

මට හිතාගන්නවත් බැරි කාලේ ඉඳන් මම නිලියක් වෙන්න ආස කලා. පුංචි කාලේ ඉඳන්ම චිත්‍රපට බැලුවා. නාට්‍ය බැලුවා. රූපවාහිනියේ යන චිත්‍රපට මම පිස්සුවෙන් වගේ බැලුවා. ඒ තරමටම මම ඒවට ආස කලා. මගේ ලොකු අම්මා රස්සාවක් කලා. මම ඉස්කෝලේ ඇරලා ගෙදර ඇවිත් ලොකු අම්මගේ සාරි ඇඳලා, ලිප්ස්ටික් ගාගෙන තනියම සෙල්ලම් කලා. චිත්‍රපටවල ටෙලි නාට්‍ය වල හිටපු නිළියන් වගෙ රඟපෑවා.

හසලක ඉඳන් කදානෙට එද්දී ඇත්තටම දුකක් දැනුනේ නැද්ද? 

අම්මෝ ගොඩාක් දුකක් හිතුණා. අම්මගෙනුයි තාත්තගෙනුයි මල්ලිගෙනුයි වෙන්වීම මට දරාගන්න අමාරු වුණා. තාමත් ඒ ෂොක් එක දැනෙනවා. අම්මා තාත්තගෙන් දරුවන් වෙන්වීම ලොකු දුකක්. මටත් ඒක දැණුනා. මගේ දෙමව්පියන්ටත් ඒක තදින්ම දැණුනා. ඒත් ඒ දෙන්නා ලොකු අම්මට මාව බාර කලේ මගේ අනාගතය ගැන හිතලමයි. තාමත් ඒ දෙන්නගෙන් පොඩි කාලේදී ඈත්වීම දුකක්. හැබැයි ලොකු අම්මා මට ඒ දුක දැනෙන්න දුන්නේ නැහැ. එයා අම්මා කෙනෙකුගේ සෙනෙහස උපරිමයෙන්ම මට ලබලා දුන්නා. ඉස්සර නිවාඩුවට අම්මා තාත්තා මාව බලන්න ආවා. මාත් ඒ තුන්දෙනා බලන්න හසලක ගියා. ලොකු අම්මගේ ආදරය නිසා මගේ ඒ දුක ටිකක් අඩු වුණා. හසලක ඉඳන් ඒ තුන්දෙනා දාලා කදානේ ආව පලවෙනි දවසේ මම ඇති තුරා ඇඩුවා. මට මතකේ හැටියට කදානෙට ඇවිත් දවස් ගාණක් මම ඇඬුවා. ඉස්කෝලේ ගිහිනුත් “මට මගේ අම්මා ඕනේ ” කියලා මම ඇඬුවා. මාව නලවගන්න ඉස්කෝලේ ගුරුවරියන් මට ටොෆි චොක්ලට් පවා ගෙනත් දුන්නා. කාලයක් යනතුරුම මම ඉස්කෝලේ අඬ අඬා තමයි හිටියේ. 

පාසලේදී පියුමි මොන වගේ කෙනෙක්ද..?

පාසලේදීනම් මම ගොඩාක් දඟයි. හත වසරේදී වෙනකම් මම තරම් පාසලේදී දඟ ලමයෙක් හිටියේ නැතිතරම්. සෙල්ලම් කලා. දඟ වැඩ කලා. ලමයි එක්ක රංඩු කලා. හසලක තිබුණු නිදහස මම මේ පාසලේදීත් දකින්නට උත්සාහ කලා. පාසැල් ලමයි වුණත් ටිකක් වෙනස්නේ. අම්මා තාත්තා ලඟ නැති වීමෙන්  හිතේ තිබුණු දුක මම මේ දඟ වැඩ කරලා පිට කලා. හැබැයි හත වසරෙන් පසුව මම ගොඩාක් කීකරු දරුවෙක්. මම මහබාගේ කරුණාරත්න බෞද්ධ මහා විදුහලෙන් ඉගෙන ගත්තා. උසස් පෙළ කලාට පස්සේ මම ආයෙත් උසස් පෙලට මහියංගනට ගිහින් විභාගය කරලා ආයෙත් ලොකු අම්මලාගේ ගෙදරට ආවා.

පියුමි පුංචි කාලේ දැකපු හීනය හැබෑ කරගන්නට අවස්ථාව ලැබුණේ කොහොමද..?

උසස් පෙල අවසන් කරලා මම සුදත් සමරකෝන් සර්ගේ නාට්‍යකරණය ඉගෙන ගත්තා. ඔය අතරේදී මට වෙළඳ දැන්වීම් වලට, නිරූපණ ක්ෂේත්‍රයට ත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඔය වෙද්දි සුධාර ද සිල්වා අයියා මාව සුසිල ආයතනයෙන් කළ “අරුමවන්තී” ටෙලි නාට්‍යයට සම්බන්ධ කර ගත්තා. ඒ නාට්‍යයේ මගේ අම්මට රඟපෑවේ චමිලා පීරිස් අක්කා. තාත්තා නිරෝෂන් අයියා  රඟපෑවා. ඒක හොඳ චරිතයක්. එතනදී දැකපු මාව ජනක ප්‍රදීප් අයියා “සඳ  පිණි වැස්ස” ට සම්බන්ධ කර ගත්තා. එතනින් පසුව අද වනතුරු හොඳ නිර්මාණ වලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. 

අද වෙද්දී ඉතා ප්‍රවීණ කලාකරුවෙක් වෙන සනත් ගුණතිලක මහතා අධ්‍යක්ෂණ කරන චිත්‍රපටය සම්බන්ධ වෙන්න පියුමිට අවස්ථාව ලැබුණා. අද ඒ ගැන මොකද හිතෙන්නේ…?

ඇත්තමයි. ඒක මට ලොකු අවස්ථාවක්. මම මුලින්ම සුජිත් නිශාන්ත අයියා තමයි සනත් ගුණතිලක මහතාට හදුන්වා දුන්නේ .සනත් ගුණතිලක සර්ගේ “ගැහැණු ” කියන චිත්‍රපටයට ගෑණු ලමයෙක් ගැන අහද්දී තමයි සුජිත් අයියා මම ගැන සර්ට කියලා තිබුණේ. සර් මට පිටපතේ කොටසක් කරන්න දුන්නට.

පස්සේ ඔහු මාව නිර්මාණයට තෝරා ගත්තා. සනත් සර් වගේ දැවැන්ත නිර්මාණකරුවෙක්ගේ චිත්‍රපටකට සම්බන්ධ වීමම මම ලබපු භාග්‍යක්. “ගැහැණු ” රූගත කිරීම් අවසාන් කලත් කොවිඩ් හේතුවෙන් තාම ඒක තිරගත වුණේ නැහැ. ඊලඟට සනත් සර් කරපු චිත්‍රපටයටත් මාව තෝරා ගත්තා. මේ වෙද්දී සනත් සර්ගේ චිත්‍රපට දෙකක මට රඟපාන්න අවස්ථාව ලැබුණා.

පළමු ප්‍රේමය පාසල් ප්‍රේමයක් ද..?

ආදරය කියනදේ මට දැණුණේ පාසැල් යන කාලේදිවත් ඊට පසුවවත් නෙමෙයි. ආදරය කියන දේ දැනෙන්නේ එක වතාවයි. ඒ දැණුණු ආදරය ආයෙමත් දැනෙන්නේ නැහැ. ඒ දැනෙන ආදරය තාමත් මගේ හදවතේ තියෙනවා.

මේ දවස්වල “පාර දිගේ ” රුක්ෂානාට තියෙන ප්‍රතිචාර කොහොමද..?

මම කොච්චර ටෙලි නාට්‍ය කලත් ධනුෂ්ක රත්නායක මහතා අධ්‍යක්ෂණය කල “වෙස් ” ටෙලි නාට්‍යයේන් පස්සේ මාව මිනිස්සු හඳුනා ගත්තු, හදවතට දැනෙන ටෙලි නාට්‍ය වුණේ පාරදිගෙයි. ඒ වෙනුවෙන් ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාටත් සද්ධා මංගල සූරියබණ්ඩාර මහතාටත් ස්තූති කරන්න ඕනේ. රුක්ෂානා තුලින් මිනිසුන් අතරේ මම ජීවත් වෙනවා කියලා දැණුනා. පාරක ගියත් කොහේ ගියත් “පාර දිගේ ” නොබලන කෙනෙක් නැති තරම්. රූපවාහිනියෙන් රුක්ෂානා පෙන්වදදී මිනිස්සු රුක්ෂානිට කොච්චර බැන්නත් මාව දකිද්දී මට ඒ අය බනින්නේ නැහැ. මාත් එක්ක හොඳට කතා කරනවා. මාව දැක්කහම රුක්ෂානා කියලා කතා කරන අය බොහෝයි.

ජීවිතයට ගොඩාක් සමීපව සිටි සහෝදරයාගේ වියෝව අදටත් පියුමිට තදින්ම දැනෙනවා ඇති..?

අද විතරක් නෙවෙයි මල්ලී නැති අඩුව ඒ පාලුව මම මැරෙන මොහොත දක්වාම මතකේ තියේවි. ඒක පුදුමාකාර හිතට දුකක් ගෙනාපු කම්පනයක්. මතක් වෙද්දීත් හදවතට අකුණක් ගහනවා වගේ දැනෙන්නේ. මල්ලී ඇක්සිඩන්ට් වෙලා කියලා දැනගත්තට පස්සේ වතුපිටිය රෝහලට අපි යද්දීත් මල්ලී අපිව දාලා ගිහින් තිබුණේ. මල්ලී නැති වුණේ එයාට අවුරුදු විසි හතේදියි.

ඊලඟට තියෙන බලාපොරොත්තු මොනවාද…?

මම එහෙම ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන කිසිම දෙයක් ඒ විදිහට සිදුවුණේ නැත්නම් ඒක ලොකු දුකක්. ඒ නිසා මම මේ මොහොතේ හොඳට ජීවත් වෙලා ඉදිරි අනාගතයේදී එන විදිහට මූණ දෙනවා.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles