ඔසප් සමයේ දී කාන්තාවන් සිර කර තබන චෞපදි චාරිත්‍රය

ලෝකය කොතරම් දියුණු වුවත් තවමත් කාන්තා ඔසප් වීම් සමාජයෙන් නොසලකා හරින බව ඔබ විශ්වාස කරනවද?

ඔව්, ලෝකය කොතරම් දියුණු වුවත් තවමත් කාන්තා ඔසප් වීම් සමාජයෙන් නොසලකා හරින බව විශ්වාස කරනවා. නේපාලයේ චෞපදි (छाउपडी) එයට හොඳම උදාහරණයක්. චෞපදි යනු “අපිරිසිදු” බව කියවෙන වචනයක්. ඔසප් කාලයේදී කාන්තාවන් සහ ගැහැණු ළමයින් සාමාන්‍ය පවුල් ක්‍රියාකාරකම්වලට සහභාගී වීම තහනම් කරන චාරිත්‍රයක් තමයි මේ චෞපදි කියන චාරිත්‍රය.

චෞපදි: කාන්තාවන්ට පනවන සීමාවන්

චෞපදි පුරුද්ද අනුව, ඔසප් කාලයේදී කාන්තාවන් හා ගැහැණු ළමයින් නිවසට ඇතුළු වීම වළක්වා, ගව මඩුවක හෝ විශේෂ පැල්පතක ජීවත් වීමට සලස්වනු ලබනවා. මෙම පුරුද්ද නේපාලයේ බටහිර ප්‍රදේශවල විශේෂයෙන්ම පැවත එන අතර, නගර වලත් පවතිනවා. නව යොවුන් වියේ ගැහැණු ළමයෙකුගේ පළමු ඔසප් චක්‍රයෙන් පටන් ගනිමින් ඔවුන් දින දාහතරක් ඔසප් පැල්පතක සිටිය යුතු බවට මේ චාරිත්‍රයෙන් කියවෙනවා. ඒ සඳහා හදපු පැල්පත් තමයි මේ චෞපදි පැල්පත් කියල කියවෙන්නෙ. පසුව සෑම මාසික කාලසීමාවකම ඒ චෞපදි පැල්පත්වල හිරවෙලා ඉන්න මේ කාන්තාවන්ට සිදු වෙනවා.

චෞපදි කාලයේදී, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට නිවස, මුළුතැන්ගෙය, පාසල් සහ පන්සල් වලට ඇතුළුවීම තහනම් කර ඇත. ඔවුන් ඔසප් පැල්පතක හෝ වෙන්වූ කාමරයක සිටිය යුතුය. එදිනෙදා ජීවිතයේ කටයුතු කිරීමද සීමා කර ඇති අතර, ඔවුන් පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීමද තහනම් කරනවා. මේ නිසා ඔවුන් මුහුණපාන සෞඛ්‍ය හා ආරක්ෂිත අවදානමුත්, මඩුවේ දුර්වල තත්ත්වයත් නිසා මේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් ජීවිතයට හානියක් වන විවිධ අවදානම් වලට නිරාවරණය වනවා.

නීතිමය තහනම් කිරීම සහ එහි ප්‍රතිඵල

නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය 2005 දී චෞපදි තහනම් කළත්, 2017 දී තමයි නීතිමයව තහනම් කරේ. එහෙත්, සම්ප්‍රදාය ගැන හිතන නේපාල ජනතාව අතර දැනුවත් කිරීම හා ප්‍රජා මට්ටමින් ක්‍රියාත්මක වන සටන් මඟින් පමණක් විතරයි මේ තුරන් කරන්න පුලුවන් කියල විස්තර වල කියවෙනවා. නීතිමය තහනමත්, ප්‍රජා ව්‍යාපෘති සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මඟින් චෞපදි පුරුද්ද බොහෝ ප්‍රදේශවලින් අවසන් කිරීමට කටයුතු කරත් තවමත් මේ පුරුද්ද ක්‍රියාත්මක වන ප්‍රදේශ නේපාලයේ නැතුවම නෙවෙයි.

සංවේදී කතන්දර

චෞපදි අනුගමනය කරන කාන්තාවන් බොහෝ සෞඛ්‍ය හා ආරක්ෂිත අවදානම්වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඔවුන් අනිවාර්යයෙන්ම ගව මඩු හෝ දුර්වල පැල්පත් තුළ කාලය ගත කළ යුතු නිසා, අධික උෂ්ණත්ව සහ අධික ශීතල කාලගුණවලට මුහුණ දීමට සිදු වෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

කාන්තාවන් ඔසප් කාලයේදී නියුමෝනියාව, පාචනය වැනි රෝගවලට ගොදුරු වන අතර, හුස්ම හිරවීම, කාබන් මොනොක්සයිඩ් විෂ වීම, සර්පයන්ගේ සහ වෙනත් සතුන්ගේ ප්‍රහාරවලට පවා ලක් වෙලා මිය ගිහින් තියෙන අවස්තා පවා අනන්ත ප්‍රමාණයක් ආරංචි මාර්ගවල සඳහන් වෙනවා.

අවුරුද්දකට මේ පැරණි චාරිත්‍රය නිසා ජීවිතය නැතිවෙන කාන්තාවන් ප්‍රමාණය නිශ්චිත නැතත් සෑම වසරකම චෞපදි චාරිත්‍රය අතරතුර තවමත් කාන්තාවන් සහ ගැහැණු ළමයින් මිය යනවා. විශේෂයෙන්ම නේපාලයේ ඈත හා මැද බටහිර ප්‍රදේශවල, මෙම පැල්පත් භාවිතයට සෘජුවම සම්බන්ධ මරණ ගණනාවක් සිදු වෙලා තියෙනවා. ඒවට හොඳට උදාහරණ වෙන්නෙ:

2010 ජනවාරි: 11 හැවිරිදි දැරියක් ඔසප් පැල්පතක තබා ගැනීමෙන් පාචනය සහ විජලනය හේතුවෙන් මිය ගියාය. ඇගේ පවුලේ අය සහ අසල්වැසියන් ඇයව රෝහලට ගෙන ඒම ප්‍රතික්ෂේප කළේ ඔවුන් ඇයව ස්පර්ශ කළහොත් ඔවුන් අපිරිසිදු වනු ඇතැයි ඔවුන් විශ්වාස කළ හන්ද

2016 අග භාගය: දුමාරය ආශ්වාස කිරීම සහ කාබන් මොනොක්සයිඩ් විෂ වීමෙන් තරුණියන් දෙදෙනෙක් මිය ගිහින් තියෙනවා

2017 මැයි: 14 හැවිරිදි ලල්සරා බිකා ඔසප් පැල්පතක ජීවත් වීමෙන් දරුණු සීතල ආශ්‍රිත රෝගාබාධයක් හේතුවෙන් මිය ගියා

2017 ජූලි: 19 හැවිරිදි තුලාසි ෂාහි, ඔසප් පැල්පතක් ලෙස භාවිතා කරන ගව මඩුවක ජීවත් වෙමින් සිටියදී “දෙවරක් ඇගේ හිසට සහ කකුලට” සර්පයෙකු දෂ්ට කිරීමෙන් මිය ගියා

2019 පෙබරවාරි: 21 හැවිරිදි පාර්වතී බෝගටි උණුසුම්ව සිටීමට ගින්නක් දැල්වීමෙන් පසු හුස්ම හිරවීමෙන් සහ දුම් ආශ්වාස කිරීමෙන් මිය ගියා

2023 අගෝස්තු: 16 හැවිරිදි අනිතා චන්ද් ඇය නිදා සිටියදී සර්ප දෂ්ටනයකින් මිය ගියා

නේපාලයේ චෞපදි පුරුද්දට සමානම, අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල කාන්තා ඔසප් කාලයේදී පවතින සම්ප්‍රදායන් පවතී. වාරිස් ඩයරි ගේ “කාන්තාරයේ කුසුම” පොතේ මෙම සම්ප්‍රදායන් පිළිබඳ විස්තර කෙරෙන බව පොත කියවපු ඔබට නම් හොඳටම මතක ඇති.

චෞපදි පුරුද්ද, කාන්තාවන්ට නිසි සනීපාරක්ෂාව සහ ආරක්ෂාව නොමැතිව ඔවුන්ගේ ඔසප් කාලයේදී විශාල අනතුරුවලට මුහුණ දීමට සිදුවීම අපේ හිත් සසල කරන්න හේතුවන කාරණාවක් බව අමුතුවෙන් කියන්න උවමනා නෑ.

පසුගිය කාලයක අපි කතාකරා “කඩෙන් අරගන්න සැනිටරි පෑඩ් පැකට් එක බෑග්වල් හංගන් එන්න ඕන නැති” බව. ඒ වගේම සමාජ මාධ්‍ය වල සහ රූපවාහිනියේ පවා ඉතාම විවෘතව ලාංකේය කාන්තාවන්ගේ ඔසප් ගැටලු වගේම සැනිටරි පෑඩ්ස් ගැන කතා කරන යුගයක ලෝකෙ තවත් රටවල මේ වගේ ගෝත්‍රික චාරිත්‍ර තවමත් ක්‍රියාත්මක වෙනවා කියන එක අහන්න ලැබෙන එකත් පුදුමයක් නේද?

 නේපාලයේ මේ පුරුද්ද, කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන අධර්ම ක්‍රියාවක් ලෙස නොසලකා හරින්න අපිට බෑ. මොන දේ උනත් එහෙම බලද්දි අපි ජීවත්වෙන්නෙ ඇත්තටම යහපත් රටක.

ඉතින් අපි ප්‍රාර්තනා කරමු, යුරෝපීය රටවල්වල වගේ ඉතාම විවෘතව මේ වගේ ගැටලු කතා කරන මට්ටමකට තාම ලංකාව ඇවිල්ල නැතත්, ලංකාව තියෙන තැනට එන්න හරි මේ නේපාලයේ චෞපදි කුටිවල දුක්විඳින කාන්තාවට ඉඩ ලැබෙන්න කියලා.

ඔසප් කාලයේදි ශරීරයට දැනෙන අපහසුව අමුතුවෙන් කාන්තාවන් වන අපිට මතක් කර දිය යුතු නෑ. ඉතින් නේපාලයේ උනත් ලංකාවෙ උනත් “මාසෙකට වතාවක් ගැහැණුන් විදින ඒ අපහසු කාල සීමාව” මේ වගේ ගෝත්‍රික චාරිත්‍ර නිසා සමච්චලයට ලක් කරන්නත් අපිට බැහැ.

Related Articles

Don't Miss


Latest Articles