එදා ඉරිදා පල්ලියේ පූජාව ඉවර වෙලා කොමිසං කූඩුව ගාවට මම ගියේ පව් සමා කරන්න ගොඩක් අය පෝලිමේ හිටපු හින්දා .වෙනද වගේම කිසි වෙනසක් නෑ… අම්මට තාත්තට බැනපුවා.. මහත්තයට නෝනට බැනපුවා… ළමයින්ට බැනපුවා.. ඉවරයක් නැති දුක් ගිනි… දහ පහළොස් දෙනාටම තිබුණේ එක සමාන ම වගේ පව් සමාකිරිලි තමයි .කවුරුවත් මිනී මරල නං ඇවිල්ල තිබුන් නෑ. හැබැයි ඇවිල්ල හිටපු හැම එක්කෙනෙක්ම වචනයෙන් මිනී මරපු අය .අන්තිමට ඇවිල්ල ඉඳගත්තේ කවුරුහරි තරුණ ගැහැනු ළමයෙක් කියන එක නම් මට ඡායාව වගේ තිරෙන් එහා පැත්තෙන් පෙනුනා .ඒ කවුද කියල නම් දන්නේ නෑ. කොහොමත් පව් සමා කරන අයගේ පෞද්ගලිකත්වය රකින්න ඕන හින්දා අපිට එයාලව පේන්නේ නැහැනේ .
කියන්න දරුවා…. කියලා මම කිව්වේ එයා සද්ද නැතුව හිටපු හින්දයි .මම තුන් හතර පාරක්ම කියන්න දරුවා… කියන්න දරුවා කියල කිව්වට ඉඳගත්තු කෙනා සද්ද නැතුව හිටිය .
කෝ ඉතින් කතා කරන්නේ නෑනේ……..
එහෙම කියලා මම කිවුවහම එහා පැත්තේ ඉඳගෙන හිටපු ළමයා තරුණ කටහඬකින් ලස්සනට හිනා උනා .
ඔයා දරුවෝ… හිනා වෙනවා විතරයි නේ වචනයක්වත් කියන්නේ නෑනෙ…
කියලා මම කිව්වා .
ෆාර්ද …මම ෆාර්ද කතා කරනවා අහන් ඉන්න ආසයි …..මට සමාවෙන්න ෆාර්ද….මම ආවේ පව් සමා කරන්න නෙමෙයි …මගේ පව් වැඩි කරගන්න …..
මොකක්ද ඒ කතාවේ තේරුම…..
කියලා මම ඇහුවා .
මට හිතාගන්න බැරිවුනා. මොකක්ද මේ කියන්නේ….
කියලා මං ඇහුවේ පුදුමයෙන්.
මං ෆාර්ද ගේ කටහඬ අහන්න ආසයි…. මං ෆාර්ද ට ආදරෙයි… මම කරන්නේ වැරැද්දක් කියලා මම දන්නවා … මම යනවා.
මං වචනයක්වත් කියන්න කලින් ඒ කියපු කෙනා නැගිටල යන්න ගියා .පව් සමා කරන්නන්ගේ අනන්‍යතාවය රකින්න ඕනේ කියලා ලොකු ෆාර්ද කියලා තියෙන හින්දා මට නැගිටලා තිරෙන් එහා පැත්තේ යන කෙනාගෙ මූණ බලන්න බය හිතුණා. ඒ මොනවා නමුත් පව් සමා කිරීමකදි කවදාවත් මේ වගේ දෙයක් කිසිම ෆාර්ද කෙනෙකුට වෙලා ඇති කියලා මම නම් හිතන්නේ නෑ.රෑ නිදා ගන්න ගියාම මට ඒ ගෑනු ළමයගේ කටහඬ ඇහෙන්න ගත්තා .
කවුද මේ …..ගීතිකා කණ්ඩායමේ ළමයෙක්ද …..නෑ ….නැත්තං ගමේ ළමයෙක්ද….. නැත්තං ….. නැත්තං ආචාර්ය මණ්ඩලයේ කවුරුහරි ද……. මම දන්න කියන මට හුරු පුරුදු හැමෝගෙම කටහඬවල් වලට මම ඒ කටහඬ සමාන කරලා හිතන්න හිතුවා. ඒ උනාට කිසිම කෙනෙක් ගැන මට හිතා ගන්න බැරි වුනා .
දෙවියන් වහන්සේට ජේසුස් වහන්සේට ආදරය කරන්න පොරොන්දු වෙලා අපි මේ ලෝගුව පොරව ගන්නවා. ඒ උනාට කොයි මොහොතක කොයි තත්පරයක හෝ යක්ෂය අපිව බැඳගන්නවා. ඊට පස්සේ අපේ මුලු හිතම යක්ෂයාට ඕන විදියට පාලනය කරනවා .මම එදා රෑ මගේ ඇඳ පාමුල දන ගහගෙන තදින් යාඥා කරන්න පටන් ගත්තා .
පියාණෙනි ….මට සමාව දෙන්න. මේ මොහොතේ දී මාව පරීක්ෂාවට ලක් කරන්න එපා. තරුණ මගේ හිතට ඒ වගේ දෙයක් දරාගන්න අමාරුයි. මම මේ ගමන පටන් ගත්තේ ඔබවහන්සේ ට හොඳටම මම ප්‍රේම කරන නිසයි.
මට ……මට …..ඔබවහන්සේ සමග ආදරේ පවත්වාගෙන යන්න උදව් කරන්න… ඉඩ දෙන්න…
මම හිස නමා යදිමි….
කියලා මම දහස් වාරයක් යාඥා කරන්න ගත්තා. හිත හදාගෙන හිත සනස ගෙන මම එතනින් නැගිටිනකොට ආපහු සැරයක් යක්ෂයා මගේ හිසට ඇවිල්ල හිටියා . ඒ නිර්නාමික ගෑනු ලමයාට දන්නා කියන දහස් සංඛ්‍යාත ගෑනු ලමයින්ගේ මුහුනු සමාන කිරීමේ සෙල්ලම ආපහු සැරයක් මං පටං අරං උන්නා.
ඊට දවස් දෙකකට තුනකට පස්සේ අපේ ලොකු පාදර් මගෙන් අහනවා
ගේබ්‍රියල් ….මොකද මූණත් එක්ක ඇදිල ගිහිල්ල .
රෑ නින්ද ගියේ නැද්ද …..
කියලා… ලොකු ෆාර්ද මගෙන් අහනකොට මට ලැජ්ජ හිතුනා. මම ෆාදර්ට ඒ ගැන කියන්න ගියේ නැත්තේ ඊළඟ ඉරිදාත් ඒ ගෑනු ළමයා එයි කියලා මගේ යටි හිත මට කියපු හින්දා. ඒ විදිහට සති තුනක් පුරාවට මම පව් සමා කරන තිරෙන් එහා පැත්තෙ ඉඳගෙන ඒ ගෑනු ලමයගෙ කතාවට ඇහුම්කන් දීගෙන හිටියා. ඒ ළමයා තිරෙන් එහා පැත්තෙ ඉන්නකොට තිරෙන් මෙහා පැත්තේ ඉඳගෙන මම පව් සමා කරනවා වෙනුවට පව් වැඩි කරගත්තා . දැන දැන තවත් මම යක්ෂයාට ලං වෙනවා කියලා මට හිතුනා .
ෆාර්ද … එන්න මාත් එක්ක යං…. මං ආදරෙයි ඔයාට.. මං මේක හංගගන්න උත්සාහ කළාට මට ඒක හංගගන්න බැරිවුණා.දෙවියන්වහන්සේ ආදරේ ඉදිරියේදී සමාව දෙනවා. අපි දෙන්නා ආදම් සහ ඒවා නෙමෙයි .ආදරේ කියන්නේ තහනම් දෙයක් නෙමෙයි ෆාදර්… මාව තේරුම් ගන්න …
මම වචනයක්වත් නොකියා ඒ ගෑනු ලමයගෙ අඳෝනාව ට ඇහුම්කන් දුන්නා .කැමැත්තෙන් නෙමෙයි කියලා හිතුනට හිත යට හංග ගත්ත බොහොම කැමැත්තෙන් .
ගීතිකා කණ්ඩායම වෙලාවෙදිත් පල්ලිය දහම් පාසල වෙලාවෙදිත් හුඟක් ගැහැණු ළමයිගේ මුහුනු දිහා බැලුවේ ඒ කවුරු හරි මං දිහා අවධානයෙන් බලනවද කියලා දැනගන්නයි. මට මේ ගෑනු ළමයගේ ආදරය ප්‍රකාශ කිරීම ඉවසගන්න බැරි උනා .සමහර විට මමත් ඒ තරුණ වයසේ හිටපු හින්ද වෙන්න ඇති .යාඥා කිරීමේ බලයෙන් මම හිත හදාගෙන හිටියට හිත යටට වෙලා නිදාගෙන හිටපු යක්ෂයා හැමතිස්සේම මට කිව්වා ඒ ගෑනු ළමයව හොයපං හොයපං කියලා .මට මං ගැනම අනියත බයක් දැනෙන්න ගත්තා. මට බය හිතුනා ලෝගුව දාලා යන්න වෙයි කියලා .ඒ හින්දා මම සති දෙක තුනක්ම පව් සමා කරන වැඩේට ලොකු ෆාර්ද ට යන්න කියලා කිව්වා .
ගේබ්‍රියල් මොකද …..දැන් වැඩේට පස්ස ගහන්නේ…. මිනිසුන්ගේ අඳෝනාවල් අහගෙන ඉඳල ජීවිතේ එපාවෙලාද…
කියලා ලොකු ෆාර්ද මගෙන් අහනකොට මට ඕනෙ වුනේ කියන්න දුක්ඛ දෝමනස්සයන් අතරේ ආදරේ ඇහිලා මට ආදරේ හොයාගෙන යන්න හිතිලා කියලයි. ඒ උනාට එහෙම දෙයක් කියන්න මට ශක්තිය තිබුණෙ නෑ. මම හිනාවෙලා බිම බලාගත්තා.ඊට සති හතරකට පස්සේ ආපහු සැරයක් මම ඉරිදා පවු සමාකරණ පුටුවේ ඉඳගත්තා.
දින ගණනාවක් භක්තිමත්ව එක හිතින් දණ නමාගෙන යාඥා කිරීමෙන් පස්සේ මගේ හිතට ආපහු අලුත් ශක්තියක් ලැබුණා .දෙවිපියාණන් ආපහු මගේ කුණාටු මුහුද පැහැබර සෞම්‍ය කර තිබුණා .සෞම්‍ය වුණු හිත ආපහු සැරයක් මට පව් සමා කරන පුටුවේ ඉඳ ගන්න ශක්තිය ගෙනත් දීලා තිබුණා.දෙවි පියාණන් වහන්සේට ස්තූති වේවා …මම දහස් වාරයක් හිතින් කිව්වා.
පුරුදු විදිහටම එදත් අන්තිමට මට සුපුරුදු කටහඬ අඬනවා ඇහුණා.
ෆාර්ද ….. මේ විදියට මාව මඟ හරින්නේ ඇයි…. මගේ ආදරේට ෆාර්ද කැමති නැති බව මම දන්නවා .ඒ උනාට මට හිතට සැනසීමක් තියෙන්නේ මේ විදියට ෆාර්දට කතා කරන්න හම්බ උනොත් විතරයි.දවස් ගෙවිලා ඉරිදා දවසක් එනකන් මං කොයිතරම් බලාපොරොත්තු වෙන්ද ඉන්නේ…. සති හතරක් තිස්සේ ෆාර්ද මාව මග ඇරියේ ඇයි……
තිරය අයින් කරලා මටත් නිර්භීතව ෆාර්ද එක්ක කතා කරන්න බයයි .මගේ ආදරේ කෙලින් ප්‍රකාශ කරන්න මට බයයි. මට දහස් වාරයක් සමා වෙන්න ෆාර්ද .මං ෆාර්ද ට ආදරෙයි…..
කියලා ඒ ගෑනු ළමයා අඬන්න ගත්තා.
දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔය කවුද කියන්න…..
මම නැගිටිනවා දැන් මෙතනින් මම නැගිටලා ඔයාගේ මූණ බලනවා ……..මම එහෙම කිව්වේ ඇත්තටම මට තවත් මේ පීඩනය දරාගන්න බැරි හින්ද …
මට ඇහුනෙ දඩාස් ගාලා පුටුව පෙරළාගෙන මේ ගෑනු ලමයා දුවන සද්දයක් .මටත් නොදනිම මමත් ඒ පුටුව උඩ ඉඳගෙන අඩලා තිබුණා. ඒ අඬන්නේ මං වෙනුවෙන් ද මගේ ආත්මය වෙනුවෙන් ද නැත්නම් ඒ දුවන ගැහැනු ආත්මය වෙනුවෙන් ද කියලා මට හිතා ගන්න බැරි වුනා .
ඊළඟ දවසෙ උදේ දී මම තීරණය කලා මට තවදුරටත් දෙවියන් වහන්සේගේම දරුවෙක් වෙලා ඉන්න ඕනේ කියලා .යක්ශයාගේ දරුණු පෙලඹවීම් වලට මාව පොලඹව ගන්න බැහැයි කියන ස්ථිර අධිෂ්ඨානයෙන් මම ඊළඟ දවස පටන් ගත්තා.
මේ සිද්ධිය වෙලා ගොඩක් කල් ගිහින් තිබුණත් මං මේ ගැන කිසිම කෙනෙකුට නොකියා හිටියේ කටක් ඇරලා කියන්න පුළුවන් සිද්ධියක් නොවෙන හින්දා. ලොකු ෆාර්ද ට කිව්වොත් අනිවාර්යෙන්ම මේ ගෑණු ළමයා කවුද කියලා හොයලා පල්ලියට එන්න දෙන එකක්වත් නැහැයි කියලා මට හිත බය හිතුනා .මොනවා උනත් ඒ ගැහැනු ළමයත් දෙවියන් වහන්සේට කැප වෙච්ච මං වගේ කෙනෙක්ව දෙවියන් වහන්සේගෙන් කඩන්න කතා කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා මට හිතුණා .
ඒ වගේම ස්ත්‍රී පුරුෂ ආදරය ආලය බැඳීම ඇති වෙච්ච තැන අනිත් කෙනා කවුරු උනත් ඒක එතැනට අදාල නොවෙනවා ඇති කියලත් මට හිතුණා .මට නොත්රදාමයේ කුදා ගෙ කතාව මතක් උනා .අපි කොයිතරම් ලෝගුව පොරවගෙන බයිබලය පෙරලගෙන මිනිස්සුන්ට දේශනා කලත් අපේ ඇඟ ඇතුලේ ඉන්න සාමාන්‍ය මනුෂ්‍යයා කොයි වෙලාවක හරි නැගිටිනවා .
ඒ වෙලාවට අපිටත් විරුද්ධ පාර්ශවයේ ආදරේ හොයාගෙන යන්න හිතෙනවා .ඒක බොහොම ස්වාභාවික දෙයක් වෙන්න ඇති කියලා මට තනියම හිතුනා .එදා හවස අපේ ගීතිකා කණ්ඩායමේ හිටපු බාර්බරා ගේ අම්මා හදිසියේ අසනීප උනයි කියපු හින්දා මමයි ලොකු ෆාර්ද යි දෙන්නම එහේ ගියා .විනීත ඇන්ටි වෙනුවෙන් යාඥාවක් අපි දෙන්නා කලා .අපිට බොන්න රස දොඩම් වීදුරු දෙකක් බාබරා ලගෙ ගෙදරින් හදලා පිළිගැන්නුවා .බාබරාලාගේ අක්කා ෆ්ලෝරීඩා හරිම ලස්සනයි. දෙවියන් වහන්සේගේ හැබෑ නිමැවුමක්.
ෆාර්ද ….. දොඩම් බොනව නේද…..
කියලා මගෙන් අහන කොට මගේ ඇඟේ හිරිගඩු පිපුණා. මාස ගාණක් තිස්සේ මම හොයන කටහඬ බාබරාගේ අක්කා ෆ්ලොරිඩාගෙ නේද කියලා මට හිතුණා .මම ගිනි පුපුරකට පිච්චුනු මනුස්සයෙක් වගේ ගැස්සිලා ෆ්ලොරිඩාගෙ දිහා බැලුවා .එහෙම කිසිම දෙයක් නොවුනා වගේ ෆ්ලොරීඩා දොඩම් වීදුරු දෙක අපිට අල්ලලා ගෙට ගියා. මාව පිච්චෙනවා වගේ තේරුණා. ඒ ෆ්ලොරීඩා මයි කියලා මගේ හිත ඇතුලෙන් කෑගැහුවා. ටික වෙලාවකින් මට හිතුණා මම ෆ්ලෝරීඩා දිහා බලනව වැඩියි කියලා. මට දාඩියත් දාන්න ගත්තා. හදිස්සියේ හරි ඒ ෆ්ලොරීඩා නෙමෙයි නං මං මොන වගේ කෙනෙක් ද කියලා මේ ගෑණු ළමයා හිතනවා ඇති කියලා මට බය හිතුණා .මම ෆ්ලොරීඩගෙන් කොහොමද අහන්නේ ඔයා ද පව්සමා කරන්න ආවේ කියලා .මගේ හිත පිච්චුනා සදිස.. දැන් මාස ගානක් තිස්සේ ඉඳන් මගේ ආදරය ඉල්ලන්නේ ෆ්ලොරීඩා ම තමයි කියලා මං ඉන්තේරුවෙන්ම තක්සේරු කර ගත්තා .අනිවාර්යෙන් මේ කටහඬ ෆ්ලොරිඩාගෙ මයි .
ඊළඟ සතියේ ඉරිදා පව්සමා කිරිල්ලේ දී සුපුරුදු විදිහටම පුරුදු කටහඬ එහා පැත්තෙන් ඇහුණා.
ෆාර්ද මට ටික දවසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ . ෆාර්ද දැන්වත් කියන්න මට කැමතිද ……….
දරුවා…. මම දෙවියන් වහන්සේට කැප වෙලා ඉවරයි .
තනි ගැහැනියකට විතරක් පුදන්න මගෙ ළඟ ආදරේ නෑ ……
මම ආදරේ දෙන්නෙ හැමෝටමයි …..
ඇයි ඔබ මේ තරම් මාව යක්ශ පරීක්ෂාවට ලක් කරන්නේ …..
මං එහෙම ඇහුවා.
ෆාර්ද කතා කරන්නේ පොඩි ලමයෙක් වගේ .ෆාර්ද බොරු කියනවා. බයිබලයේ අතගහලා දිවුරන්න පුලුවන්ද ……දිව්රන්න පුලුවන්ද ෆාර්ද ට මාව මතක් උනේ නැහැයි කියලා…… බයිබලේ අතගහලා දිව්රන්න පුලුවන්ද ෆාර්ද ට මං වෙනුවෙන් හිතේ උපන් ආදරේ ට දෙවියන්වහන්සේගෙන් සමාව ඉල්ලුවේ නැහැයි කියලා ……
බය නැතුව කියන්න පුලුවන්ද ෆාර්ද ට මගේ කටහඬ ඇහෙන්නේ නැති රාත්‍රියක් තිබුනද කියලා …..ඇයි ෆාදර් ඔය විදිහට හිතට බොරු කරන්නේ…..
ෆාර්ද ….. අහන්න ෆාර්ද … මේ කතා කරන්නේ දෙවියන් වහන්සේ ගේ කටහඬ වෙන්න බැරිද…..
මේ කතා කරන්නේ ඔයාට අලුත් ජීවිතයක් ගෙනත් දෙන්න දෙවියන් වහන්සේගේ හඬ නෙමෙයිද …..
කවුද ඔය….
මම දැන් නැගිටිනවා….. .
මට එක පාරටම සද්දෙන් කෑ ගැහුනා .ඒ වචන පිට වෙනවත් එක්කම ඒ ගෑනු ළමයා සුපුරුදු විදිහටම එදත් දුවලා ගියා .කලින් කතා කරගෙන තිබුන විදිහටම ෆ්ලොරීඩා ගෙ නංගි බාර්බරා ගේ මගුල් ගෙදර ඊලග සතියෙ තිබුනා . .එදා පල්ලිය සරසන්න ෆ්ලොරීඩා ඇවිල්ල හිටිය .
මට ෆ්ලොරීඩා දකිනකොට දුක හිතුනා .ෆ්ලොරිඩා මන් දිහා බලලා අහිංසක විදියට හිනා .මගේ හිත කීරි ගැහිලා ගියා .මට ආදරෙයි කිය කියා මගේ පස්සෙන් එන මේ ගෑණු ළමයා එළිමහනේ දි මාව දැක්කහම මේ විදිහට බිම බලා ගන්නේ ඇයි කියලා මට පුදුම හිතුනා .දෙවියන් වහන්සේට වත් තේරුම් ගන්න බැරි ගෑනු….. මට එහෙම හිතිලා හිනා ගියා.
මූනට මට ආදරෙයි කියන්න ශක්තියක් නැති හින්ද එයා එහෙම කරනවා ඇති කියලා මට හිතුණා. කීප සැරයක් මං ෆ්ලොරීඩා දිහා බලලා හිනා උනා .සමහරවිට මනුස්සයෙක් හැටියට….. මම ෆාදර් කෙනෙක් වෙලා ඉන්නේ කියන එක මටත් මගේ තරුණ හිතටත් අමතක වෙන්න ඇති.
ඒ හැම රාත්‍රියකම මම දෙවියන් වහන්සේ ඉදිරියේ සමාව ඉල්ලුවා.
නියම කරගත් දවසේ බාබරාගේ මගුල් ගෙදර තිබුණා. ෆ්ලොරීඩා එදා හරිම ලස්සනට ඇඳලා ඇවිල්ලා හිටියා. ෆ්ලොරීඩා පුරුදු විදියටම බිම බලාගෙනම උන්නා .මං දිහා ඔලුව උස්සල වත් බැලුවේ නෑ. පූජාව වෙලාවෙදි තුන් හතර පාරක්ම මං ෆ්ලොරීඩා දිහා බැලුවා. එයින් දෙපාරක් විතර අපි දෙන්නගේ ඇස් එකට මුනගැහුනා.
මට තේරුණා …….මට තේරුණා…. ඒ ඇස් අපි දෙන්නගෙන් ගැල වෙන්නේ නැහැයි කියලා…. ආපහු සැරයක් මගේ හිතට මහ බයක් වේදනාවක් දැනුනා .තවත් මේ දුක වේදනාව මටත් මගේ තරුණ හිතටත් උහුලන්න බැහැයි කියල හිතුනා. ෆ්ලොරීඩා කිව්වා වගේම ඇත්තටම දෙවියන් වහන්සේද මට මේ කතා කරන්නේ කියලා මට හිතුණා . දෙවියන් වහන්සේගෙ කටහඬ ෆ්ලොරීඩා තුළින් මතු වෙනවද කියල මට හිතුනා.
වැරැද්දක් කරනවා නම් දෙවියන් වහන්සේ මට සමාව දෙයි කියලත් මම හිතුවා .කීප සැරයක් මං ෆ්ලොරීඩා දිහා බලලා හිනා. ටිකකින් ආපහු හිත සසල වෙලාගියා. …. . මම ෆ්ලොරීඩා දිහා බලපු හැම වෙලාවකම ……ඔව්
ඒ හැම වෙලාවකම……එයාගේ මුහුණ ජම්බු ගෙඩියක් වගේ රතු කරගෙන බිම බලා ගත්තා .මංගල පූජාව ඉවර වෙලා මනමාලයයි මනමාලියි මටයි ලොකු ෆාර්ද ටයි ස්තූතියි කරලා යන්න ආවා.
ඒ වෙලාවේ ගේට්ටුව ගාව ඉදං බාබරාගේ අක්කා ෆ්ලොරීඩා…. මං දිහා බලන් ඉන්නව කියල මට හිතුනා .තරුණ මගේ හිත අමුතු සිරියාව කින් පිරිලා තිබුණා . තවත් තද බල යාඥාවන් දෙක තුනකින් පස්සෙත් මට හිත හදාගන්න බැරි උනොත් මම තීරණයක් ගන්නවා කියල හිතා ගත්තා . මාස ගානක් තිරෙන් එහා පැත්තෙ ඉඳලා මට දේවල් කියලා කියලා මාව නම්ම ගත්ත මේ කෙල්ල හැබෑවටම සුරදූතියක් කියලා මට හිතුනා .
බාබරාගේ මනමාලයා මටත් ලොකු ෆාර්ද ටත් ඇවිල්ල කතා කරලා ගියා. ඊට පිටිපස්සෙන් ආපු බබරා ලොකු ෆාර්ද ට කතා කරලා මං ගාවට ඇවිල්ලා යන්නම් ෆාර්ද කියලා මටත් කිව්වා .බාබරා එක්ක මද හිනාවක් හිනාවෙන ගමන් මං ඉස්සි ඉස්සී බාබරාගේ ඔලුවට උඩින් බැලුවේ ගේට්ටුව ගාවි උන්නු ෆ්ලොරීඩා දිහා . පුංචි කුටු කුටුවකින් බාබරා එකපාරට මට මෙහෙම කිව්වා .
මීට පස්සෙ ෆාර්ද ට සැනසීමෙන් පව් සමා කරන්න පුළුවන් …….
මම ඇලෙක්ස් එක්ක අද රෑට රට යනවා ……
අප්පා.. ඒ කියන්නේ..හවස මා කරන්න ඇවිල්ලා තියෙන්නෙ එක් ෆ්ලොරිඩා නෙමෙයිද.. කියලා මම ඇහුවේ ඇත්තටම ගේබ්‍රියල් ගැන දුක හිතිච්ච හින්දා.
නැහැ.. ෆ්ලොරීඩා නෙමෙයි..
මේ සිද්ධියේදී මං මාර විදිහට අවුල් ගියා. මානසික වේදනාවෙන් අයින් වෙන්න මට ඕන වුණා.මම ලොකු ෆාදර් ගෙන් අහලා හිතලමයි අම්පාර පැත්තේ ගම්මානයක පොඩියට පල්ලියක් හදාගෙන ගියේ. ඒ ගිහිල්ලා මාස ගානක් යනකම් කොයිතරම් යාඥා කරත් මට හිත හදාගන්න බැරුව ගියා සදිස..
යක්ෂයන් හොඳටම මාව වහගෙන හිටපු වෙලාවක වෙන්න ඇති ඒ ගෑනු ළමයා මට තේ හදාගෙන ආවේ.මට ඒ ගෑනු ළමයව පෙනුනේ ම ෆ්ලොරිඩා වගේමයි..
මම ඒ ළමයගේ මූණ ඇල්ලුවා විතරයි. ඒ කෙල්ල බයවෙලා කෑගහගෙන දිව්වා.
ඊට පස්සෙ සිද්ද වෙන්න ඕනේ හැමදේම වුණා. මුලින් මුලින් මට මගේ නිර්දෝෂිභාවය ට කතා කරන්න වුවමනාව තිබුණත් අනික් හැමෝම වට වෙලා මට දෝෂාරෝපණය කරන කොට අපහස කරනකොට අඩු තරමේ වුනේ මොකක්ද කියලවත් අහන්න වුවමනාවක් නැති වෙනකොට මටත් මං ගැන කතා කිරීම එපා වුණා..
සදිස දන්නවාද.. ඕනෑම මනුස්සයෙකුට ඇහුම්කන් දෙන්න කෙනෙක් ඕනිමයි.. ලෝගුවක් දාගත්තට මගේ ශරීරය ඇතුළේ තියෙන්නේ මිනිස් ආත්මයක්.
මගේ අවාසනාවට බොහොම පොඩි තත්පර ගණනක් මට මාව පාලනය කරගන්න බැරුව ගියා.අන්තිමේ දී දෙවියන් වහන්සේ.. මට විශාල දඬුවමක් දුන්නා.
ඒ වෙලාවෙ ගේබ්‍රියල් ගේ ඇස් තෙත් වෙලා තිබුනා මට මතකයි .