කන ගැන නොසිතා අමතකම කරාද?

කන කියන්නෙ මිනිස් සිරුරේ තියෙන ශ්‍රවණය සහ සමබරතාවය පවත්වා ගන්න උපකාරී වෙන ඉන්ද්‍රය කියල ඔබ දන්නවනේ. 

අපේ කන් වලින් ප්‍රධාන වශයෙන්ම, වාතයේ ශබ්ද තරංග විද්‍යුත් ආවේග බවට පත්කරල ශබ්දයට අදාල මොළයේ කොටස වෙත යැවීම තමයි සිදුකරන්නෙ. 

හැබැයි, අපේ ශරීරයේ නීරෝගී පැවැත්ම ගැන සැළකිලිමත් වෙද්දි අපි බොහෝ දෙනෙක්ට කනේ රෝග වගේම කනේ නීරෝගී බව ගැන හිතන්න අමතක වෙනව. 

අන්න ඒ නිසයි, කනේ රෝග ගැන ඔබත් එක්ක කතා කරන්නත් ඔබට ඒ ගැන ලැබිය යුතු දළ අවබෝධය හෝ ලබා දෙන්නත් මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ. 

කනේ රෝග යනු මොනවද? 

කනේ රෝග බොහෝ දෙනෙක් අතර ඉතාම සුලභව දකින්න ලැබෙන තත්වයක්. විශේෂයෙන්ම කුඩා දරුවන් අතර කනේ රෝග ඇතිවීමේ සම්භාවිතාව ඉතාම වැඩි බවයි වාර්තා වෙන්නෙ. 

දරුවෝ පාසල් යන වයසට එන්න කලින් එක වතාවක් හෝ කනේ ආසාදන තත්වයක් ඇතිවෙන බව හඳුනාගන්න පුළුවන් වගේම ටිකෙන් ටික වැඩිවියට පැමිණෙද්දි ආසාදන තත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය අඩු වෙන බවත් හඳුනාගන්න පුළුවන්. 

ආසාදනය වී ඇති කොටස අනුව කනේ ආසාදන වර්ග කීපයකට බෙදා දක්වන්න පුළුවන් වුනත් ඉතාම සුලභ සහ පොදු ආකාර 02 ක් ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙනව. 

ඒවා, 

මැද කනේ ආසාදන (otitis media) සහ

පිටත කනේ ආසාදන (otitis externa) විදිහට හඳුනාගන්න පුළුවන්. 

කන් ආසාදන බැක්ටීරියා සහ වෛරස් මඟින් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයකුත් තිබෙනවා. 

මැද කනේ ආසාදන

මැද කන කියල හඳුන්වන්නෙ කන් බෙරයට පිටුපසින් ඇති කනේ කොටසයි. 

එය eustachian යන නමින් හැඳින්වෙන කෙටි නාලයකින් උගුරත් සමඟ සම්බන්ධ වෙලා තියෙනවා. 

ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාව සහ උගුරේ ආසාදන මේ නාලය හරහා මැද කන දක්වාම පැමිණීමට ඇති ඉඩකඩ වැඩිබවත් හඳුනාගන්න පුළුවන්. 

කුඩා දරුවන්ගේ eustachian නාලය වඩා කෙටි නිසා ඔවුන්ට වැළදෙන සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදන ඉක්මණින් සහ වැඩි වශයෙන් මැද කන දක්වාම පැමිණෙන නිසා ඔවුන් අතර කන් ආසාදන තත්ව ඇතිවීමේ ඉඩකඩ වැඩි බව සඳහන් කරන්න පුළුවන්.

පිටත කනේ ආසාදන 

කනේ පිටත වගේම කන් සිදුර ආසාදනය වීමත් දකින්න ලැබෙනව. මේ තත්වයන් බොහෝවිට ඇතිවෙන්නෙ කන් සිදුරේ වතුර රැඳී තිබිම නිසයි. කුඩා දරුවන් දිය නා අවසන් වූ පසු එහෙමත් නැත්නම් පිහිනා අවසන් වූ පසු කන් වල ඇති ජලය ඉවත් කිරීම වැදගත් වෙන්නෙ ඒ නිසයි. 

හොඳයි, කනේ ආසාදන කියන්නෙ මොනවද කියල දැන් ඔබට අවබෝධයක් තියෙනවනෙ. 

අපි ඊළඟට බලමු, කනේ ආසාදන තත්වයන් හඳුනාගන්න අපිට උපකාරී වෙන රෝග ලක්ෂණ මොනවද කියල? 

කනේ ආසාදන තත්වයන් හඳුනාගත හැකි රෝග ලක්ෂණ

කනේ වේදනාව හෝ කැසීම,

උණ හෝ හිසරදය, 

ශ්‍රවණාබාධ ඇතිවීම,

කන් අවහිර වී ඇති බව හෝ පිරී ඇති බව දැනීම වගේම කන ඇතුලේ කිසියම් ශබ්දයක් පැවතීම,

කැරකැවිල්ල හෝ සමබරතාව නොමැතිවීම,

ඔක්කාරය හෝ වමනය ඇතිවීම,

කනෙන් යම් තරලයක් හෝ ලේ පිටවීම,

කන රතු පැහැ වීම හෝ ඉදිමීම වගේ රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා නම් බොහෝවිට ඔබේ කන ආසාදනය වී තිබීමේ ඉඩකඩක් පවතින නිසා හැකි ඉක්මණින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මුණ ගැහිල උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත් කියල අපි ඔබට මතක් කරනවා. 

කන් ආසාදන කුඩා දරුවන් අතර බහුල වුනත් මේ රෝග ලක්ෂණ පිළිබඳව ඔවුන්ට නිසි අවබෝධයක් නෑ වගේම ඔවුන්ට වේදනාවක් ඇති බව පැවසීමටත් නොහැකි වෙන්න පුළුවන්. ඒ නිසා කුඩා දරුවන්ට ඇති රෝග ලක්ෂණ පිළිබඳවත් ඔබ මනා අවබෝධයකින් සිටිය යුතුමයි. 

දරුවො කන ඇඳීම හෝ කැසීම කරනව නම්, 

සෙන්ට්‍රිග්‍රේට් අංශක 38 ට වැඩි ශරීර උෂ්ණත්වයක් තියෙනව නම්, 

කන වටා රතු පැහැ වී ඇත්නම්,

වමනය සහ ඔක්කාර ගතියක් දකින්න ලැබෙනව නම්, 

කලබලකාරී, නොරුස්සනා සුළු ස්වභාවයෙන් සිටිනවා නම්, 

සාමාන්‍යයෙන් ඔවුන් ආකර්ෂණය වෙන සහ අවදානය යොමු කරන ශබ්ද වලට ප්‍රතිචාර දැක්වීම නොකරයි නම් ඔබේ දරුවගෙ කනේ යම් ආසාදන තත්වයක් ඇතිවී තියෙන්න පුළුවන්. 

ඒ නිසා දරුවාව ඉක්මනින් වෛද්‍යවරයෙක් ලඟට රැගෙන ගොස් අදාළ උපදෙස් ලබාගැනීම අනිවාර්‍යෙන් කළ යුතුයි. 

මැද කනේ ආසාදන බොහෝවිට සතියක් වැනි කාලයක් තුළදී ඉවත්ව යන බව දැකගන්න පුළුවන් වුනත් වේදනාව සමනය කරගන්න  ප්‍රතිකාර අවශ්‍ය වෙනව. 

පිටත කනේ ආසාදන සඳහා බොහෝවිට ස්ටෙරොයිඩ වැනි ඖෂධ අඩංගු කර සෑදූ ear drops ලබාදීම සිදුකරනවා. 

ඒ කොහොම වුනත් ඔබේ ආසාදනය නිසි පරිදි හඳුනාගැනීමේ හැකියාව තියන්නෙ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ට පමණක් නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි.  

කනේ ආසාදන වළක්වා ගන්න අපිට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියල අපි ඊළඟට බලමු. 

කන් පරිස්සන් කරගන්නෙ කොහොමද? 

දැඩි සීතලට සහ දැඩි ශබ්ද වලට නිරාවරණය නොවීම, 

සම්ප්‍රතිශ්‍යා තත්වයන් සහ උගුරේ ආසාදන ඇතිවිට හැකි ඉක්මණින් ඒව අඩුකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, 

හොඳ සනීපාරක්ෂාවක් පවත්වා ගැනීම, 

සිගරැට් දුමෙන් ඔබ සහ ඔබේ දරුවා ඈත්කර තැබීම, 

කන පිරිසිදු කිරීම සඳහා හැට්ට කටු, ඉඳිකටු, කොණ්ඩ කටු, දත් කූරු, කොට්න් බඩ් වැනි යම් යම් උපකරණ ඇතුළු කිරීමෙන් වැලකීම, 

පිහිනීමෙන් සහ නෑමෙන් පසු කනේ වතුර නිසිපරිදි වියළා ඉවත් කිරීම වගේම කිනිතුල්ලන්, මැක්කන් වගේ විවිධ කෘමි සතුන් කනට ඇතුළු වී ඇත්දැයි සැළකිලිමත් වීම ඉතාම වැදගත්. 

ඉතිං, කනේ ආසාදන ගැන මේ ලිපිය හරහා හොඳ අවබෝධයක් ඔබට ලැබෙන්න ඇතැයි අපි විශ්වාස කරනවා.

මේ වගේම වැදගත් ලිපියකින් නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා. 

සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles