නිබ්බුත ගීත -09

මල්ලී හා ලෝචන අතරේ අලුත් හිත මිතුරු කමක් ඇති වී තිබිණ. පෙනුමෙන් හෝ වයසෙන් නම් ඔවුන් දෙදෙනා පෑහුණේ ම නැත. පාසලේ අට නවය වසර වල කොලුවෙකු හා විශ්ව විද්‍යාලයේ දෙවන තෙවන වසර වල ඉංජිනේරු සිසුවෙකු අතරේ විය හැකි බාහිර පෙනුමේ වෙනස ගැන මා ඔබට යමක් කිව යුතු නැතැයි සිතමි. ඊටත් වඩා අපේ පවුල් දෙක අතරේ වූ සමාජ ආර්ථික වෙනස අප දුටු වන ඕනෑ ම කෙනෙකුට නිරීක්ෂණය කළ හැක. නමුත් ඔවුන් දෙදෙනා ගේ හිතවත්කම් අතරේ අපූරු පෑහීමක් ඇති බව පෙනිණ. හැන්දෑවට හැන්දෑවට ලෝචන මල්ලී සොයා ගෙන අපේ ගෙදර එන්නටත් ඔවුන් දෙදෙනා ගුරු පාරේ ක්‍රිකට් ගසන්නටත් පුරුදු වූහ. මල්ලී කට පුරා ලෝචන අයියා කීවේ ය. ලෝචන ‘රාහුල්’ ලෙස ඔහු ඇමතී ය. 

මේ මල්ලී ගේ ජීවිතයේ ද විශාල කායික මානසික විපර්යාසයක් සිදු වෙමින් පැවති කාලය බව මම නිරීක්ෂණය කළෙමි. ඔහු ගේ කට හඬ වෙනස් වෙමින් යන හැටි මට දැනුණේ ය. පන්තියේ මිතුරියන් ඔවුන් දන්නා කියන පිරිමි ළමයින් ඒ විදිහට වැඩි වියට එළඹෙන හැටි ගැන වසර කිහිපයකට පෙර සිනහ වෙමින් ද විසුළු කරමින් ද කතා කළ හැටි මට මතක තිබිණි. හදිසියේ ම මල්ලී උස යමින් ද සිටියේ ය. නමුත් මනා පෝෂණයක් නැති කම නිසා ඒ උස පෙනෙන්නට ගත්තේ ඉඳිකටු පැංචෙකු සේ ය. ඇඟේ මස් කළඳක් නැතිව උස යාමත් විහිළුවක් වාගේ ය. ඔහු ගේ මුහුණේ දැලි රැවුල වැවී එන සැටි මගේ ඇසට හසු වී තිබිණි ද වැඩිහිටියෙකු ගේ මැදිහත් වීමකින් තොර ව ඊට ටික කලකට පසු ඔහු සිය දැලි රැවුල කපා ගත්තේ කෙසේද කියා නම් මා දන්නේ නැත.  

 ලෝචන මල්ලී ට ඔහු ගේ ටී ශර්ට් හා කොට කලිසම් කිහිපයක් දී තිබිණ. මල්ලී සන්තකයේ වූ ඇඳුම් කැබලි ඔහු ගේ උස යාමත් එක්ක හැට්ට කෑලි සේ කොට වී තිබූ අතර ලෝචන ගේ ඇඳුම් ලොකු වැඩි වූයේ ය. ලොකුවට වුව ඔහු ඒවා අඳින්නට කැමති වූයේ ය. ඒවා ඇඳ ගත් කල තමන් ද වයසින් ලොකු මිනිසෙකු සේ ඔහු ට දැනෙන්නට ඇත. සැබවින් ඔහු ට ඕන වී තිබුණේත් ඉක්මනට ලොකු වෙන්නට කියා මම දනිමි.

මේ කාලේ මා සෑදූ සුබ පැතුම් පත් හා බුක් මාක් කිහිපයක් ම මධාරා අක්කා බැංකුවේ සිය හිතවතුන් ට විකුණා දුන්නා ය. ලෝචන මල්ලී අතේ දුඹුරු පාට විශේෂ බෝඩ් කිහිපයක් ඒවා ඒවායේ බුක් මාක් සාදා ඔහු ට දෙන්නයි කියා තිබිණ. ඒවායින් සැදූ බුක් මාක් වල විශේෂ වටිනාකමක් හා පෙනුමක් වූයේ ය. විවිධ මෝස්තර දමමින් මම ඒවා වියළි මල් අලවා හැඩ කළෙමි. ඒ බුක් මාක් මිටිය ම ලෝචන විකුණා තිබුණේ විශ්ව විද්‍යාලයේ සිය මිතුරන්ට ය. 

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වී උසස් පෙළ පන්ති ඇරඹෙනා තෙක් මට එවැනි වැඩ කරත හැකි විය. උසස් පෙළ පන්තිය ආරම්භ වෙත්දී එක ඉරිදාවක ලෝචන මදුරාපුර මට පිටු දෙසීයේ තනි රූල් හා කොටු රූල් පොත් මිටියක් ද භෞතික විද්‍යාව සඳහා අවශ්‍ය කරන ප්‍රස්ථාර පොතක් ද තිලිණ කළේ ය. 

“අයියට මං ගෙවන්න තියෙද්දි මටම තෑගි දෙනව”

කාමරය අතු ගාන්නට ගිය කොස්ස පසෙකින් තබා මම ඒ අලුත් සුවඳ පොත් මිටිය පපුවට තුරුලු කර ගතිමි. හිතට දැනුණේ පුදුමාකාර සතුටක් බව කිව යුතු ය. ඊට පෙර කිසි දාක මට අලුත් පොත් මිටියක් ම ලැබී නැත. අම්මා අලුත් අවුරුද්ද සඳහා ගෙන දුන්නේ අලුත් පොත් දෙක තුනකි. පසු ගිය වසරේ බාගෙට ලියූ පොත් වල ඉතිරි කොළ වලින් අනිත් ඒවා පිරිමසා ගතිමි.

“එක දවසෙ ඔක්කෝගෙම ලියන්නෑනෙ. හෙමීට එක දෙක ගමු”

අම්මා එසේ කියන්නේ ඇය ට කළ හැකි මට්ටම එය නිසා බව මම දැන සිටියෙමි. ඒ වගේ අවස්ථා වල මගේ ඇස් වලට කඳුළු උනා එන්නේ මට පොත් ටිකවත් හරියට නො ලැබෙන නිසා නොව අම්මා ගැන දුකට ය. පොතක් ඉවර වුණා කියා හෝ මා ඇය ට කියන්නේ හුඟක් කල්පනා කොට බැරි ම නම් ය. මහ ගෙදර ළමයින් වන අවන්ත හා චංචලා ගේ බාගෙට ලියූ පරණ පොත් ද ඇතැම් විට මම ඉල්ලා ගත්තෙමි. ඒවායේ නොලියූ කොළ වෙන් කර ගෙන අලුත් පොත් ලෙස සාදා සටහන් ලියන්නට ගෙන ඇත්තෙමි. 

මේ මොහොතේ ඒ අතීතය වෙනුවෙන් මගේ ඇස් වලින් කඳුළක් ඉහිරී තිබු බව මට දැනුණේ ද ලෝචන මූණට එබී, “ඔය අඬනවද ඉතිං…” කියා ඇසූ විට ය. එතකොට මම කඳුළු ඇස් තටු ගසමින් සිනහ වීමි.

“ලස්සනයි”

ඔහු හෙමිහිට මිමිණුවේ ය. පපුව ඇතුළේ සීත සුළි කුණාටුවක් ඇති වූ සෙයක් මට දැනිණ. යටි තොල වෙව්ලන බවක් දැනුණෙන් මම දසන් දෙපෙළින් එය තද කර සපා ගතිමි. දෙවියනි මගේ මොන ලස්සනක් ද? ලෝචන මදුරාපුර මා ලස්සන කෙල්ලක සේ දුටුවේ ඇයි? සඳනි මට වඩා ප්‍රකෝටි වාරයක් ලස්සනයි කියා සිතමි. මා දුප්පත් පැලක උපන් හිඟන කෙල්ලකි. කන්නට කෑමත් නැතිව කෘෂ වූ කයක් ඇති, අඳින්නට ඇඟේ තරමට ගැලපෙන ඇඳුමක් නැතිව විකාරරූපී පෙනුමක් දිස් වන නිකං ම නිකං කෙල්ලකි. එහෙව් මගේ කවර ලස්සනක් ද? නමුත් ලෝචන මදුරාපුර වාගේ තරුණයෙකු එහෙම කියත්දී මගේ දුප්පත් කෙළි හිත චමත්කාර වෙරළක පෙණ බුබුළු නගනා රළ පෙළක් සේ උද්දාම වූ බව පිළිගත යුතු ය.

“කොහොම හරි මේ අවුරුදු දෙක ඇදගන්න. අඩුපාඩුවක් තියනවනං මට කියන්න. තේරුණද…”

මා ඔව් යි හඟවන්නට හිස සැළුවේ කිසිදු තේරුමක් නැතිව ය. 

“ඒ ලෙවල්ස් කියන්නෙ ලේසි පිම්මක් නෙවේ. ඕ ලෙවල් මට්ටමෙන් සරලව ගන්නනං එපා. ඒ දෙක අහසට පොළොව වගේ. ගොඩාක් මහන්සි වෙන්න ඕන. ඔයා තෝරගන්නෙ බයෝ නිසා ගොඩාක් පාඩං කරන්න වෙයි. එතකොට ඔය මැක්රම් ගොත ගොත බුක් මාක් හද හද නාස්ති කරන්න කාලයක් නෑ. තනිකර මේ අවුරුදු දෙක ඒ වැඩේට ෆෝකස් කරන්න”

ඔහු මහා දැනුමැත්තෙකු සේ ද මා කුරු කුහුඹුවෙකු සේ ද සිතමින් එහැම වදනක් ම හිත් හි දරා ගෙන මම කාමරය අතු ගා හමාර කොට පිටතට ආවෙමි. නමුත් මගේ හිත එහි අමතක ව දමා විත් තිබුණේ එදා ය. 

ඒ මදිවියෙහි ප්‍රථම වතාවට තරුණයෙකු මා ලස්සනයි කීවා ය. හරියට ප්‍රේමාරාධනයක් ලැබූ යුවතියක සේ මම සිහින ලෝකයක පා වුණෙමි. ඒ රාත්‍රියේ නිදන්නට අම්මා ළඟ වැතිර ගත්දී වරදකාර හැඟීමක් ඉසිහින් ව හිතේ පැතිරෙන්නට ගත්තෙන් මම බිත්තිය පැත්තට හැරුණෙමි. ඇස් ඇරන් හිටියත් ඇස් වහන් හිටියත් මට ලෝචන මදුරාපුර ගේ රුව ම පෙනෙන්නේ ඇයි? ඒ හඬ ම ඇසෙන්නේ ඇයි?

මල්ලී එක්ක මිතුරු වීමෙන් පස්සේ ලෝචන ඔහු සොයා ගෙන අපේ ගෙදර පැත්තට එන්න පටන් ගත්තේ ය. සති අන්තයේ පමණක් මධාරා අක්කා ගේ ඉංග්‍රීසි පන්තිය වෙනුවෙන් මදුරාපුර මැදුරට ගිය මට හැම හවසක ම වාගේ ඔහු දකින්නට ලැබුණේ මේ හේතුව නිසාවෙනි. ඔහු මල්ලී එක්ක ගුරු පාරේ ක්‍රිකට් ගැසුවේ ය. තිබහ වන විට ‘නිබ්බුතා වතුර එකක්’ කියා වතුර ඉල්ලන්නේ මගෙනි. මදුරාපුර මැදුරෙන් ඉවත් කරන ලද එක ම එක අශෝක වීදුරුවක් අම්මා ගෙනවිත් තිබුණේ හොඳ වෙලාවට කියා, ඒ උස වීදුරුව පුරා වතුර එකක් කළයෙන් නවා ඔහු ට දෙත්දී මම සිතුවෙමි. ඒ වීදුරුව විශේෂයෙන් සෝදා නවා තබන්නටත්, මල්ලී ට වුව ඉන් වතුර බොන අවසරයක් නො දෙන්නටත් මට සිදු විය. හැම වතාවක ම වතුර වීදුරුව ගත්දී ලෝචන ගේ ඇස් මොහොතකට මගේ ඇස් වල කිමිදෙයි. දුප්පත්කම කොයි තරම් ගැඹුරු දැයි ඔහු අවබෝධ කර ගත්තා දැයි නො දනිමි. ඒ ක්ෂණික මොහොතට ජීවිතයේ ගෙවී ගිය හා එළඹෙන්නට නියමිත සියලු තත්පර වලට වඩා මා ආදරය කළ බව, මගේ හදවත රහස් ගුහාවෙහි හංගා ගත් සිතිවිලි අතරේ වේ.

උසස් පෙළ ට පන්ති පටන් ගත්තාට පස්සේ ඒ එන හවසක ඔහු භෞතික හා රසායන විද්‍යා පාඩමක වන දුෂ්කර තැනක් ගැන මට කියා දුන්නේ ය. මා ඒ විෂයන් දෙකට හෝ උපකාරක පන්ති යා යුතුව ඇති බව මධාරා අක්කා ට කියා තිබෙන්නේ ද ලෝචන ය. ඒ අනුව ඔහු ගේ නිර්දේශය මත ඇය මට පන්ති යන්නට මාස් පතා මුදලක් වෙන් කළා ය. 

ලෝචන අපේ ගෙදරට යන එන එක ඇහේ කටු ඇනෙන්නා සේ වූයේ මහ ගෙදර ඇත්තන්ට ය. 

“කොල්ලො ගෙදරට ගෙන්න ගන්නෙ මොකද කොල්ලො…මං මේ උඹව අල්ලගන්නමයි හිටියෙ. අක්ක කෙල්ලෙක් නේද…ඒකි තනියම ඉන්නකොට මේක අස්සට කොල්ලො රිංගන එක හරිද…”

එක දවසක් වත්ත පහලට ආ ගමන් අපේ බංකුව උඩ හිඳ ගත් ආච්චි මමී මල්ලී ගේ ඇඟට ගොඩ වූවා ය. මමත් මල්ලීත් විපිළිසර ව අපේ මුහුණු දෙස බලා ගතිමු. 

“කවුද අපේ ගෙට රිංගුවෙ…”

මල්ලී මූණට දමා ගසන්නා සේ ආච්චි මමී විමසුවේ ය. කොහොමත් මේ වෙත්දී ඔහු ඉලන්දාරියෙකු ව සිටියේ ය. ඇඟ පත සිහින් වී ද මල්ලී  උස ගියේ බලා සිටියදී ය. දැන් ඔහු ලෝචන ට වඩා අඟලක් දෙකක් පමණක් උසින් අඩු බවට, ඔවුන් දෙදෙනා එක් ව සිටින විට මා හිතින් මිනුම් කළේ උතුරා යන සතුටකිනි.

“යකෝ ගහ ගන්න වගේනෙ මූ..ඇඟිල්ලෙ තරමට ඉදිමියං ඇඟිල්ලෙ තරමට. නරකකට නෙවෙයි මේ කියන්නෙ හොඳට. උඹ රස්තියාදුකාරය වුණත් මේකි අහිංසක එකීනෙ. මොකෙක් හරි එකෙක් මේකට රිංගල මේ කෙල්ලට කරදරයක් කළොත් එහෙම අපිටත් හිතේ අමාරුවයි”

ආච්චි මමී ගේ කතාවේ ඒ අන්තිම කෑල්ලට මල්ලී කට ඇද කළේ සමච්චලයට සේ ය. පැටලෙන්නට යන්න එපායි මම ඔහු ට ඇස් වලින් ඉඟි කළෙමි.

“අර මහ එකී වැඩකාරකමට යන ගෙදර කොල්ලා බැලූ වෙලාවක් ඇත්තං මෙහේ. මොන එහෙකටද රිංගන්න එන්නෙ. උඹනෙ කැන්දගෙන එන්නෙ. වරදක් වෙච්ච වෙලාවක උන්ට දොස් කියල බෑ. තමුංගෙ එවුං දැන ගන්න එපායැ කොල්ලො ගෙදරට එක්ක එන්න ඕන නෑ කියල. කිරිකට් ගහනෝ…මේ ගුරු පාට පිට්ටනියක්ද බං…ඔය වටේම පිට්ටනි තියෙන්නෙ පලයල්ලකො ඒවට. ඔය ලොකු තැන් වල කොල්ලන්ව විශ්වාස කරන්න එපල්ල. මට එච්චරයි කියන්න තියෙන්නෙ”

ආච්චි මමී ඔය ආවේ වත්ත පහල ට නොව අපේ ගෙදරට ම සැලසුම් සහගත ගමකක් බව මට වහා දැනිණ. ඇය ඔය ටික කියා යන්නට ආවේ වසන්ති පුංචි ගේ හෝ නීලිකා නැන්දා ගේ හෝ ඔවුන් දෙදෙනා ගේ ම හෝ කීමක් මත විය යුතු ය. ඔවුන් සිය දරුවන් ට පවුලේ නෑයින් වී ද අප ව ඇසුරු කරන්නට දුන්නේ නැත. කුඩා වියේ පටන් ම ඒ ළමයින් අප දෙස බැලුවේ පිළිකුලෙනි. කිසි දා ඔවුන් අප සහෝදරයන් සේ සලකා නැති බව ද මට මතක ය. එහෙව් එකේ ගමේ උගත් හා වැදගත් ම පවුලක් වන මදුරාපුර ලා ගේ ඉංජිනේරු උපාධි අපේක්ෂක පුතු මල්ලී සමග හිතවත් ව අප ඇසුරු කිරීම මහ ගෙදර උදහසට හේතු වී තිබේ!

“අපරාදෙ ආච්චි මමී හිතේ අමාරු හදා ගන්න එපා. මං ඒ ගැන බලා ගන්නං” 

ඇයට අඩි කිහිපයක දුරක් යන්නට හැර මල්ලී කෑ ගසා කීවේ මුව මත නලියනා සිනහවකිනි.

“නිකා ඉන්නව”

මම ඔහු ට තරවටු කළෙමි. 

“ඔච්චර හිතේ අමාරුවයිනං දීපල්ලකො අපේ අම්මට අයිති කොටස ලියල”

එය ඔහු කීවේ අප දෙදෙනාට පමණක් ඇසෙනා සේ ය. අප පැටි වියෙහි දී පටන් ම ආච්චි මමී ඇතුළු මහ ගෙදර ඇත්තන් බැලුවේ අපව වත්තෙන් පන්නා ගන්නට ම ය. සුනිමල් මාමා හා වසන්ති පුංචි යන සීයා ගේ දෙවන විවාහයේ දරු දෙදෙනාට පමණක් උරුමය බෙදා දීම ආච්චි මමී ගේ අරමුණ විය. නමුත් අම්මා ට ද ඔවුන් ට හා සමාන පිය උරුමයේ අයිතිය වන බව ඔවුහු දැන සිටියහ. විවිධ කෝන්තර ඇති කරමින් අම්මා ට මේ මඩුව ද එපා කොට ඇය සිය දරු දෙදෙනා ද ගෙන පිටව යන තත්වයක් ඇති කරන්නට ඔවුන්ට ඕනා වූවා කියා සිතමි. එහෙම දබරයක් අවසන අම්මා අප දෙදෙනා තුරුලු කර ගෙන හැඬුවා මට අද මෙන් මතක ය. ඇගේ කඳුළු වල තිබූ මාතෘත්වයේ අසරණ හැඟීම අප- පුංචි එවුන් දෙදෙනාට ම මැනවින් දැනිණ. ඇය මහ ගෙදර සියලු කෙණහිලිකම් ඉවසා දරා ගෙන සිටියේ අප ද ගෙන යන්නට වෙන තැනක් නැති නිසා මිස මහ ගෙදර උරුමය ඉල්ලා සිටින්නට නම් නොවේ. 

“එහෙම කොහොමද…අම්මට අයිති හරිය අපිට දෙන්න ඕන ඒගොල්ලො”

යමක් කමක් තේරෙන්නට ගත්තා ට පස්සේ උරුමය වෙනුවෙන් අයිතිවාසිකම් කියා ගෙන ගියේ මල්ලී ය. 

“අනේ මේ උඹ කට වහගනිං. අපිට ඕනැති අය්තියක් නෑ. උඹල දෙන්නගෙ කර දඬු උස් වෙනකල් මට මෙතන ඉන්න තිබුණොත් ඇති. ඊට පස්සෙ උඹල තැනක් පිළිවෙල කරං පලයල්ල”

ජීවිතයේ විඳි දුක් කන්දේ හැටියට තවත් කරදර පටලවා ගන්නට අම්මා ට ඕනෑ නැති වීම ගැන පුදුම විය යුතු නැත. නමුත් ඔය කතා වලදී මා සිතින් සිට ගෙන සිටියේ මල්ලි ගේ පැත්තේ ය. මට නොව මතු යම් දිනයෙක මල්ලීට මෙතැන නිවහනක් ඉදි කොට ගත හැකි විය යුතු ය. මහ ගෙදර ඇත්තන් තවමත් නිල වශයෙන් ඉඩම් වෙන් කිරිලි නොකර සිටින්නේ අම්මා ඊට මැදිහත් වනු ඇත යන බියෙන් යයි දවසක් නීලිකා නැන්දා ගේ කටින් මා හා පිට විය. 

ලෝචන මදුරාපුර විසින් මගේ හදෙහි අඳින්නට ගත් චමත්කාරයේ සෙවනැලි වලට මා බිය වූයේ, දැවැන්ත ඡායාවක් ව නිරතුරු මා තුළ නැගී සිටි සඳනි නිසා ය. ඉරිදා ට ඇය හමු වී ඔවුන් ගේ ගේට්ටුව ඉදිරියේ කතා කරමින් සිටින එක මාසයකට දෙවරක් හෝ සිදු විය. ඇය හා ලෝචන මදුරාපුර අසල්වාසීන් වූයෙන්, අප එසේ දොඩමළු වන ඇතැම් අවස්ථාවක ඔහු එතැනට පැමිණෙයි. ඒ තරම් වේගයෙන් මගේ හද ගැහෙන්නට ගන්නා තවත් වෙලාවක් නැති තරම් ය. 

“මේගොල්ලන්ට අපි මදි වුණානෙ නිබ්බු”

එසේ පැමිණි වෙලාවක දවසක් සඳනි ඇනුම් පදයක සරින් කීවා ය. මම ඉක්මන් ඇස් පිය සැළුවෙමි.

“කවුද ඔය අපි කියල කිව්වෙ…”

ලෝචන සඳනි ගේ මූණ දෙසට එබිකම් කළේ ය. 

“අපි කිව්වෙ මං. නැතුව මේ නිබ්බුතා නෙවේනෙ”

“මාත් බැලුවෙ ඒක තමා”

ලෝචන යටැසින් මදෙස බැලී ය. මම ඒ බැල්මෙන් ලිස්සා ගොස් බිම බලා ගතිමි. 

“බලමුකො දවසක මෙයා මැරි කරන ප්‍රින්සස් කවුද කියල”

“හ්ම්. බලන්න පුළුවන්. හොරෙන් බඳින්නෑ මං. නේද නිබ්බුතා…”

“මේ මේ. ඒ ළමයව අල්ල ගන්නෙපා ඔයාගෙ ඒවට. එයා මගෙ යාළුව. එයා ඉන්නෙ මගෙ පැත්තෙ”

ඇය මගේ අතකින් ද අල්ලා ගත්තා ය. පපුව දැවී යන සංවේදනයක් දැනුණේ ඇයි දැයි මා නොදන්නවායි කිව හැකි ද? මදුරාපුර මැදුරේ පුත්‍රයා වන ලෝචන මදුරාපුර ගේ ඇස් බැලුම්, දර මඩුවේ දුප්පත් කෙල්ල ගේ හදවත පසාරු කරමින් තිබුණේ මේ දින වල ය. 

“සී…තල…”

සඳනි මගේ අත දෙස බලමින් පුදුමයෙන් කීවා ය. ඒ වාගේ ග්‍රීෂ්ම දිනයක සැඳෑවේ මගේ අතක ඒ වාගේ සීතලක් ඇති වෙන්නට හේතු විය හැකි කාරණයක් ඉදිරිපත් කරන්නට අපොහොසත් ව මම අසරණ වීමි. උසස් පෙළ ප්‍රතිඵල කිකුත් වෙත්දීත් මට ඒ අසරණ කමින් එගොඩ යා හැකි ව තිබුණේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles