අනෝරා මල් වැහි 14

“මෙහේ නම් හරි ලස්සනයි නේද දූ”

මදාරා චිරායුගෙත් තාරාගෙත් නිවහනේ සුන්දර විසිත්ත කාමරයේ එහා මෙහා යමින් කිව්වේ දූ දිස්නිටය. 

“මං අපේ චිරායුටත් කිව්වෙ මදාරා මේ තමන්ගෙ කෙනෙක්ට මෙහෙම ගෙයක් දොරක් තියෙද්දි මොකටද නේද ආයෙ මේ බොරුවට රෙජිස්ට්‍රේශන් එක හොටෙල් එකල ගන්නෙ කියල”

“අනේ ඒකනෙ මෙයා මාත් ඔයා එක්ක කතා කරේ. අනික ඒ මිනිස්සුන්ට උනත් මෙහෙට එන්න කිව්වම අපේ පවුල්වල අයගෙ තත්ත්වෙ උනත් දැනගන්නවනෙ. ඒකත් කොච්චර වටිනවද? අපිටත් හොඳට ඉගෙන ගත්ත සල්ලි තියෙන නෑයො ඉන්නව කියල පෙන්නන්නත් එක්ක”

“මාත් පුතාට කිව්වෙ ඒකමයි. දැන් කවද වගේද රෙජිස්ට්‍රේශන් එක වැටෙන්නෙ? නැකතක් හෙම බලන්න ඇතිනෙ”

“ඔව් ඔව් ලබන මාසෙ පස් වෙනිද අක්කෙ. හවස හැබැයි තියෙන්නෙ. පින්තූර වලට ලස්සනයි කියල මෙයාලා මේ හවසම ගන්න ඕන කිව්වනෙ”

“ඒකට මොකද අපේ නං කිසි විරුද්දත්වයක් නෑ. තමන්ගෙ තැනක් කියල හිතල වැඩ ටික ලස්සනට කරගන්න තමයි තියෙන්නෙ. නේද පුතේ?” කියමින් අම්මා බලද්දි චිරායු මද සිනාවක් පමණක් පෑවාය.

ඊයෙ රාත්‍රියේදි නිදාගන්නට ගොසින් තාරාට මේ බව කියන්නට සිතුවද තාරා උන්නේ යමක් සිත අස්සේ සිරකරගෙන බව චිරායුට තේරුම්ගන්නට අපහසුවක් නැත.

“තාරා මේ…”

තමන්ගේ වදන් පැකිලුනේ ඇයිද කියා නොතේරේ. අම්මාගේ ඉල්ලිම අහක දාන්න බැරි එකකි. අනෙක් අතට තනි තීරණයක් ගන්නට මේ තමාගේ නිවස පමණක්ම නොවේ.

“කියන්න”

කණ්ණඩිය ඉදිරිපස පුටුවේ අසුන්ගෙන මුහුණේ ක්‍රීම් තවරමින් හුන් තාරා කිව්වේ මොහොතකටවත් තමා දෙස නොබලාය. කොටින්ම නෙත් අගින් කණ්ණාඩිය ඔස්සේවත් තමන් දෙස නොබලාය.

“මේ අර අපේ මදාරා ආන්ටිගෙ දුවගෙ එන්ගේජ්මන්ට් ෆන්ක්ශන් එක අපෙ  ගෙදර ගන්නපුලුවන්ද කියල අම්ම අහනව. බෝයිගෙ රෙලටිව්ස්ල කියනවලු බොරුවට හොටෙල් එකකට වියදම් කරන්න ඕන නෑ කියල.එයාලා ඉන්නෙ අර පිලියන්දල අස්සෙ ගෙදරකනෙ.ඒකයි මෙහෙ…”

“ඔයා මොකද කිව්වේ?”

තමා කියාගෙන ආ කතාව ඉවරවෙන්නටත් පලමුව තාරා එසේ අසද්දී චිරායු පුදුම උනාය.තාරාගේ හඬේ වූයේ තමා කියන්නට ආ දෙය ඇයට අමුත්තන් නොවන වගය. ඇය ඒ බව නොසිතන බවය.

“අම්ම එහෙම ඇහුවම ඉතින් බෑ කියන්න බෑනෙ තාරා. ඒත් මම කිව්ව ඔයාගෙන් අහල බලන්න ඕන කියල”

අපහසුතාවය මගහරවාගන්නට මෙන් චිරායු කටහඬට ගැඹුරු බවක් ආරෝපණය කරගත්තේය. කණ්ණාඩියෙන් පෙනෙන තාරාගෙ රුව මග හැර වෙනතක් බලාගත්තාය. කොට කලිසමේ සාක්කු වලට අත් දෙකම දමාගෙන දෙපතුල් වලින් ඉස්සෙමින් උන්නේය.

“එහෙමනං ආයෙ මගෙන් ඒ ගැන අහන්න ඕන නෑනෙ චිරායු. යූ ඕල්‍ රෙඩි ඩිසයිඩඩ් දැට් නො. මේක ඉතින් ඔයාගෙ ගෙදර. ඔයා මෙහෙ වෙන දේවල් ගැන මම හිතන්නෙ මගෙන් අමුතුවෙන් අහන්න ඕන නෑ ඉතින්”

සිත තුල කෝපයක වැස්සක් ඇද හැලුනත් එකී කෝපයත් ඒ නිසාවෙන් සිත අස්සේ පිබිදෙන්නට වෙර දරන වේදනාවකටත් කඳුලක් ලෙසින් නෙතින් ගිලිහෙන්නට ඉඩ නොදෙමින් තාරා වේගයෙන් ඇසි පිය ගසමින් හිඳ ගෙන උන් තැනින් නැගිට්ටාය. චිරායු කාමරයේ සිටගෙන හිඳින බව නුදුටුවාක් මෙන් ඇඳට ගොස් හාන්සිවී ඇතිරිල්ල පොරවා ගත්තාය.

චිරායු පුදුම නොවුවායැයි කියන්නට නොහැක. මෙවන් හැසිරීමක් ගෙවුන විවාහ දිවිය පුරාවට කෙදිනකවත් තාරාගෙන් දකින්නට නොලැබුන බව චිරායුට ස්තිරය. තාරා වනාහී කලබල වී ඉක්මන් වී කෝප ගන්නා හෝ තීරණ ගන්නා හෝ පුද්ගලයෙකු නොවන බව චිරායු හොඳින් දනී. එසේ නම් මෙයට හේතුව බාගදා අම්මාත් අක්කත් තමාත් අතර වූ කතාබහ තාරාට ඇසී තිබීමමෙයට හේතුව විය හැකි බව චිරායු සිතුවේය.

පවුලෙ සියල්ලන්ම විසිත්ත කාමරයට වී සතුටු සාමිචියේ යෙදෙද්දි තාරා උන්නේ මුලුතැන් ගෙයට වී සිසිල් බීම සමග සංග්‍රහ කරන්නට ෆ්‍රීස් කර තිබූ මිනි කීව්ස් බදිමිනි. විසිත්ත කාමරයට පැමිණ අනෙක් අය සමග කතා කරන්න යැයි ආරාධනාවක් තාරාටලැබුනේ නැත. අනෙක් අතට එහෙම ඔවුන් අතරට ගොසින් බොරු සුහදකම් පෙන්නනවාට වඩා මෙසේ කුස්සියට වී හිඳීම හොඳ බව තාරා සිතුවාය.

බැදගත් මිනි කීව්ස් තසිම බන්දේසිය මත තබාගෙන සාලයට ගිය තාරා සාලයේ සෙටිය මැද වූ කොෆි ටේබල් එක මත එය තැබුවාය. විසිත්ත කාමරයේ හුන් කිසිවෙක් තාරා හුන් බවක්වත් වගක් නැතුව මෙන් සුපුරුදු කතා බහේ එල්ලී උන්හ. කොටින්ම අමුත්තන් පවා තාරාව අමුත්තෙක් මෙන් සලකන බව චිරායුට පවා වැටහුනාය. එහෙත් තමන්ගේ නෑයන් ඉදිරියේ තාරා වෙනුවෙන් කුමක් කල යුතු ද කියා චිරායුට තේරුම් ගන්නට අපහසු විය.

තමා නැවතත් මුලුතැන්ගෙයට යද්දි චිරායුගෙ දෙනෙත් තමා පසුපස එන බවදැනුනද වෙනදාක කරන මෙන් හැරී ඔහු වෙත සිනහවක් හෙලන්නට තාරාට සිත දුන්නේ නැත. 

දිවාආහාරය සඳහා තාරා මහන්සි වූයේ තනිවමය. උදෑසන කිරිබත් කන්න හදද්දීම තාරා සීනි සම්බලයක් සහ වම්බටු මෝජුව සකසා තිබූ නිසා කහ බතට පරිප්පු තෙම්පරාදුවකුත්, බොංචි කරියකුත්, චිකන් කලුවට කරියකුත් සමග මාලු මිරිස් පුරවූ කරියක් කිරට සෑදිම ප්‍රමාණවත් බව තාරා සිතුවාය. 

උයන්නට ඇති කැමැත්ත නිසාවෙන්ම හනි හනික අත ඉක්මන් කර කෑම සකසන්නට තාරාට හැකිවුනි. වතුර බොන්නට මෙන් වාර දෙක තුනකම චිරායු මුලුතැන්ගෙයට ආවද ඔහු වෙත කිසිත් අවධානයක් නොදී ඉවුම්.පිහුම් වල නිරත වෙන්නට තරම්ම තාරා රැයක් අවසානයේ ගල් හිතක් ඇත්තියක වී උන්නාය.

කෑම මේසයට කෑම ඇර “කෑම ලෑස්තියි” කියා තාරා ගොස් කිව්වේ විසිත්ත කාමරයේ උන් සියල්ලන්ටම පොදුවේ මෙනි. කිසිවෙකුට කියා වෙන් නොකල කෘතිම සිනහවකින් ඒ මොහොතේ දෙතොල සරසවාගන්නට තාරාට අපහසු වූයේ නැත.

“මේ මාලු මිරිස් එක නම් හරිම රසයි” 

කහ බත් සමග අනාගත් මාලු මිරිස් කරියෙන් කොටසක් රස විඳින අතරවාරයේ ලෝබ නැතුව කිව්වේ මදාරාගේ පොඩි දුව ලසිනිය. තවමත් පාසල් අධ්‍යාපනය ලබන ලසිනි තම මව් දෙමව්පියන්ගේ සිත් වල ඇති කහට පැල්ලම් ගැන නොදන්න බව තාරාට තේරුනේ මාධනීත් මදාරාත් අතර හුවමාරුවූ දෙනෙත් බැල්මන් ඔස්සේය.

“තැම්බිල වැඩියි”

ලසිනිගේ වදන් වලට ස්තුතිවන්නට පෙරම සිත බිඳ දමන්නට මාධනී ඉදිරිපත්වූවාය. අම්මා කියන පරිද්දෙන් තැම්බී වැඩි ඇති බවක් කෑම මේසයට එවන්නට පෙර රස බැලූ වෙලාවේ තමාට නොතෙරුන බව තාරාට ස්තිරය. මේ ඉතින් සුපුරුදු නැන්දම්මගේ අත පෙවීම් ගැන අමුතුවෙන් කියන්නට ඕන ද?

“ඊලඟ දවසෙ කිරි දාලා පිහද්දි ඕනවට වඩා වෙලාවක් ලිපේ තියන්න එපා දූ. එතකොට තමයි මේ වගේ තැම්බිල වැඩිවෙන්නෙ”

මේ අනුන්ගේ තැනක් බව  නොසිතාම මදාරා එසේඑ කියද්දි සිතට පිවිසි කෝපය කෘතිම සිනහවකින් පිලිගන්නට තාරා සිතුවේ පමනටත් වඩා අමුත්තන් මෙහි හිඳින නිසාවෙනි.

“ඒව ඉතින් දැන ඉගෙන ගන්න උයමනට හොඳට හුරුව තියෙන්න ඕනනෙ. හැමොටම බෑනෙ ඔය මාලු මිරිස් පුරවපු කරිය වගෙ ඒව හදන්න”

චිරස්ති මදාරාගේත් මාධනීගේත් කතා බහට ලුණු ඇඹුල් එක්කහු කරද්දි වුවත් මොහොතකටවත් අර කෘතිම සිනහ්ව දෙතොලින් ඉවත් කර නොගන්නට තාරා කටයුතු කරාය.

ලසිනිගේ දෙනෙත් අස්සේ රැඳී තිබුනේ තමන් මාලු මිරිස් එක ගැන කතාව ආරම්භ කිරීම ගැන වැරදි සහගත හැඟීමක් බව අඳුරගත් තාරා තම සිත නොරිදුන බව පෙන්වන්නට මෙන් ඇගේ පිඟානට වම්බටු මෝජුවෙන් ටිකක් බෙදුවාය.

“පුතා තව බෙදාගන්න, ඔච්චර පොඩ්ඩ ද කන්නෙ?” කියමින් චිරායුගේ පිඟානට චිකන් හොදි බෙදුවේ මදාරාය.

“දැන් ඉතින් එන්ගේජ්මන්ට් එක මෙහෙ ගන්න එකේ ලේස්ති කරගන්න හෙම වෙයි නේද දූ?” කියමින් දුරකතනයට නැඹුරු වී බත් කමින් හුන් දිස්නිව කතාවට ඇදගත්තේ මාධනීය. 

“ඔව් ලොකු නැන්දෙ. මම ඒ ඩෙකරේශන්ස් කරන කෙනා එක්කම දවසක් මෙහෙආවට කමක් නැද්ද ඒ ටික බලන්න?”

“ආය ඉතින් ඕක අමුතුවෙන් අහන්න ඕනද? නේද පුතා. අයියා කැමතිනෙ දූ මෙහෙ රෙජිස්ට්‍රේශන් එක ගන්නවට. එන දවසක ඔයා තාරාට කෝල් එකක් දීල එන්නකො. එතකොට එයාට පුලුවන්නෙ නිවාඩුවක් දාලා ගෙදර ඉන්න”

මදි පාඩු බෙදාගෙන එන්නට ඉවර වී තිබුනු පරිප්පු දීසිය රැගෙන කුස්සියට යමින් උන් තාරාට අතේ තිබූ පරිප්පු භාජනය පොලොවේ ගසන්නට සිතුනි.

“මගේ ගෙදරට ඇවිත් මං උයපු කෑම කන ගමන් මාව මේ එක එකාගෙ වැඩ කරගන්න වහලෙක් කරගන්නද උඹලට උවමනා” කියා මහ හයියෙන් කෑ ගසා වීදුරු පොලොවේ ගසමින් අසනට උවමනා ආවේගයක් සිතට ආ බව ඇත්තකි. එහෙත් පිට උදවිය ඉදිරියේ එවන් හැසිරිමක් පෙන්නීම සදාකාලිකවම තමා ගැන ඔවුන්ගේ සිත්වල ඇඳි සිතුවම බොඳ කරලීමකි.

නැවත පුරවගෙන යන්නට ගෙනා පරිප්පු බඳුන එහෙමම තබා තාරා දුරකතනය අතට ගත්තාය. 

දුරකතනයේ ගබඩා කර තිබූ දුරකතන අංකයක් ඇමතුවාය. මුලුතැන්ගෙයි සිටම ඇමතුමක් ගත්තාය.

“හෙලෝ”

“ආයුබෝවන්, ආයුර් ස්පා”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles