මල්වර මල් සර – 25

ඒ හැන්දෑවේ රෝහණ ජයසුන්දර සෝරත මාවත ට මුහුණ ලෑ බැල්කනි කොටසෙහි හිඳ පාර බලා සිටියේ ය. ඒ බැල්කනිය එක ගැහැනියක ගේ දෑතින් මල් උයනක් බවට පත් ව ඇත්තේ ය. ඔවුන් ගේ මුළු පවුල ම මල් උයනක් බවට පත් වන්නට ඇගේ දිරිය හිත හේතු වාසනා වූ බව ආපසු හැරී බලත්දී රෝහණ ට සිහි කර ගත හැක. 

ඔහු ගේ හිත මත පැටවී තිබි එක ම බර අයානා ය. ඇයව සතුටෙන් තබත හැකි පුත් කුමාරයෙකු මුණ ගැස්වීම ගැන දෙවියන් ට පින් දෙන්නට වුව ඔහු සූදානම් ය. ඉරණම ඔවුන් දැක ඉවත බලා නො ගැනීම ගැන ස්තූතිවන්ත වීමට ඔහු සූදානම් ය. තාත්තා කෙනෙකු සම්පූර්ණ තාත්තා කෙනෙකු වන්නේ සිය දියණිය ඔහු වාගේ ම රැක බලා ගත හැකි දෑතකට පත් කිරීමෙනි. අයානා ඉදිරියට එහෙම කෙනෙකු එවීම ගැන ඕනෑ ම බලවේගයකට ස්තූතිවන්ත වන්නට ඔහු ට පුළුවන.

සිතිවිලි ලෝකයක අතරමං වී, සැනසිලි සහගත මඳහස් වතකින් රෝහණ පිටත බලා සිටියේ ය.

විදුර රෝහණ ව දුටුවේ අහම්බෙනි. ක්ෂණික සිතිවිල්ලකට නතුව මග අයිනට කොට ඔහු රිය නතර කළේ ය.

“ඇයි…”

මංජරී විමසුවේ නො රිස්සුමෙනි. නිර්වාණ ද්වාර නිවැසියන් සමගින් විදුර ට වන සම්බන්ධය පැරණි එකක් බව දැන සිටියද අයානා මහ පර්වතයක් සේ ඇගේ පපුව මැද හිර වී සිටියා ය. දුල්නෙත් ව අහිමි වූයේ අයානා ගේ කිසියම් ආකර්ෂණ බලයක් නිසා ය යන සිතිවිල්ල බැහැර කරන්නට තවමත් මංජරී ට නුපුළුවන. 

“අංකල් ඉන්නව බැල්කනි එකේ. මං ටිකක් කතා කරල එන්නං”

ඇය හොස්ස ගස්සා ඉවත බලා ගත්තා ය. මේ වෙලාවේ මංජරී ගේ මූණ ගැන හිත හිතා ඉන්නට කිසිදු උවමනාවක් විදුර ට දැනුණේ නැත. ඔහු අභ්‍යන්තර වශයෙන් කලබලයකට පත් ව හිටියේ ය. ඒ කලබලය වූ කලී දැන් දෙතුන් දිනක සිට පවතින්නකි. එය එක්තරා උමතුවක් වාගේ ය. ආයේ ම වතාවක් අයානා ව දැකීමෙන් පස්සේ ඔහු සැබවින් කැළඹී සිටින්නේ ය. අයානා විවාහකය කියා සිතා සිටීම එකකි. නමුත් ඇය දුල්නෙත් සමගින් කතා බහ කරන රිද්මය හා මංජරී ඔවුන් ගැන දරනා අදහස අනුව, ඔහුට නො දැක්වූ සැලකීමක් අයානා දුල්නෙත් ට දක්වනා බව සහතික ය. ආයේ ම ඇගේ සව්මිය වූ ලෝකයට රිංගා ගැනීමේ දොළක් දැන් දැන් විදුර තුළ දැල්වේ. අයානා ගෙන් ඊට ඉඩක් නො ලැබේ නම් රෝහණ හරහා හෝ ඊට පාර කපා ගන්නට ඔහු උත්සුක වූයේ ය.

“හෙලෝ අංකල්”

පාරේ සිට ම ඉහළ බලමින් විදුර රෝහණ ඇමතුවේ ය. මිහිරි වූ කල්පනා ලෝකයක සැරිසරමින් සිටි රෝහණ පහළ බැලූයේ, ඒ කවුදැයි එකවර හැඳින ගන්නට අපොහොසත් වූයේ ය.

“අංකල් මං විදුර…දහම්ගෙ යාළුව””

අතීතයත් වර්තමානයත් එක මත සමපාත වූයේ ඒ වෙලාවේ ය. ඒ දෙලොව අතරේ තැනක ස්ථාන ගත වීමේ ඉඩක් හොයමින් රෝහණ විදුර ගේ මූණ දෙස බලා ගෙන ම සිටියේ ය. ඇස් කණ්ණාඩි පළඳා, හිස කේ තරමක් දිගට වවා හිටියාට සිනහව පරණ විදුර ගේ ම ය. 

“මං එන්නං අංකල් ඇතුළට”

කියා ගෙන විදුර නිර්වාණයට ගොඩ වෙත්දී පුස්තකාල කොටසේ මේසයක්  ළඟ වාඩි වී අයානා දුල්නෙත් සමග කතා බහක සිටියා ය. ඔවුන් ගේ දේහ ලක්ෂණ අනුව හා විද්‍යමාන වන ජීව රසායනය අනුව සාමාන්‍ය මිත්‍රත්වයකට එහා ගිය යමක් ඔවුන් අතරේ වන බව එක බැල්මකින් විදුර හැඳින ගත්තේ ය. රෝහණ විගස පිය ගැට පෙළ බැස නිර්වාණය වෙත නො පිවිසියේ නම් ඒ වෙලාවේ එතැන යම් කතා බහක් වෙන්නට ඉඩ තිබිණ.

“මං කොහොමත් එන්න හිටියෙ…අංකලුයි ආන්ටියි එක්ක කතා කරල යන්න”

ඉස්සර කාලේ වාගේ ම වැදගත් මහත්මයෙකු විලාශයෙන් විදුර සයුරංග ඒකනායක රෝහණ ඉදිරියේ පෙනී සිටියේ ය.

“යංකො විදුර එළියට”

දෙවන වතාවට ද රෝහණ විදුරට කතා කළේ නිර්වාණයෙන් පිටතට යන්නට ය. ඔහු ගේ පිටට අතක් තබා බලයෙන් ම වාගේ විදුර ව ආපසු හරවන්නට රෝහණ සමත් විය.

“විදුර ජපුරෙ වැඩ කියල මට අපේ ළමය කිව්ව”

ඔහු එහෙම කීවේ තිරුවානා මිදුලට පිය තබනා ගමන් ය. 

“අංකල් ඔය දුල්නෙත්…”

“ආ…ඒ අපේ අයානා බඳින්න ඉන්න ළමයනෙ”

“අංකල් අයානා බැන්ද නේද කලින්…”

“බඳින්න ගියා. ඒත් අන්තිම මොහොතෙදි අපේ ළමය ඒකට බෑ කිව්වනෙ…විදුර ඒක දන්නවනෙ…”

ඒ කියන්නේ අයානා ඉන් පසු විවාහයක් කර ගෙන නැති බව යයි විදුර වටහා ගත්තේ ඒ වෙලාවේ ය. ඔහු ගේ දෙතොල් අතරේ සිනහවකට ඉඩ තිබිණ. නමුත් ඔහු ඒ සිනහව තමන් තුළ ම සඟවා ගත්තේ ය.

“විදුර පුතා දැන් මෙහෙට එන එක එච්චර හොඳ නෑ නේද…මොනා වුණත් පුතා අයානාව බඳින්න ගියා. ඒව අපිට අමතක නෑනෙ. දැන් ඒව වෙලා ඉවරයි. අපිට විදුර එක්ක කිසි අමනාපයක් නෑ. දෙයක් නැති වෙන්නෙ භට වඩා හුඟක් හොඳ දෙයක් ලැබෙන්න කියන කතාව ඇත්ත. අයානාට හිතේ නිදහසෙන් එයාගෙ අනාගතේ හදාගන්න ඉඩ හදල දෙන්න ඕනෙ. ඒකට බාධා කරන ඕනම බාධාවකට කරන්න ඕන මොනාද කියල මං දන්නව. මොකද…දෙවෙනි සැරේකට මං මගෙ දරුවගෙ ජීවිතේට හානියක් වෙන්න ඉඩ තියන්නෑ”

පිහි තුඩක් වන් යමක් විදුර ගේ පපුවේ වැදිණි. ව්‍යාජ හිතවත් කමකින් ඔහු රෝහණ වෙතින් සමු ගෙන ගියේ හිත යට යමක් තියාගෙන ය. විදුර කියන්නේ කවදාවත් පැරදෙන්නට කැමති වූ මිනිසෙකු නොවේ!

පහළට එත්දී නිර්වාණය තුළ දුල්නෙත් සිටිනු රෝහණ දුටුවේ ය. ඒ හින්දා ම ඔහු ඇතුළෙන් නොයා පිටත පඩි පෙළෙන් යළි මතු මහළට ගියේ ය.

“මං බලං හිටියෙ අංකල් මූගෙ ශර්ට් කොලර් එකෙන් අල්ලල සෝරත මාවතට තල්ලු කරල දානකල්. අපරාදෙ. ඒක වුන්නෑනෙ”

දුරාශා කීවා ය. අයානා දෙතොල් තද කර ගෙන හිටියේ ඇය හිත ඇතුළෙන් වද වෙන නිසා බව දුරාශා දැන සිටියා ය. ඇය ඇසුරු කොට දීර්ඝ කාලීන පුරුද්දක් නැත ද දුල්නෙත් ට ද ඒ බව දැනිණ. 

“සතුටෙන් ඉමු. ම්…”

දුල්නෙත් නික්ම ගියේ අයානා ගේ මුහුණ ට එබී එසේ පවසමිනි. හදවතෙහි පිච්චීමක් ඇය අත්වින්දා ය.

එදා දුල්නෙත් ගෙදර ගියේ බර වූ හදවතකිනි. නමුත් ජීවිතය අල්ලා ගත යුත්තේ මෙතැනින් බව ඔහු ට දැනේ. සුළි කුණාටු වුව ද ඇති වී නැති වී යන්නේ ය. ඒවාට බියෙන් ආදරය මැද්දට පනින්නේ නැතිව සිටිය නො හැකි ය. 

දිය නා ගෙන ඇවිත් අම්මා අතින් තේ කෝප්පය ගනිමින් දුල්නෙත් ප්‍රියන්ති ගේ මූණ දෙස බැලුවේ ය. ජීවිතයත් එක්ක ඔට්ටු වූවා කියා ඇගේ මුහුණේ වෙහෙසකර බවක් නොවන්නේ ඒ හැම තත්පරයක් ම දරුවන් හා පවුල කෙරේ අසීමිත ආදරයකින් දිය කොට හැරි නිසා විය යුතු ය. අම්මා කියන්නේ දැන දැන ම දරුවන් නිසාවෙන් සසර දිගු කර ගන්නා අසීමිත ආත්මයකි.

“මට අම්මට දෙයක් කියන්න තියෙනව”

තේ උගුරක් බී ඔහු එහෙම කීවේ ප්‍රියන්ති ගෙන් ඇස් ඉවතට ගනිමිනි. පුත්‍රයා ගේ කුමක් හෝ වෙනසක් අම්මා ට ටික දිනක සිට දැනෙමින් තිබිණ. ඇගේ පපුවේ හදිසි ගැස්මක් ඇති වූයේ ය. නමුත් හැකි තාක් ඒ බව නො හඟවා කතා කරන්නට ඇය උත්සාහ කළා ය.

“මොකද්ද පුතා..”

ප්‍රියන්ති සෝෆාවෙහි අසුන් ගත්තී ය. තේ උගුරු දෙක තුනක් බී කෝප්පය කෝපි මේසය මත තැබූ දුල්නෙත් අම්මා පසෙකින් හිඳ ඇගේ උකුලෙහි හිස තියා හාන්සි වූයේ ය. ප්‍රියන්ති සුරතින් පුතා ගේ හිස පිරිමැද්දා ය. 

“අම්මෙ..”

“ම්..”

හිත ඇතුළේ කෙතරම් ගැස්මක් තිබිණි ද ප්‍රියන්ති පිටතින් සාමකාමී වූවා ය.

“අම්මෙ මං…”

“හ්ම්…”

“අම්මෙ මං ගෑනු ළමයෙක්ට කැමැත්තෙං ඉන්නව”

මේ ඇය ටික කාලයක සිට බලාපොරොත්තු වූ දේ ය. ටික කාලයක සිට අහන්නට සූදානමින් උන් දේ ය. කෙතරම් කල් තියා සූදානම් වී ද මේ මොහොතේ හුස්ම හිරවීමකින් ඇය පීඩාවට පත් වූවා ය. ටික වෙලාවක් යන තෙක් කියන්නේ කුමක්ද කියා සිතා ගත හැකි වූයේ නැත. නමුත් ඒ නිහඬ බව පුතා ගේ හිත පාරනු ඇත කියා ද ඇය ඊළඟට බිය වූවා ය.

“මං හිත හිත හිටියෙ…ඔය ආරංචිය මට කියන්න මගෙ පුතා මෙච්චර පරක්කු ඇයි කියල…”

සිනහවක් නගා ගැනීමේ උත්සාහයකින් ඇය උගුර යටින් කියා ගත්තා ය. නමුත් ඇයට සැබවින් ම ඕන වී තිබුණේ හඬන්නට ය. ඇස් කෙවෙනි දැවෙනුත් කඳුළක් පිට පනින්නට දඟලනුත් ඇයට දැනිණ. ඇය තව තවත් පුතනුවන් ගේ හිස පිරිමැද්දා ය.

“කැම්පස් එකේ ගෑනු ළමයෙක්ද..”

දුල්නෙත් එහෙම ම හිඳ හිස මඳක් ඉහළට හරවා ප්‍රියන්ති ගේ මුහුණ දෙස බැලුවේ ය.

“අපේ කැම්පස් එකේ නෙවෙයි. එයා ප්‍රයිවට් කැම්පස් එකක බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරල ඉන්නෙ”

“ලස්සනයිද…”

දුල්නෙත් ගේ ඇස් වල සිනහවක් ඇඳිණි. ඔහු කොට කලිසමේ සාක්කුවට අත දමා ජංගම දුරකතනය ගෙන අයානා ගේ මුහුණු පොතේ ප්‍රොෆයිල් පින්තූරය පෙන්වූයේ ය. එහි ඇය කහ පාට ගවුමක් හැඳ කහ අරලිය මලක් දෙස බලා ගෙන ඇස් වලින් සිනහ වෙවී සිටියා ය. ටීක් බෝල ඇස්!

“බෝනික්කියෙක්නෙ. එයා ලස්සනයි”

“අම්ම කැමතිද…”

ප්‍රියන්ති ගේ උගුර හිර විය.

“ඔයා කැමති වෙලානෙ ඉන්නෙ”

කියා කියන්නට සිතීත්, පුතා ගේ හිත රිදවන්නට ඇති නො කැමැත්තට “කැමතියි..” කියා කෙඳිරුවා ය. තවමත් නො දරුවෙකු සේ ඇයට ඔහු දැනේ. දුල්නෙත් හැසිරෙන්නේත් පොඩි එකෙකු වාගේ ය. ඔහු සිය අතින් ගිලිහී යන්නට හදනවායි සන්තාප සිතිවිල්ලක් සිත පුරා ඉහිර යනු ප්‍රියන්ති ට දැනිණ. මුහුණ නලියනවා වාගේ දැනී ඇය අතකින් පිස දමා ගත්තා ය. ලෝක ස්වභාවය මෙය බව ඇය දනී. ඇස් දෙකේ තියා ගෙන හැදු දියණිය පතිකුළයට යවා සන්සුන් වන්නට ඇයට සිදු විය. දැන් පුතා ද වෙනත් අතක් අල්ලා ගන්නට හදයි. තනිවීමක් ගැන බියකින් ඇය ඉරිතලා යන්නට වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles