මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත් මා කළේ මන්දහාසයකින් ජීවිතය දෙස බලා හිඳිනා එකයි. එය වූ කලී පහසුවෙන් කළ හැකි දෙයකැයි නො සිතුව මැන! ඇතැම් අවස්ථාවන් කටු ඉඹුලේ යනවා සේ ම වේදනාකාරී වූයේ ය. යම් කිසි දවසක අපටත් ඉරක් පායාවියි සිහිනයක් මට නොවූ බව ද විශ්වාස ය. සැප ගැන සිහින මවන්නේ නැතිව ද දුකට අඳෝනා නගන්නේ නැතිව ද සම සිතින් මා ඒ මොහොත විඳ දරා ගත් බව පමණක් මට මතක තියේ.
ගෑනු ළමයෙකු වශයෙන් මට ආශා හා බලාපොරොත්තු නො තිබුණා නොවේ. කලින් ද මා ඔබට කියා ඇති පරිදි දර මඩුවක දිවි ගෙවමින් ලස්සන ගෙදරක් හිතින් මවා ගැනීමේ හැකියාව මට තිබිණ. අද එය ධනාත්මක චින්තනය යටතේ උගන්වන ආකර්ෂණ නීතියක් බව මම දනිමි.
අප මධාරා අක්කා ගේ ගෙදර පදිංචියට ගියේ ලෝචන ඉංජිනේරුවකු ලෙස පෞද්ගලික ආයතනයක රැකියාවට බැඳුණු අලුත ය. රැකියාවක් නො කළ කාලයේ සේ නොව ඉන් පසු ඔහු අපේ ගෙදර ආවේ කදමලු බැඳ ගෙන ය. සාමාන්‍යයෙන් පෙම්වතෙකු පෙම්වතියක බලන්ට යත්දී ගෙන යන ටොෆි චොක්ලට් නොව ඒවා අතර වූයේ හාල් පොල් සීනි තේ කොළ එළවළු මාළු වැනි දෑ ය. එහෙම බඩු මල්ලක් දකිත්දී මගේ හිත හෝස් ගා දැවී යයි. මා වන් දිළිඳු කෙල්ලකට පෙම් කෙරුවාට ඔහු සාමාන්‍ය තරුණයෙකි. මා වන් කෙල්ලකට පෙම් කිරීම මත සාමාන්‍ය කොල්ලෙකුගේ ජිවිතාශා හකුලා ගන්නට ඇතැම් විට ඔහු ට සිදු වන්නට ඇත.
“මේව උස්සං එන්න ඕන නෑ අයියෙ”
මම මට පුළුවන් තරම් ආදරයකින් එතකොට ඔහු ට කියමි. ලෝචන ඇස් කුඩා කොට මදෙස බලා හිඳී.
“ඇයි මං ගේන දෙයක් බාර ගන්න එක මදි කමක් වගේද…”
“එහෙම නෙවේ. ගෙදරට බිස්කට් පැකට් එකක් ගන්නවත් කඩේ ගිය කෙනෙක් නෙවේ ඔයා. බැඳපු කෙනෙක් වගේ මේව කඩෙං ගන්නව කියල හිතෙනකොට මට දුකයි”
“අපි කොහොම හරි මේ ටික ඇද ගමු”
එතකොට ඔහු ආදරය තැවරුණා වූ දෑසකින් බලා කියයි. ඒ හඬෙහි වන්නේ වගකීම් සහගත බව හා බැඳුණු කතාවකි.
“මැඩම් දැන ගත්තොත් එහෙම මේ දේවල්…පපුව පැලෙයි ඒ මනුස්සයගෙ. අනිත් එක මේ කරපු දේවල් හොඳටම ඇති ඕගොල්ලො. දැන් අපිට මොනාම හරි කර ගන්න පුළුවන්. මං ගැන වද වෙන්න එපා”
“එතකොට මං කවුරු ගැන වද වෙන්නද…එන හැටියකට මූණ දෙමු”
මල්ලී හෝ පේන්නට නැත්නම් එවන් වෙලාවක ලෝචන මා තදින් වැළඳ ගනී. එදා මධාරා අක්කා බලන්නට නිශාන් අයියා ප්‍රථම වරට පැමිණි දා සිය කාමරයේ දී ඔහු මා වැළඳ ගත් කුළුඳුළ් මතකය මහා සුවයක් දනවමින් එතකොට මගේ මතක කන්ද පීරා ගෙන ඉහළට එයි. කොහොමත් ඔහු ගේ දෑතත් පපුවත් අතරේ තියෙන්නේ හැමදාමත් මා පියවි සිහියෙන් ඈත් කරවනා සදෙව් ලොවකි.
මේ වන විට යොවුන් ප්‍රේමයේ චමත්කාරය ඉක්ම ගිය යමක් අපේ බැඳීමේ වූවා කියා මම සිතමි. අප හමු වුණ වෙලාවක ඔහු මගේ ඉදිරි අධ්‍යයන කටයුතු ගැන කතා කළේ ය. ඒ වසර හතර පහ ගැන සැලසුම් ඇන්දේ ය.
“මෙයා මෙඩිසින් අවුට් වෙනකොට මං නාකි වෙලා. වෙඩින් එක ගන්න වෙන්නෙ හැට පැන්නහම වගේ”
එහෙම කියා ඔහු හඬ නගා හිනැහෙයි. සිනහවක් මූණේ ඇඳ ගත්තාට දැවිල්ලක් මගේ පපුව දිගේ උදරය දෙසට පැතිරී යයි. හරියට පෙරපර ගලපා ගත නො හැකි අවිනිශ්චිත බවක් ඒ දැවිල්ලේ තැවරී තියේ.
“දැන් ඔය කට හදන්නෙ මොකටද කියල මං දන්නව. හරි හරි. හැරමිටියෙන් යන කාලෙක හරි ඔයාවමයි ඕනා”
ඒ වෙලාවේ පපුව සීතල කරමින් ගලා බැසි ප්‍රේමයේ අත්‍යන්ත සුවය, මේ දැනුත් ගන්නා හුස්මක් සමග මගේ පෙනහලු වල පිරේ. දෙතොල් අතරට මන්දස්මිතයක් ඇවිත් නවතින්නේ මටත් නො දැනී ය.
ප්‍රේමය වනාහි කවරක් දැයි එදත් මා හරි හැටි දැන සිටියේ නැත. අද ද නො දනිමි යි සිතමි. මට ප්‍රේමය දැනුණේ ලෝචන මදුරාපුර දකිත්දී ය. ඔහු ගැන සිතත්දී ය. ඔහු ගේ දඩබ්බර හාදුවක් ආත්මය අධිශීත කළ වෙලාවකදී ය. ප්‍රේමය කියන්නේ ඔහුට ය!
අම්මා මේ වෙත්දී අප ගැන සිතා සිටියේ කොහොමද කියා මම නො දනිමි. ලෝචන සමග පැවති සම්බන්ධය නතර කරනා ලෙස ඇය කළ කන්නලව්වෙන් පස්සේ මා කීකරු දියණියක වූවායි ඇය සිතුවාද කියා නිශ්චිත නැත. ඉන් පසු ඇය ඒ ගැන විමසුවේ ද නැත. ලෝචන රැකියාවට යන්න ගැනීමත් සමග අවීවේකී වීම මත ඒ ඇසුර කාලයේ උඩු සුළඟට හසුව ගසා යන්නට ඇතැයි ඇතැම් විට ඇය සිතන්නට ඇත. නමුත් අප අප වෙතට වඩ වඩාත් බැඳෙමින් ද මෝරා වැඩෙමින් ද සිටියේ මේ කාලයේ ය.
ආසන්න දිනෙක මදුරාපුර මැතිණිය උපාධි අධ්‍යයනයක් වෙනුවෙන් විදෙස්ගත වූවා ය. එය ඔවුන් ට සාමාන්‍ය දෙයකි. ඔවුන් කිසිවෙකු විදේශ ගත ව සිට යළි ගෙදර පැමිණ ඇතැයි බොහෝ විට අප දැන ගත්තේ අම්මා ගෙන ආ රට ටොෆි චොකලට් අහුර නිසාවෙනි. කෙසේ වෙතත් පෙර කිසි දාකට වඩා, ඇය විදෙස් ගත වූ බව දැන ගැනීම මට සැනසිල්ලක් විය. වසරක කාලයක් වෙනුවෙන් අපට ප්‍රේමය දිගු කොට පවරා දුන්නා වැනි සැනසිල්ලකි එය. අපේ ගෙදරට නිල ඇඳුම් ඇඳ ගත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ජීප් රථයකින් පැමිණියේ එදා ම හැන්දෑවේ ය.
පොලිස් නිල ඇඳුම් ඇඳ ගත් පුද්ගලයන් ගැන බියක් කුඩා කල පටන් මගේ හිතේ විය. පොලිස් ප්‍රහාර වලට ලක් වූ තහනම් දේශපාලන ක්‍රියාකාරීන් ගැන කුඩා ළමයෙකු දා අසන්නට දකින්නට ලැබුණු පුවත් ඊට හේතු වූවා කියා සිතමි. ඒ කාලේ ආච්චි මමී සුනිමල් මාමාව පොලීසියෙන් හා රජයේ හමුදාවන්ගෙන් ද තහනම් දේශපාලනය කළ කණ්ඩායම් වල කැලෑ නීතියෙන් ද රැක ගනු වස් කළ මෙහෙයුම මට යන්තම් මතක තියේ. හැන්දෑව අඳුරට හැරෙත්දී ඇය සුනිමල් මාමාව ගෙනැවිත් අපේ දර මඩු නිවහනෙහි ගාල් කරයි. එතකොට අපි ගෙතුල ලාම්පු කුප්පියක් හෝ නො දල්වමු. රාත්‍රියේ ඝණ කළු සළුව අප මතින් වැතිර ගන්නේ අප- කුඩා උන්ගේ හුස්ම පවා හිර කරමිනි. මාමා සේ ම අම්මා සිටියේ ද නො තේරුම් අපට පවා තේරෙනා තරම් ප්‍රාණ බියකිනි. එකිනෙකා කතා බහ කළේ නැති තරමි. කතා කළ ද ඒ වචනයක් පිට නොවන සේ රහසිනි. ළමයින් වූ අපට එසේ කතා කිරීම පහසු වූයේ නැතියෙන් අපි අනන්ත වාරයක් අම්මා ගේ රැවුම් ගෙරවුම් වලට ලක් වීමු. අප පාලනය කළ නො හැකි වූ වෙලාවක ඕ අපේ කන් ඇඹරුවේ ගෙයි සිට ම අහසේ තරු දැකිය හැකි වන පරිදි ය. එහෙයින් අපි මාමා ට හිතෙන් වෛර කළෙමු. රජයේ හමුදා හා පොලිස් නිල ඇඳුම් දුටු විට අනියත බියකින් වෙළී යන්නට වීමු. මාමා කෙසේ වතුදු ඔවුන් අම්මාව කුදලාගෙන යනු ඇත වැනි බියකි එය. තාත්තාත් නැතිව අඳුරු දර මඩුවක දිවි ගෙවන කුඩා ළමයින් දෙදෙනෙකුට අම්මා ද අහිමි නො විය යුතු ය!
මේ වෙලාවේ අපේ ගේට්ටුව ඉදිරියේ පොලිස් නිලධාරීන් සිටියදී අතීතයට අයිතිව තිබූ ගැස්මක් මා යට කර ගත්තේ ය.
“රාහුල් ඉන්නෙ මෙහෙද… රාහුල්…”
මගේ කකුල් පණ නැතිව ගියේ ඔවුන් මල්ලී ගේ නම කී විට ය. එතෙක් මා බලාපොරොත්තු වන්නට ඇත්තේ ඒ වැරදීමකින් අපේ දොරකඩ නතර වූ වෙන කොහේ හෝ යන්නට නියමිත පොලිස් නිලධාරීන් පිරිසක් ලෙසයි.
“ඔ…ව්…මගෙ මල්ලි”
“ඕ…එහෙමද…මල්ලි හෙණ චණ්ඩියෙක්ලු නේ…එන්න කියනව ඌට…බලන්න අපිට උගෙ චණ්ඩිකං..”
ඒ භාෂාව ඒ තරම් සමීප ව ඒ මා ඇසුවා ම ය. මල්ලී කළ වරදක් ගැන මා දැන සිටියේ නැත. අනිත් අතට යමෙකු වරදකරුවෙකු කළ හැක්කේ උසාවියක් මගින් පමණකි. එතෙක් ඔහු චූදිතයෙකු පමණි. මේ වෙලාවේ මේ කාකි නිල ඇඳුම් ධාරීන් කතා කළේ ඔවුන් ගේ උසාවියේ මල්ලී එල්ලුම් ගස් යැවීමේ සූදානමකිනි. නමුත් මල්ලී වැරදි කරන්නෙකු නොවන බවට මගේ හෘද සාක්ෂියේ විශ්වාසය ප්‍රබල ව නැගී සිටිනු මට දැනිණ.
“මල්ලී…”
මම හිත හයිය කර ගෙන එසේ සිට ම ගෙතුලට කතා කළෙමි. නමුත් නිල ඇඳුම් ධාරියෝ මා පසු කොට ගේ දෙසට යන්නට වූහ. මා ඉක්මන් ගමනෙන් අඩිය තියනා විටත් මල්ලී ඉස්තෝප්පුවේ ය.
“මේ ඔයාව හොයනව. ඇයි මල්ලි…”
“අක්ක දන්නෙම නෑ නේද මූ හන්දි ගානෙ මිනිස්සු එක්ක මරා ගන්න ගිහිං කියල…ආ…මොකෙද්ද යකෝ උඹ…හුඹහෙං ඇදල ගත්ත කැහුටු තලගොයෙක් වගේ…හැටි…වයස කීයද උඹේ වයස…පහළවක්වත් නැතුව ඇති නේද…එච්චර ඉක්මනට චණ්ඩියෙක් කියල හිතුවෙ…කුඩු ගහනවද උඹ…”
මගේ ඉහ මොළ දැවිල්ල ගන්වමින් නැගී ආ ආවේගය දුර්වල හා අහිංසක නිබ්බුතා ව යටපත් කොට දමනා ලදී. මල්ලී යනු මට මගේ දරුවා ය. කුසින් නො වැදුවාට ඔහු මගේ දරුවා ය. එහෙව් ඔහු ට ඒ විදිහට අභූත චෝදනා නගත්දී මා තුළ ජීවත් වූ ‘අම්මා’ අළු ගසා දමා නැගී සිටියා ය.
“ඔය තරං නරක විදිහට ළමයෙක්ට චෝදනා කරන එක වැරදියි නේද සර්…ප්‍රශ්නයක් වැරැද්දක් වෙලානං ළමයෙක්ට විදිහට ඒකට දඬුවම්…”
“අඩේ…මෙන්න අක්ක අපිට නීතිය කියල දෙන්න එනව”
මට කිව යුතුව තිබූ දේ කියා නිම කරන්නට ඉඩ නොදී නිල ඇඳුම් කාරයෙකු මැදින් පැන්නේ ය. පරිවාර පිරිස සමච්චලයට සිනහ වෙන්නට වූහ.
“ළමයෙක් නෙවෙයි මූ මහ එකෙක් වගේ හන්දියෙදි කෙනෙක්ට ගහල. අපිට පැමිණිල්ලක් ඇවිත් තියනව”
“සුදූ අවන්තය ඔයා ගැන ජරා කතාවක් කිව්ව කොල්ලො ඉස්සරහම. මට බලං ඉන්නද කියන්නෙ. මං ඌට ගැහුව තමයි. එතකොට අපේ අක්කට කියපු ජරා කතාව ගැන අපිටත් පැමිණිලි කරන්න බැරිද සර්…”
මගේ පපුව කඩා ගෙන වැටුණේ ය. මගේ හුස්ම හිර වී කන් වලින් දුම් පිට වෙනවා සේ දැනෙන්නට ගති. මම මල්ලීව තදින් බදා ගතිමි.
“කට වහගෙන නැගපිය ජීප් එකට. යමං පොලිස්සියට. අපි එහෙදි විසඳගමු නඩු”
“අනේ සර් මල්ලිව ගෙනියන්න එපා”
“එහෙනං තමුන්ද නඩුකාර හාමුදුරුවො…”
යළිත් සමච්චල් සිනහවකි.
“සුදූ බය වෙන්නැතුව ඉන්න”
කියමින් මල්ලී අඩියක් පෙරට තැබුවේ ය.
“අපොයි ඔව්. මේ වගේ චණ්ඩි මල්ලි කෙනෙක් ඉද්දි මොකට බය වෙනවද…නැගපිය”
මල්ලී ජීප් රථයට ගොඩ වෙන්නට හදත්දීත් ඔවුහු ඔහු ගේ බෙල්ලෙන් අල්ලමින් ද සිරුරේ පශ්චාද් භාගයට පයින් අනිමින් ද රිය තුළට ඔහු තල්ලු කොට දැමූහ. නිල ඇඳුම තියෙන්නේ තමුන්ගේ මිනිසුන් මර්ධනය කරන්නට කියා සිතනා තක්කඩි මිනිස්සු!
දැන් ඉතින් කුමක් කළ යුතු ද යන පැනය යක්ෂ වේශයෙන් මා ඉදිරියේ පෙනී සිටියේ ජීප් රිය හෙමිහිට ඉදිරියට යත්දී ය. මට මල්ලි ගේ ඇස් වල වූ අභීත තියුණු බව පැහැදිලි ලෙස මතක ය.
මුදලක් අතට ගෙන මම පාරට දිව්වෙමි. හන්දියේ සන්නිවේදන මධ්‍යස්ථානයට කඩා වැදී ලෝචන ට දුරකතන ඇමතුමක් ගතිමි. මීට පෙර කවදාවත් මා ඔහු ට දුරකතනයෙන් කතා කොට තිබුණේ නැත.
“අයියෙ මල්ලිව පොලිස්සියෙං අරං ගියා”
තත්පර කිහිපයක නිහැඬියාවක් පැවතිණ. ඒ කාලය තුළ කතා කරන්නේ කවුරුන්දැයි නිරීක්ෂණය කොට ඔහු නිගමනයකට ආවා කියා සිතමි.
“නිබ්බුතා…”
“හන්දියෙදි අවන්ත එක්ක රණ්ඩුවකට පැටලිලා. මේ දැන් අරං ගියේ”
“ඔයා බය වෙන්නවත් කලබල වෙන්නවත් එපා. මං දැන් එන්නං”
දුරකතනයේ දීර්ඝ බීප් හඬ ද මඳ වෙලාවක් අසා උන් මා මුදල් ගෙවා ඉන් පිට වූයේ උන්මන්තක කෙල්ලක සේ ය. අතීත භීතිකා දැවැන්ත සෙවනැළි සේ මගේ මනස මත වැතිර ගත්තේ ය. ඉස්සර අම්මලා මාමාව අඳුරේ සඟවා ගෙන සිටියේ පොලීසියෙන් කුදලගෙන ගිය හොත් අසීමිත වද හිංසා පමුණුවන බව කියමිනි. පොලීසියෙන් පහර දෙන අයුරු ගැන විටින් විට මා අසා තිබි දේවල් ද මේ මොහොතේ මගේ සිරුරේ සියලු සෛල වේදනාවෙන් දෙදරුම් කවමින් තිබිණ. මල්ලීටත් ගුටි බැට කන්නට වේවිද? එවන් ප්‍රහාරයන් දරා ගන්නට තරම් ශක්තියක් ඔහු ගේ කෙසඟ සිරුරෙහි තිබිය හැකි ද? ඇස් දෙකෙන් නො නවත්වා කඳුළු ගැලුවේ ය. මම පිස්සියක සේ මදුරාපුර මැදුරට ම දිව ගියෙමි.
“මං ගෙදර ගිහිං එන්නං”
අම්මා සියලු කටයුතු නවතා මහ ගෙදර ගියා ය. මම අපේ ගෙදර ආවෙමි. මහ ගෙදර අය ගේ මූණ දකින්නට අප්පිරියා හිතෙන තරම් පිළිකුළක් මා තුළ ඔවුන් කෙරේ ඇති වූයේ මේ සිදුවීම නිසා ය.