ප්‍රහාන් ..
ඊයේ පාටිය ඔයා ගොඩක් එන්ජෝයි කලා.ඔයා ටිකක් එතන කලබල කරපු නිසා අපි ඔයාව නිදාගන්න දැම්මා.උදේට කෑම කාලම වයිෆ් එක්ක ගෙදර යන්න.මම හැමදේම ලෑස්ති කරලයි තියෙන්නේ.මට අද උදේ විශේෂ රැස්වීම් කිහිපයකට යන්න තියෙනවා.ඔයාව හම්බවෙලා කතා කරන්න බැරිවීම ගැන දුකක්.ඔයාගේ දක්ෂකම ගැන ආයිත් පාරක් මම බොහොම අගය කරලා කතා කරනවා.මම කියපු යෝජනාව ගැන තව පාරක් හිතල බලන්න.
“අන්න එහෙම කියලා තමයි ඒ ලියුමේ තිබුණේ..”
“දැන් ඒ ලියුම කෝ”…
මං ඇහුවා .
“දන්නෙ නෑ ඩොක්ට..ඒක ගෙදර ගෙනිච්ද සාක්කුවේ දා ගත්තද ඒ දෙයක් මට හරියට මතක නෑ”..
“හරි ඊට පස්සේ මොකද උනේ?”..
“එදා උදේම තමයි අපිට අන්තිමටම ආශිකාව පෙන්නන ක්ලිනික් එක තිබුණේ.”
“ඔයා උදේ දැන් එතනින් නැගිට්ටහම මොකද උනේ..”
තලම්මැහැර ඇහුවා .
ඇත්තටම මටත් මේ ගැන මාර කුතුහලයක් තිබුණේ.ඒක අකුරක්වත් එක වචනයක්වත් මග ඇරෙන්නෙ නැතුව කතාවේ හැම අස්සක් මුල්ලක්ම දැනගන්න මට උවමනා වෙලා තිබුණා.
“මම ඉක්මනටම ආශිකාගේ කාමරයට ගියා. මම යනකොටත් එයා නිදාගෙනයි හිටියේ.මම එයාව නැගිට්ටව ගත්තා. එයාටත් ඊයෙ අපි කෑම කකා ඉන්න සිද්ධියට එනකන් විතරයි මතක තිබුණේ. මොනවා උනාද කියලා එයා දැනගෙන හිටියෙත් නැහැ. ඒ වෙලාවේ නම් මට තේරුණා අපි දෙන්නටම මොනවා හරි වෙලා තියෙනවා කියලා.මේ බලන්න ඩොක්ටර් මගේ ඇඟේ තවමත් හිරිගඩු පිපෙනවා.ඒ සිද්ධිය ..ඒ වෙලාව මතක් වෙනකොට ..අනේ මන්ද මට හිතාගන්න බෑ..”
එහෙම කියපු ප්‍රහාන් ආපහු එයාගේ ඇස් දෙක වහගෙන පුටු පත්තට බර වුණා.
කොච්චර වුණත් මේ මනුස්සයා සනීප වෙච්ච අලුත හින්දා මට පොඩි බයකුත් දැනුනා එක දිගට මේ විස්තර කියනකොට ආපහු සැරයක් අසනීප වෙයි කියලා.අතීතය මතක් කර කර අතීත විස්තර කියනවා කියලා කියන්නේ ආපහු සැරයක් හෝද හෝද මඩේ ඔබනවා වගේ වැඩක්.
ඒ හින්දා මම අනික් අයට අතින් කිව්වා ටික වෙලාවක් ඔහොම ඉන්න කියල.ප්‍රහන්ගේ සුප් කෝප්පයට අතවත් තියලා තිබුණේ නැති හින්දා මම ප්‍රහානගේ අතින් අල්ලලා සුප් එක එයාගේ අතට දුන්නහම එයා ඒක බොහොම හෙමින් බොන්න පටන් ගත්තා.
“එතන මොකක් හරි වෙලා තියෙනවා කියලා මට දැනිච්ච හින්දා තව මොහොතක්වත් මට එතන ඉන්න හිතුනේ නැහැ.මං ඒ හින්දා ඉක්මනින්ම ආශිකාවත් ඇදගෙන ජනාධිපති මන්දිරයෙන් එළියට එන්න ආවා.ඇතුලේ හිටපු එක්කෙනෙක් අපි දෙන්නට කිව්වා
සර්..ඔයාලට උදේ කෑම දීලා අරින්න කියලා කිව්වා..කියලා .මම ඒ කිසි දෙයක් ඇහුනෙ නැති විදිහට ආශිකාව අතින් ඇදගෙන ඉක්මනටම ජනාධිපති මන්දිරයෙන් එළියට ආවා.”
“එතකොට වෙලාව කීයට විතර ඇතිද.. ඔයාට ඔය දවස හරියටම මතකද.”.
තලම්මැහැර එහෙම ඇහුවා.
“දිනය නම් ගිය නොවැම්බර් 8 වෙනිදා.මීට මාස නවයකට කලින්.. මට ඕවා සේරම කටපාඩම්.පොලිස් වාර්තා නඩු වාර්තා අකුරක් නෑර ඔය සිද්ධියේ මට දැන් කට පාඩම්…”
එහෙම කියපු රාජරත්නම් තඩි ඉස්සෙක්ව එක කටට දා ගත්තා.
“ම්ම්ම්..මාස නවයකට කලින් නම් මට එච්චර තද මතකයක් නැහැ මම කොහෙද හිටියේ කියලා.මම හිටියේ රත්නා ලෝක එක්ක තමයි..හැබැයි ඔය කියන දවස මට මතක නැහැ.. සමහරවිට මගේ නිවාඩු දවසක් වෙන්න ඇති.වජිරා මැඩම් උනත් හැමතිස්සෙම ජනාධිපති මන්දිරයේ නෑනේ. හුඟක් දවස් වලට එයා ළමයි එක්ක ඉන්නේ පිටරටවල්වල තමයි.ඒ හින්ද හුඟක් වෙලාවට ජනාධිපති මන්දිරයේ කට්ටිය අඩු දවස් අහුවෙනවා.මට පේන්නේ එහෙම දවසක වෙච්චි වැඩක් ඕක…”
තලම්මැහැර කිව්වේ කල්පනා කර කර…
“ඊට පස්සේ මොකද වුනේ කියලා මතකද ප්‍රහාන් ට…”
“ඔව්… අපිට අන්තිම ක්ලිනික් එක තිබුණේ එදා උදේ කියලා මම කිව්වනේ.ආශිකා කිව්වා එයාගේ ඇඟට හරි සැහැල්ලුවක් දැනෙනවා කියල.වෙනදට දැනිච්ච බඩ බර ගතිය ඇඟ බර ගතිය එයාට දැනෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේම ආශිකා කලබල වෙලා උන්නා . එයාට බබා දගලන්නෙ නෑ වගේ දැනෙනවා කිව්වා . ඒ හින්දා අපි දෙන්නා ඉක්මනින් ක්ලිනික් එකට ගියා.ක්ලිනික් එකට ගියාම දොස්තර එයාව ස්කෑන් කළා.ස්කෑන් එක සෑහෙන වෙලාවක් කලා.මට හිතුනා මොකක් හරි අවුලක් කියලා.ඒත් අපිට වචනයක්වත් කිව්වේ නැහැ.දැම්මම ගිහිල්ලා ඉක්මනට හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න කිව්වා.ඩොක්ට හේතුවක් කිව්වේ නැහැ.හැබැයි එයා විස්තරය ලියල දුන්නා.අපි ඊට පස්සේ තමයි ගෙදරට කතා කරලා මෙහෙම හදිසියක් වෙලා තියෙනවා ඉක්මනට ආශිකාගේ ඇඳුම් බෑග් එකත් අරගෙන ඉස්පිරිතාලෙට එන්න කියලා කිව්වේ. ඒ වෙනකම්ම ගෙදරට කතා කරන්න තරම් සිහියක් අපි දෙන්නට තිබුණෙ නැහැ.ඒ ඇයි කියන්න තේරෙන්නේ නෑ.අපි ගෙදරට කතා කරනකොට ඒගොල්ලො හොඳටම බය වෙලා ඉඳලා තියෙන්නේ.අපේ ෆෝන් ඕෆ් වෙලා තිබිලා තියෙන්නේ.තව ටිකක් බලලා ඒගොල්ලො පොලිසියට කියන්න ඉඳලා තියෙන්නේ.එතකොට තමයි අපි දෙන්නට මතක් උනේ ඊයෙ රෑ පාටියට ආවට පස්සේ අපි ගෙදරට කතා කළේ නෑ නේද කියලා..ඊට පස්සේ කොහොම හරි අපි දෙන්න ගිහිල්ලා ඉස්පිරිතාලෙට ඇතුලත් වුණා.ඩොක්ටර් ලියල තිබිච්ච වාර්තාව දැක්කට පස්සේ ඉක්මනටම ආශිකාව තියටර් එකට ගන්න ඕනෙයි කියලා කිව්වා.එතනදි නම් මම ඇත්තටම බය වුණා.මම එතන හිටපු ඩොක්ටට කිව්වා මට ඇත්ත විස්තරේ කියන්න කියලා.එයා කිව්වා විස්තර කර කර ඉන්න වෙලාවක් නැහැ මේක එර්ජන්ට් කියලා.. ඒත් එක්කම වගේ අපි චැනල් කරපු දොස්තර දුවගෙන වෝඩ් එකට ආවා. පස්සේ තමයි මම දැනගත්තේ එයාගේ චැනලින් එක අතරමග නවත්තලා දාලා තමයි එයා දුවගෙන ඇවිල්ල තියෙන්නේ කියලා.සේරමල්ලා ආශිකාව තල්ලු කරගෙන තියටර් එකට ගෙනිච්චා.එතකොට අපේ ගෙදරිනුත් ඉස්පිරිතාලෙට ආවා.පැය තුනකට විතර පස්සේ ඒගොල්ලො එළියට ආවා.ඊට පස්සේ ආශිකාගේ දොස්තර මාව පැත්තකට අඬගහගෙන ගෙනිච්චා….
එයාලා මට කිව්වා..මේක ඒගොල්ලෝ කවදාවත් ජීවිතේ දැකලා නැති අවස්ථාවක් කියලා.බඩ ඇතුලේ හිටපු දරුවා දුංකළයක් වගේ වේළිලා කියලා කිව්වා. ඒ ළමයා මැරිලා පැය දහයකටත් වැඩියි කියලා කිව්වා.මට හිතාගන්න බැරි වුණා මම මොකක්ද කරන්නෙ කියලා.ඒගොල්ලො මාව ඇතුලට එක්කගෙන ගිහිං බබාගේ බොඩි එක පෙන්නුවා.
බබාව නෝමල් තමයි එළියට අරගෙන තිබුණේ.ආශිකා ට තදින් නින්ද යන්න බෙහෙත් විඳලා තිබුණා. නර්ස්ලා කිව්වා එයා තියටර් එක ඇතුලේ බබාව දැක්කට පස්සේ තදින් කලබල කරන්න ගත්තා කියලා….
ඇත්තටම එතන ළමයෙක් හිටියේ නෑ…”
ඇත්තටම මාස ගානක් එක දිගට ප්‍රහාන්ව ආශ්‍රය කරලා ප්‍රහන්ට බෙහෙත් කරපු දොස්තර හැටියට ඒ වෙලාවේ මට මාර විදිහට ඒ කොල්ලාගේ දුක දැනෙන්න පටන් ගත්තා.කොච්චර වේදනාවක් වුනත් හාර හාර හරි ඒකෙ ඇත්ත දැනගන්න උවමනාව අපිට තිබුණා.මානුෂීය පැත්තෙන් ගත්තහම නම් ඒක හරිම අසාධාරණයි.උනාට ඇත්තටම මිනී මැරුම් චෝදනාව කෙලින්ම එල්ල වෙලා තිබුණේ ප්‍රහාන් ට.එයාව ඒකෙන් බේරගන්න නම් මේකෙ ඇත්ත කතාව හොයාගන්නම සිද්ධ වෙනවා.අපිට තිබුණු එකම අභියෝගය ඒක උනාට දැන් මේ කතාව වෙනත්ම පැත්තකට යනවා කියලයි මට හිතුනේ.නඩු කියල විසඳගන්න පුළුවන් තැනක අවසානයේ අපි ඉතුරු වෙයිද කියන එක මට හිතාගන්න බැරුව ගියා.
සාමාන්‍යයෙන් නඩු කියලා නීත්‍යානුකූලව දිනන්න පුළුවන් මිනිස්සු සම්බන්ධ වෙලා ඉන්න ප්‍රශ්නයක් නම් විතරයි.දැන් දැන් කතාව අහගෙන අහගෙන යන විදිහට මිනිස්සුන්ට වඩා වැඩි යමක් මේ කතාවේ ඉන්නවා කියන එක මට තේරුණා.
භූතයෝ යක්කු කුම්භාණ්ඩයෝ කවදාවත් මම විශ්වාස කරපු අය නෙමෙයි. අපි ඒව ඉගෙනගෙන තියෙන විදිහෙන් ඒ හැම දෙයක්ම මානසික විපර්යාසයක්.හැබැයි මට හිතුනා මෙතන ඊට වඩා යම් කිසි දෙයක් තියෙනවා කියලා.අපි නොදන්න නොතේරෙන හැමදේකටම එක්කෝ යක්ෂ බලවේගයක් පෙරේත බැල්මක් කියලා කියන්න පුරුදු වෙලා හිටපු හින්දා මෙතනත් මොකක් හරි අමනුෂ්‍ය දෝෂයක් කියලා හිත හදාගන්න තත්වෙකට පත්වෙන්න මට බැරුව ගියා.
“ප්‍රහාන් .. ඔයා ළමයෙක් නෙමෙයි නම් දැක්කේ එතන තිබුණෙ මොකක්ද…”
තලම්මැහැර ඇහුවේ ඉවසගන්න බැරි කුතුහලයකින් කියන එක මට තේරුණා.ප්‍රහාන් ගේ නෝනත් දරු ප්‍රසූතිය ළංවෙලා හිටපු ගැහැණු කෙනෙක් නිසා මුල ඉඳලම මේ සිද්ධිය තලම්මැහැර දැකලා තිබුන නිසාත් මේකේ අන්තිම මොකක්ද කියන එක දැනගන්න එයාටත් ලොකු උවමනාවක් තිබුණා.
“එතන හිටියේ ළමයෙක් නෙමෙයි…”
ප්‍රහාන් කිව්වේ කදුලු අස්සෙන්..
“වේලිලා…. වේලිලා… ගිය කෙහෙල් කොළ පරඬැලක් ….”