මහා විස්කි වඩියක ගිලිලා උන්නු කේසරගේ කාමරයේ එළිය සීමාව ළඟ ආරක්ෂක බටයන් මහ ගොඩක් ඇහිපිය ගහන්නේ නැතුව එක සීරුවට හිටගෙන හිටියා.
ඒ වෙනකං හැම දෙයක්ම නූලටම හරි ගිහින් තිබුනා.
“යන උන් ගියාවේ …එකෙකුටවත් බෑ මගේ ගමන නවත්තන්න…
මම මගේ ගමන අම්මගේ බෙල්ල කපලා හරි යනවා. ..
නර්මදා උඹත් එහෙනම් එහෙමයි. ශාන්තයගෙන් උඹව බේරගත්තේ මං…උබට ඒක අමතක වුණා.. බේරපු විදිහ වැරදි ඇති. ඒත් උඹ බේරුවේ මම…
මගේ කෙල්ලට එකතු වෙලා උඹ මට කොකා පෙන්නුවා. මගේ කෙල්ලගේ ඇඟේ දුවන්නේ නාලිකාගේ ලේ වෙන්න ඇති. ඒකයි බය නැති තීරණ අරගන්නේ….නෑ ඒකි මගේ දුව..
ඒ හින්දයි බය නැති වැඩ කරන්නේ… මමත් බය නෑ…”
අගකුත් නැති මුලකුත් නැති කතා කිය කියා කේසර තනියම මහ හයියෙන් හිනා වුණා.නාලිකාගේ මගුල් පින්තූරයත්, නර්මදාගේ මගුල් පින්තූරයත් වර්ණාසිගේ උපාධි පින්තූරයත් කේසරගේ වියරු හිනාවට හවුල් වෙලා හිටියා.
බිමට වැටිලා ගලාගෙන ගියේ නැති උනාට කේසරගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා. නවරත්න මැණික් ඔබ්බපු මුද්ද ලා කහ පාට විදුලි එළිය මැද්දෙත් දිලිසුනා.
“ජාදූ…උම්බ හුඟක් තැන්වල මට නියමෙට ගැළපුණා…
මේකත් එහෙම එකක් මගේ පුතේ…
ජාදූ…. උම්බ…උම්බ… දන්නවද කොල්ලෝ… නියම ඉත්තන් නියම තැනින් තියන්නත් මම දන්නවා. නියම ඉත්තා නියම වෙලාවට කපන්නත් මම දන්නවා. එහෙමයි උඹේ ලොකු සර්ගේ වැඩ…”
කේසර තනියම කියෙව්වා. තනියම ඇඬුවා… තනියම හිනා වුණා… කවුරුත් ඒ ගැන හොයන්න ගියේ නෑ.
වෙනදට ළඟින් ඉදන් සාත්තු කරපු ජාදු නැති අඩුව එකපාරටම කේසරට දැණුනා දැණුනා.
“අපරාදේ ජාදු පුතේ… උඹව තව ටිකක් තියන් ඉඳලම යවන්නයි මට තිබුණේ….ජයමහා උඹ තමයි පිටිපස්සෙ ඉඳන් මේ හැම ගින්නක්ම…ඔව් හැම ගින්නක්ම අවුලන පරයා… උඹ තමයි මගේ කෙල්ලවත් ඇවිස්සුවේ.
මම බලාගන්නම් උඹ ගැන… දයාවංශ ත් එක්ක එකතු වෙලා මට ගේම අඹරන උඹව මට මහ ලොකු දෙයක් නෙමෙයි…දයාවංශයාගේ පුතාව මේකට දාගන්න උඹල අළුත්ම ගේමක් ගහන බව මම දන්නවා.. උඹලව නවත්තන හැටිත් මං සංකර් එක්ක කතා කරලයි තියෙන්නේ…
කේසර තමන්ගේ ජනාධිපති ධූරය ඔලුව උඩ තියාගෙන තමන්ගේ වටේ හිටපු තමන්ට ආදරේ කරපු හැම කෙනෙක්වම නැති කරගෙන පාළු කාන්තාරයක තනිවෙලා ඔහේ දොඩෝ දොඩෝ උන්නා.
කේසරගේ ග්‍රහයන් එහාට මෙහාට මාරු වෙනකොට තවත් ටික කාලයකින් ආපහු පත්තුවෙන ලොකු ගින්නක ගිනි පුපුරු වලට හුළං වැදෙමින් තිබුණා.
……………………………………………………
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජයේ දේශපාලන බලයට සහ මුදල්වලට කළ නොහැකි දෙයක් නැති බව පෙන්නමින් ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික රෝහලක අතිශය පෞද්ගලික කාමරයක අතිශය රහසිගතව සුවිශේෂී රෝගියෙකුට සීරුවෙන් බෙහෙත් කරමින් උන්නා.පුරා මාසයකටත් අධික කාලයක් තිස්සේ සිහියත් අසිහියත් අතර දෝලනය වෙමින් හිටපු මේ පුද්ගලයාට සිහිය නිවැරදිව ලැබී ඇතැයි නිශ්චිතවම දැනගත්තු වෛද්‍යවරුන් ඊළඟ මාස තුන පුරාවටම ආපහු සැරයක් බොහොම මහන්සි වුනේ පුරුදු පරිදිම සුව කරගන්නයි.
තමන්ගේ පෞද්ගලික ජීවිතයේ කොහොමත් කතාබහ අඩුවෙන් සිද්ධ කරපු මේ පුද්ගලයා අනතුරෙන් පස්සේ අවශ්‍යම දේට විතරක් වචනයක් කතා කරන පුද්ගලයෙකු බවට පත්වෙලා හිටියා.මේ පුද්ගලයාව සුවකර ගැනීමේ සම්පූර්ණ බර පැන මේ වෙනකොට දරමින් හිටියේ මහා ව්‍යාපාරිකයෙක් සහ මහත් ප්‍රබල දේශපාලඥයෙක් වෙච්ච ජයමහ කඳනආරච්චි කියන විපක්ෂ නායකවරයයි.වෛද්‍යවරු ඒ වෙනකොට නිර්දේශ කරලා තිබුණේ දැන් මේ රෝගියාට සියයට අනූ නමයක් විතර සනීපයි කියන පණිවිඩයයි.ඒ වෙනකොට ජනාධිපතිවරණයෙන් මාස අටක් විතර ඉවර වෙලා තිබුණා.
“බොහොම සන්තෝසයි කොල්ලෝ දැන් හොඳයි නේද..”
වචනයක්වත් කතා නොකරන තරුණයා ජයමහ දිහා බලාගෙන හිටියා.
“තමුසෙට අපබ්‍රංස වගේ ඇති මේවා… සම්පූර්ණ කතාවම දැන් අහගන්නවා…මං දන්නවා…. තමුසෙව එදා ඉවර කරන්න තමයි ඕඩර් එක තිබුණේ.ඒ ප්ලෑන තමුසගේ රටක් වටින කේසර ලොකු සර්ට කියලා දුන්නේ ෂංකර් …හැබැයි තමුසෙගේ මහ ලොකු කේසර ලොකු සර් දන්නේ නෑ සංකර් කරන්නේ රස්සාවක් කරලා…
කේසරගෙන් කෝටි පහක් අරගෙන කේසරට උපදෙස් දෙනකොට …ඌ මගෙන් කෝටි අටක් අරගෙන ඒ ප්ලෑන් එක රිවස් කරන හැටි මට කියලා දුන්නා….”
එහෙම කියපු ජයමහ හයියෙන් හිනා වෙනකොට තරුණයා කිසිම ප්‍රතිචාරයක් නැතුව බිම බලාගෙනම හිටියා.
“කොල්ලෝ.. මේ වෙනකොට උඹ දන්නවා ඇති කේසර උඹට අඹරපු ගුලියෙ තරම …එදා උඹලා හිටපු ගෙට පැන්න ආමිකාරයෝ සෙට් එක මගේ සෙට් එකක්..උන්ට වේලාසන මම පණිවිඩය දීලා තිබුණේ උඹව මරන්න බෑ කියන එක..හැබැයි මැරුවා වගේම දැනෙන්න ඕන කියන එකත් උන් දැනගෙන හිටියා…
මිනිහෙක් නොමර මරණ හැටි උං හොඳට දන්නවා… මිනිහට මැරෙන්නම ගහලත් නොමැරී බේරගන්න හැටිත් උන් දන්නවා… කොල්ලෝ… මං උඹට ජාදු කියලම කතා කරන්නද..”
එපා කියන විදිහට තරුණයා ඔළුව දෙපැත්තට හෙළෙව්වේ ජයමහ දිහා බලාගෙනමයි.
“..මේ ටිකට උඹට නමත් එපා වුනාද ..හරි කමක් නෑ …
මං උඹට ඔප්ෂන් දෙකක් දෙනවා. එක …
උඹ හෙට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා, උඹට වෙච්ච සේරම දේවල් කියන්ඩ ඕනේ. කේසරගේ රෙදි මුල ඉඳලා ගලවන්ඩ ඕන.. ඊට පස්සේ අපි දෝශාභියෝගයක් ගෙනල්ලා කේසරව එලවන්න ඕනේ. හැබැයි පුතෝ එක දිග වැඩක්.වැඩේ ඉවර වෙනකන් උඹට ලංකාවේ ඉන්න සිද්ධ වෙනවා.
ඔප්ශන් බී..ඒ කියන්නේ දෙවැනි ක්‍රමය.
ඒකෙදි වැඩේ කළා.. උඹේ ගමන උඹ ගියා…හරි …
ඒ තමයි ලබන විසිදෙක උණවටුන බීච් එකේ ඔපෙක් සංවිධානයේ නියෝජිතයොත් එක්ක කේසරය යනවා පීනන්න. ඒක උන්ගේ දේශපාලන පාටියක්..උඹට පහසු තැනක ඉඳන් පහසු ක්‍රමයකට කේසරයාව පරලොව අරින එක තමයි කරන්න තියෙන්නේ.”
මෙච්චර වෙලාවක් වචනයක් වත් කතා නොකර හිටපු තරුණයා ඔළුව උස්සලා ජයමහ දිහා බැලුවා.
“ඊට පස්සේ'”
කියලා ඇහුවා.”
අන්න උඹ ට්‍රැක් එකට වැටුනා.”
තමන්ට පිටිපස්සෙන් හිටපු තනි කලු ඇඳුමෙන් සැරසුණු පුද්ගලයෙකු දිහා ඔලුව හරවලා බලලා ජයමහ සිනාසුනා…
මං කිව්වේ.. වගේ මූණක් ජයමහගේ හිනාව ඇතුලේ තිබුණා..
“ඊට පස්සේ උඹට තියෙන්නේ සැනසීමෙන් නවසීලන්තය බලලා පියා….ඹන්න…”
” අහවල් කෙන්ගෙඩියකටද මං නවසීලන්තයට යන්නේ? “
“ඔය ..ඔය ..ඉතින් උඹට කිසි දෙයක් හිතාගන්න බෑනේ. ඇයි උඹේ සිහින කුමාරි … වර්ණාසි….
එයා ඉන්නෙත් නවසීලන්තයෙනේ. මුළු රටම හිතාගෙන ඉන්න දේම තමයි වාරණාසිත් හිතාගෙන ඉන්නේ… උඹ මළා කියලයි එයත් හිතාගෙන ඉන්නේ .ඇඬු කඳුළින් එයා නර්මදත් එක්ක ඊට දවස් දෙක තුනකට පස්සේ නවසීලන්තෙට ගියා. උඹට තියෙන්නේ චිත්‍රපටියක කෑල්ලක් වගේ ගිහිල්ලා දොරට තට්ටු කරලා කෙල්ලට මල් පොකුරක් දෙන එකයි…
මොකද කියන්නේ? “
ජයමහා එහෙම අහනකොට ජාදු ඇඳෙන් නැගිටලා ජනේලෙ ගාවට ගිහිල්ලා එළිය බලා ගත්තා. ජාදු ගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා. වර්ණාසි ගේ මතකය පපුව හූරලා දැම්මා.
” මෙහෙමයි කොල්ලෝ..
කේසරගේ වගේ බලු ගේම් මගේ ළඟ නෑ. එහෙමනම් මම මෙච්චර මහන්සි වෙලා උඹව සනීප කරන්නෙත් නෑ… මගේ වචන දෙකක් නෑ.
මෙන්න පාස්පෝට් වීසා ඔක්කොම තියෙනවා ..මං දන්නවා කොහොමත් උඹ පළවෙනි ක්‍රමයට කැමති නෑ කියලා..ඒකයි මම ලෑස්ති පිටම ආවේ.. වෙලාවට වැඩේ ඉවර කරලා කෙලින්ම කටුනායකට යන්නත් මම උඹට අවස්ථාව හදලා දෙනවා..ඊට පස්සේ උඹ කරන්න ඕනේ මම පළවෙනියෙන් උඹට දාලා දීලා තියෙන ඔන්න ඔය ඩුබායි රටට යන එක..එතන දවස් දෙකක් උඹට ඉන්න වෙනවා.ඒවා ඔක්කොම මම ලෑස්ති කරල තියෙන්නේ.. ඊට පස්සේ කෙලින්ම නවසීලන්තයට..
හැබැයි රජෝ… ගියා වගේ නෙමෙයි …
ඊළඟ මහ මැතිවරණයේදී මගේ පක්ෂෙන් උඹත් ඉල්ලන්න ඕනේ. උඹට උන අසාධාරණකම් කියලා මගේ පක්ශෙත් ගොඩ දාලා උඹත් ඇමති ධුරයක් ගන්න ඕනේ.”
ජයමහ කිව්වේ බලාපොරොත්තු පිරිච්ච ඇස් දෙකෙන්…
වචනයක්වත් කතා නොකරපු ජාදු..
“වැඩේ කෙරුණයි කියලා හිතාගන්න..”
කියලා කිව්වේ දිලිසෙන කළු පර්ල් ඇස් වලින් ආපු කඳුලු නිදහසේ ගලන්නට ඉඩ දෙන ගමන්…
නිමි……………..