හිමගිරි අරණ-47

” මම කිසිම දවසක බැල්මකින් වත් පාරමීට බලාපොරොත්තුවක් දීලා නෑ අම්මේ.”

සෘජුව කතා නොකිරීමෙන් බොහෝ ගැටලු නිර්මාණය විය හැකි බව සිතුණු හන්දා රවිඳු එසේ කියන්නට වගබලා ගත්තේ ය.තවදුරටත් මේ කතාව සැඟවීමෙන් ඇතිවන වාසියක් නොමැත.එය ඔහුගේ අනාගත සැලසුම් වලට පවා ගැටලු ඇති කරන සුළු බව රවිඳු තේරුම් ගනිමින් සිටියේ ය.

“මට තේරෙන්නෙ නෑ ඇයි එයාගේ අම්මා අම්මට කතා කරේ කියල.අපි අතර කිසිම සම්බන්ධයක් නැතුව එහෙම තීරණයක් ගන්න එයාලට පුළුවන් වුණේ කොහොමද?”

සමහර අවස්ථාවන් වලදී සමහර කාරණා කියවා ගැනීම අම්මා කෙනෙකුට ඉතා පහසු දෙයකි.මෙය මෙසේ අවසන් වන බව එදා රෝහලේදී තමන් කල්පනා කළ බව අම්මා පවසද්දී රවිඳුට පැවසීමට කිසිවක් ම තිබුණේ නැත.

“ලෙඩක් දුකක් හැදුණාම හිතවත් මිනිස්සුන්ට ඇවිල්ල අපිව බලන්න එපා කියන්න බෑ තමයි.කොහොමත් ඒ දවස් වල පිට වත් ඔයාව බලන්න බැරි වෙන විදිහට යාලුවෝ ඉස්පිරිතාලෙ ඇඳ වට කරගෙනනෙ හිටියේ.ඒ ආපු හැම යාලුවගෙන් ම මට ඒ ගෑනු දරුවගෙ වෙනසක් පෙනුණා.”

සමහරවිට අම්මාට දුරදක්නා නුවණක් තිබෙන්නට ඇත.පාරමී ආදරය බලාපොරොත්තු වූ කාලයේම මේ කතාවට එවැනි අවසානයක් නොමැති බව තමන් ඇයට පැහැදිලි කළ අන්දම රවිඳු අම්මාට හෙළි කළේ ය.

“වෙච්ච හිත් අමාරුවල හැටියට ඔයා දැන්මම තීරණයක් ගනී කියලා අපට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.එක පාරටම මෙහෙම කෝල් එකක් ආවහම අපි පුදුම උනේ ඒකයි.ඒත් ඒ ගෑණු ළමයා ගැන  හිත හදාගෙන කැමැත්ත දෙන්න බැරි මොකක්දෝ එකක් මට දැනෙනවා පුතේ.” 

පාරමී,ඇය හිඳින්නේ ඔහු කෙරෙහි ආදරයෙන් බව මුලින්ම තමන්ට හෙළි කළේ හිමාෂා බව රවිඳුට අමතක නොවේ.ඇසුරු කර බලා ගැළපීම් තීරණය කරන්නට හැකි බව හිමාෂා පවසද්දී පවා රවිඳු එයට එරෙහි වුයේ ය.

“කාවවත් අතරමගදී අතැරලා දාන්න මම කැමති නෑ.ඒ වේදනාව හොඳටම දන්න කෙනෙක් මම.මම කොහොමද තවත් කෙනෙක්ට ඒ වේදනාව දෙන්නේ?”

එදා ඔහුට අසන්නට තිබූ ප්‍රශ්නය එවැන්නකි.ඒ යෝජනාවට එකඟ නොවීම ම තමන් ගත් හොඳ තීරණයක් බව රවිඳුට කල්පනාවට නැඟෙයි.නැතිනම් මේ කතාවට ඇත්තේ මීටත් වඩා භයානක අවසානයකි.

“ඒ ළමයගෙ විතරක් හිතේ තිබ්බ දෙයක් ඔය විදිහට කියපු විත්තියක් දැනගත්තම ඒ අම්මට මහා දුකක් එයිනෙ පුතේ.සම්බන්ධයක් තිබ්බයි කියලා එයා හිතාගෙන ඉන්නකොට අපි කොහොමද කියන්නේ ඔයාගේ තුන් හිතකවත් එහෙම දෙයක් තිබුනෙ නෑ කියලා?”

අම්මා ගෙන එන්නේ පිළිතුරු නොමැති සංකීර්ණ ගැටළුවකි.නමුත් අම්මාගේ කැමැත්තද පාරමීට නොමැති මොහොතක ඇයව මේ කතාවේ තවත් දුර ගෙන යාම අතිශය සංකීර්ණ බව රවිඳුට සිතෙයි.

“අම්මා කෙනෙක්ගේ හිත ඒ තරම් නරක් කරන්න නරකයි.මං ඒ අම්මට කියනවා කේන්දර කොපියක් එවන්න කියලා.ඊට පස්සෙ දවස් දෙක තුනකින් කියන්න බැරියැයි කේන්දර කොහොමටවත්ම ගැළපෙන්නෙ නෑ කියලා.”

අම්මා විසඳුමක් සොයා දුන්නේ ය.නමුත් ඒ  විසඳුම තවත් ගැටලු රාශියක ඇරඹුමක් බව ඒ මොහොතේ රවිඳු සිහිනයකින්වත් නොසිතුවේ ය.මෙය මේ ආකාරයෙන් හෝ විසඳා ගැනීමට ලැබීම ගැන ඔහු දෙවියන්ට ස්තූති කළේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles