තුහින නිවසට ආවේ තේරුමක් නැති කෝපයකිනි. අම්මා ඉදිරි දොර අසල හිඳ එකම මන්තරය මතුරන බව ඔහු දනියි.
“උත්පලාට එන්න කියනවා ලොකු ළමයො”
අම්මා තුහිනට “ලොකු ළමයා” කියන්නේ ඔහු කෙරෙහි කෝප ගන්නා වෙලාවට ය. නමුත් ලොකු ළමයාට අම්මා මොනතරම් කෝප ගත්ත ද කම් නැති බව සිතිණ.
“එයාගෙ ඩ්‍රාමා වල කැරැක්ටර් එකක් වෙන්න බෑ මට තව දුරටත්. මං සාරංගවත් මේනකවත් ගයාන්වත් නෙවෙයි.උනුත් නළුවො වෙලා වයිෆ්ලත් නිළියො නිසා ඒ මිනිස්සුන්ට සෙලිබ්‍රිටි ජීවිතේ මේන්ටේන් කරන්න පුලුවන් ඇති. ඒත් මට බෑ.”
අම්මාට ඒ කතාව එතරමට වැටහුණේ නැත. ඇය ඒ වෙනුවට තුහින දෙස රවා බැලුවා ය. අම්මා ඊයේ නංගි ගෙන්වා ගත්තේ ද උපදෙස් පිණිස ය. නංගී ඕනෑම කාරණාවක් හීන් නූලෙන් විසඳන හීන් නූල් සූත්තරකාරියක බව කියන්නේද අම්මා ය.
“පාරක තොටක බහින්න බෑ. ගෑනු ඇවිල්ල කතා කරනව. සෙල්ෆි ගමු කියනව. මොන විකාර ජීවිතයක් ද මේ.”
තුහින එසේ කිව්වේ කෝපයෙනි. නැඟණිය, ලිහිණි තොල පෙරලා සිනා වූවා ය.
“උත්පලා අක්කගෙ ෆේස්බුක් පේජ් එකට කොටු වුණු ජීවිතේ මට කොහොමත් විකාරයි. ඒත් ඔයා ඒ විකාරෙ අස්සෙ සතුටින් ජීවත් වුණානෙ.”
ලිහිණි අසන්නේ අභියෝගාත්මකව ය. ගෙදර ප්‍රධාන දොරටුවෙන් පිට වූ තැනක සිට ලෝකයේ හොඳම සැමියාගේ චරිතය රඟ දක්වන්නට අයියාට ඇති ඕනෑකම ඇය ද හොඳින් දනියි.
“කතාබහ කරල විසඳ ගන්න බැරි දේවල් තියනවද මේ ලෝකෙ. ඔයා උත්පලාගෙ ෆේස්බුක් පේජ් එකටයි එයා ඔයාලගෙ ෆැමිලි ලයිෆ් එක අකුරක් නෑර ලියනවටයි අකමැති නම් කට ඇරලා ඒක උත්පලා අක්කට කියන්න තිබ්බ. “
ලිහිනිගේ තර්ක නොනැවතේ.සැබෑවටම පිටත සමාජයට ඒවා සත්‍ය බව ඔප්පු කරන්නට තමන්ට ආ ආවේශය ගැන තුහිනටම පැහැදිලි නැත.
“උත්පලා ලියන්නෙත් ඇත්ත නෙවෙයිනෙ. ඔය මං ඉව්ව කිය කියා පේජ් එකට අප්ලෝඩ් කරන කෑම එයාම මහන්සියෙන් උයපුව.”
ලිහිණි තමන්ගේ එකම සහෝදරයා දෙස අනුකම්පාවෙන් බලා සිටියා ය. නමුත් මේ අනුකම්පා කළ යුතු වෙලාවක් නොවේ. ඔහුට ඇත්ත තේරුම් ගන්නට ඉඩ දිය යුතු වෙලාවකි.
“මං කියන්නෙ මේකයි, ඔයා ඒ රඟපෑම්වලට අකමැති නම් කෙලින්ම කියන්න තිබ්බ. එහෙම නොකියා ඔයත් කැමති වගේ පේන්න ඉඩ දීලා දැන් මෙහෙම කියන එක අන්තිම වැරදි.”
එහෙත් දැන් කිසිවක්ම කතා කර පලක් නැති බව තුහිනට සිතේ. පාවිච්චි වීමට අකමැති තැනකදී වචන පාවිච්චි නොකර දැන් ඒ ගැන විස්සෝප වීම ඇත්තටම කරන්නට ඕනෑ නැති දෙයක් බව ලිහිණි දිගින් දිගටම සිතුවා ය.
“අන්න අර කෙල්ලත් උත්පලාගෙ ජාතියෙම පිස්සෙක්.”
තුහින එක්වරම පෙන්වන දිශාව දෙස ලිහිණි හැරී බැලුවා ය.කුඩා ශේන්යාට බයිසිකල් පදින්නට ඉඩ දී ඔවුන් සිටියේ නිවස ඉදිරිපිට පටු මාවතේ ය. තුහින පෙන්වන්නේ පසෙක ඇති ගෘහ නිර්මාණ ආයතනයේ සේවය කරන කෙල්ලන් කිහිප දෙනෙකුගෙන් කෙනෙකි.
“ඔය ආකි කෙල්ලො ඔක්කොම උත්පලා අක්කගෙ මාර ෆෑන්ස්ලානෙ.මං දැකල තියනවා උන් මල් ඇටයි එළෝලු පැලයි ඉල්ලල කමෙන්ට්ස් දානව. ගෙයි එක එක වෙනස්කම් කරන්න උත්පලා අක්කා උන්ගෙන් උදව් ඉල්ලනවා. ඒත් එහෙම හෑලි පීපල්ස්ලා ඔතන ඉන්නවද?”
ලිහිණි එසේ අසද්දී නිල් පැහැති ගවොම හැඳ සිටින්නිය දෙස බලන්නට තුහිනගෙන් උපදෙස් ලැබිණ. ශේන්යා දැනටමත් බයිසිකලය තරුණියන් ඉදිරියේ නවතා තිබූ අතර ඈ වෙත නැවී ශේන්යා සුරතල් කරමින් සිටියේ නිල් පැහැ ගවොම හැඳ සිටින්නිය ය.
“ඒ කෙල්ලත් හැසිරෙන්නෙ නිකං ලෝකෙ ලස්සනම ලව් එකේ හිමිකාරි වගේ. මට ඇත්තටම හිතෙනව ඒකිත් ඕව ලියන්නෙ උත්පලා වගේම ලෝකෙට පේන්න.ලෝකෙ ඉන්න මිනිස්සු රවට්ටන්න.”
එහෙත් සෑම කතාවක්ම සමපාත වන්නේ නැත. ඇතැම්විට ඇය සැබෑ සුන්දර ආදර කතාවක හිමිකාරියක වන්නට ඉඩ ඇතැයි ලිහිණි පැහැදිලි කළා ය.
“නෑ මං හිතන් නෑ.”
තුහින කියන්නේ විශ්වාසයෙනි. මලිතිගේ දෑස් ඇය හිඳින්නේ සන්තෝෂයෙන් නොවන බව පැහැදිලි කරන්නට සමත් බව ඔහු සිතයි.නමුත් ඒ ශෝකාකූල පෙනුම ඇගේ සැබෑ පෙනුම ද කියන්නටත් ඔහු නොදනී.
“තමන්ගෙ ෆේස්බුක් එකවුන්ට් එක තමන්ගෙනෙ.ඒකෙ මොනව ලියා ගත්තම අපිට මොකද? උත්පලා අක්කලා වගේ මිනිස්සු රවට්ටන් නැතුව ඕන දෙයක්.”
ලිහිණි එසේ පැවසුවේ තරුණියන් සමඟ හිනැහෙන අතර ය. ත්‍රීරෝද රථවල නැගී පිටව ගිය යුවතියන්ට යන්නට ඉඩ දී පාගමනින්ම පටු මාවතින් එතෙර වන්නට එන තරුණියන් හා කතා කරන්නට තුහිනට හිතුණේ එක්වරම ය.
“ඇයි අද හස්බන්ඩ් කෝ?”
ඔහුගේ කටහඬෙහි ඇත්තේ අපහාසයක්දැයි මලිතිට සිතේ. ඇය ගැස්සී රුවිනි දෙස බැලුවා ය.
“මං නම් තනිකඩ මනුස්සයනෙ. මලීගෙ අයිතිකාරයත් අද නෑ. “
රුවිනි වහා පිළිතුරු දුන්නා ය.හිමිකමක් නැති තැනකත් මලිතිට වචන ගිලී යන බව ඇය දනියි. එවැනි කාරණා හෙළිවන්නට ඉඩ දිය යුතු ඒවා නොවේ.
“ඔයාලා හස්බන්ඩ් කියන්නෙ තමන්ගෙ අයිතිකාරයා කියල හිතන් ඉන්නෙ උත්පලා ලියන ඒවා කියවලද? අවුරුදු ගණන් මහන්සි වෙලා ඉගෙන ගෙන ඩිග්‍රි අරන් ජොබ් කරන ඔයාලා වගේ ස්වාධීන ගෑනුත් එහෙම හිතුවම නියමයි.”
තුහින එසේ පැවසීම වළක්වන්නට ලිහිණිට ඕනෑ විය. ස්වාමියාට ජීවිතයම දී ඔහුගේ සෙවණැල්ල වන්නට බොහෝ ගැහැනු මනාපය. එවැනි ගැහැනියකට අභියෝග කරන්නට අයියාට ආ හදිසි ආවේගය ඇයට තෝරා ගන්නට අසීරු ය.
” යථාර්තෙයි මායාවයි අඳුනා ගන්න මටනම් මොලේ තියනව. ඒ හින්දා උත්පලාට නම් රැවටුණ් නෑ කවදාවත්.අපි යනව.”
රුවිනි මලිතිව ද ඇදගෙන එතැනින් එන්නට ආවා ය.දකින ඕනෑම මොහොතක ඉතා වැදගත් ලෙස කතා කරන්නට පුරුදු වී සිටි තුහින රණ්ඩු ඇති කර ගන්නා සුළු වීම ඇයට හැබෑම සැකයකි. ඇය ඒ සැකය සමඟ පොර බඳින විට මලිති හඬ අවදි කළේ වෙනත් කතාවක් කියන්නට ය.
“මට හිතෙනව එයයි උත්පලයි තරහ වෙලා.”
(මලිති සහ තුහින ගැන ඔබට හිතෙන සෑම දෙයක්ම කමෙන්ට් එකකින් තබා යන්න.)