අවංක දරුවෝ

“සියුමි නම් කිසිම ලැජ්ජාවක් නැතුව එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ගෙ ෆොටෝ දානවා නේද ෆේස්බුක් එකේ?”

කුමාරි අම්මගෙ දානෙ වැඩ ඉවරවෙච්ච වෙලේ සමච්චලේට හිනාවෙන ගමන් ඕක කිව්වෙ සියුමිගෙ අම්මා වෙච්ච ධම්මිකාගෙ මූණ බලන ගමන්.

කුමාරි කියන්නෙ ධම්මිකාගෙ නෑනා. ධම්මිකා කසාද බැඳල ඉන්නෙ කුමාරිගෙ අයියව. ධම්මිකාගෙ දරුව තමයි සියුමි. කුමාරිට ඉන්නෙත් දුවෙක්, එයාගෙ නම චේතනා.චේතනා සියුමිට වඩා අවුරුදු කීපයක් බාලයි. සියුමි දැන් ඉන්නෙ කැම්පස් එකෙන් අවුට් වෙලා ඉන්ටර්න්ශිප් එකකට යන ගමන්.

පුංචි කාලෙ ඉඳල හොඳට ඉගෙන ගත්ත හන්දයි ලස්සන හන්දයි කුමාරි කොහොමත් හැමතිස්සෙම බැලුවෙ සියුමිට රිද්දන්න. ඒක කරන්න පුලුවන් හොඳම විදිය ධම්මිකාට රිද්දන එක කියල කුමාරි දන්න හන්දා තමා මේ ඔක්කොම.

“මොකටද ඉතින් ලැජ්ජ වෙන්නෙ එහෙම දාන්න?” කියල කුමාරිගෙ කතාවට උත්තර දීගෙන ආවෙ කුමාරිගෙ මල්ලිගෙ නෝන වෙච්ච ප්‍රවීණා. ප්‍රවීණා කොහොමත් අනිත් ගෑණු දෙන්නටම වඩා ලෝකෙ ගැන අප්ඩේටඩ්. හිතන විදියත් වෙනස්. පුංචි අම්මා කෙනෙක් උනාට සියුමිල එක්කත් එකතුයි යාලුවෙක් වගේ.

“නෑ ඉතින් ඕව කෙරෙන ඒවමද කියල කොහොමද කියන්නෙ? අන්තිමේ ඔය සම්බන්ධකම් කැඩිලා ගිය දවසට වෙන්නෙ වෙන කසාදයක්වත් කරගන්න බැරි එක. මොන කොල්ලද කැමති ඉතින් තමන් කසාද බඳින ගෑණි ඔහොම ෆේස්බුක් එකේ වෙන කොල්ලො එක්ක පින්තූර දාලා තියෙනවට?” කුමාරිගෙ තියෙන කුඩුකේඩු ගතිය මූණෙනුයි වචන වලිනුයිත් පෙනුනට මොකෝ මේව මේ තරහ අරන් උත්තර දෙන්න බැරි ප්‍රශ්න බව දන්න හන්දම තමා ප්‍රවීණා ඇස් දෙකෙන් ධම්මිකාට කිව්වෙ “ගණන් ගන්න එපා” කියල.

ධම්මිකාට ඉතින් ඕව නුපුරුදු කතා නෙවෙයි. කම්මලේ බල්ල වගේ ධම්මිකා දැන් ඕව නෑහුනා වගේමයි ඉන්නෙ.

“අනේ අක්කා දැන් ඉන්න හැම කොල්ලටම කෙල්ලටම වගේ කසාද බඳින්න කලින් සම්බන්ධයක් දෙයක් තියෙනවමයි. ඕව මේ දැන් කාලෙ හරි සාමාන්‍ය දේවල් නෙ. මම නම් කියන්නෙ ඕව මේ ඔච්චර හිතන්න කාරණා නෙවෙයි. ඕනවට වඩා තහංචි දාන්න ගියාම තමයි ළමයි හැමදේම හොරෙන් කරන්නෙ.

මම නම් කියන්නෙ සියුමිට ශුවර් නිසානෙ එයා ඔය බෝයිගෙ ෆොටෝ ෆේස්බුක් එකේ දාන්නෙ. ඒකෙන් මට නම් පේන්නෙ ඒ ළමයගෙ තියෙන අවංක කම. දැන් කාලෙ ඉන්න සමහර කෙල්ලො කරන්න ගමේ එක කොල්ලයි, කැම්පස් එකේ තව එකයි, ඔෆිස් එකේ තව එකයි රන් කරල අන්තිමේ වෙනම කෙනෙක් බඳින එකනෙ.

හැම කෙල්ලම වගේ දැන් තමන්ගෙ බෝයිගෙ ෆොටෝ දාන එකේ ඕව මේ ලැජ්ජ වෙන්න කාරණා නම් නෙවෙයි මම කියන්නෙ”

“අපෝ අපෝ ඕව ලැජ්ජ නැතුව ඇති එහෙම ලැජ්ජ නැති වැඩ කරපු ගෑණුන්ට. මම නම් අපේ චේතනාට පොඩි කාලෙ ඉඳලම කියල දීල තියෙන්නෙ අපි හොයල දෙනකම් මිසක් හදිස්සි වෙන්න එපා කියල. දරුවන්ට හොඳම දේ මොනවද කියල දන්නෙ දෙමව්පියො.

ඒ උනාට ඉතින් දැන් ඉන්න සමහර අම්මලට නම් ඉතින් දරුවො මොන වනචර වැඩේ කරත් ගාණක් නෑනෙ” කියල කුමාරි කරේ ධම්මිකා දිහා බලපු එක.

“තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක පින්තූරයක් දාන එකනම් ඉතින් වනචර වැඩක් නෙවෙයි. අනික දැන් චේතනත් කැම්පස් නෙ. අක්කා හිතන්නෙ චේතනාට කොල්ලෙක් නෑ කියල ද?” ප්‍රවීණා ඇහුවේ කුමාරි ධම්මිකා දිහාට පා කල සමච්චල් හිනාව ආයෙම වතාවක් කුමාරි දිහාවට පා කරන ගමන්.

“අපෝ ඔව් මම දන්නව චේතනාට කොල්ලෙක් නෑ කියල. ඒ ළමය කැම්පස් එකෙන් එලියට යන්නෙ ෆීල්ඩ් විසිට් වලට එහෙම යන්න විතරනෙ. ඒවටයි ලෙක්චර්ස් වලටයි යනව ඇරෙන්න ඔය මේ කොල්ලො එක්ක නටන්න වෙලාවක් ඒ ලමයට නෑ.

අපි අපේ ලමයි හදල තියෙන්නෙ වැදගත් විදියට. අනික චේතනා මාට හැමදේම කියල මගෙන් අහල තමා කරන්නෙ”

“අක්කෙ ළමේක්ගෙ වැදගත්කම මේ කොල්ලගෙ ෆොටෝ එකක් ෆේස්බුක් දැම්ම කියල නම් නැතිවෙන්නෙ නෑ. හැබැයි අක්ක මෙන්න මේක හොඳට මතක තියාගන්න. සියුමි කේශාන් එක්ක යාලුවෙච්ච ගමන්ම වගේ ඇවිල්ල ධම්මිකා අක්කටයි අයියටයි කිව්ව කෙල්ලෙක්. කවදහරි ඒ සම්බන්ධෙ කැඩුණත් සියුමි ඒ කතාවක් හංගන්නෙ නැතුව අපිට වගේම එයා ඊලඟට යාලුවෙන හරි බඳින හරි පිරිමි ළමයට කියන බවත් අපි දන්නවා.

හැබැයි ඕනවට වඩා තමන්ගෙ දරුවො උනත් තමන්ට හැමදේම කියනව කියල නම් හිතාගෙන ඉන්න එපා අක්කෙ. මොකෝ තරුණ වයසෙ දරුවො තමන්ගෙ ජීවිතේ වෙන හැමදේම අම්මල එක්ක කියන රටක නෙවෙයි අපි ජීවත් වෙන්නෙ.

ඒ නිසා ඕනවට වඩා දරුවන්ට උනත් තහංචි දාන්නයි, උන් තමන්ට හැමදේම කියාවි කියලයි නම් බලාපොරොත්තු වෙන්න එපා අක්කෙ.

අන්තිමේ අක්කට හිත රිද්දගන්න වෙන්නෙ හිතාගන්න බැරිවිදියට” කියල ප්‍රවීණා එතනින් ගියා. ධම්මිකා නම් වෙනදා වගේම කිසි සද්දයක් නැතුව ඉතිරිවෙච්ච බත් ටික පාර්සල් කරන්න ගනිද්දි කුමාරි එතනින් ලිස්සල ගියේ ඇත්තටම තමන් චේතනාල කියන ඒව ඕනවට වඩා විශ්වාස කරන එක වැරදිද කියල හිතන ගමන්.

More Stories

Don't Miss


Latest Articles