කටට සැරට බණ්ඩක්කා සලාදයක් හදමු. 

මැග්නීසියම්, ෆෝලේට්, ෆයිබර්, විටමින් C, K1, A අඩංගු බණ්ඩක්කා කියන්නෙ නීරෝගී ගර්භණීභාවයකට, හදවතේ නීරෝගි බවට වගේම රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න ඉතාම හොඳ සහයක් ලබාදෙන පෝෂණීය ආහාරයක්.

ගොඩක් වෙලාවට අපි බණ්ඩක්ක කන්නෙ ලූණු, අමු මිරිස් එක්ක තෙම්පරාදු කරලනේ. ඒ තෙම්පරාදුවටම කරවල හරි හාල්මැස්සන් හරි ටිකකුත් බැදෙන්ඩ ඇරල එකතු කරාම හරිම රසවත්. 

හැබැයි හැමදාම අලුත් දෙයක් රසවිඳින්න කැමති smart ඔබ වෙනුවෙන් වෙනස්ම රසකට කටට සැර බණ්ඩක්කා සලාදයක් ඉක්මණින් පහසුවෙන් හදාගන්නෙ කොහොමද කියල කියන්නයි ඔන්න අපි අද මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ. 

එහෙනම් මුලින්ම බලමු අපිට මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල.

අවශ්‍ය ද්‍රව්‍ය

ළපටි බණ්ඩක්කා කරල් 05 ක් 06 ක් 

හාල් පිටි තේ හැඳි 01 ක් 

ලුණු කුඩු තේ හැඳි ½ ක් 

තෙල් 

වතුර

අයිස් වතුර

කුඩාවට කපාගත් සුදුලූණු මේස හැඳි 01 ක් 

කුඩාවට කපාගත් වියළි මිරිස් / ඉදුණු මිරිස් හෝ කෑලි මිරිස් ඔබේ රස අනුව

කුඩාවට කපාගත් අමු මිරිස් කරල් 01 ක් 

සෝයා සෝස් තේ හැඳි 03 ක් 

කුඩාවට කපාගත් ලූණු කොළ 02 ක් 03 ක්

සාදාගන්නා ආකාරය

මුලින්ම තරමක් විශාල භාජනයකට වතුර දමා එයට හාල් පිටි එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් බණ්ඩක්කා ටික එම භාජනයට දමා බණ්ඩක්කා හොඳින් සෝදාගෙන වතුර බේරා ඉවත් කරගන්න. 

ඊළඟට, වතුර භාජනයක් ලිප තබා එය නටන තුරු තබන්න. 

වතුර නටන විට එයට තෙල් තේ හැඳි ½ ක් සහ ලුණු කුඩු තේ හැඳි ½ ක් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් මේ නටන වතුරට සෝදා වතුර බේරාගත් බණ්ඩක්කා දමා හොඳින් කලවම් කර විනාඩියක් පමණ තබා වතුරෙන් ඉවත් කරගන්න. 

නටන වතුරෙන් ඉවතට ගත් බණ්ඩක්කා එසැණින් අයිස් වතුරට දමා විනාඩියක් පමණ තබා ඉවතට ගෙන වතුර බේරීමට තබන්න. 

ඉන්පසු බණ්ඩක්කා වල නැට්ට සමීපයෙන් කපා ඉවත්කර බණ්ඩක්කා කරල දෙකට පලා නැවත දිගැටි හැඩයට ඔබ කැමති ප්‍රමාණයේ කොටස් වලට කපාගන්න. 

මේ අතර කුඩා භාජනයක් ගෙන එයට සෝයා සෝස් මේස හැඳි 03 ක්, සුදුලූණු, ලූණු කොළ සහ රස අනුව මිරිස් දමා හොඳින් කලවම් කරගන්න. 

තෙල් ටිකක් (තේ හැඳි 03 ක් පමන) භාජනයකට දමා ලිපතබා තෙල් ටික හොඳින් රත්වූ පසු රත්වූ තෙල් සූදානම් කරගත් සුදුලූණු මිරිස් මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න.  

දැන් කලින් කපාගත් බණ්ඩක්කා කැබලි උඩට තෙල් මිශ්‍රණය වත්කර හොඳින් කලවම් කරගෙන ආහාරයට ගන්න ඔබට පුළුවන්. 

රස ගුණ වගේම අපිට හුරුපුරුදු මිරිස් රසත් එකතුවුණු මේ බණ්ඩක්කා සලාදය හදල බලන්නකෝ එහෙනම්. 

මේ වගේම රසවත් වගේම වෙනස් කෑම වට්ටෝරුවක් අරන් නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් එහෙනම් අදට අපි සමුගන්නම්. 

රසට කන්න, සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles