දෙහිතක කතාවක් 19

මම හනික කෑම එක ඔතාගෙන එන්නම්” කියා නැන්දා කුස්සියට යද්දී කැළුමිණී එතන නතර වුණි. සැඳෑ අන්ධකාරය කඳු මුදුනතින් පාවී අවුත් එන්සල්වත්තම ගිල ගනිද්දී වුව අරවින්දගේ දෙනෙත් තිබුනේ වටපිටාවම ඒකාලෝක කරහැකි අන්දමේ දීප්තියකින් බැබලෙමිනි.

කැළුමිණි බිම බලාගෙනම ඉද්දී වුව අරවින්ද උන්නේ ආදරය ගැන හිතට පිළිපන් අලුත්ම තාලයේ කිතියක් නිසාවෙන් මුව මතට එන්නට තනන සිනහවක් අපහසුවෙන් සඟවාලන්නට උත්සහ කරමිනි. “මේ කෙල්ල එක්ක කතාවක් පටන් ගන්න යකෝ වචන හොයාගන්න බැරි හැටියක් මේ නාකි මිනිහෙක්ට” කියා හිතෙද්දී අරවින්දගේ සිනහව මුව මත සුන්දරව ඇඳුණ හැටි දුටුවේ අහස පුරා පායා ආ පුන් සඳ පමණි.

“පෝය ළඟ හන්ද වෙන්නැති නේද හඳ පායල තියෙන්නෙ?”

අරවින්ද කතාව අරඹන්නට සඳ හොඳ මාතෘකාවක් බව සිතුවාය. සඳක් ගැන ඉතින් මිනිහෙක්ට කියන්නට නරකක් කියා දෙයක් තිබේද?

කැළුමිණී එයට පිළිතුරු දේසැයි සිතා ඇය දෙස බැලුවද ඇය පිළිතුරු දුන්නේ වදනින් නොව මද සිනහවකින් පමණ. ඒ ලැජ්ජාවටද එසෙත් නැතිනම් තමා සමග කතාබහක් ඇරඹීමට ඇති අකමැත්ත නිසාවෙන්ද කියා අරවින්දට සිතා ගන්නට අපහසුය.

“රවුටර් එක සෙට් කරගත්තද?” 

අදාල දෙයක් කතා කිරීම හොඳයයි කියා සිතුනද කැළුමිණී තනි වචනයෙන් උත්තර දෙනු විනා ඉන් එහාට කතාව ඇදගෙන යන්නට සිතුවේ නැත. අනිත් අතට කැළුමිනී ඒ මොහොතේ උන්නේ කතාබහක් අරඹන්නට සුදුසු මානසික වාතාවරණයක නොවේ. මේ මොහොතට විනාඩි කිහිපයකට පෙර තම දෙනෙත් වලින් කඳුලු වැගිරුණ බවත් එයටහේතුව වූ කාරණාවත් මතක් වෙද්දී කැළුමිණීට අවැසි වූයේ ඇඳ මත වැටී කොට්ටය අස්සේ හිස රුවා ගෙන කල්පනා කරන්නටය.  එහෙත් නිවසට අමුත්තෙකු ආ කල එසේ හැසිරීම නොසුදුසු නිසාවෙන් මෙතන රැඳී උන්නද ඒ හැඟීම, ඒ මොහොත තවත් උත්සවාකාර කරනු පිණිස කතාවක් අරඹන්න සිතට අවැසි නැත.

“අද නම් ඔන්න වැඩි දෙයක් නෑ මහත්තයො” කියාගෙන පබෝධා කෑම බඳුනද උස්සාගෙන එතනට ආවේ ඒ මොහොතේය.

නැන්දා ආ එක සැනසිල්ලක් ලෙස දැනුනද අරවින්දට දැනුනේ කතා කරන්නට බලාපොරොත්තුවෙන් උන් බොහෝ දේ ඒ නිසාවෙන් මග හැරී ගිය බවකි.  එහෙත් කරන්නට දෙයක් තිබුනේ නැත.

“ඒකට කමක් නෑ. පොඩි දේවල් තිබ්බට රහයිනෙ. අනික ඉතින් මේ කරදරේ තව කාලයක් කරන්න මගෙ අදහසකුත් නෑ”

අරවින්ද එසේ කියද්දී කැළුමිණි දෙස බැලුවද ඇය උන්නේ ඈතින් පෙනෙන සඳ එලිය මලානිකව වැටුණ කඳු වලල්ල දෙස බලාගෙනය.

“අප්පේ ඒ කියන්නෙ ළඟඳිම එහෙ මංගල්ලයක් එන පාටක්ද?” පබෝධා එසේ ඇසුවේ ඇත්තටම සතුටෙනි. අවිවාහක තේ වතු හිමිකරුවන් ගෑන කොපමණ නරක කතා අසා තිබුනද අරවින්ද වනාහී ඒ සියලු කතා එක සිතුවිල්ලකින් අමතක කල හැකි අන්දමේ අපූර්ව පිරිමියෙකු බව පබෝධා ඇතුලු මේ එන්සල්වත්ත යායම නොදන්නවා නොවේ.

පබෝධා එය ඇසුවෙ සැබෑවත් විහිලුවත් අතර තැනක හිඳ වුවද අරවින්ද ඒ වදන් ඔස්සේ කලබල වූවාය. තමා එය පැවසුවේ ළඟඳීම දිනක නිවසේ වැඩට සේවකයකු ගන්නා බව ව්‍යංගාර්තයෙන් පවසන්නට විනා පබෝධා කියූ ආකාරයේ කරුණක් නිසාවෙන් නම් නොවේ. පබෝධාගේ වදන් ඔස්සේ කැළුමිණී මේ සියල්ල වරදවා තේරුම්ගත හැකි බව අරවින්ද සිතුවේය.

“නෑ නෑ. මං කිව්වෙ මම ගෙදර වැඩට මනුස්සයෙක්ව හොයන ගමන් ඉන්නෙ කියල” 

පබෝධාගේ වදන් අස්සෙන් මැදට පැන අරවින්ද ඒ වරද හදන්නට තැනුවේ කලබලයෙනි. 

“ඒක මිසක් මං ඒත් බැලුව මේ එකපාර අරහෙම කිව්වම වත්තට නෝන මහත්තයෙක් එන්න යනවද කියල”

“නෑ තාම එහෙම එකක් නෑ” කියා යටැසින් බැලුවද මුව මත මද සිනාවක් රඳවාගෙන උන්නේ මේ කෙල්ල ඉන්නේ තවමත් කඳු වලල්ල දෙස බලාගෙනය. ඇය එහෙමකට කතා බහට ලැදි අයෙක් නොවන පාටය.

“එදා එවල තිබුන ඉඳි ආප්ප එක්ක එවපු පොල් මැල්ලුම හරි රසයිනෙ. ආයෙ දවසක හැදුවොත් එවන්න” කියා අරවින්ද එසේ කිව්වේ කැළුමිණීගෙන් මුදා ගත් නෙත පබෝධාගේ මුහුණ මත රඳවගනිමිනි. 

“ඒක නම් එහෙනම් මට කියල හරියන්නෙ නෑ මහත්තයො”

පබෝධා සිනාසුනේ පොල් මැල්ලුම් හැදීමේ වගකීම තමන්ට අයිති දෙයක් නොවන වග කියන්නට මෙන් සිනාසෙමිනි.

“ඇයි එහෙම කිව්වේ?” කියන ගැටලුව දෙනෙත් මත රඳවාගත් අරවින්ද මාරුවෙන් මාරුවට පබෝධා දෙසත් කැළුමිණී දෙසත් නෙත් යා කලේය. 

“පොල් මැල්ලුම් හැදුවෙ අපෙ දූ. පුතේ මේ මහත්තය අහනව ආයෙ පොල් මැල්ලුම් හැදුවොත් එවතෑකිද කියල?” 

උරිසට අත තැබූ නැන්දාගෙ අතෙහි ස්පර්ශයෙන් මෙලොවට ආ කැළුමිණී අරවින්ද දෙස බැලුවේ හිස් බැල්මකිනි. ඒ බැල්ම යට ඇත්තේ ඇය තමාත් පබෝධාත් අතර වූ කිසිවක් අසා ගෙන හිඳ නැති බව කියවන සලකුණු ‍ය. ඊටත් එහා ගිය තමා නොදත් මොකක් හෝ අන්ධකාර කතාවක සුලමුලය. අරවින්ද උන්නේ ඒ කතාව දැනගන්නට ආසාවෙනි. ඒ හිස් බව තම සිතැඟි වලින්, ආදරයෙන් පුරවන්නට තිබුණා නම් මොනතරම් අපූරුද යන සිතුවිල්ලෙනි.

“නැන්ද මොකද කිව්වේ?”

“මම කිව්වෙ මේ මහත්තය කියනවා එදා පුතා හදපු පොල් මැල්ලුම රහෙයිකියල. ආයෙ හැදුවොත් එවන්නලු.මං කිව්ව ඉතින් ඒ වගකීම මට භාරගන්න බැරිය කියල”

නැන්දාගේ සිනහවට සහමුලින්ම එකතු වන්නට හැකියාවක් නොතිබුනද පිටස්තර අයෙකු ඉදිරියේ තම හිත දවන වේදනාව විද්‍යාමාන කරන්නට අවශ්‍යතාවයක් කැළුමිණිට තිබුනේ නැත. ඉතින් දෙතොල මදක් විදා සිනාසෙන්නට බැරිකමක් ඇයට තිබුණේ නැත.

“මං දැනන් උන්නෙ නෑ ඔයා හදපු බවක්. ඇත්තටම රසයි”  අරවින්ද කිව්වේ පුදුමයත් සමගය. 

“අද මහත්තය ආවෙ මොකෝ? වෙනද සඳරුනෙ එන්නෙ” 

“අද මං මේ පන්සලට යන්න ආ ගමන් කෑම ගන්න ආවෙ. සඳරුට ම්ං පණිවිඩේ කියාගෙනමයි ආවෙ”

“පන්සලට ගියාය කිව්වේ දානෙ මතක් කරන්න වෙන්නැති?”

“ඔව් අන්න ඒක කිව්වම මතක් උනේ. ගිය වතාවෙ වගේම අපිට උදව් පදව් කරන්නෝන මේ පාරත්. දැන් කාණ්ඩෙත් ඉන්න හන්දා පබොධා නෝනට මහන්සි වෙන්න තියෙන ප්‍රමාණෙත් අඩුනෙ”

“ආයෙ අමුතුවෙන් කියන්නෙ මොකටද මහත්තය? අපි කොහොමත් එනවනෙ. මුලු ගමම උදව්වට එනවනෙ දානෙ වැඩවලට” පබෝධා පැවසුවේ සිනාමුසුවය. 

ඉන්පසුව ඇති වූ නිහඬතාවය තිදෙනාගේම දෙනෙත් බිමට බර කරවන්නට සමත් වුවකි. කියන්නට දෙයක් නොමැති තැන බිම බලා හිඳීමත් දරාගන්නට අපහසු වු තැන පිටත්ව යන්නට අරවින්ද සුදානම් වුනේ සිනා මුසුව සුබ රාත්‍රියාක් වේවායි පතමිනි. පබෝධාගේ නිවසේ සිට මෝටර් සයිකලය නතර කර තැනට පල්ලම් බහිද්දිත් පබෝධාත් කැළුමිණීත් නොදුටු සිනහවක් අරවින්දගේ මුව මත පිපෙමින් තිබුණි. 

මෝටර් සයිකලයට නගිද්දී පබෝධා නිවස තුලට ගොසින් උන්නද කැළුමිණී තවමත් නිවසේ දොරකඩ අසල සිටගෙන සඳ දෙසම බලා ඉන්නවා අරවින්ද දුටුවේය. පායා තිබුණු පසලොස්වක සඳ එලියේ නැහැවෙමින් දොරකඩ සිටගෙන උන් කැළුමිණීව අරවින්ද දුටුවේ මුතු ඇටයක් මෙනි. සුදුවටය, පවිත්‍රවය, නැවුම්වය.

මෝටර් සයිකලයේ නැගී සඳ එලියෙන් සේදුන අන්දකාරයත් සීතලත් තුරුලු කරගත් තේ වතු මැදින් යද්දී වුව අරවින්ද උන්නේ කන්ද ඉස්මත්තේ අතහැර දමා ආ උන්මාදිනිය පිළිබඳ ප්‍රේමයෙන් ගැබ්බර වූ සිත සමග සිනාසෙමිනි.

ආදරය යනු සිනාසෙන්නට හේතුවක් බව වසර ගණනක පරාජිත පෙමකින් දුක් විඳි පිරිමියෙකු තේරුම් ගනිමින් උන්නේය. 

එදා රැයේ සූරියබණ්ඩාර නිවසේ මතු මහලේ අරවින්ද වෙනුවෙන් වෙන්වුණු කාමරය මිහිරි සංගීතයක ගිලී ගොස් තිබුනේය.

“තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ

පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ

වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ

ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ”

ඒ ගීතයට සමගාමීව හිත තුල මැවෙමින් තිබූ රූප රාමුවල තිබුනේ සඳ එලියේ නැහැවෙමින් හුන් කැළුමිණීගේ සුන්දර වතය.

නොදන්නා දුකක් හංගාගත් හිස් වූ දෙනෙත වෙනුවට ආදරය පිරුණු විකසිත නෙතය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles