ඒකපාර්ශ්වික – 37

” උඹට මේඝා ව ඕනේ නම් ඇයි උඹ ගිහින් ඒකිත් එක්ක කතා කරන්නේ නැත්තේ මේ ගැන ? ” 

මේඝා නිම්නාදව බැලීමට රෝහලට ගිය බව අහස් දැන ගත්තේ මේඝා ගෙන්මය.ඇය සිටින්නේ තීරණයක් ගත නොහැකි තැනක බව සිතමින් අහස් තැවුනේය. නමුත් විශ්මිතට වුවමනා වූයේ අහස්ගේ සිතැඟි මේඝා වෙත කියන්නටමය. අහස් එයට ඉඩ නොතැබුවේ දුර දිග සිතමිනි. 

” ඕනෙම මනුස්සයෙකුට හිතේ පරණ තුවාල තියාගෙන තව මනුස්සයෙකුට ආදරේ කරන්න හිතන්න බෑ බං . මට එයා ඉන්න තත්ත්වෙ හොඳටම තේරෙනවා. ඒකයි මම සද්ද නොකර ඉන්නේ ” 

අහස් මේඝා පිළිබඳව ඕනෑවටත් වඩා සිතන බව සිතන්නට විශ්මිතට ඊටත් වඩා කරුණු උවමනා වූයේ නැත. 

” හරි දැන් උඹ ඔහොම සද්ද නොකර ඉන්නකොට ඒකි අරූට සමාව දීලා ආපහු සෙට් උනොත් උඹ මොකද කරන්නේ? ” 

විශ්මිත අනෙක් අතට ඇසුවේය. තම මිතුරාට යළිත් සිත් වේදනාවකට මුහුණ දීමට සිදුවීම බලා සිටිය නොහැක.

” එහෙම වෙන්නේ නැහැ ” 

” උඹ කොහොමද එහෙම කියන්නේ ? දැන් ඌ ඇක්සිඩන්ට් වෙලා ඉන්න වෙලාවේ මේඝාට හිතුනොත් එහෙම ඌට සමාව දීලා ඌව බලා කියාගෙන ඉන්න ? ” 

” මේඝා කවදාවත් එයාට සමාව දෙන්නේ නෑ ” 

” උඹට ශුවර්ද ? ” 

” ඔව්. එහෙනම් මේඝා එදා රෑ නිම්නාද ආපු වෙලාවෙම එයාට සමාව දෙනවා. ඒත් මේඝා කලේ එයාව හරවලා ආපහු යවපු එක. ඒ වෙලාවේ තමයි ඔය ඇක්සිඩන්ට් එකත් වෙලා තියෙන්නේ ” 

මේඝා නිම්නාද හට සමාව නොදෙන බවට තමා තුළ විශ්වාසයක් තිබුණත් ඇය තමාට ආදරය කිරීමට පෙළඹෙතැයි අහස් තුළ එතරම් ලොකු විශ්වාසයක් තිබුණේ නැත. මේඝා මේ වන විට ඒ තරම්ම බිඳී තිබෙන බව අහස් තේරුම් ගෙන සිටියේය. ඇගේ සිත යළි යථා තත්ත්වයට පත් කිරීමට පහසු වන්නේ ද නැත. 

නිම්නාදව සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරුණේ තවත් සතියකට පමණ පසුවය. ඔහුගේ එක් පාදයක අස්ථි බිඳීමක් සිදුව තිබූ නිසා ඔහු තවදුරටත් විවේක ගත යුතු බව වෛද්‍යවරු තීරණය කර තිබුණි. මේඝා නිම්නාදව බැලීම සඳහා රෝහලට ගියේ තවත් එකම එක වතාවක් පමණක් වූ අතර ඔවුන් අතර වචන කිහිපයකට වඩා හුවමාරු වූයේ නැත. 

මේඝා සාමාන්‍ය පරිදි රැකියා කටයුතුවල නිරත වූ අතර අහස් ඇයට ඇමතුමක් හෝ දුන්නේද ඉඳ හිටය. මේඝාට තම සිත සුවපත් කර ගැනීම සඳහා කාලය සහ නිදහස ලබාදිය යුතු බව ඔහු සිතුවේය . නමුත් මේඝා අහස්ට කෙටි පණිවිඩයක් හෝ තබන්නට අමතක කළේ නැත. 

නිම්නාදට රෝහලෙන් පිටවීමට අවසර ලැබුණේ සති තුනකට පසුවය. ඔහු ටික කාලයකට උපන් ගමට යාමට තීරණය කර තිබුණත් ඊට පෙර දින කිහිපයක් මිතුරෙකුගේ නිවසේ නැවතී සිටීමට තීරණය කර තිබුණි. 

” මේඝා. නිම්නාද ඇවිත් ” 

මේඝා උන්නේ ඉතාම කාර්යබහුල මොහොතකය. අපූර්වා නිම්නාද පැමිණි පණිවිඩය රැගෙන ආවේ ඇයගේ ප්‍රතිචාරය කුමක් වේදැයි සිතමිනි.

” ඒ මොකටද ? ” 

” ඔයාව මීට් වෙන්න කියලා කිව්වේ. ලොබි එකේ ඉන්නවා ” 

අපූර්වා පිළිතුරු දුන්නාය. මේඝා හෙමින් සීරුවේ නැගිට ලොබිය වෙත ඇදුනේ සිතුවිල්ලේ ය. නිම්නාද පැමිණ උන්නේ මිතුරෙකු සමගිනි. ඒ වන විටත් ඔහුගේ පාදයක් වෙළුම් පටිවලින් වෙලා තිබුණු අතර නිම්නාද වාඩිවී සිටි ආසනයට නුදුරින් කිහිලිකරු දෙකක් දක්නට ලැබීම මේඝා ගේ සිත වේදනාවට පත් කරවීය. 

” මේඝා ” 

” ඇයි ඔෆිස් එකට ආවේ ? ” 

” මං ඔයාව හම්බ වෙන්න ආවේ . ඔයා මේ වෙලාවේ ඔෆිස් එකේ කියලා දන්න නිසා ” 

” මට කෝල් එකක් දෙන්න තිබුණනේ. පර්සනල් දේවල් වලට ඔෆිස් එකේ ටයිම් වේස්ට් කරන එක හොඳ නැහැනේ නිම්නාද ” 

මේඝා උන්නේ වෙනස් වී බව නිම්නාද වටහා ගත්තේ ඒ වචන කිහිපය නිසාය. එහෙත් ඒ පිළිබඳව කිසිවක් කීමට තමාට දැන් අයිතියක් නොමැත. ඒ අයිතිය අහිමි කර ගත්තේ ද තමාගේම වරදිනි. 

” මට ඔයා එක්ක කතා කරන්න පුලුවන්ද ? ” 

” ඉක්මනට කියන්න නිම්නාද. මං අද ටිකක් බිසී දවසක් ” 

” එහෙනම් ඔයාට මාව හම්බ වෙලා කතා කරන්න පුළුවන්ද? ” 

නිම්නාද ඇසුවේ ආයාචනාත්මකවය. නමුත් මේඝා උන්නේ ආයාසයෙන්ම තම සිතුවිලි පාලනය කර ගනිමිනි. 

” මෙහෙම කියන්න. කෙටියෙන් ” 

මේඝා පිළිතුරු දුන්නේ සිත් පිත් නැත්තියක ලෙසිනි. මේ මේඝාගේ සැබෑ චරිතය නොවන බව නිම්නාද දැන සිටියත් ඔහු සිටියේ ඒ සඳහාවත් කිසිවක් කියා ගත නොහැකි තත්ත්වයකය. 

” මේඝා ප්ලීස් මට මෙහෙම කරන්න එපා ” 

” මං ඔයාට මොනවද කළේ නිම්නාද ? ” 

” ඔයා හවස ගෙදර ඉන්නවනම් මම එන්නද ? මට ඇත්තටම ඔයාට කතා කරන්න ඕනේ ” 

” එහෙම නිදහසේ කතා කරන්න තරම් දෙයක් අපිට දැන් ඉතුරු වෙලා නෑ ” 

මේඝා ඉවත බලා ගත්තාය. නිම්නාද කාර්යාලයට පැමිණ මෙසේ තමා සමග කතා කිරීමට උත්සාහ කිරීම ගැන ඇගේ සිත තුළ පැන නගිමින් තිබුණේ අපැහැදීමකි. 

” ඔයාට බැරිද ඇත්තටම මට සමාව දෙන්න ? ” 

” මොනවටද ? ඔයා කියන්නේ ඔයා මට කරපු කොයි දේට සමාව දෙන්න කියලද ? මොකද ඔයා මට ගොඩක් දේවල් කරා නේ? ඔයා කියන්නේ ඔයා මාව රවට්ටපු එකට සමාව දෙන්න කියලද ? එහෙම නැත්තං මට පෙනි පෙනි වර්ෂට ආදරේ කරපු එකට සමාව දෙන්න කියලද ? එහෙමත් නැත්තම් … ” 

මේඝා කියන්නට ගිය දේ ගිල ගත්තාය. 

” ඔයා මාත් එක්ක තරහින්ද මේඝා ? ” 

එවර මේඝා සෘජුවම නිම්නාද දෙස බැලුවාය. නිම්නාදට ඒ බැල්ම දරා ගත නොහැකි වූයේ කෙදිනක වත් ඇය ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවූ නිසාය. 

” ඔයා ගොඩක් වෙනස් වෙලා. ඔයා ඉස්සර මෙහෙම නැහැ මේඝා ” 

” මම වෙනස් උනාද , ඔයා මාව වෙනස් කළාද කියලා ඔයාම හිතලා බලන්න නිම්නාද ” 

” දැන් ඒ දේවල් අමතක කරලා මට සමාව දෙන්න බැරිද ? ” 

නිම්නාද යළිත් ඇසුවේය.

” හරි දැන් ඔයාට සමාව දීලා මං මොකක්ද කරන්න ඕනේ ඊට පස්සේ ? ” 

මේඝා ඇසුවේ ඇසිය යුතුම දෙයකි. තමාගෙන් පලක් නැති බව පවසා වර්ෂා කෙරෙහි බැඳුනු  නිම්නාද දැන් පැමිණ සමාව ඉල්ලා බලාපොරොත්තු වන්නේ කුමක්ද ? 

” අපිට බැරිද ඉස්සර වගේ ඉන්න ? ” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles