තිරුවාන කැට අතුළ ඒ කුඩා මිදුල අඩි දෙක තුනකින් තරණය කරමින් දුල්නෙත් නිර්වාණ ද්වාරය වෙත පිවිසියේ ය. ඔහු ගේ ඇස් වල වූයේ උමතු ශෝකයකි. හිස කේ අවුල් වී තිබිණ. හැන්දෑ වරුවේ ක්‍රිකට් ගැසීම නිසා හැඳ උන් ටී කමිසය දහදියෙන් තෙත් ව තිබිණ. ඔහු ඇවිද්දේ අඩියක් ඔසවා අඩියක් තබා ගත නො හැකිවා සේ වැනි වැනී ය. ලා කහ පාට මන්දාලෝකයෙන් වුව අයානා ඒ සියල්ල එක බැල්මකට ගත්තා ය.
එක සිනහ පොදක් හෝ නැතිව ඔහු උළුවස්ස මත හිට ගත්තේ ය. අඩක් විවර කළ දොර අයානා අල්ලා ගෙන සිටියෙන් ඔවුන් අතරේ වූයේ මිලි මීටර ගණනක පරතරයකි. ඒ ඉඩෙන් ඔහු ට එන්නට හැර ඇය දොර අත්හැර මඳක් පසු පසට වූවා ය.
ඔවුන් ගේ ඇස් එක රේඛාවක එකට යා වී තිබිණ. දුල්නෙත් ගේ ඇස් කඳුළෙන් පිරී ගියේ ඒ වෙලාවේ ය. ඒ කඳුළ කම්මුලක හෝ නො රැඳී කඩා හැලෙත්දී අයානා ගැස්සී ගියා ය. මොනවා ම හෝ කිව යුතු වූවත් කුමක් කිව යුතුද කියා ඇයට සිතා ගත හැකි වූයේ නැත. මොනවා හෝ කියන්නට ගියත් උගුරෙන් එය පිට වෙතැයි සිතිය නො හැකි තරමට උගුර හිර වී තිබිණ. සෙන්ටි මීටර කිහිපයක් තරමට අඩිය පෙරට තියා දුල්නෙත් අයානා සමීපයට ම වූයේ, දෑතින් ඈ සිය පපුවට තද කොට වැළඳ ගත්තේ ය. එය කෙතරම් තද හා බලාපොරොත්තු නොවූ වැළඳ ගැනීමක් වී ද අයානා මල් පෙත්තක් තරම් මෘදු ලෙස ඒ පපුතුර නළල තබා ගත්තා ය. දුල්නෙත් ගේ රැවුල් කොට වැවුණ නිකට ඇගේ හිස් මුදුණේ තද විය.
අයානා මොහොතකට ඇස් මල් පෙති පියවෙන්නට හැරියා ය. දහදිය සුවඳට යටින්, ඉතා ඈතකින්, උදේ ගැල්වූ විලවුන් වලින් ඉතිරි වූ ඔහු ට ආවේණික සුවඳ ඇයට ඉව කළ හැකි විය. මේ කුමක් සිදු වී ද කියා සිතන්නට ඇය බිය වූවා ය.
“සොරි”
කියමින් දුල්නෙත් අයානා වෙතින් මිදුණේ තත්පර හෝ විනාඩි කීයකදී ද කියා ඔවුන් දෙදෙනා ම දැන සිටියේ නැත. දුල්නෙත් මඳක් පිටුපසට ගොස් නිර්වාණ ද්වාරයෙන් තිරුවාන මිදුලට බැස්සේ ය. ඒත් ඔවුන් ගේ ඇස් කාන්දම් බලයකින් වාගේ එකට පැටලීගෙන තිබිණ.
“දොර වහගන්න”
අඩ අඳුරේ සිට අයානා දෙස බලමින් ඔහු මිමිණුවේ ය. පපුව පිච්චී ගෙන යනවා වන් සංවේදනයක් අයානා අත්වින්දා ය. ඔහු යනවා කීවේ නැත. ඇය පරිස්සමෙන් යන්න ය කියා කීවේ ද නැත. නොයා පැමිණිය නො හැකි ය යන අදහස ඇති සරච්චන්ද්‍රයන්ගේ නවකතාව අයානා ට සිහි විය. ඒ කතාවේ නම මළගිය ඇත්තන් වෙනුවෙන් ඇයි යන පාළු මූසල හැඟීම ඒ මොහොතේ ඇගේ සිතට ආවේ ය.
අයානා තේක්ක දොර වසා දැමුවා ය. උගුර වියළී ශ්වසනය වේගවත් වී ඇති බවක් ඇයට දැනුණේ ඒ වෙලාවේ ය.
දොරගුලු ලන හඬ ඇසුණාට පස්සේ ය දුල්නෙත් සෝරත මාවතට පිවිසියේ. පොත් පත් දැමූ බෑග් එක පිටේ එල්ලා ගත් දහදියෙන් බත් වූ වෙහෙසර කොල්ලෙකු මල් පෙත්තක් වන් සුසිනිඳු කෙල්ලක තදින් වැළඳ සිටින දර්ශනයක් දිගට ම ඔහු ගේ හිතේ විය.
අයානා මතු මහලට ආවේ හොර ගල් අහුලමිනි. තාත්තා රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති විකාශය මත නෙතු දැහැන් ගත කර ගෙන සිටිනු දුටු නිසා ඇගේ බිය තුනී ව ගියේ ය. නාන කාමරයට වැදී නැවුම් වූ ඕ නිදි ඇඳුම හැඳ ගෙන කුඩා සඳැල්ලට ආවා ය. හිතේ පොර බදන්නේ දුකක් ද සතුටක් ද කියා වෙන් කර ගත නො හැකි ය. ඒ දෙකේ ම සම්මිශ්‍රණයක් විය හැක.
සඳැල්ල තෙක් උස් ව වැඩී ඇති විහාර ඉද්ද ගස සුදු, ලා කහ සහ තද කහ පැහැති මල් වලින් පිරී තිබේ. නිවසත් තාප්පයත් අතර අඩි තුනක් තරම් කුඩා තීරයෙහි අයානා ගේ කාමරයට පහළින් ඇය විහාර ඉද්ද ගසක් සිටවූයේ ඒ මනහර මල් ගස ගැන වන අප්‍රමාණ ආදරයෙනි. දැන් තුරු හිස බැල්කනිය තෙක් උස ය. මල් වලින් වැඩිපුර ම සුවඳ ඉහිරෙන්නේ සූර්ය තාපය තුනී වී ගිය ඉක්බිති ය. ඒ සුවඳ කහ අරලියා මල් තරම් තුනී සුවඳක් නොවේ. මුළු මිදුලක් පුරවා ලන අපමණ සුවඳකි.
අයානා හෙමි හෙමිහිට පපුව පිරෙන්නට හුස්ම ගත්තා ය. නමුත් පපුවේ පිරුණේ විහාර ඉද්ද සුවඳ නොව දුල්නෙත් ළඟ දැනුණු පිරිමි සුවඳ ය. ඇය ඇස් වලට පියවෙන්නට හැරියා ය.
පිරිමියෙකු ගැන නො සිතා ඉන්නට ඈ තීරණය කළේ මීට වසර තුනකට පෙර ඇගේ විවාහ ලියාපදිංචියට දින කිහිපයකට කලින් ය. ඒ වෙත්දීත් විවාහ රෙජිස්ට්‍රාර්වරයා වෙත දෙපාර්ශවයේ තොරතුරු ලබා දී තිබිණ.
“දවස් දා හතරක් නම් ප්‍රසිද්ද කරල තියනව. බැරි වෙලාවත් දෙන්නගෙං කාගෙ හරි පරණ ආදරවන්තයෙක්ට හිතුණොත් මේ විවාහෙට විරුද්ද වෙන්න…නේද…”
රෙජිස්ට්‍රාර්වරයා අයානා ගේත් ඇගේ විවාහාපේක්ෂිත පෙම්වතා ගේත් තොරතුරු භාර ගෙන අවසන එසේ කීවේ විහිළුවට ය. ඔහු වෙත විවාහ ලියාපදිංචිය සඳහා පැමිණෙන බොහෝ යුවති පතීන් ට ඔහු ඔය විහිළුව කරයි. නමුත් අයානා හා විදුර සම්බන්ධයෙන් ඒ විහිළුව ඇත්තක් වූයේ කිසිවෙකුට සිතා ගත නො හැකි ලෙස ය. පරණ ප්‍රේමවන්තයෙකු නොව, මේ විවාහය සඳහා තමන් විරුද්ධ බව ලියාපදිංචියට තෙදිනක් තිබියදී එහි දිව ගොස් කියා සිටියේ අයානා ම ය. ඇගේ ඇස් වලින් කඳුළු පෙරෙමින් තිබුණා නොවේ. එහි දෝරෙ ගැලුවේ නිම් හිම් නොවන පශ්චත්තාපයකි.
“විදුරයි මායි අතරෙ අවුරුදු හතරක සම්බන්දයක් තියනව. එයා මාව මැරි කරනව කියල පොරොන්දු වෙලා ඉන්න ගමන් මෙහෙම දෙයක් කරන්න යනව කියල මට ආරංචි වුණේ එයාගෙ යාළුවෙක්ගෙං. අනේ දෙයියනේ මං කොහොමද එයාව අමතක කරන්නෙ…”
අයානා සොයා ආ විදුර ගේ පෙම්වතී ඈ ඉදිරියේ හඬා වැටුණා ය. එය වසර හතරක සම්බන්ධයකි. නමුත් අයානා ට ඔහු හා වූයේ මාස කිහිපයක සම්බන්ධයකි. එවකට ඇය පෞද්ගලික විශ්ව විද්‍යාලයක ව්‍යාපාර කලමණාකරණ උපාධියක් හදාරමින් සිටියා ය. මේ විවාහ යෝජනාව ඉදිරිපත් වූයේ අයානා ගේ ම අයියා වෙතිනි. එවකට ඔහු ප්‍රංශයේ රැකියාවක නියුතුව සිටියේ ය. අයානා ගේ පියා සේ ම සොයුරා ද ඇය ව රජයේ විශ්ව විද්‍යාලයකට යවන්නට අකමැති වූ නිසාවෙන් ය පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය ලබන්නට සිදු වූයේ.
“මෙතන ඉඳලම අපි දැක්කනෙ සිද්ධ වෙන දේවල්. කීයක් වියදං වුණත් කමක් නෑ නංගිගෙ වියදං මං බලා ගන්නං. අනික මේවගෙ ඉගෙන ගන්නවට වඩා වහල. එක්කො උද්ඝෝෂණ. ඒ විකාර කරල එළියට එනකොට තිහක් වෙලා. නංගි වෙනුවෙන් කැම්පස් එකට ලක්ෂ කීපයක් ගෙවන්න මට බැරි නෑ”
විදුර අයානා ට හමු වන්නේ දහම් ලංකාවට පැමිණි අවස්ථාවක පැවති සාදයකදී ය. යෝජනාව කර තිබෙන්නේ විදුර ම ය. ඔහු සමාජ විද්‍යා අංශයෙන් උපාධිය ලබා, අර්ධ ශිශ්‍යත්වයක් මත විදේශ විශ්ව විද්‍යාලයක පශ්චාද් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාව උදා වන තුරු බලා සිටියේ ය.
“මේක හොඳ ප්‍රපෝසල් එකක්. විදුරට ඕනෙ වෙඩින් එක අරං නංගිත් එක්කම ඉංග්ලන්ඩ් යන්න. මන්නං කියන්නෙ අපි මේකට කැමති වෙමු කියලයි”
දහම් දෙමාපියන් වෙත පැහැදිලි කළේ ය. පුත්‍රයාත් විදේශ ගත වී සිටිනා එකේ අයානා ද ඔවුන් ගෙන් දුරස් ව යාම ගැන නාලිනී ට දැනුණේ සංකාවකි. නමුත් දියණියගේ යහපත වෙනුවෙන් ඒ කාංසිය දරා ගන්නට ඇය සූදානම් වූවා ය.
“ඒ මොනා වුණත් අපි නංගිගෙ කැමැත්ත දැනං ඉන්න ඕනනෙ”
“නංගිට අකමැති වෙන්න කිසිම හේතුවක් නෑ. අනික විදුර නංගිගෙ ස්ටඩීස් අතර මග නවත්තන්න කියන මිනිහෙක් නෙවෙයි. නංගිට නිදහසේ ඉගෙන ගන්නත් පුළුවන්”
අයානා ඒ යෝජනාවට කැමති වූයේ අයියා වෙනුවෙනි. ඔහු විදේශයක දුක් විඳ ඉපයූ මුදල් ලෝභ නැතිව අයානා ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළේ ය. එහෙව් අයියා වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට මේ වෙලාව බව අයානා ගේ සිත කීවේ ය. අනිත් අතට අයානා ට ඒ වන තුරුත් පෙම්වතෙකු සිටියේ නැත. ඇගේ හිත සසල කළ හැකි කෙනෙකු හමු වී නො තිබුණා සේ ම ජීවිතය පිරී ඉතිරී යන ආදරයක් පවුලේ අයගෙන් ලැබුණ නිසා ඇයට ප්‍රේමයක ලොකු අඩුවක් දැනුණේ ද නැත.
විදුර දෙස මුල සිට ම ඇය බැලුවේ අනාගත සැමියා ය යන හැඟීමෙනි. ඔහු නමින් උපන් ගෞරවනීය බවක් ඈ කෙරේ විය. ඔවුන්ට දැන හැඳින ගැනීම සඳහා මාස කිහිපයක කාලයක් ලැබී තිබිණ. විදුර අයානා කැටිව එන්නට හවසට මාලඹේ ගියේ ය. ඔවුහු අනාගත සැලසුම් ඇන්දහ.
විවාහ ලියාපදිංචියත් චාරිත්‍රානුකූල විවාහ උත්සවයත් යන දෙක ම යොදා ගත්තේ එක ම දිනකට ය. උත්සව ශාලා වලට ද මධු සමය ගත කිරීමට නියමිත හෝටලයට ද මුදල් ගෙවා වෙන් කිරීම් සිදු කොට තිබිණ. මනාලිය හැඩ ගැන්වීම වෙනුවෙන් ජනප්‍රිය ම රූපලාවන්‍ය ශිල්පිනියක වෙන් කොට ගැනිණ. මංගල සාරිය අලුතෙන් ම මිලදී ගත්තේ අයානා වැඩිපුර කැමති වූ කිරි සුදු පාටිනි. රත්රන් අබරණ තැනවිණ. ඇය වෙනුවෙන් බොහෝ දේ ප්‍රංශයෙන් ම නැව් නැග ආවේ ය. සනුහරේ ඥාතීන්ට ද මිතුරන්ට ද බුලත් දීමෙන් හා මංගල ඇරයුම් පත් යැවීමෙන් ජය මංගල්ලයක් සඳහා සියල් කටයුතු සූදානම් වී තිබිණි.
විදුර ගේ පෙම්වතිය ඇගේ අයිතිය වෙනුවෙන් අවිහිංසක ලෙස ඉදිරිපත් වූයේ ඒ වෙලාවේ ය. අයානා ඒ ගැන ඉවසීමෙන් තොරතුරු හොයා බැලුවා ය. කිසිදු මනාලියකට ගත හැකි යයි සිතිය නො හැකි ඒ බරපතල තීරණය ගත්තේ ඉනික්බිති ය.
පවුලේ අය අතිශය කලබල වූහ. නමුත් අයානා සන්සුන් ව සිටියා ය.
“වියදං කරපු සල්ලි අමතක ම කරල දාමු. ඒත් පුතේ වෙඩින් එකට කාඩ් බෙදලත් ඉවරයි. මොන ලැජ්ජාවක්ද අපිට වෙන්නෙ…”
නාලිනී හැඬූ කඳළින් විචාලා ය. අයානා හිස කෙළින් තියා ගෙන පිළිතුරු දුන්නා ය.
“මට බැඳල ටික කාලෙකින් ආයෙ ගෙදර එන්න වුණොත්…අන්න එදාට අම්මලට කොච්චර දුක හිතෙයිද…දුරක් ගිහින් හැරෙනවට වඩා මෙතනදි හැරෙන එක ලේසියි අම්මෙ”
“නංගි…කොල්ලන්ට සම්බන්දනං ඕන තරං තියෙන්න පුළුවන්. ඒත් බඳින්න තෝර ගන්නෙ එක කෙල්ලෙක්ව. සම්බන්දයක් ඇති කර ගන්නෙ එයත් එක්ක ජීවිතයක් ගත කරන්න පුළුවන්ද කියල ආශ්‍රය කරල බලන්න. ඒක නිසා මේක මහ දෙයක් විදිහට ගන්න එපා. හරි ඒ ගර්ල් එක්ක සම්බන්දයක් විදුරගෙ තියෙන්න ඇති. ඒත් ඔයාව මැරි කළාට පස්සෙ ඒවට වටිනාකමක් නෑ”
දහම් ඉතා සංයමයෙන් හා ඉවසීමෙන් යුතු ව නැගණිය ගේ හිත හදන්නට බැලුවේ ය.
“මනුස්ස හිතක බැඳීම් එහෙම අහෝසි වෙලා යනවද අයිය…එහෙම අහෝසි කරල දාන්න පුළුවන්ද…”
“මං කෙල්ලො කී දෙනෙක් එක්ක යාළු වෙලා ඉඳල තියනවද බං…”
“අවුරුදු හතරක් යාළුවෙලා ඉඳල…මැරි කරනව කියල හෝප්ස් දීපු ගෑනු ළමේක් ඒ. අඩු තරමින් මෙයා ඒ අෆෙයා එක නතර කරල නෑ. ඒ ගර්ල්ව මෑතක් වෙනකල්ම මීට් වෙලා…හිටපු ගමං ළඟදි තමයි මගාරින්න පටං අරං තියෙන්නෙ. එහෙම කරන්න පුළුවන් වෙච්ච කෙනෙක්ව මං කොහොමද විශ්වාස කරන්නෙ අයිය…එහෙම කරපු කෙනෙක් මට මොනා කරන්න බැරිද…මාවත් එහෙම මගෑරල අයින් කරල දැම්මොත්…එදාට අයියල මොනාද කරන්නෙ…කෙනෙක්ට කැමතියිනං වගේම අකමැතියිනං ඒකත් කියන්න පුළුවන් වෙන්න ඕනෙ. කතා කරල රෙස්පෙක්ටබල් විදිහට වෙන් වෙන්න පුළුවන් වෙන්න ඕනෙ. එහෙම නොකරනව කියන්නෙ අතරමං කිරීමක්. මට ඒ ගර්ල් ගැන එහෙම සුළුවෙන් හිතන්න බෑ. එයාගෙ බලාපොරොත්තු හීන කුඩු පට්ටං කරල හොරෙන්ම වෙඩින් එකක් ප්ලෑන් කරපු මිනිහෙක් එක්ක මට අනාගතයක් බිල්ඩප් කරන්න බෑ අයිය. මට දැං විදුර ගැන විශ්වාසයක් නෑ. ඕගොල්ලො ගැන මට හරීම දුකයි. ඕගොල්ලො පත් වෙන අපහසුතාව මට හොඳට තේරෙනව. ඒත් මට මේක කරන්න බෑ. මට සමාවෙන්න”
සියල්ල අවසන් වූයේ එසේ ය. අයානා හඬන්නට පටන් ගත්තේ ඉනික්බිති ය. ඒ දෙමාපියන් හා සොයුරා ඇය නිසා පත් අසීරුව ගැන දිගින් දිගට ම සිතීමෙනි. උපාධිය සම්පූර්ණ කර ගත්තත් අයානා විශාධයට ගොදුරු වූවා ය. දිගු කලක් ඇය ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලැබුවා ය.
ව්‍යාපාර කලමණාකරණ උපාධියක් සහිත ඕ නිර්වාණය සිය අනාගතය ලෙස තෝරා ගත්තේ හිත සන්සුන් වීමෙන් ඉක්බිතිව ය. උගත් කමේ පමණට රැකියාවකට ඉල්ලුම් කරන්නැයි පවුලේ කිසිවෙකු ඇයට බල කොට සිටියේ නැත. ඇය හෙමි හෙමිහිට කාලයත් සමග සුවපත් වෙමින් සිටියා ය. එපමණක් ඔවුන්ට ප්‍රමාණවත් විය.
නන්නාඳුනන ගෑනු ළමයෙකු වෙනුවෙන් සිය අනාගතය බිලි දුන් ඕ, අද ගෑනු ළමයෙකු වෙතින් රිදෙන්නට කම්මුල් පහරක් කෑවා ය. අයානා ගේ මුවෙහි සිනහවක් නැගෙන්නට ආවේ ය. එසැනෙන් පපුවේ පීඩන අවපාතයක් ඇති වූයෙන් ඕ මුව මඳක් විවර කොට පෙනහලු පිරෙන්නට හුස්මක් ගත්තා ය. ඇස් වල කඳුළක තෙත නොවූවා විය නො හැකි ය. පපුව ඇතුළේත් විහාර ඉද්ද මල් සුවඳ පැතිර යනවා වාගේ ඇය ට දැනිණ.
විදුර විසින් සිප ගත් අවස්ථා කිහිපයකදී නො දැනුණ විදිහේ හැඟීම් පොදියක්, දුල්නෙත් ගේ පපුතුර නෙතු පියා සිටියදී ඇය විඳ ගත්තා ය. තවමත් ඒ සුවඳ හා උණුහුම ඇගේ ආත්මයේ සැරිසරයි. නමුත් මංජරීගෙන් දුල්නෙත් උදුරා ගන්නට ඇයට කිසි දා දිරියක් නොවන බව අයානා ඉඳුරා දැන සිටියා ය.