ප්‍රේමයේ අභිමන් -47

සිය ජීවිතය අවසානය කරා එළඹෙමින් තිබෙන බව අරවින්ද ට හැඟිණ. අපි මරණය මිට මොළවා ගෙන උපදිනා මිනිසුන් වන්නෙමු. කවදා හෝ මියෙන බව ඉඳුරා දැන ජීවත් වන්නෙමු. නො දන්නේ කවදා කොයි ලෙස මරණයට පත් වන්නට නියමිත ද කියා පමණකි. නමුත් බරපතල රෝගයකින් ඇඳට වැටුණ මිනිසෙකු ගේ සිතිවිලි තරංග මරණය සමග ගනුදෙනු කරනවා වැඩි ය. සිය ආයුෂ අවසාන වී ගෙන එන බව දැන ගෙන හුස්ම ගැනීම වනාහි ක්ෂණික මිය යාමකට වඩා විඳවීමකි. කායික අපහසුතා හා වේදනා කැක්කුම් වලට වඩා දරුනු වූ චෛතසික පීඩාවකින් අරවින්ද රිදුම් ලබමින් සිටියේ ය. නමුත් මේ කලබල වී සියල්ල අවුල් කොට ගත යුතු වෙලාවක් නොවන බව ඔහු මනා සිහියෙන් යුතුව සිතුවේ ය. සිය නීතීඥවරයා ව රෝහලේ ගිලන් කුටිය වෙත කැඳවා ගත්තේ සිය යුතුකම් ඉටු කොට තබා නිදහසින් අවසාන ගමන යන්නට ය.

සිය ව්‍යාපාර හා සියලු වස්තුව දේපල වලින් හරි අඩක් වශයෙන් රොෂෙල් හා ඇගේ දරුවා වෙනුවෙන් ද අපරාජිතා හා අනන්‍යා වෙනුවෙන් ද වන ලෙස ඔහු සිය අවසාන කැමති පත්‍රය ලියැවී ය. නීතිමය වශයෙන් වෙන් වී සිටින නිසාවෙන් අපරාජිතා වෙනුවෙන් දේපල වෙන් කළ යුතු නැති බව නීතීඥවරයා සිහි කොට සිටිය ද අරවින්ද සිය අදහස වෙනස් නොකළේ ය. ඔහු ගේ මරණය තෙක්, අන්තිම කැමති පත්‍රය නීතීඥ වරයා  ගේ භාරයට පත් විය. 

තමන් අතින් සිදු වූ වැරදි හා අඩුපාඩු, අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අරවින්ද ට සිහි කර ගත හැකි විය. දැන් ඒ ගැන පසු තැවී පලක් නොවන බව හෙතෙම දැන සිටියේ ය. අවසාන යුතුකම ඉටු කොට නික්ම යාමට හෙතෙම හිත හදා ගෙන සිටියේ ය. දා යන්නට බැරි අය ලෙස හිත හැඬුවේ අනන්‍යා හා නූපන් බිළිඳුන් ගැන ය. ඒ අතරින් ද අනන්‍යා ඔහු ගේ ගෙලේ එල්ලී සිටිනා සෙයක් දැනිණ.  මරණය අසලට ම එන තුරු ම ජීවිතය කියන්නේ කෙතරම් ආදරය පිරුණ තැනක් ද කියා වැටහෙන්නේ නැත!

අපරාජිතා උදයෙන් ම පිබිදුණේ පීස් ලිලී මල් මකරන්ද වලින් වහනය වූ ඉසිහින් සුවඳ ආඝ්‍රාණය කරමිනි. යහනෙන් බැසි ගමන් ඕ පසෙක තබා තිබූ මල් බඳුන ගෙන එහි මල් වලට මුහුණ ලං කර ගෙන සිටියා ය. සසංක ළඟ ම සිටිනවා සේ ඇය ට දැනිණ.

යහනෙහි බිත්තිය අයිනේ දේශිකා තවමත් නිදයි. අරවින්ද ගැන ආරංචිය ලද ගමන් ඇය ජය පාරේ නිවසට ආවා ය. අපරාජිතා අරවින්ද ට වකුගඩුවක් පරිත්‍යාග කරන්නට ගත් තීරණය ගැන ඇය එක හෙළා විරුද්ධ වූවා ය.

“මං කොච්චර එපා කිව්වත් ඔයා ඒක අහන්නෑ කියල මං දන්නව. ඒක  නිසා කැමති දෙයක් කරන්න. මං ඔයා ළඟම ඉන්නව”

අවසානයේ ඇය ට සිදු වූයේ ඒ වාගේ කතාවක් කියමින් හිත සකසා ගන්නට ය. 

අපරාජිතා ගේ තීරණය ගැන මුලින් ම දැන ගත් වෙලාවේ සසංක දැඩි භීතියකින් වෙලී ගියේ ය. ජීවත් වෙන කෙනෙකුගේ ශරීර අවයවයක් ගලවා ගැනීම ගැන මිනිස් හිත් වල නිසඟයෙන් ඇති වන ඒ භීතිය ගැන පුදුම විය යුතු නැත. ජීවත් වෙන මිනිසුන් ගේ අවයව ගලවා ගැනීම ගැන නොයෙකුත් කතා ළමා වියෙහි සිට ම ඔහු අසා තිබිණ. වරක් දඹදිව වන්දනා කරන්නට නඩයක් සමග ගිය දුර ඥාතියෙකු අතුරුදන් වූ බව සසංක ට මතක තියේ. එතකොට ඔහු ට වයස දහ තුනක් දහ හතරක් පමණ වේ. දිල්ලියේ ජනාකීර්ණ වීදි වල ඇවිදිමින් සිටියදී මෙසේ ඔහු අතුරුදන් වූ බව ය කියවුණේ. එසේ මිනිසුන් රහසිගත ව ගෙන ගොස් ශරීර අවයව සොරකම් කර ගන්නා බව ඒ කාලයේ ඥාතීන් කතා වෙනු සසංක ට දැනුදු සිහි කර ගත හැක. එදා දැනුණ ඇඟ කිලිපොලා යන බිය මේ වෙලාවේ ද ඔහු අත්වින්දේ ය. නමුත් කිසි සේත් අපරාජිතා ට ඒ බව හඟවන්නට ඔහු පෙළඹුණේ නැත.

“අරවින්ද කියන්නෙ ඔයාගෙ කවුරුවත් නෙවේනෙ. ඒ ගැන ඒගොල්ලො බලා ගනී. ඒ මනුස්සය නිසා ජීවිතේ තරුණ කාලෙ විනාස වෙලා ගියා මදිවටද දැන් වකුගඩුවකුත් ගලෝල දෙන්න යන්නෙ…ඔයාට මොකද්ද වෙන්නෙ කියල හිතන්න. ඔයා ලෙඩ වෙයි. ඔයා දුර්වල වෙයි. ආයෙ කසාදයක් බඳින්න වුණා කියල හිතමු…මං කියන්නෙ අපූට ආයෙ බඳින්න බැරි කමක් නෑනෙ…එහෙම වුණොත් ඔයා දරුවෙක් හරි හදන්න ඕන. අරවින්ද නිසා දැන් ජීවිතෙත් බිලි දෙන්න ඕනද…”

මේ ගැන දැන ගත් වහා ම දේශිකා පරල වී අඩි පොළොවේ හප්පමින් කෑ ගැසුවා ය. ඇය අවධාරණය කළ කාරණා සසංක ගේ සිත් හි ද කැකෑරෙමින් තිබිණ. නමුත් ඒ බවක් කියන්නට සිතිවිලි එකලාස කර ගත නො හැකි ව එතෙක් ඔහු පසුබෑවේ ය. අනිත් අතට අපරාජිතා කවර තීරණයක් ගත්ත ද ඇය අත් නො හැර ඇය සමග ඉන්නට දැන් ම ඔහු හිතට පිළිණ දී අවසන් ය.

 පියෙටා කිරි ගරුඬ ප්‍රතිමාවේ මරිය තුමිය සේ ම අපරාජිතා අකම්පිත ව සිටියා ය. අනන්‍යා ට සේ ම අරවින්ද ට ද මේ බවක් නො පවසා සිටින ලෙසට ඕ සිය මිතුරිය ප්‍රතිඥා කරවා ගත්තා ය.  මහ රැයක් වන තුරු ම තිදෙන එක්ව අන්තර්ජාලයෙහි වකුගඩු බද්ධ කිරීම පිළිබඳව පළ වී තිබූ තොරතුරු අතරේ සැරිසැරූහ. වකුගඩුවක් ප්‍රදානය කිරීමෙන් එසේ ප්‍රදානය කරන්නා ගිලන් නොවන බවත්, බර එසවීමේ රැකියා වැනි දේ වලින් ඉවත් විය යුතු වූවද එදිනෙදා සාමාන්‍ය කටයුතු ද රැකී රක්ෂා ද කර ගෙන සාමාන්‍ය ජීවිතයක් ගෙවන්නට ඉන් කිසිදු බලපෑමක් නොවන බවත් ඔවුන් දැනුවත් වූයේ එමගිනි. එසේ ම කාන්තාවන්ට විවාහ වීමට හෝ දරුවන් බිහි කිරීමට ඉන් කිසිදු බාධාවක් නැති බව ද පැහැදිලි ව සටහන් වී තිබිණ. දේශිකා ගේ ඇඟට ලේ ටිකක් උනා පහසුවෙන් නින්ද ගියේ ඉනික්බිති ය.

පීස් ලිලී බඳුන තුරුලු කර ගෙන අපරාජිතා සඳැල්ලට ගියා ය. අලුත් දවසක් උදා වී තියේ. මොනවා කොහොම සිදු වුණත් වෙනදා සේ ම කුරුලු කොබෙයියෝ සිය මධුර කූජනයන් ගෙන් හාත්පස සංගීතවත් කොට සිටිති. රාත්‍රියක් පුරාවට බැර ලෝහ වල බරින් මිදුණු වායු ගෝලය අලුත් වාතයෙන් සැහැල්ලු වී සිහිලැල් ව හමා යයි. අපරාජිතා පීස් ලිලී බඳුන ටෙරාරියම් රැක් එකේ ඉහළ ම තට්ටුවේ තබා දිය නා ගත්තා ය. සුදු පාට ශර්ට් බ්ලවුස් එකකින් හා ලා නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සැරසුණ ඕ තේ සූදානම් කරත්දීත් දේශිකා නින්දේ ය. ඇය අවදි කරන්නට ලෝබ කමට තේ එක වසා තබා සසංක ගේ තේ එක ගෙන අපරාජිතා පහලට ආවා ය. සසංක ගේ දොරකඩ දී ඇය ට ඔහු හමු විය. එදා උපන් දිනය කී දා ඇය තිලිණ කළ ලා දම් පැහැති කමිසයෙන් ඔහු සැරසී සිටියේ ය. අපරාජිතා මඳ වෙලාවක් ඒ කඩවසම් පිරිමි පෞරුෂය දෙස නෙතු පිය නො සලා බලා සිටියා ය. 

“හැපි බර්ත් ඩේ කියන්නැද්ද මට…”

සසංක සිය දිළිසෙන ඇස් කුඩා කරමින් විචාළේ ය. ඇය ද දෑස් හකුළා ගෙන ඔහු දෙස බැලුවා ය.

“බර්ත් ඩේස් දෙකක් තියනවද ඔයාට…එදා බර්ත් ඩේ එක තිබුණෙ…මේ තියෙන්නෙ මං දීපු ශර්ට් එක. අදනං බොරු බර්ත් ඩේස් කිව්වට ආයෙ තෑගි දෙන්නෑ”

අපරාජිතා ගේ ස්වරයේ ද පෙනුමේ ද දඟකාර යොවුන් දැරියක ගේ හුරතලය විය. සසංක ඇගෙන් සිය මුහුණ සඟවා ගැනීමේ උත්සාහයක් දරමින් කතා කළේ ය.

“අද ඇත්ත බර්ත් ඩේ එක..එදා බොරු එකක්”

“ආ…”

“එදා මං උඩට ගියේ…ඇත්තටම ඔයා ගැන විස්තරයක් හොයා ගන්න. ගිය එකට හේතුවක් හොයා ගන්න බැරි වෙච්ච නිසයි කිව්වෙ…බර්ත් ඩේ එකට ඉන්වයිට් කරන්න ආව කියල”

අපරාජිතා මුහුණ වඩාත් පහළට හරවා ගෙන බිම බැලුවා ය. සසංක ගේ පිරිමි දෑස් හිරු මඬලක් සේ ඈ මතින් පායා තිබිණි. ඔහු හෙමිහිට ඇගේ හිස් මුදුණ සිප ගත්තේ ය.

“කිරි බත් ටිකක්වත් උයල දෙන්න බැරි වුණා…සොරි…”

“මං ඊයෙ කියන්න ආවෙ. ඒත් එහෙම දෙයක් කියන්න පුළුවන් සිටුවේශන් එකක් තිබුණෙ නෑනෙ”

“විශ් යූ අ හැපි බර්ත් ඩේ”

ඇගේ ඇස් වල ආදරයක් ගැන කතාවක් දිය වී තිබිණ. සසංක ඒ දෑසට එබුණේ ය.

“ඔහොම නිකං ම විශ් කරල හරියනවද…”

වඩාත් ඇය සමීපයට පැමිණි සසංක සිය දෑතින් ඇය වැළඳ ගත්තේ ය. අපරාජිතා පා ඇඟිලි තුඩු වලින් එසවී ඔහු ගේ රැවුල් කොට සහිත කොපුලක සිනිඳු හාදුවක් තැබුවා ය.

“මේ ඔපරේශන් එකෙන් මට මොනා හරි වුණොත්…ඉක්මනටම මාව අමතක කරල දාන්න. අවුරුදු හතළිස් ගාණක් වෙච්ච ජීවිතේදි මෙහෙම මට ආදරේ කරපු එකම පිරිමියා ඔයා. ඒ ආදරේ හිතෙං තුරුල් කරගෙන තමයි මං මැරෙන්නෙත්”

සසංක වහා සිය ඇඟිලි අපරාජිතා ගේ මුව මත තැබුවේ ය.

“ඕන්නැති කතා කියන්න එපා. මට කියන්න බෑ ඔයා මේකට යන්නෙපා කියල. ඒත් ඊයෙ රෑ ඉඳන්ම මගෙ යටි හිත ප්‍රාර්ථනා කරන්නෙ ක්‍රොස් මැච් ටෙස්ට් එක ෆේල් වෙන්න කියල. ඔයාගෙ කිඩ්නි එක හරියන්නම එපා කියල. ඒත් ඔයා මේක කරන්න යන්නෙ මොන විදිහෙ හිතකින්ද කියල මන් දන්නව. මට දැනෙනව. ඒ වගේ පිරිසිඳු හිතකින් ඔපරේශන් එක කළත්…ඔයාට මුකුත් වෙන්නෑ. මං ඔයාට මුකුත් වෙන්න දෙන්නෑ”

සසංක ඉතා තදින් අපරාජිතා ව වැළඳ ගෙන සිටියේ ය. ඇය නො දුටු කඳුළක් ඔහු ගේ ඇස් වල විය.

අපරාජිතා රෝහලට ගියේ සසංක හා දේශිකා සමගිනි. අරවින්ද දකින්නට ගිලන් කුටිය වෙත නො ගිය ඕ, සිය වකුගඩුව අරවින්ද ට පරිත්‍යාග කරන්නට යන බව ඔහු ට දැන ගැනීමට ඉඩ නොතබන ලෙස රොෂෙල් ගෙන් ඉල්ලා සිටියා ය. යම් හෙයකින් සිය වකුගඩුවක් ඔහු ට ගැලපී බද්ධ කිරීම සිදු වුව ද කිසි දා ක ඔහු එය දැන ගත යුතු නැති බවට ද ඇය රොෂෙල් ව පොරොන්දු කරවා ගත්තා ය.

ඉරණම පුදුම සහගත ය. ඔවුන් දෙදෙනා ගේ රුධිර ගණ ද අනිත් සියලු පරීක්ෂණ තත්වයන් ද ගැලපී තිබිණ. අපරාජිතා වකුගඩුවක් ප්‍රදානය කිරීම සඳහා අවශ්‍ය කරන සෞඛ්‍ය සම්පන්න තත්වයන් සපුරා ලන බව ද තහවුරු විය. 

ජීවත් වෙන මිනිසෙකු ගේ සේ ම මිය ගිය තැනැත්තෙකු ගේ ද ශරීර අවයව ඉවත් කර ගැනීම ගැන රටක් තුළ පවතින නීතිමය තත්වයන් තිබේ. අපරාජිතා දැනුවත් බවින් අත්සන් තැබිය යුතු ලිපි ලේඛණ රැසක් තිබුණේ ය. වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා වකුගඩුවක් ඉවත් කිරීම මත කෙනෙකු ගේ ජීවිතය අවදානමට නො වැටී ද, ඕනෑ ම සැත්කමක සාධාරණ අවදානමක් තිබේ. ඇතැම් විට එය ජීවිත අවදානමක් වුව වන්නට පුළුවන. ඒ සියලු කාරණා ගැන සර්ව සම්පූර්ණ අවබෝධයක් අපරාජිතා ට ලබා දෙන ලදී.

සසංක ගේ පැතුම ඉටු වූයේ නැත. ඔහු රෝහලේ සිට එහෙම ම දැන්වීම් ප්‍රචාරක ආයතනය වෙත ගියේ ය. දේශිකා ද කාර්යාලයට ගිය අතර අපරාජිතා පැපිලියානේ මහ ගෙදර බලා ගියා ය. අරවින්ද වෙනුවෙන් ඇය වකුගඩුවක් පරිත්‍යාග කරන්නට යන බව දැන ගත හොත් අම්මා හා තාත්තා උදහස් වනු ඇත්ද නැත්නම් දොහොත් මුදුන් දී ඒ දානමය පුන්‍ය කර්මයට අනුමෝදන් වනු ඇත්ද කියා ඇයට සිතා ගත හැකි වූයේ නැත. ඒ කෙසේ වී ද ඇය මේ පුවත ඔවුන් ට දැනුම් නොදී සිටියා ය. හිතින් විඳවමින් කල් බලනවාට වඩා සමහර කාරණා තීරණාත්මක වන තුරු නො දැන ම ඉන්නා එක පහසු ය!

හෝරා කිහිපයක් ඔවුන් සමග ගත කළ ඇය නුගේගොඩින් සසංක ට තිලිණයක් ගන්නට හිතුවා ය. සිය හදවතෙහි ඔහු ගැන වන සව්මිය වූ හැඟීම ඔහු ට දැනෙන්නට හැරිය යුතු ය. මියෙන්නට පෙර ආදරේ නම් කිව යුතු ය. ජීවිතයේ ප්‍රථම වතාවට විශාල මුදලක් වැය කොට ඇය පිරිමියෙකු වෙනුවෙන් සිහිවටන තිලිණයක් මිල දී ගත්තා ය. ඒ රත්රන් අත් පළඳනාවකි.

තුනී ශෝකයක් හිතේ ඇතිල්ලෙන්නේ ඇයි ද කියා ඕ නො සිතා සිටියා ය. සැමරිය යුතු දවස් ජීවිත වල තියේ. සුපර් මාකට් එකෙන් විශේෂ ආහාර වර්ග කිහිපයක් මිල දී ගත් ඕ සුවිශේෂ රාත්‍රී භෝජනයක් පිළියෙල කරන්නට පටන් ගත්තා ය. සසංක ගේ උපන් දිනය!

අරවින්ද ගේ උපන් දින දහ අටක් ඇය ඔහු සමග ගත කොට තිබේ. ඉන් මුල් යුගයේ ඒවා වෙනුවෙන් ඕ කැප වී යමක් කළා ය. කේක් එකක් තැනුවා ය. විශේෂ ආහාර වේලක් සැකසුවා ය. නමුත් ඒ ගැන අරවින්ද ගේ උනන්දුව අඩු බව ක්‍රමයෙන් පැහැදිලි වන්නට විය. ඇතැම් වසරක ඇය උයා පිහා ගෙන බලා සිටිය ද ඔහු ගෙදර ආවේ රොශෙල් සමග උපන් දිනය සමරා ‘කන්නට බැරිව’ ය. ඒ වුණත් ඒ දිනයේ දී අපරාජිතා අනන්‍යා වෙනුවෙන් හෝ විශේෂයක් කොට කෑම උයන එක අත් හැරියේ නැත. 

මේ අමුතු උපන් දිනයකි. ඔවුන් දෙදෙනා තට්ට තනිව සමරන්නට යන උපන් දිනයකි. 

කෑම පිසීමෙන් පසු අපරාජිතා ආලින්දයෙහි බැලුන් එල්ලා සැරසිලි කළා ය. විසිතුරු වර්ණවත් ඉටි පන්දම් තැන් තැන් වල තබා සූදානම් කළා ය. සසංක ආවේ අඳුරත් එක්ක ය. ඔහු ගේ හිතේ මොකක්දෝ මූසල කමක් පැතිර ඇති හැටි ඔහු ට දැනිණ. උපන් දිනය නිමිත්තෙන් කාර්යාල සගයන් සාදයක් ඉල්ලා සිටිය ද වෙනදා සේ ඔවුන් එක්ක මැදියම් රැයක් වන තුරු විනෝද වන හිතක් ඔහු ට වූයේ නැත. හිතේ අමාරුවක් අපරාජිතා ට නො පෙන්විය යුතු බව  දැන සිටියෙන්, ඇය ට මුහුණ දීම හැකි තාක් ඔහු පමා කළේ ය.

“චුට්ටක් උඩට එනවද…”

අපරාජිතා ඒ දුරකතන ඇමතුම දුන්නේ ඉටිපන්දම් සියල්ල දල්වා විදුලි පහන් නිවා තබා ය. මතු මහලට ගොඩ වත්දී මිය යයිද කියා  හිතෙන විදිහේ පපුවේ රිදුමක් සසංක ට දැනිණ. අපරාජිතා දෙව්දුවක සේ සිනහ වෙවී බලා සිටියා ය. ඉතා තදින් ඇය වැළඳ ගත් සසංක ට ඉකි ගැසී හැඬිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles