සියක් සියපත් 40

‘තාත්ති සියපත්ලගෙ කඩේට ඇවිත්’ යනුවෙන් වියානා එවා තිබූ කෙටි පණිවිඩය දකින විට සදාතන සිටියේ දිය නා කාමරයට විත් නැවුම් ප්‍රබෝධයකිනි. නමුත් ඒ පණිවිඩය දුටු ගමන් ඔහු ගේ ඉහ මොළ රත් වන්නට ගත්තේ ය. වහ වහා සූදානම් වී ඔහු එතැනට යන විට කඩය වසා දමා තිබිණ. සදාතන වියානා ට ඇමතුමක් ගත්තේ දෙගිඩියාවෙනි. මේ සුළු වෙලාව තුළ වුව ඕනෑ ම දෙයක් සිදු විය හැකි බව ඔහු දැන සිටියේ ය. වියානා රෝලර් දොර ඔසවා සදාතන ට ඇතුළට එන්නට ඉඩ සැලැස්වී ය. එතකොටත් සියපත් සිටියේ තාත්තා ව බදා ගෙන හඬමිනි.

“සියපත්”

සදාතන ගේ ඇමතුම ඇසෙන විට ඇය තිගැස්සී පියවි ලෝකය ට ආවා ය. ඔහු දුටු විට ඇගේ හැඬුම අලුත් වන්නට ඇත. සදාතන සියලු දෙනා ඉදිරියේ දී ම සියපත් ගේ අතක් අල්වා ගත්තේ ය.

“අංකල්”

ඔහු ඍජු ව කතා කළේ ජිතේන්ද්‍ර ගේ මුහුණට ය. මේ සිදුවීමට කවදා හෝ මුහුණ දෙන්නට සිදු වන බව දැන සිටිය ද මේ තරම් ඉක්මනට හා මේ විදිහට එහෙම කරන්නට සිදු වෙතැයි ඔහු සිතුවේ නැත. නමුත් සුබ නැකැත් බලන්නට නො සිදු වන අවස්ථා ූදා වේ. ඒ මොහොතේ දී ඒ වෙනුවෙන් පෙනී සිටිත යුතු ය. ජීවිතය කියන්නේ එහෙම දෙයකි. එවැනි දේ සිදු වෙන තැනකි.

“වියානා ගැන ප්‍රපෝසල් එක ගේනකොට මං සියපත්ව දැකලවත් තිබුණෙ නෑ. ඒත් කිසිම හේතුවක් නිසා දැං මට සියපත්ව අත් ඇර ගන්න ඕන නෑ. බිස්නස්…සල්ලි…හිතවත්කං…ඒ මොන දෙයක් නිසාවත් මං මේ කෙල්ලගෙ අල්ල ගත්ත අත අත්අරින්නෑ. ප්‍රශ්නයක් තියනවනං මාත් එක්ක ඒක විසඳගන්න අංකල්..මේ අහිංසක මිනිස්සු ඒකට පටලගන්නෙ නැතුව”

“අයි…යෙ…”

සියපත් කෙඳිරුවා ය. මෙතෙක් මෙතැන කතා බහ වූ කිසිවක් ඔහු දන්නේ නැත. පෙරපර ගලපා කියන්නට තරම් හයියක් මේ මොහොතේ කිසිවෙකුට ඇත්තේ ද නැත. ඊළඟට සදාතන ශාන්ත වෙතට හැරුණේ ය. තවමත් ඔහු සියපත් ගේ අතක් ඉතා තදින් අල්වා ගෙන ය.

“සමාවෙන්න තාත්තෙ කලින් කියන්න බැරි වුණාට. හැම දේම ක්ලියර් වුණාට පස්සෙ තාත්තලව හම්බ වෙලා සියපත්ව ඉල්ලන්නයි හිටියෙ”

  ජිතේන්ද්‍ර අසුනෙන් නැගිට ගත්තේ ය. ඔහු හිට ගත්තේ ශාන්ත ඉදිරියේ ය. ශාන්ත ගේ උරහිසක් මත අතක් තබා කතා කරන්නට පටන් ගත්දී ඔහු ගේ උගුරේ යමක් හිර වී තිබිණ.  වචන පිට වූයේ ඒ හිර වීම අතරිනි.

“ශාන්ත කියන තාත්ත ඉස්සරහ මං කුරාකූඹි මිනිහෙක් ශාන්ත. මට එක පාරක් ඔයාගෙ දුවව බදා ගන්න පුළුවන්ද…”

සියපත් ඇස් දෙක පියා ගත්තේ ත් දෙතොල් පට සපා ගත්තේත් එකට ම ය. දරා ගෙන ඉන්නට බැරි වේදනාවක් කඳුළු අහුරු දෙකක් වී ඇස් කෙවෙනි අතරින් මිරිකී ගියේ ය. සදාතන කිසිත් වටහා ගත නොහී වියානා දෙස බැලුවේ ය. ඇය ඇස් වලින් කීවේ ඔහු ට සන්සුන් වෙන්නට කියා ය. 

සියපත් සිය ජීව විද්‍යාත්මක පියා ට ලං වූවා ය. සදාතන ඇගේ අත අත්හැරියේ ය. ඇයව තදින් සිය පපුවෙහි රුවා හිස සිප ගත්තේ ජිතේන්ද්‍ර ය. සියපත් කඳුළු සලමින් ඔහේ සිටියා විතර ය. හැඟීම් වලින් හිර වී ගත් විට ඇතැම් විට සිරුර අක්‍රිය වේ. කුමක් කරන්න ද කියා නිශ්චිත කර ගත නො හැකි වෙයි. මේ වෙලාවේ ඇය සිටියේ එහෙම තත්වයක ය.

“දැං මගෙ ජීවිතේ සම්පූර්ණයි පුතේ”

ටික වෙලාවකට පස්සේ ජිතේන්ද්‍ර කීවේ එපමණකි. සදාතන ගේ උරහිසකට තට්ටුවක් දමා ගෙන ඔහු කඩ දොර දෙසට ගියේ ය. ශාන්ත වහා ගොස් එය විවර කොට දුන්නේ ය. වියානා හදිසියේ සිහිපත් වී පියා ගේ රිය අසලට දිව්වා ය.

“තාත්ති. මං අද සියපත් එක්ක ඉඳල එන්නං. ඔයා පරිස්සමට යන්න ඕන හරිද..”

ජිතේන්ද්‍ර වියානා ගේ හිස් මුදුන පිරිමැද රිය පණ ගැන්වූයේ ය. එය නික්ම ගිය ගමන් වියානා දිවවිත් සියපත් ව වැළඳ ගත්තා ය. ඔවුන් දෙදෙන බෝ වෙලාවක් උනුන් වැළඳ ගෙන සිටියහ. කඳුළු පැල්ලම් කම්මුල් මත වී ද කඳුළු වියළී ගොස් තිබිණ. ඔවුන් ට ඔවුන් අහිමි වූයේ ඉපදී දින දෙකකට පසු ය. සුජීවා සියපත් ව ගෙන ජිතේන්ද්‍ර ගෙන් සැඟවී නො ආවා නම් ඔවුන් ට සිය නිවුන් සොයුරියන් අහිමි වන්නේ නැත. නමුත් ඒ ගැන සුජීවා එක්ක තරහ ගන්නට ඔවුන් දෙදෙනාට ම නුපුළුවන. අම්මා කෙනෙකු වශයෙන් ඊට වැඩි යමක් සුජීවා වෙතින් බලාපොරොත්තු වීම අසාධාරණ ය. දුප්පත් අසරණ ගැහැනියක ලෙස සිය වපසරිය තුළ ඊට වඩා කළ හැකි යමක් ඇයට ඇත්තේ නැත. පමා වී හෝ නැවත ඔවුන් මුණ ගැස්වීමේ සැලැස්මක් දියත් කළ ඉරණම පුදුම සහගතයි කියා සියපත් ට සිතිණ.

ශාන්ත සදාතන ව පාර ට කැටිව ගොස් සිදුවීම කෙටියෙන් කියන අතරේ සුජීවා සිය කුසින් බිහි කළ දියණියන් දෙදෙනා දෙස දීප්තිමත් දෑසකින් බලා සිටියා ය. ඉරණම හැමදාමත් ඇයට කුරිරු වූවා කියා සිතූ සිතිවිල්ල ඉල්ලා අස් කර ගන්නට මේ මොහොතේ සුජීවා සූදානම් ය.

“එහෙනං පුතාල දෙන්න දැං ගෙදර යන්න. නංගිත් තනියමනෙ”

ශාන්ත ඇතුළට එමින් කීවේ ය. 

“සුජීත් යන්නකො එහෙනං. ගිහිං ළමයින්ට කන්න දෙයක් ලෑස්ති කරන්න. මං එන්නං බිස්නස් ටිකක් වුණාට පස්සෙ”

ශාන්ත ගේ තීරණයට එකඟ ව ඔවුහු සදාතන ගේ රියට නැගුණහ. හිත් වල එක එක සෙවනැලි වැටෙමින් ද නළියමින් ද තිබිණ. ඔවුන්ට එක එක ඒවා සිහි විය. එසැනෙන් එය යට ගොස් තව එකක් සිහි විය. හිත් වල වූයේ අපිලිවෙල කලබැගෑනියකි.

“එතකොට මගෙ බර්ත් ඩේ එක දවසෙමනෙ ඔයාගෙ බර්ත් ඩේ එකත්..”

හදිසියේ සිහි වූවක් සියපත් ගේ මුවින් පිට විය. එකිනෙකා උනුන් ගේ මුහුණු බලා ගත්හ. සුජීවා ගේ පපුවේ දැවීමක් ඇති විය. වියානා මඳහසක් පෑවා ය.

“මං පොඩි කාලෙ ඉඳලම බර්ත් ඩේ එක ගැන එච්චර උනන්දු නෑ”

ඇය එහෙම මිමිණුවේ අතීතය තුළ පියමනින අතරේ ය. ඇය වෙනුවෙන් කිසි දා ලොකු උපන් දින සාද පැවැත්වී නැත.

“තේරුමක් නෑ. ඒක සම්පූර්ණ බර්ත් ඩේ පාටි එකක් වෙන්නෑ”

කුඩා කල ඇය උපන් දින සාදයක් ගැන කියූ දිනෙක ජිතේන්ද්‍ර එහෙම කියා තිබේ. ඒ කතාවේ තේරුම කුමක් දැයි එදා ඇයට තේරුණේ නැත. නමුත් ඉන් පසු සිය ජීවිතයට එළඹි උපන් දින වල දී සාද ඉල්ලා සිටින්නට ඇයට හිත් දුන්නේ ද නැත. තමන් ගේ උපන් දිනයේ කුමක් හෝ වරදක් ඇතැයි සිතිවිල්ලක් ඒ ළමා වියෙහි දී ම වියානා ගේ ළමා මනසෙහි තැන්පත් වූවා සේ ය. 

සාද නැතිවාට අම්මා, දියමන්ති එදාට ඇයව ඇවිදින්නට එක්ක ගෙන ගියා ය. ඒ යන ගමන් විවිධ විය. ස්වභාවික පරිසරය ද පන්සල් පල්ලි ඇතුළු ආගමික ස්ථාන ද ඒ අතරේ විය. ඉතා සන්සුන් නිහඬ ගැහැනියක වන දියමන්ති, කුසින් නො වැදුවාට මුල සිට ම වියානා කෙරෙහි බැඳුණා ය. සිය කුසයෙන් බිහි කළ ද නො කළ ද සෑම දරුවෙකු ම තමන්ගේ දරුවෙකු ය කියා සිතීමේ මහා සංකල්පය ඇය තුළ වර්ධනය වූයේ ඇගේ විෂය වන සාහිත්‍යය නිසා ය. එබැවින් එය කේන්ද්‍රීය නොවූ විසෘත ස්නේහයක් විය. 

“අපිව මේ ලෝකෙට එව්ව එක ගැන එක දවසක නෙවෙයි හැම දවසක ම අපි තෑන්ක්ෆුල් වෙන්න ඕනෙ යුනිවර්ස් එකට. අපි හැමෝම මේ විශ්වයෙ පුංචි පුංචි අංශු. අපිව සම්පූර්ණයෙන් අයිති විශ්වයට. පුළුවන් තරං සොබා දහමෙ අනිත් අපූරු දේවල් දැක බලා ගන්න එක අපිව එවපු එකේ ලොකු අරමුණක් කියලයි මං හිතන්නෙ”

සාහිත්‍ය දේශනයක් වාගේ ඈ කියූ එවන් ගැඹුරු කතා එක්ක උපන් දිනයට සාද දැමීම වාගේ දේ වල සිල්ලර භාවය වියානා තුළ තහවුරු වෙමින් තිබිණ. එදා සදාතන සියපත් වෙනුවෙන් උදව්වක් ඉල්ලූ වෙලේ ඇයට සිය උපන් දිනය සිහි විය. සදාතන කියූ පරිදි සියපත් ගේ උපන් දිනය යෙදී තිබුණේ ද සිය උපන් දිනය ට ම ය. නමුත් වියානා හිතා මතා ම සදාතන ට ඒ බවක් නො කියා සිටියා ය. ඔහු ට උවමනා වූයේ සිය පෙම්වතිය විශ්මිත කළ හැකි පුංචි සාදයක් ඇගේ උදව්වෙන් සංවිධානය කොට ගන්නට ය. ඉතින් ඒ ඔවුන්ගේ දිනය ය. ඒ අස්සට තමන් ගේ උපන් දිනයක් ගැන කියන්නට යාම නිසා අවධානය දෙකට බෙදෙනු ඇත. එහෙම කරන්නට වියානා ට ඕන වුණේ නැත.

එදා තාත්තා සිය උපන් දිනය අසම්පූර්ණයි කියා කීවේ ඇයි දැයි දැන් ඇයට වැටහේ. 

“ජීවිතේ කියන්නෙ හරි අමුතු දෙයක්. සමහර අම්මල බබාලව පාරෙ කුණු ගොඩවල් වල දාල යන ලෝකෙක….අපේ අම්මල දෙන්නයි තාත්තල දෙන්නයි අපි දෙන්නව ලස්සනට හදා ගත්ත එක ගැන සතුටු වෙන්න අපිට පුළුවන්”

සියපත් වියානා ගේ අතක් තද කොට අල්වා ගෙන කීවා ය. ඔවුන් පමා වීම ගැන පංකජී දොස් කීවා ය. කිසිවෙකු ඇයට සිදු වූ දේ කියන්නට ගියේ නැත. හෙමිහිට ඇයව මේ ගැන දැනුවත් කරන්නට සියපත් සිතා ගත්තා ය. නමුත් කිසියම් වෙනසක් ඇයට දැනෙමින් තිබිණ. විශේෂයෙන් ම අම්මා හඬා ඇති බවක් ඇය අනුමාන කළා ය. 

කිසිවක් සිදු නොවූවා සේ ප්‍රකෘති තත්වයට පත් වෙන්නට ඔවුන්ට ඕන වී තිබුණා සේ ය. සුජීවා සමග කුස්සියට වී සියපත් සේ ම වියානා ද ඇයට උයන්නට උදව් කළහ. සදාතන වැඩි වෙලා එහි නො රැඳී නික්ම ගියේ ය.

“පුතා එක්ක කතා කරන්න ඕනෙ. ඒත් දැන් බෑ”

සුජීවා ඇසක් උරහිසේ පිස දමමින් සදාතන ඉදිරියේ කීවේ ය. ඔහු නොවෙනස් ස්නේහයකින් ඇගේ හිස මත අතක් තැබුවේ ය.

“අම්ම බය වෙන්න එපා. හැම දේම හොඳට වෙයි. මේ වෙනකල්  සියපත් වෙනුවෙන් කරපු හැම දේකටම ඔය දෙන්න වෙනුවෙන් මට කරන්න පුළුවන් එයාව හැමදාම ආදරෙන් බලා ගන්න එක විතරයි. අපි පස්සෙ ඒ ගැන කතා කරමු”

සංතාපයක සෙවනැලි හැම තැනක ම වැතිර ගෙන තිබිණ. සියපත් සදාතන සමගින් පසු ගමන් ගියා ය. 

“අඬන්නැතුව ඉන්නෝන හරිද…”

සියපත් ඔහු රියට නැගෙන්නට පෙර සදාතන ගේ අත් බාහුවෙන් ඇල්ලුවා ය. ඔහු අඩ අඳුරේ ඇගේ හිස මත ඉක්මන් හාදුවක් තැබුවේ ය.

එදා ලොකුවට කෑම පිසුණේ නැත. ඒ තරම් හිත් පහසුවක් වූයේත් නැත. කරවල බැදුමක් හදා පරිප්පු උයා සුදු බත් සමග සුජීවා සිය කුසින් බිහි කළ දියණියන් තිදෙනා ට ම එක පතකින් බත් අනා කැව්වා ය. ඒ බත් ගුලි කෙතරම් කුඩා වී ද ඒවා වියානා ගේ සේ ම සියපත් ගේ ද උගුරේ හිර වුණා සේ ය. වියානා ගේ ඇස් විටෙන් විට කඳුළු වලින් පිරුණේ ය. සාමාන්‍යයෙන් ඇය හඬනා ගෑනු ළමයෙකු නොවේ. නමුත් මේ මොහොතේ ඇයි දැයි තේරුම් ගත නො හැකි තරමට කඳුළු ඉනුවේ ය. සුජීවා විටින් විට ගවුම් සායෙන් දෑසත් නාසයත් පිස ගත්තා ය. ඒ හැඟීම් විශ්ලේෂණය කරන්නට ඔවුන් දැන සිටියේ නැත. ඔවුන් ට දැනුණේ ඒ හැඟුම් හදවතට බර වැඩියි කියා පමණකි.

ශාන්ත ටිකක් කලින් කඩය වසා දමා ගෙදර ආවේ ය. සියපත් වෙනදාටත් වඩා ඔහු ගැන බැලුවා ය. බත් පිඟාන ළඟින් වතුර කෝප්පය තැබුවා ය. 

“මේ ලෝකෙ ඉන්න හොඳම තාත්ත ඔයා” කියා ඔහු ගේ පිට මත මූණ තියා ගෙන කීවා ය. ශාන්ත කතා කරන්නට ගියේ නැත. එසේ කළේ වී නම් යළිත් ඔහු ට හැඬෙන්නට තිබිණි.

“වියානා කියන්නෙත් ඔයාගෙ අක්ක නංගි”

යහනේ ඔවුන් තිදෙන හරස් අතට වැතිර ගත්තා ට පස්සේ සියපත් වහළ දෙස බලාගෙන මිමිණුවා ය. පංකජී වහා ඇය දෙසට හැරුණේ ඒ පැවසූව තේරුම් ගත නො හැකිව ය. 

“ඒ කිව්වෙ…”

“වියානායි මායි…ට්වින්ස්ල”

පංකජී ඇස් ලොකු කර ගෙන බලා ගෙන සිටියා ය. වියානා සියපත් මත්තෙන් අතක් දමා පංකජී ගේ අතක් අල්වා ගත්තා ය.

“ඉපදිල දවස් දෙකකට පස්සෙ දෙපැත්තකට වෙන් වෙලා… අපිට ආයි අපිව හොයල දීපු එක ගැන ඉරණමට පින් සිද්ද වෙන්න ඕනෙ…දැං අපි දෙන්නෙක් නෙවෙයි…තුන් දෙනෙක් ඉන්නව නංගි”

ඔවුන් ට නින්ද යත්දීත් උනුන් ගේ අත් වලින් අල්වා ගෙන සිටියහ. ශාන්ත ට හා සුජීවා ට නම් ඒ මුළු රැයෙහි ම නින්ද ගියේ නැත!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles