තනියම ගෙදර ඉන්න වෙලාවට ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම වර්ග 03 ක්

තනියම ඉන්න වෙලාවට වැඩියෙන්ම කරන්න කැමති මොනවද ?

නිදාගන්න, සින්දු කියන්න, නටන්න, පොතක් කියවන්න, චිත්‍රපටයක් බලන්න මේ ඕනැම දෙයක් වෙන්න පුළුවන්නෙ නේද?

තනියම ගෙදර ඉන්න වෙලාවට මේ මොන දේ කරත් බඩගින්න නන් අපි කාටත් පොදුයි. 

තනියම ගෙදර ඉද්දි උයන්නත් කම්මැලි නම් ඒත් බඩගිනිත් නන් ඉක්මණින් හදාගෙන කන්න පුළුවන් කෑමක වටිනාකම වැඩියිනේ නේද?

අන්න ඒ නිසා ඔන්න අපි අද කියල දෙන්න සූදානම් වෙන්නෙ ගෙදර ඉන්න වෙලාවට ඉක්මණින් පහසුවෙන් හදාගෙන කන්න පුළුවන් රසම රස කෑම වර්ග 03 ක් ගැනයි.

බලමුද එහෙනම් මේ මොනවද කියල?

Egg fried rice

අවශ්‍ය ද්‍රව්‍ය 

පිසගත් බත් කෝප්ප 01 ක් 

සිහින්ව කපාගත් ලීක්ස් හෝ ලූණු කොළ 03 ක් 04 ක්

බිත්තර ගෙඩියක් 

ලුණු කුඩු

ගම්මිරිස් කුඩු

පොල්තෙල්

සාදාගන්නා ආකාරය

මුලින්ම කුඩා භාජනයක් ගෙන එයට බිත්තරය කඩා දමා ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන්, භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තෙල්‍ රත්වීමට තබන්න.

තෙල් රත්වූ පසු එයට බිත්තර මිශ්‍රණය දමා හැන්දකින් එහෙමෙහෙ කරමින් බිත්තරය කැබලි වලට කඩාගන්න. 

දැන් එයට පිසගත් බත් එකතු කර රස අනුව ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගෙන බත් ඇට පිපිරෙන තුරු විටින් විට හැඳිගාමින් තබාගන්න.

බත් ඇට පිපිරෙන විට එයට සිහින්ව ලියාගත් ලීක්ස් එකතු කර හොඳින් කලවම් කර විනාඩියක් පමණ තබා භාජනය ලිපෙන් ඉවත්කර ගන්න. 

ඔන්න අපි උණුසුම් egg fried rice හදාගෙන අවසන්. 

Potato nuggets

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා පොතු ඉවත්කරගෙන පොඩි කරගත් අල ගෙඩි 02 ක් 

ග්‍රේට් කරගත් චීස් මේස හැඳි 03 ක්  (අත්‍යාවශ්‍ය නැත) 

කෑලි මිරිස් 

ගම්මිරිස් කුඩු

ලුණු කුඩු 

බිස්කට් කුඩු 

පාන් පිටි / බඩ ඉරිඟු පිටි කෝප්ප ¼ ක් 

බිස්කට් කුඩු කෝප්ප 01 ¼ ක් 

වතුර කෝප්ප ¼ ක් 

ගැඹුරු තෙලේ බැඳගැනීමට අවශ්‍ය තෙල්

සාදාගන්නා ආකාරය 

මුලින්ම තරමක් විශාල භාජනයක් ගෙන එයට පොඩිකරගත් අල, චීස්, රස අනුව ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් එයටම බිස්කට් කුඩු කෝප්ප ¼ ක් එකතු කරගෙන නැවත හොඳින් කලවම් කරගන්න. (බිස්කට් කුඩු වලින් අල මිශ්‍රණයේ ඇති තෙත ගතිය උරාගනී) 

ඊළඟට වෙනම භාජනයකට පිටි, වතුර ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. (පාන් පිටි යොදාගනී නම් තරමක් උකු කැටි නොගැසුනු මිශ්‍රණයක් සාදාගත යුතුයි)

බිස්කට් කුඩුත් වෙනම භාජනයකට දමා සූදානම් කරගන්න. 

සාදාගත් අල මිශ්‍රණය කුඩා සිලින්ඩර හැඩැති කොටස් වලට සාදා වෙන් කරගෙන පසෙකින් තබාගන්න.  

තෙල් භාජනය ලිප තබා රත්වීමට තබන්න. 

තෙල් රත්වූ විට කුඩා කොටස් වලට වෙන් කරගත් අල මිශ්‍රණය, මුලින්ම සාදාගත් පිටි මිශ්‍රණයේ හොඳින් ගිල්වා දෙවනුව, බිස්කට් කුඩු තවරා තෙලට දමා රන්වන් පාට වනතුරු බැඳගන්න. 

ඔබ කැමති සෝස් වර්ගයක් හෝ මයෝනීස් සමඟ රස බලන්න potato nuggets මේ විදිහට හදාගන්න පුළුවන්. 

Air fried bread pockets

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පෙති 03 ක් 04 ක් 

ඔබ කැමති සෝස් වර්ගයක් (තක්කාලි/ පීසා/ චිලි සෝස්)

පෙති කපාගෙන බැඳගත් සොසේජස් හෝ සිහින්ව කපාගෙන බැඳගත් මීට් බෝල්ස් 03 ක් 04 ක් හෝ තම්බාගත් / කුඩාවට කපා බැඳගත් මස් හෝ මාළු කැබලි කීපයක් හෝ තම්බාගෙන කුඩාවට කපාගත් බිත්තර ගෙඩියක් 

ග්‍රේට් කරගත් චීස් මේස හැඳි 05 ක් පමණ 

ලුණු කුඩු 

ගම්මිරිස් කුඩු

බිත්තර ගෙඩියක බිත්තර සාරු 

සාදාගන්නා ආකාරය 

මුලින්ම පාන් පෙති වල වාටි ඉවත් කරගන්න. 

දැන් මැඳින් කොටුවක හැඩයට පාන් කැබැල්ල පහලට තද කරගන්න. 

තද කරගත් කොටසේ සෝස් ආලේප කර ඊට උඩින් තක්කාලි සෝස් ආලේප කර කොටසේ අඩකට චීස් සහ මස්, මාළු, සොසේජස් හෝ මීට් බෝල්ස් පිරවුම දමා ඊටත් උඩින් ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කරගන්න. 

දැන් පාන් කැබැල්ලේ දාරය දිගේ බිත්තර සාරු ආලේප කර පාන් කැබැල්ල දෙකට නමා ගෑරැප්පුවක් ආධාරයෙන් වටේ සීල් කරගන්න. 

පාන් කැබැල්ලේ උඩත් බිත්තර සාරු ආලේප කර පාන් කැබලි එක මත එක නොසිටින සේ එයා ෆ්‍රයරයේ අසුරා ගන්න. 

සෙන්ට්‍රිගේට් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 07 ක් බේක් කරගන්න. 

රසම රස bread pockets සූදානම්. 

එහෙනම් මේ කෑම වර්ග හදල බලල අපිත් එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles