පෙමාතුර -14

මා රිදී සිටි බව පිළි ගත යුතු ය. එදා වැහි දවසේ මා බස් නැවතුමක හුදෙකලා ව සිටියදී මුලින් ම මගේ නෙතු ඉදිරියට ඇවිත්, ඉන් පසු නොයෙක වර සඳැල්ලේදී මගේ ගැහැනු හිත ඔහු හඹා යන්නට සලස්වා, ඊළඟට ඔහු ට සහායිකාවක හිඳිනා බව මගේ ඇස් ඉදිරියේ ම ඔප්පු කොට පෙන්වා තිබියදී, ඒක පාර්ශ්වික ලෙස පෙමාතුර ව උන් මට රිදුණු බව පිළි ගත යුතු ය. තුවාලයේ රිදුම් ගැන දන්නේ තුවාලය තිබෙන මිනිසා යයි කතාවක් තිබේ. නමුත් මේ වෙලාවේ මම වියරු සතුටක් විඳිමින් සිටියෙමි. ඒ, මට තුවාලයක් හෝ රිදුමක් නැතැයි විසල් ට පෙන්වා ගත හැකි වීමේ විකෘති සතුට ය. ඔහු ට වාගේ ම මට ද මගේ පසින් කෙනෙකු හිඳිනා බව  ඔහු ට දැන්වීමේ සතුට ය! 

කෑම මේසයේ දී ගැහැනු ගෙදර වැඩිහිටි ගැහැනුන් තිදෙනා ට සිය හැසිරීමේ කිසිදු වෙනසක් පෙන්වන්නට විසල් ට ඕනෑ වූයේ නැත. ඔහු සාමාන්‍ය ස්වභාවයෙන් ම සිනහ වෙමින් ද කතා කරමින් ද කෑම ගනිමින් සිටියේ ය. ඔවුන් ගේ කතාව පැතිර පැවතුණේ මානව වර්ගයා කෙරේ අසීමිත ප්‍රේමයක් දෙසට ය. මා කෙතරම් ක්ෂුද්‍ර වූ අංශුවක් ද, මගේ හැඟීම් මොන තරම් මා කේන්ද්‍ර කොට ගෙන පවතින්නේ ද, නිකමට හෝ මට මෙවැනි සිතිවිලි මීට පෙර පහල නොවූයේ මන්ද වැනි ප්‍රශ්න හිතට තට්ටු කරමින් යන යුරු බලා ගෙන මම හෙමිහිට කෑම කෑවෙමි. ඒ අතරේ ඔවුන් ගේ කතා බහට සම්බන්ධ නොවී හිඳිනා බව හඟවනු වස් ජංගම දුරකතනය මා ඉදිරියේ තබා ගෙන මුහුණු පොතට එබී ගෙන සිටියෙමි. නමුත් ඔවුන් ගේ කතා බහෙන් අංශුවක් හෝ මගේ සවන් වලින් පිට ගියේ නැත. 

“පන්සලේ හාමුදුරුවො කෝල් කරල ඇහුව වලාකුළු බැම්ම අපේ වියදමින් කරල දෙන්නෙ කියල බෝඩ් එකක් ගහන්න ලෑස්ති කරල තියෙන්නෙ කියල..ඒකට දාන්න ඕන නම් මොනාද කියල”

පුංචි අලුත් තැනකින් දීර්ඝ මාතෘකාවකට පිවිසියේ එසේ ය.

“මං කිව්ව අප්පෝ බෝඩ් ඕන්නෑ කියල. නම දාල බෝඩ් එකක් ගහ ගන්න ඕන නෑ නේද අක්කෙ..”

“පිස්සුද අනේ…මොන නම්ද…නම නෙවෙයි කෙරෙන්න ඕන වැඩේ අපි කළානෙ. එච්චරයි”

“මිනිස්සු පන්සලට මොනා හරි පූජා කළත් ලොකුවට නම ගහලනෙ පූජ කරන්නෙ. ඒකයි හාමුදුරුවරුත් ඒවගේ දේවල් අහන්නෙ. මිනිස්සු බලාපොරොත්තු වෙන දේ කාලයක් තිස්සෙම එයාල දන්නවනෙ”

විසල් ද ඒ කතාවට සම්බන්ධ වූයේ ය.

“ඕව්. දැකල නැද්ද පන්සලේ තියන පිඟන් වලත් ඇතුල් පැත්තෙම නම ගහලනෙ අප්ප තියෙන්නෙ. බත් කටක් කන්න ඒ පිඟාන දිහා බලන බලන ගාණට පේන්නෙ නැසී ගිය අහවලාට නිවන් සුව අත් වේවා කියන වාක්‍ය. අනේ මන්දන්නෑ මිනිස්සු තමන්ගෙ නම ගහ ගන්න මොන තරං ආසාවක්ද තියෙන්නෙ කියල”

නදීරා එසේ කියන විටත් මට ද පන්සලේ පිඟන් සිහි විය. පිඟන් වල පමණකුදු නොව පන්සලේ තිබෙනා කුදු මහත් සියලු බඩු භාණ්ඩ වල ඒවා පූජා කළ පිංවතුන් ගේ නම් ගසා තිබෙන්නේ ය. පේරු දානය ගෙන අම්මා සමග පන්සලට ගිය දාක මම ඒවා දැක ඇත්තෙමි.

“පින කියන දේට හේතු වෙන්නෙ දානය කියන ක්‍රියාවයි ඒ ක්‍රියාවට හේතු වුණ සිතිවිල්ලයි කියන එකයි කියල හාමුදුරුවො මේ උපාසකයන්ට කියල දෙන්න ඕන අක්ක. මන්නං කියන්නෙ පටං ගන්න ඕන එතනින්”

විසල් ගේ රැඩිකල් අදහස මගේ හද බැඳ ගත්තේ ය. මම ඔහු දෙස බැලුවෙමි. අප දෙදෙනා හිඳ සිටියේ මේසයේ ඈත කෙලවර දෙකෙහි උනුන් ට සම්මුඛ ව ය. ඉතින් හිස කෙළින් කළ පමණින් අපට කෙලින් ම පෙනෙන්නේ අපව ය. මා ඔහු දෙස බැලුවේ වැරදීමකින් නොවී ද ඔහු නම් වැරදීමකට හෝ ඉඩ තබන බවක් පෙනුණේ නැත.

“දෙන දේ දැන ගන්න ඕන දෙන කෙනයි ගන්න කෙනයි විතරයි කියල පරණ කතාවක් තියෙනව. ඒ වුණාට මිනිස්සු බලන්නෙ දෙන දෙයක් ලෝකෙට ප්‍රසිද්ද කරල දෙන්නමනෙ”

“පන්සලට දෙන දේවල් ඕන නෑ ඉතිං. මිනිස්සු කාට මොන දේ දුන්නත් ෆොටෝ ගහල ෆේස් බුක් දාන කල්චර් එකක්නෙ දැන් මේ රටේ ඇති වෙලා තියෙන්නෙ”

“කියල වැඩක් නෑ. මිනිස්සු දානයක් දෙන්නෙ වුණත් හිත සුව පිණිස නෙවෙයි. ලෝක ප්‍රසිද්දියට”

“මිනිස්සුන්ට හිතන්න පුරුදු කරන්න ඕන අක්ක. දෙයක් නැති කෙනෙකුට දුන්නහම ඒ කෙනාට ඒ දේ ලැබීම ගැන විතරක් හිතල සතුටු වෙන්න කියන තැනට මිනිස්සු හිතන්න පුරුදු කරන්න ඕනෙ”

“හෙට අනිද්දට හිඟන්නෙක්ට රුපියල් විස්සක් දුන්නත් ෆොටෝ එකක් ගහල එෆ් බී දාන්න පටන් ගනී. අපේ මිනිස්සු හදවත් වලින් ඒ තරං බංකොලොත්”

“මේ දේවල් නැති කරන්න පුළුවන් අධ්‍යාපනයෙන් විතරයි අක්ක. ඒ කියන්නෙ පොත් කටපාඩං කරවන සිස්ටම් එකෙන් නෙවෙයි. පොඩි කාලෙදිම ළමයින්ගෙ ඔළු හදන්න ඕන. ඒකට හොඳ දැක්මක් තියන ගුරුවරු ඉන්න ඕන. අවාසනාවකට අපේ දුයිෂෙන් පරම්පරාව වුණත් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඒ තරං උඩක නෙවෙයි ඉන්නෙ. ඔය නම දා ගන්න එක ගැන කියනකොට මට මතක් වෙන්නෙ…දැන් බලන්නකො මහජන මුදල් වලින් මේ රටේ හැදෙන පාරක වුණත් පාරෙ නමට වඩා ලොකුවට තියෙන්නෙ දේශපාලකයන්ගෙ නම් ටිකයි මූණු ටිකයිනෙ. පවතින ඕන ම රජයක් ඒ කාලෙදි රටේ කරන සංවර්දන කටයුතු ලීඩ් කරනව තමයි. මොකද රටේ වැඩ ටික කරන් යන්නනෙ ඒගොල්ලන්ව පත් කරල තියෙන්නෙ. ඉතින් ඒගොල්ලන්ට මොකද්ද තියන අයිතිය පාරෙ නම තියන බෝඩ් එක ළඟ ඒගොල්ලොන්ගෙ නම දාගන්න…මිනිස්සුන්ට ඕන හොඳ වැඩක් කළා කියල ලෝකෙට පේන්න නම දා ගන්න. ඒක එක විදිහක මානසික දුර්වල කමක් මටනං හිතෙන්නෙ”

හොඳ ගුරුවරයෙකු ගේ කට දිහා බලං ඉන්නා සිසුවියක සේ මම ඔහු දෙස නෙතු පිය නො සලා බලා ඉන්නට වූයෙමි. ඒ වගේ දර්ශනයක් ඇති මිනිසෙකු කෙරේ පෙමින් ආතුර වන ගැහැනු හිතකට කිසි දා ගැලවීමක් නොවන්නේ ය. ඒ ප්‍රේමය මත්තේ මියැදෙනු විනා වෙනත් විකල්පයක් නො වන්නේ ය.

මා ඔහු දෙස ම බලා හිඳිනා බව විසල් ට දැනෙන්නට ඇත. ඒ නිසා ම ඔහු ප්‍රවේසම් සහගත වූයේ ය. මට කේන්තියක් දැනිණ. මගේ හැඟීම් සමග එක විදිහක සෙල්ලමක් කොට දැන් ඔහු ප්‍රවේසම් වෙයි!

දවාලේ මා දුටු බවක් හෝ ඔහු කියනු ඇතැයි මම බලාපොරොත්තු වුණෙමි. නමුත් ඔහු එවැන්නක් ගැන හෝ සඳහනක් නො කළේ ය. අනිත් අයට නොව මට පමණක් වුව එවැනි ඉඟියක් නො දුන්නේ ය. මම තරහ මූණක්  යැව්වෙමි. මේසය මත වූ දුරකතනය අතට ගෙන ඔහු ඒ විවර කළේ ය. නමුත් මදෙස බලන්නේ හෝ නැතිව යළි දුරකතනය පසෙක තැබුවේ ය. 

එහෙමත් ආඩම්බර කමක්!

කෑම කා තවත් ටික වෙලාවක් කතා කරමින් සිටි ඔහු නික්ම ගියේ මට යනවා කියන්නේ හෝ නැතිව ය.

ඉෂිනි මට හමු වන්නේ ඊට පසු දා ය. ඇය අපේ ගෙදර ඇවිත් තිබුණේ නදීරා සමගිනි.

“මේ අපේ සැලෝන් එකට ආපු ගර්ල් කෙනෙක්. ඉෂිනි. දැන් එයා සැලෝන් එකට ඇවිත් ම මාත් එක්ක යාළුයි. එයා බියුටි කල්චර් කෝස් එකක් කරල එග්සෑම් ලියන්න හදන්නෙ. එග්සෑම් එකට දවස් දෙක තුනයි නිසා පොඩ්ඩක් මතක් කරල දෙන්නයි මං එක්කං ආවෙ”

නදීරා අපට ඇය හඳුන්වා දෙමින් කීවා ය. නමුත් ඊට පෙර මම වහා ඇය හැඳින ගතිමි. එදා මා සිදත් අංකල් සමගින් අවන්හලෙහි කෑම කමින් සිටියදී විසල් සමගින් පැමිණි යුවතිය ඇය යි. ඊට කලින් ජනතා උද්ඝෝෂණයේ දී ඔහු ගේ අතේ එල්ලී සිටියේ ඇය ද කියා මට නිනව්වක් නැත. කෙසේ වෙතත් මෙලෙස ඇය අපේ ගෙදරට ම පැමිණීම නම් මට අදහා ගත නො හැකි සිදුවීමක් විය. 

නදීරා ඉෂිනි ව සිය කාමරයට කැටිව ගියා ය. මගේ හිතේ සිතිවිලි සමූහයක් ක්‍රියාත්මක වෙමින් තිබිණ. හද ගැස්මෙහි වෙනසක් සිදු ව තිබිණි ද මේ මොහොතේ බුද්ධිමත් ව හැසිරිය යුතු බව යටි හිත මට අනතුරු ඇඟවී ය.

නදීරා කියන්නේ සමාජ අවබෝධයක් ඇති තැනැත්තියකි. ඉෂිනි යනු කෙබඳු තැනැත්තියක් ද කියා නො දැන ඕ ඇය ව මේ විදිහට අපේ ගෙදරට කැටිව එන්නේ නැත. නමුත් විසල් හා ඈ අතරේ වන සම්බන්ධයක් ගැන නදීරා කිසිත් නො දන්නවා විය යුතු ය. ඇය ගෙදර අයට ඉෂිනි ව හඳුන්වා දීමේ දී එවැන්නක් ගැන සඳහනක් කළේ නැත.

මට ඇය හොඳින් මතක ය. ඒ ඇය විසල් සමගින් දුටු නිසාවෙනි. ඇය ඔහු ගේ පෙම්වතිය යයි මා අනුමාන කළ නිසාවෙනි. එදා අවන් හලෙහි දී කිහිප වරක් ම මම ඇය දෙස බැලුවෙමි. අමතක නොවන ලෙස ඇය මගේ මතකයේ ද රැඳුණේ ය. ඇය ද මදෙස බැලුවා මට මතක ය. නමුත් මා ගැන මතකයක් ඇය ට ඇත්ද නැත්ද කියා මා දන්නේ නැත. මතක බවක් ඇය හැඟවූයේ නම් නැත.

ටික වෙලාවක් ගත වී ගිය පසු සිසිල් බීම වීදුරු දෙකක් ගෙන මම නදීරා ගේ කාමරයට ගියෙමි. ඒ මට ඇය කවුදැයි දැන ගන්නට වූ උවමනාව යටපත් කළ නො හැකි ලෙස බලවත් වූ බැවිනි.

නදීරා ඉෂිනි ට ඩමියක් ආධාරයෙන් හිස කේ විලාසිතාවක් ගැන යමක් කියා දෙමින් සිටියා ය.

“එක්ස්කියුස් මී”

“අනේ කිසා ඔයා මහන්සි වුණේ ඇයි…මේක ඉවර වෙලා මං ටී රෙඩි කරන්නයි හිටියෙ”

“මට ඔයාව දැකල පුරුදුයි වගේ. ඒත් කොහෙදිද දැක්කෙ කියල මතක් වෙන්නෑ”

ඇය කීවා ය. මගේ හිත ඇතුළේ අහේතුක ගැස්මක් ඇති විය.

“දැකල පුරුදු ඇති ඉතිං…එක පාරවල යන…එක බස් වල යන…එක ටවුන් එකක් වටේ ඉන්න අයනෙ. මේ..එහෙනං ඔය දෙන්න කතා කරන්නකො”

කියා ගෙන නදීරා නාන කාමරය දෙසට ගියා ය. මම අවස්ථාවෙන් ප්‍රයෝජන ගතිමි.

“මට මතක් වුණා. ඔයා නේද එදා විසල් එක්ක රෙස්ටොරන්ට් එකේ හිටියෙ…”

මම එවෙලේ මතක් වුණ විලාශයක් පෙන්වීමි.

“ඕ…කි..සා…මට මතකයි දැන්”

“විසල්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ…ඉතින් එයා එහා ගෙදරනෙ ඉන්නෙ”

“රියලි…ඔව්නෙ. හැබැයි මං එයා ඉන්න තැනට ඇවිත් නෑ. ස’ප්‍රයිස් වෙයි මං ගියානං…ඒත් දැන් නැතුව ඇතිනෙ”

ඇය කුඩා දැරියක ගේ හුරතලයෙන් කට ඇද කළා ය. මගේ තරගකාරිය ය කියා හැඟීමක් මට දැනුණේ ම නැත. මොකක්දෝ හුරුපුරුදු ගතියක් හෝ කැමැත්තක්, කතා කළ ඒ සුළු මොහොතට ඈ ගැන මට ඇති ව තිබිණ. 

“ඔෆිස් ඇරිල එනකල් ඉන්න ඉතිං”

“අම්මෝ එච්චර වෙලා ඉන්න බෑ. මං ආයෙ දවසක එන්නං. ඔයා මොනාද කරන්නෙ…මං කියන්නෙ…ජොබ් එකකට යනවද..”

“නෑ. ෆ්‍රී ලාන්ස් කොපි රයිටර් කෙනෙක් හැටියට ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකේ වැඩ කරනව. ඔයා ඉන්නෙ කොහෙද…”

“ටවුන් එකේමයි…බෝඩ් වෙලා ඉන්නෙ ඉතින්. විසල් අපේ ගමේ. දුරින් නෑයොත් වෙනව”

“ආ…ඒ කියන්නෙ නෑනයි මස්සිනයි”

මා කොහොම ඇය සමග එහෙම කතා කොට එහෙම සිනහ වුණා ද කියා මම ම නො දනිමි. එය වූ කලී ව්‍යාජයක් නොවේ. මවා පෑමක් නොවේ. සැබවින් හදෙහි උපන් ළෙංගතු කමකි. මා නො දන්නේ එවන් ළෙංගතුකම් ඇසිල්ලකින් හිතක ඇති වන්නේ කෙසේ ද කියා ය.

එක අතකට ඒ හෘද සාක්ෂියෙන් වැරදි කරුවෙකු වීමෙන් වැලකෙනු පිණිස හදවතක් විසින් ගනු ලබන ක්ෂණික ආරක්ෂිත ක්‍රියා දාමයක් වන්නට පුළුවන. නැතහොත් තව දුරටත් විසල් ව අධ්‍යයනය කරනු පිණිස ලැබුණ මහඟු අවස්ථාවක් සේ යටි හිත මෙය පිළි ගන්නට ඇත.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...