ඒකපාර්ශ්වික 15

මේඝාව හඳුනාගත් දිනයේ සිට පෙරදින සිදුවූ සිදුවීම දක්වා සියලු තතු අහස් විශ්මිත වෙත පැවසුවේ හිත නිදහස් කර ගන්නට ඇති දැඩි උවමනාවෙනි.

” ඒකිට කොල්ලෙක් ඉන්නවද ? ” 

විශ්මිත ඇසුවේ වතුර බෝතලය අතට ගනිමිනි. 

” මං එහෙම ලොකු විස්තරයක් දන්නේ නැහැ. එහෙම අහන්න ඊයේ පුළුවන්කමක් තිබුණෙත් නෑනේ බන් ” 

” හරි හරි උඹ ඕකට ඔච්චර කලබල වෙන්න ඕනෙ නෑ නේ. කවුද දන්නේ ඒකි උඹට නාට්ටියක් පෙන්නුවාද කියලා ? ” 

” මං හිතන් නෑ බං. හැබැයි මට හිතෙනවා ඒකි මොකක් හරි ලොකු අවුලක ඉන්නේ කියලා ” 

අහස් උන්නේ ව්‍යායාම කරන අදහසකින් නොවේ. සිත කොහේදෝ ඈතක ගොස් නතර වී ඇති බවක් ඔහුට දැනේ. 

” හැබැයි මෙහෙම එකකුත් තියෙනවා .ඔය ලියන කියන එවුන් ඇවිල්ල හැමෝගෙම දුක ඇහුවට උන්ගේ දුක අහන්න නම් කවුරුත් නෑ . ඒ හින්දා උඹ අදත් ඒකිට කෝල් එකක් දීලා පොඩ්ඩක් විස්තර අහලා බලපන් ඔන්න ඔහේ ” 

විශ්මිත හුන් තැනින් නැගිට ව්‍යායාම යන්ත්‍රයක් කරා ගියත් අහස්ට උවමනා වූයේ මදක් නැවතී කල්පනා කරන්නට පමණි. මේඝාට කෙටි පණිවිඩයක් හෝ යැවීමේ දැඩි වුවමනාවක් වුවත් අහස් එය ආයාසයෙන් මැඩ ගත්තේය. එකෙනෙහිම සාක්කුවේ තිබූ ජංගම දුරකථනය වයිබ්‍රේට් වනු අහස්ට දැනුනි.

” ගුඩ්මෝනින් අහස්. ඊයේ රෑ වෙච්ච දේට සොරි ” 

පණිවිඩය මේඝා ගෙනි.

මේඝා විසින් සමාව ඉල්ලා එවූ කෙටි පණිවිඩය දෙස අහස් බොහෝ වේලා බලා උන්නේය. ඇයට යවන පිළිතුර කුමක්දැයි සිතාගත නොහැකි වුවත් ඇයට පිළිතුරක් යැවිය යුතුම නිසා ” කොහෙද ඉන්නේ ” පමණක් කියා සටහන් කර අහස් ඇයට පිළිතුරක් යැව්වේය.

” office යන්න ලෑස්ති වෙනවා ” 

විනාඩියක් යන්නටත් මත්තෙන් මේඝා ගෙන් පිළිතුරක් ලැබුණි.

අහසට වුවමනා වූයේ ඇයව මුණගැහෙන්නටය. ඒත් එය අසන්නේ කොහොමදැයි සිතාගන්නට නොහැකිව අහස් කල්පනා කළේ ය.

අහස් කාර්‍යාලයට ඇමතුමක් ගෙන නිවාඩුවක් අනුමත කර ගත්තේ දෙවරක් නොසිතාමය. 

” මේ. උඹ කාටද කිව්වේ උඹට හොඳටම උණ කියලා ? ” 

විශ්මිත අසන්නේ මොහොතකට පෙර අහස් කාර්යාලයට ලබා ගත් දුරකථන ඇමතුම ගැනය.

” යකෝ ඉහෙන් බහින ලෙඩක් නැතුව ඉන්න උඹ හොඳටම උණ කියල කිව්ව කැත බලපංකෝ ” 

විශ්මිත පුදුමයට පත්වී ඇත්තේ තමන් ලේසියෙන් නිවාඩු ලබා නොගන්න බැව් දන්නා නිසා බව අහස් දනී

” මං අද නිවාඩු.  මට අද වැදගත් වැඩක් තියෙනවා ” 

අහස් එසේ කියා හුන් තැනින් නැගිට්ටේ බෑගයද ගෙන ය.

” උඹ ඕක ඉවර කරලා වරෙන්. මං යනවා ” 

අහස් එසේ කියා නික්මුනේ විශ්මිත පිළිතුරක් දෙන්නටත් පෙරම ය.

මේඝා කාර්‍යාලයට එන විටම ඇයට සුරවීර මහතාගෙන් හදිසි කැඳවීමක් ලැබී තිබුනි. ඇය අත්බෑගය තබා එහෙමම සුරවීර මහතාගේ කුටියට ගියාය. ඔහු උන්නේ කාර්යබහුලව නමුත් මේඝාව දුටු සැණින් ඔහු සිනාවක් පෑවේය.

” වාඩි වෙන්න මේඝා ” 

මේඝා වාඩිවූයේ ඔහුට සිනාවකින් ස්තූති කරමිනි.

” අපිට අද හදිසි මීටින් එකක් තියෙනවා. අපි පැය දෙකක් වගේ ඇතුලත ඒකට රෙඩි වෙන්න ඕනේ. “

” මොකක්ද මීටින් එක මිස්ටර් සුරවීර ? ” 

” අහස් එක්ක. එයා උදේ ගිහාන්ට ඉන්ෆෝම් කරලා තියෙනවා එයා මේ වීක් එකේම බිසී නිසා අද ඇරෙන්න වෙන දවසක් නැහැ කියලා ඩිස්කශන් එකකට. අපිට අපේ වැඩේ වීකෙන්ඩ් එකේ කර ගන්න නම් අහස් එක්ක අද ඩිස්කශන් එක තියන්නම වෙනවා ” 

මේඝා මොහොතක් කල්පනා කළාය. අහස් මෙවැන්නක් පෙර දිනයේ හෝ අද උදෑසන දී වත් කීවේ නැත. එසේ නම් ඔහුට හදිසියේම ඇති වූ මේ කාර්යබහුලකම කුමක්ද ? කෙසේ වුවත් මේ රාජකාරිය සම්පූර්ණ කල යුතුව ඇත.

” ඕකේ මිස්ටර් සුරවීර. මම රෙඩි වෙන්නම් ” 

එසේ කියා මේඝා නැගිට්ටාය. දැන් සියලු වැඩ පසෙකලා සාකච්ඡාවට අවශ්‍ය දේවල් සූදානම් කර ගත යුතුව ඇත.

අහස් Rainbow Eye වෙත එන විට උදෑසන එකොළහ පමණ විය. පිළිගැනීමේ නිලධාරිනිය විසින් මනා පෞරුෂයකින් යුතු කඩවසම් තරුණයාව පිළිගත් පසුව ඇය ඔහුව රැස්වීම් කාමරය වෙත කැඳවාගෙන ආවේ ඒ වන විටත් මේඝා හැරෙන්නට අන් සියලු දෙනා අහස් ව බලාපොරොත්තුවෙන් සිටි බැවිනි.

සුරවීර මහතා අහස්ව පිළිගත්තේය. අපූර්වා ඇතුලු අනෙක් සියලු දෙනාද අහස් සමඟ මද වේලාවක් ආගිය තොරතුරු කතා කරමින් සිටියේ අහස් Rainbow Eye වෙත පැමිණියේ වසර කිහිපයකින් නිසාය. 

” අහස් extremely sorry. අපිට තව පොඩි වෙලාවක් ඉන්න වෙනවා මේඝා එනකන්. එයාට තව ක්ලයන්ට් කෙනෙක්ගෙන් කෝල් එකක් ආවා ” 

සුරවීර මහතා කීවේය.

” No worries මිස්ටර් සුරවීර ” 

මේඝා පැමිණියේ විනාඩි 10 කටත් වඩා ගෙවුනු පසුය.ඒ ඇයට වෙනත් කටයුත්තක් සඳහා කාලය වෙන් කිරීමට සිදුවී තිබුනු නිසාය.

අහස් පුදුමයට පත් වූයේ මේඝා දුටු විටය. ඇය ඇදී ගිහිනි. හමුවූ පළවෙනි දිනයේ සිටි කෙලිලොල් තරුණිය වෙනුවට මේ සිටින්නේ සිනහව නැමති වෙස් මුහුණකින් සැරසී සිටින දුක්බර කෙනෙකි. එම විපර්යාසය සිදුවූයේ කෙසේද යන්න අහස්ට ඇතිවූ පලමු ගැටළුවයි. 

” සොරි මම ටිකක් පරක්කු උනා ” 

මේඝා කීවේ බයාදු හඬකිනි.ඇය සම්පූර්ණයෙන්ම වෙනස් ය.ඇගේ පෞරුෂය බිඳ වැටී ඇත. මේ සිදුවිය හැක්කක් නොවේ. නමුත් අහස් බලා සිටියේය. 

” එහෙනම් අපි පටන් ගමු ” 

සුරවීර මහතා සාකච්ඡාව ආරම්භ කළේය. අත්‍යවශ්‍ය කාරණාවකට හැරුණු කොට මේඝා වෙනදා මෙන් තම අදහස් ප්‍රකාශ කරන්නට ගියේ නැත. සියල්ලටම වඩා අහස් නිරීක්ෂණය කළේ ඒ නිහඬ බවය. 

සාකච්ඡාවෙන් පසු කුඩා තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබුණේ Rainbow Eye හී සාමාන්‍ය සිරිතට අනුවය. මේඝා එය මඟහැර තම අසුනට ගොස් ලැප්ටොප් එක දිග හැර ගත්තේ හුදෙකලා වීම කොයිදේටත් වඩා හොඳ බව දැන් ඇයට දැනෙන නිසාය. 

” මේඝා ” 

මේඝාගේ අසුන අසල අපූර්වා සිටියේ අහස් සමඟය. මේඝාට අසුනෙන් නැගිට්ටවුනේ අහස් දුටු විටය.

” අහස් යන්න හදන්නේ ” 

අහස් මේඝා වෙත අත දිගු කලේය.

” එහෙනම් මේඝා , saturday හම්බ වෙමු ” 

මේඝා අත දිගු කලාය.මේඝාගේ දෑතේ සීතල අහස්ට දැනුනි. ඇය සිටින්නේ හොඳින් නොවන බව තේරුම් ගැනීමට එය පමණක් ප්‍රමාණවත් විය.

” Thank you for coming අහස් ” 

මේඝා කීවාය. අහස් පිටව යන ආකාරය මේඝා බලා උන්නේ අපූර්වා සමඟය. වෙනදා නම් මෙවැනි සාකච්ඡා වලින් පසුව නිම්නාද සමඟ කතා කරන්න බොහෝ දේ තිබුනි. එහෙත් අද මේඝා නිහඬය. මෙයට හුරු වන්නට බොහෝ කල් ගත වනු ඇත. මේ සිටින මේඝා තුළින් පැරණි මේඝා මතු වන්නට තවත් කල්ප කාලයක් යනු ඇතැයි අපූර්වා සිතුවේ ශෝකයෙනි.

හවස් වරුවේ මේඝා එතරම් කාර්යබහුල නොවූයේ සති අන්තයේ පවා නිවසේ සිට වැඩ කරන නිසාය. මේඝා තමන්ගේ අසුන වෙත පෙනෙන Rainbow Eye හි ප්‍රධාන දොරටුව වෙත දෑස් යොමාගෙන උන්නේ කම්මැලිකමටය. එකවරම දොරටුව ඇරුණේ අනපේක්ෂිත මොහොතකය. ඉන් ඇතුලු වූයේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අයෙකි. 

මේඝාට තම හදවත නතර වෙන්නට යනවාක් මෙන් දැනුණි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles