සැරට කන්න අල රස මැදිවුණු අල පරාට හදමු…

වැස්ස කාලෙට හවස තේ වෙලාවට වගේම උදේ, රාත්‍රී මේ කොයි ආහාර වේලටත් හරිම පහසුවෙන් ඉක්මණින් හදාගන්න පුළුවන් රස කෑමක් අරගෙනයි ඔන්න smart lady අපි අද ඔබව හමුවෙන්නෙ. 

අපි අද හදන්න සූදානම් වෙන්නෙ අල පාරටා. 

එහෙනම් මුලින්ම බලමු අපිට අවශ්‍ය මොනවද කියල? 

අවශ්‍ය ද්‍රව්‍ය

පරාටා සඳහා

පාන් පිටි කෝප්ප 01 ක් 

වතුර කෝප්ප ½ ක් 

ලුණු කුඩු තේ හැඳි ½ ක් 

තෙල් තේ හැඳි ½ ක් 

අල මිශ්‍රණය සඳහා

තම්බා පොතු ඉවත්කර ගෙන පොඩිකරගත් අල කෝප්ප 01 ක් 

කුඩාවට කපාගත් ලොකු ලූණු ගෙඩි ½ ක් 

සිහින්ව ලියාගත් කරපිංචා ඉත්තක කොළ 

සූදුරු තේ හැඳි ½ ක් 

සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 02 ක් 

රස අනුව, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ කෑලි මිරිස් 

තෙල් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, තරමක් විශාල භාජනයක් ගෙන එයට පිටි, ලුණු කුඩු, සහ තෙල් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට වතුර ටිකෙන් ටික එකතු කරමින් අතින් අනා මෘදු සහ අතේ නොඇලෙන පිටි ගුලියක් සාදාගන්න. 

දැන් පිටි ඇනූ භාජනයේ තෙල් ස්වල්පයන් ආලේප කර පිටි ගුලියේත් තෙල් ස්වල්පයක් ආලේප කර පිටි ගුලිය භාජනයේ තබා භාජනය හොඳින් වසා පැය භාගයක් පමණ තබන්න. 

වෙනම භාජනයක් ගෙන එයට මුලින්ම ලූණු, කරපිංචා, අමු මිරිස්, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට තම්බා පොඩිකරගත් අල ටිකත් එකතු කර හොඳින් කලවම් කරගෙන පසෙකින් තබාගන්න. 

සූදානම් කරගත් පිටි ගුලිය විනාඩි 30 කට පසු එළියට ගෙන එය එක සමාන කොටස් 08 කට වෙන් කරගන්න. 

එම කොටස් 08 කුඩා බෝල ආකාරයට සකසා ගන්න. 

දැන් පිටි ඉසගත් මතුපිටක් මත තැබූ එම කුඩා පිටි බෝල කුඩා රොටියක් හැඩයට සකසා ගන්න. 

සාදාගත් අල මිශ්‍රණයත් 08 කට බෙදාගෙන එක් කොටසක් රොටියේ මැදින් තබාගන්න. 

දැන් රොටියේ දාරවල් මැදට ගෙන එමින් අල මැදි කරගත් කුඩා බෝලයක් නැවතත් සකසා ගන්න. 

දැන් නැවත පිටි ඇතිරූ මතුපිටක තබා සෙමින් රොටියක් ආකාරයට තුනී කරගන්න. 

මෙය කිරීමේදී රොටිය මැදින් ඉරී අල ඉවතට එන්න පුළුවන් නිසා ඔබ ඒ ගැන සැළකිලිමත් විය යුතුමයි. 

(රොටිය දැඩිව වියළි ඇත්නම් තෙල් ස්වල්පයක් ආලේප කරගන්නත් පුළුවන්)

දැන් ඇලෙන සුළු මතුපිටක් නැති තැටියක් ලිප තබා එය රත්වූ විට සාදාගත් රොටිය ඒ මත තබා එක පැත්තක් විනාඩියක් දෙකක් පමණ පුළුස්සා ගත යුතුයි. 

දුඹුරු පැහැ සහ ක්‍රිස්පි ස්වභාවයට පත්වුනු පසු ලිපෙන් බාගෙන බටර් ගෝ ගිතෙල් ස්වල්පයක් උඩින් ආලේප කරගෙන හොඳ රසක් ලබාගන්න ඔබට පුළුවන්. 

උණුවෙන්ම කන්න අමතක කරන්න එපා. 

එහෙනම්, මේ වැස්ස කාලෙ රසට උණුසුමට අල පරාට මේ විදිහට හදල කමුද? 

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles