මේ විදිහට කෝපි බීල බර අඩු කරගමු

Coffee lovers ල ඉන්නවද?

දවසේ වෙහෙසක්, පීඩාවක් දැනෙන කොයි වේලාවක වුනත් කෝපි කෝප්පයක් බොන්න ඔබ පුරුදුවෙලා ඉන්නව ඇති. 

හැබැයි, ඒ කෝපි කෝප්පය ඔබේ විඩාබර හිතට ගතට සැහැල්ලුවක්, ප්‍රබෝධයක් එකතු කරනව වගේම ඔබේ බර අඩු කරන්නත් උපකාරී වෙනව කියල ඔබ දැනගෙන හිටියද?  

එහෙනම්, ඔන්න අද smart lady අපි ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නෙ ඒ ගැනයි. 

බර අඩු කරන කෝපි කෝප්පයක් හදාගන්න විදිහත් ඔබට කියල දෙන්න සූදානම් නිසා මේ ලිපියෙ අවසානය වෙනකන් අපිත් එක්ක එකතු වෙන්න කියලත් ආරාධනා කරන්න අපි කැමතියි. 

2019 වර්ෂයේ කරන ලද පර්‍යේෂණ කීපයකට අනුව කෝපි වල අඩංගු කැෆේන් ශරීර බර, BMI අගය එහෙමත් නැත්නම් ශරීර ස්කන්ධ දර්ශකය සහ සිරුරේ මේදය අඩු කිරීමට වැදගත් කාර්‍යභාරයක් ඉටුකරන බව සොයාගෙන තිබෙනවා. 

මුලින්ම, අපි බලමු ඒ කොහොමද කියල?

ආහාර රුචිය අඩු කරයි

උදේ කෑම එක්ක කෝපි බීල තියෙනවද? එහෙනම් ඔබට මේ අත්දැකීම ඇති කියල අපි විශ්වාස කරනවා. 

පෝෂණවේදීන් පෙන්වා දෙන ආකාරයට කෝපි වලට අපේ ස්නායු පද්ධතිය උත්තේජනය කර කුස පිරී ඇති බව සහ තවදුරටත් ආහාර අවශ්‍ය නැති බව / බඩගිනි නොමැති බව පෙන්වීමේ හැකියාවක් තියෙන බව සඳහන් වෙනවා. 

ඒ වගේම, ප්‍රධාන ආහාර වේලකට පැය හතරකට පමණ කලින් කෝපි කෝප්පයක් පානය කිරීම ප්‍රධාන ආහාර වේලට අප ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරන්නත් හේතුවක් වෙනව කියල පෝෂණවේදීන් පෙන්වා දෙනවා. 

පරිවෘත්තීය ක්‍රියා වල වේගය වැඩි කරයි 

පර්‍යේෂකයන්ට අනුව කෝපි වලට අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා වල වේගය වැඩිකර එමඟින් මේද දහනය උත්තේජනය කිරීමේ හැකියාව තියෙන බව සොයාගෙන තිබෙනවා. 

කැෆේන් පරිභෝජනය කැලරි දහනය 80 – 150 (කැලරි) ත් අතර ප්‍රමාණයකින් වැඩිකිරීමට හේතු වෙන බව ඔවුන් සඳහන් කරන්නේ ඒ නිසයි.  

මේ මේද දහනය කිරීම සහ අඩු කැලරි ප්‍රමාණයක් ආහාරයට ගැනීමට සැලැස්වීම මඟින්, ශරීර බර අඩු කිරීමට කෝපි වල ඍජුවම බලපෑම් කිරීමේ හැකියාවක් පවතිනවා. 

මේදය දහනය කිරීමේ හැකියාව

අපේ ශරීරයේ පරි වෘ ත්තීය ක්‍රියාවල වේගය වැඩි කරල මේදය දහනය කිරීමේ හැකියාව කෝපි වලට තියෙනව කියල අපි කලින් සඳහන් කරානේ. 

ඊට අමතරව, කෝපි වල අඩංගු chlorogenic අම්ලයත් මේද පරිවෘත්තීය වැඩි කරන බව සොයාගෙන තිබෙනව කියල පරීක්ෂයකයන් පෙන්වා දී තිබෙන්නේ. 

ව්‍යායාම වලට පෙර කෝපි කෝප්පයක් පානය කිරීමෙන් ව්‍යායාම වලින් ලැබෙන ප්‍රතිලාභ වැඩි කරගන්න පුළුවන් කියලත් පරීක්ෂණ මඟින් සනාථ වෙලා තියන බවත් සඳහන් වෙනවා. 

එහෙනම්, දැන් අපි බලමු නිවැරදි ප්‍රතිඵල ලැබෙන්න හරියට කෝපි බොන්න ඕනෙ කොහොමද කියල? 

හරියටම කෝපි බොන්නෙ කොහොමද?

  • ඔබට බඩගින්නක් එහෙමත් නැත්නම් ප්‍රධාන ආහාර වේලක් අතරතුර පොඩි බඩගින්නක් දැනුනොත් කෝපි කෝප්පයක් බොන එක හොඳ විසඳුමක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ප්‍රධාන ආහාර වේලට කලින් පැය 04 ක් ඇතුළත කෝපි කෝප්පයක් පානය කිරීමෙන් ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරගන්න ඔබට පුළුවන්. 

නමුත්, නින්දට කලින් පැය 04 ක් ඇතුළත නම් කෝපි බීම පෝෂණවේදීන් අනුමත කරන්නෙ නෑ. ඊට හේතුව කෝපි ඔබව නින්දෙන් අවදි කරල තබන්න හේතුවෙන නිසයි. හරි හැටි නින්දක් නොලැබෙන රාත්‍රියකින් පසු ඔබට උදාවෙන්නෙ වෙහෙසකර දවසක් කියල ඔබ දන්නවනේ. 

  • කෝපි බීවම ඔබට වැඩි බඩගින්නක් දැනෙන්නෙ නෑ කියල කීවත්, එය හැමවිටම වාසිදායක වෙන්නෙ නෑ. මොකද, ඒ නිසා බඩගින්න වගේම තිබහත් නොදැනී තියෙන්න පුළුවන් නිසයි. 

ඒ නිසා, දිනකට ලබාගත යුතු අත්‍යාවශ්‍ය ජල ප්‍රමාණයවත් පානය කරන්න ඔබ වග බලාගත යුතුමයි. 

  • කැෆේන් 200 mg ක ප්‍රමාණයක් ව්‍යායාම වලට පෙර පානය කිරීමෙන් ව්‍යායාම වලින් ලැබෙන ප්‍රතිඵල වැඩි කරගන්න ඔබට පුළුවන්. 
  • කෝපි පානය කරන්න කලින් ඔබ බොන කෝපි පැකැට්ටුවේ සං‍යුතිය පිළිබඳ ඔබ සැළකිලිමත් විය යුතුමයි. ඒ මොකද එහි අඩංගු කැෆේන් ප්‍රමාණය බර අඩු කරන්න බලපෑම් කරනව වුනත් ඔබේ කෝපි කෝප්පයේ තිබෙන සීනි, ක්‍රීම්, පිටි බර වැඩි කරන්න හේතු වෙන්න පුළුවන් නිසයි. 

පෝෂණවේදීන් නම් සඳහන් කරන්නෙ ඔබේ කෝපි කෝප්පය රසවත් කරන්න සීනි, ක්‍රීම් හෝ කිරි පිටි / දියර කිරි යොදාගන්නවට වඩා කුරුඳු, ස්වභාවික කෝකෝවා හෝ මී පැණි යොදා ගැනීම වඩා යහපත් බවයි. 

  • ඒ වගේම එක් දිනකදී ඔබේ කැෆේන් පරිභෝජනය 400 mg ට සීමා කිරීම අත්‍යාවශ්‍ය බව ඔබ හොඳින් සිහිතබා ගත යුතුයි. 
  • කෝපි පානය කරනව වගේම, ක්ෂණික, කෘතිම වර්ණක සහ රසකාරක යෙදූ ආහාර, සෝඩා සහ පැණි බීම වර්ග ආහාර වේලට එකතු කිරීම සම්පූර්ණයෙන් නවත්වන්න හෝ සීමා කරන්නත්, සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමත්, ව්‍යායාම හා හොඳ නින්දක් ලැබීමත් අනිවාර්‍යයි කියල අපි ඔබට මතක් කරන්න කැමතියි. 

අපි ඔබට බර අඩු කරන්න හොඳ කෝපි කෝප්පයක් හදාගන්නෙ කොහොමද කියල මේ ලිපියෙන් ඔබට කියනව කියල අපි මුලින්ම සඳහන් කරානේ. 

එහෙනම් මුලින්ම බලමු ඒ සඳහා අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල? 

බර අඩු කරන කෝපි පානය 

අවශ්‍ය ද්‍රව්‍ය 

කෝපි තේ හැඳි 01 ක් 

වතුර කෝප්ප 02 ක් 

මී පැණි තේ හැඳි 01 ක් 

ලෙමන් යුෂ තේ හැඳි 02 ක් 

අඟලක කුරුඳු පොතු කැබැල්ලක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, පිරිසිදු භාජනයක් ලිපතබා එයට වතුර සහ කුරුඳු පොතු කැබැල්ල එකතු කර වතුර නටන තුරු රත්කර ගන්න. 

වතුර නටන විට එයට කෝපි කුඩු එකතු කර විනාඩියක් පමණ තබා කෝප්පයකට වතුර ටික පෙරා ගන්න. 

එයට ලෙමන් යුෂ සහ මී පැණි එකතු කර හොඳින් කලවම් කර උණුසුම්වම රස විඳින්න. 

රස වැඩි කරගන්න ඔබට අවශ්‍ය නම් වියළි ඉඟුරු සහ සාදික්කා කැබැල්ලක් එකතු කරගන්න පුළුවන්. 

අපි එකිනෙකාගේ ශරීර එකිනෙකාට වෙනස් කියල ඔබ දන්නවනේ. ඒ නිසා අපිට ඕනෑම දේකින් ලැබෙන ප්‍රතිඵල එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් වගේම අදාල ප්‍රතිඵල ලැබෙන්න ගතවෙන කාලයක් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. 

ඒ වගේම මේ ගැන ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්නත් ඔබට පුළුවන්. 

එහෙනම්, මේ වගේම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles