අකල් වැහි -9

“මං දැන් අම්මෙක්.මම ඒ කොල්ලට ආදරේ කරන් නෑ.විකාර කතා කියන්න එපා.”

නිපුනි කිසිවක් පවසන්නට පෙර හිරුදි පැවසී ය.ඒ ස්වරය නොමනාපායෙන් පිරී ඇති බව වැටහුණු නිපුනි මිතුරියගේ උරහිස පිරිමැද්දේ ආදරයෙනි.ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව ගිය පසු මන්දිරයක ජීවිතය පවා අපායක් වන බව නිපුනිට වැටහෙන්නේ මිතුරිය හන්දා ය.

“සොරි කෙල්ල.ඒ වුණාට අනිත් හැමෝටම වඩා මට ඔයාව තේරෙනවා.ඒකමයි මෙහෙම කියන්නේ..”

ආදරය ඕනෑම මොහොතක පහළ වන්නට ඉඩ ඇති බව දන්නා නිපුනි කියන්නේ සිහින් හඬකිනි.හිරුදිව නොරිදවා සත්‍යය තේරුම් කරන්නට ඇයට උවමනා වූවා ය.ආදරය නැති ලෝකයක ජීවත් වීම ගැහැනියකට අසීරු බව නිපුනි නොදන්නවා නොවේ.හිරුදිට ආදරය සිහිනයක්ම පමණක් බව ඇය දන්නී ය.හිරුදිට ආදරය කරනවාට වඩා කරන්නට අප්‍රමාණ දේ චේතනට තිබේ.කේන්දරයකට මුවා වී හිරුදිව චේතනට විවාහ කර දෙන්නට තරම් හිරුදිගේ අම්මා අඥාන වීම ගැන ඇයට දැනෙන කෝපය තවම නිමා වී නැත.

“මේ දෙදාස් විසි දෙකේ අවුරුද්ද වෙලත් උඹලගෙ අම්මලා මිසිස් දේවතිලකලා කේන්දර බදාගෙන නටන නැටිල්ල මට තේරෙන් නෑ..දැන් උඹට ලැබෙන්නේ පුතෙක් කියලත් දැනගෙන ඉවරනෙ.”

තවම සති කිහිපයක කළලය දියණියක වුවහොත් දේවතිලක පවුල හිස මුහුනෙහි තබා විශ්වාසයට ගන්නා දෛවඥවරියට උන්හිටි තැන් අහිමි වන බව සිතූ හිරුදිගේ මුහුණෙහි සිනා රේඛාවක් ඇදෙන්නට විය.ඇය ඒ කතාව මිතුරියට හෙළි කළේ ද ඒ සිනාවෙනි.නමුත් ඉනික්බිති සිදුවන දෙයද ඈ හොඳින් දැන සිටියා ය.නමුත් නිපුනිට ද ඒ සිතුවිල්ලම නැඟී තිබිණ.

“එතකොට ඔය ගෑනු මනුස්සයා කියයි පුතෙක් හම්බෙන එක මොකක් හරි ලොකු අවුලකට මුලක්..එයා දුවෙක්ව කරා ළමයා කියලා.ඔය වගේ මිනිස්සුන්ට කියන්න කරන්න කතාද නැත්තේ..”

හිරුදි ඒ කතාව අසා හිඳ නිපුනිට වඩා සමීප වූවා ය.ඇය ඉතා මෑතකදී දැන ගත් රහසක් තිබේ.එය මිතුරියට කියන්නට තවම ඉඩක් නොලැබිණ.

“ඔයා දන්නවද? මගේ කේන්දරේ චේතන පතාගෙන ආව කේන්දරේ වුණු විදිය..”

චේතන දේවතිලකට විවාහය වෙනුවෙන් ප්‍රබල ග්‍රහ යෝගයක් ඇති යුවතියකගේ කේන්දරයක් ළසඳා සොයමින් සිටින බව මල්ලිකා සමරවික්‍රම දැන ගෙන ඇත්තේ ඒ දෛවඥ ගැහැනියගෙනි.දැන් ඒ “මෑණියෝ” පාවිච්චි කරන්නේ ඉතා නවීන පන්නයේ මෝටර් රථයකි.ඒ මල්ලිකා සමරවික්‍රමගේ තිළිණයකි. සමරවික්‍රම පවුලේ බාල දියණිය ඒ කේන්දරයේ අයිතිකාරිය බවට ළසඳා ඉදිරියේ අනාවැකි කියන්නට පෙර මෝටර් රථය ත්‍යාග ලද බව දෛවඥවරිය කිසිවෙකුටත් නොකියන බව හිරුදි කියද්දී නිපුනි මුව වසා ගත්තා ය.මෙවැනි රැවටීම් ගැන විශ්වාසයට ගන්නට පවා අපහසු ය.

“නැතුව එහෙම පතාගෙන එන්න මම යශෝධරා වෙලා චේතන කියන මිනිහා සිදුහත් කුමාරයා නෙවෙයිනෙ.ඔය කේන්දර ගෑනිව අපේ අම්මා රවට්ටා ගත්තා..ඒ එයාලට ලැබෙන බලතලයි අනිත් දේවල්වලටයි තණ්හාවේ.මොන මිනිස්සුද ඉතින් මේ..”

නිපුනිට මේවාට කියන්නට කිසිත් නොවේ.මේ කෝප ගන්නට හෝ හඬන්නට කාලය නොවන බව මිතුරියට ආදරයෙන් පැවසීම මිසක ඇයට වෙන වචන නොවිණ.එහෙත් හිරුදි දිගින් දිගටම කතා කරමින් සිටියා ය.ඇයට කියන්නට බොහෝ දේ තිබිණ

“මං අර සිතිජ එක්ක යාළු වෙන් නෑ නිපූ..එහෙම හිතන්නවත් එපා.ඇත්තටම ඒ කොල්ලා කෙල්ලෙකුට ආදරේ කරන්න හිතෙන කොල්ලෙක් තමා.බලන් ඉන්න ආස හිතෙන කොල්ලෙක්.චේතනලා වගේ වනචරකම පිරිච්ච කොල්ලෙක් නෙවෙයි ආදරේ පිරිච්ච කොල්ලෙක්.ඒත් එහෙමයි කියලා එයාගෙ ඔලුවට වෙන අරමුණක් දාලා ඒ මනුස්සයා මේ රටට නැති කරලා දාන්න මම ආස නෑ.මම එහෙම කරන්නෙත් නෑ..”

ආවේගයට එසේ කියා දිග හුස්මක් ගත් හිරුදි අනතුරුව මිතුරිය දෙස බැලුවේ පිනි ඉහිර ගිය දෑසකිනි.

“ඒ වුණාට මං හරි ආසයි එයත් ඔයා වගේ මට කිට්ටු යාළුවෙක් වෙනවට..”

එය සිතනා තරමට පහසු නොවන බව ද හිරුදි දන්නී ය.සිතිජට ඕනෑතරම් යහළුවන් ඇති බව ඇය එදා දෑසින්ම දුටුවා ය.ඔහුගේ ෆේස්බුක් ගිණුමට පිවිස බලන ඕනෑම මොහොතක ද එයට ඕනෑතරම් සාක්ෂි හමු වේ.එවැනි තැනක හිඳින සිතිජ තමන්ව මිතුරියක කර ගන්නට ඇති ඉඩ අල්ප ය.

“ඒ නැතත් මට එයාලට මොනව හරි ගිහින් දෙන්න හිතෙනවා.මගේ සල්ලිවලින්.චේතනගෙන් එක රුපියලක් මං ඒකට වියදම් කරන් නෑ.ඒක ඒ ළමයින්ට නින්දාවක්.”

හිරුදි එසේ කියද්දී නිපුනිට කියන්නට තිබුණේ වෙනත් කතාවකි.

“එහෙමත් නෑ හිරූ.චේතන ඔය අට්ටි ගහන්නෙත් මිනිස්සුගෙම සල්ලිනෙ.ඒවා ඒ මිනිස්සු වෙනුවෙන් වියදම් කරාට කමක් නෑ.ඒක නිකං රොබින් හුඩ් පන්නේ වැඩක්..”

ඒ විහිළුව පහසුවෙන් සිනාසෙන්නට හැකි විහිළුවක් වූවානම් මොනතරම් අපූරුදැයි හිරුදි සිතුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles