නිම්නාද නිසා මුහුණ දීමට සිදුවූ සිදුවීම දින ගණනාවක් යනතුරු සිතෙන් ඉවත් කර ගැනීමට මේඝා ට හැකි වූයේ නැත. සුපුරුදු පරිදි කාර්යාලයට ගොස් රැකියා කටයුතුවල නියැලීමට සිදු වූවද මේඝා පසු වූයේ කම්පනයෙනි. ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් අහස් බලා සිටියද එය වේදනාවක් පමණක් බව අහස් අත්දකිමින් උන්නේය. නමුත් පසුගිය දිනවල නිම්නාදගේ හැසිරීම නිසා මේඝා ඉන්නා තත්ත්වය තමා වෙත අමුතුවෙන් පැහැදිලි කිරීමට උවමනා නොවන නිසා අහස් බලාපොරොත්තු අත හරින්නට සූදානමින් සිටියේය. ඒ මේඝා කෙරෙහි හිතේ පැළපදියම් වී තිබූ ආදරය රැක ගැනීමට තමාගේ සිතට ම පොරොන්දු දෙමිනි.
” උඹට ඔය විදියට හිතේ කරදරෙන් ගිහිල්ලා ඔය වැඩේ කරගන්න පුලුවන්ද ?”
අහස් උන්නේ ජාත්‍යන්තර නිරූපණ තරඟයට සහභාගී වීම සඳහා විදෙස් ගත වීමේ සූදානමිනි. එහෙත් ඔහු පසු වූයේ හිතේ සතුටින් නොවේ. එය හොඳින්ම හඳුනාගෙන සිටියේ විශ්මිත පමණි.
” මට තේරෙන්නේ නෑ බං “
උඹ හදන්නේ ඔක්කොම වැඩ අනා ගන්න අහස්.කොහෙද ඉතින් උඹ මට මේ වැඩේට අත ගහන්න දෙන්නෙම නැහැනේ “
” කාගෙවත් හිතක එහෙම ආදරයක් බලෙන් ඇති කරවන්න පුළුවන්ද? “
අහස් සූදානම් කර තිබූ ඇඳුම් එකින් එක පිළිවෙලට නවා ඇඳ මත තැබුවේය. මේ ගමන මේඝා ගේ ආදරය සහ ආශිර්වාදය ඇතිව ගිහින් ඒමට තිබුණා නම් හොඳය. නමුත් තමා ඒ තරම් වාසනාවන්ත වූයේ නැත. විදෙස් ගත වන්නේ සති කිහිපයකට වුවත් ඒ කාලය තුළ මේඝාව නොදැක හිඳීම පවා මොන තරම් අසීරු වේදැයි අහස් හට සිතා ගැනීමටවත් නොහැකි විය.
” අහස් හෙට යනවලු නේද ? මම ෆේස්බුක් එකේ දැක්කා ”
නිකිනි ඇසුවේ මේඝා සකස් කර දුන් කෝපි එක රස විඳින අතරේය. පසුගිය දිනවල සිදු වූ දේවල් නිසා හැකි සෑම අවස්ථාවකම මේඝාව තනි නොකර හිඳීමට ධනුක සහ නිකිනි වග බලා ගත්හ. තමා ඇසූ පැනයට පිළිතුරක් නොදී මේඝා ඔහේ බලා හිඳීම එතරම් හොඳ නොවන බව නිකිනි තේරුම් ගත්තේ ඒ අතරේය.
” මේඝා ඔයා හොඳින්ද ? ”
මේඝා තිගැස්සී හැරී නිකිනි දෙස බැලුවේ ඒ මොහොතේය.සිත තිබුණේ කොහේදෝ ඈතකය.
” මොකක්ද ඇහුවේ ? ”
” අහස් හෙට යනවලු නේද ? ”
නිකිනි ආයෙම ඇසුවාය. පිටට නොපෙන්වන කුමක් හෝ දෙයක් මේඝා ගේ සිත තුළ පෙරළි කරන බව නිකිනිට නොතේරුනා නොවේ.
” හ්ම්ම් ”
මේඝා එපමණකින් පමණක් පිළිතුරු දුන්නා ය.
” ඔයා තාම ඉන්නේ එදා වෙච්ච සිද්ධිය නිසා අවුලෙන්ද ? නැත්තම් ඔයා අපිට නොකියන ප්‍රශ්නෙ මොකද්ද මේඝා ? ”
මේඝා නිහඬව උන්නාය. ජීවිතයේ සෑම දෙයක්ම බෙදා ගත් මිතුරිය සමග මේ මොහොතේ හදවතට දැනෙන හැඟීම බෙදා ගත යුතුය. එහෙත් එය ආරම්භ කළ යුත්තේ කොතනින් දැයි මේඝා ට වැටහෙන්නේ නැත.
” ඔයා අහස්ට කැමති නම් ඇයි ඒක කියන්නෙ නැත්තේ මේඝා ? ”
නිකිනි ඇසුවේ එකවරමය. මේඝා ඇය දෙස බැලුවේ පුදුමයෙනි. තමා වදනක් හෝ පිට කරන්නට පෙර තමා ගේ හොඳම මිතුරිය තමාගේ සිත කියවා ඇත.
” නිකී ? ”
” මට තේරෙන්නේ නෑ කියලා හිතුවද ? අහස් ඔයාට කැමතියි කියලා මම දැන ගත්තේ එයා ඔයාව හොස්පිට්ල් ගෙනිච්ච දවසේ. අනික, ඔයා වෙනුවෙන් මොකුත්ම නොකරපු නිම්නාද වගේ මිනිහෙක් නිසා ඔයා වෙනුවෙන් මෙච්චර දේවල් කරපු කෙනෙක්ව අත ඇර ගන්න ඔයාට පුළුවන්ද ? “
මේඝා උන්නේ නිරුත්තර වීය. තීරණයක් ගත යුත්තේ තමා ය. එහෙත් එය ගැනීමට නොහැකිව සිටින්නේද තමා මය. නිකිනි එතනින් එහා කිසිවක් ඇසුයේ නැත. මේඝා සිටින තත්ත්වය අනුව ඇගේ සිතට තවත් පීඩනයක් ලබා දීම නොකළ යුතු බව නිකිනි සිතුවාය.
මේඝා පසුදින උදෑසන කාර්යාලයට ගියේද දෙගිඩියාවෙනි. වැඩක නිරත වීමට තරම් මනස සැහැල්ලු තත්ත්වයක නොපැවතුනු නිසා මේඝා තම අසුනට වී ඔහේ කාලය ගත කළාය. නිම්නාද කළ කී දෑ සුව නොවන තුවාල ලෙස මනසේ දැඩි ලෙස තැන්පත් වී ඇතත් තමාට ජීවිත කාලයම එම තුවාල සමග ගත කළ නොහැක.
” මගෙ මේඝා ව බලා ගන්න අහස් “
එදා නිම්නාද අහස්ට කී අයුරුත් අහස් වචනයක්වත් නොකියා තමාව කැටුව ගිය අයුරුත් මේඝා ට සිහි විය. ජීවිතය සමඟ ඒ තරම් සෙල්ලමක් කළ නිම්නාදට වුවත් අහස් තමා වෙත ආදරය කරන ආකාරය දැනුනු හැටි මේඝා සිතුවාය.
” මේඝා .. විසිටර් කෙනෙක් ඔයාට. ලොබි එකේ”
අපූර්වා කොහේදෝ යන අතරේ මේඝා ට ඇසෙන සේ කියා ගෙන ගියාය. මේඝා අසුනින් නැගිට ආවේ මේ වෙලාවේ තමාව මුණ ගැසීමට පැමිණියේ කවුරුන්දැයි සිතමිනි.
” හායි මේඝා ”
තරුණයෙකු මේඝාව දැක අසුනෙන් නැගිට අතට අත දුන්නේය.
” හායි. මම ඔයාව දන්නවද ? ”
තමාව මුණගැසීමට පැමිණ සිටින්නේ කවුරුන්දැයි හඳුනා ගැනීමට මේඝා ට එකවරම හැකි වූයේ නැත. එහෙත් එම තරුණයාගේ මුහුණේ වූයේ තමාව හොඳින් හඳුනන බවකි.
” මම විශ්මිත ”
විශ්මිත යනු අහස් ගේ හොඳම මිතුරාය.මේඝා ඔහුට නැවත අසුන් ගැනීමට ආරාධනා කලේ ඉන් පසුවය.
” සොරි විශ්මිත. අපි මීට කලින් හම්බ වෙලා නෑ නේ ”
ඡායාරූප වලින් දැක තිබුණාටත් වඩා මේඝා මොනතරම් සුන්දර තරුණියක දැයි විශ්මිත සිතුවේය. අහස් ගේ හිත ඒ තරම් නොසන්සුන් වීම ගැන පුදුමයක් නැත. මේඝා ගේ හැසිරීම සහ කතා බහ අනුව ඇය කුමන ආකාරයේ තරුණියක් දැයි කිව හැක.
” ඒකට කමක් නෑ. මම ආවෙ වෙන වැඩකට යන ගමන් ඔයාව හම්බ වෙලා යන්න ”
විශ්මිත කෙලින්ම තමා පැමිණි කාරණාව කීවේය.
” මොකක් හරි හදිස්සියක්ද ? ”
විශ්මිත කියන්නට සූදානම් වන්නේ අහස් සම්බන්ධ කාරණාවක් බව දැන දැනම මේඝා ඇසුවාය.
” මං මේ වගේ කතා කරන්න එන්න නෙමෙයි හිටියේ. ඒත් අහස් එයා යන්න හදන ගමන අප්සට් එකේ යන එක බලාගෙන ඉන්න බැරි තැනයි මං ආවේ මේඝා . මම හිතනවා ඔයා මේක තේරුම් ගනියි කියලා. අනික , මං ආපු බවක් අහස් දන්නේ නෑ . මම මේ ආවේ ඌව එයාපෝට් එකට ගෙනියන්න කලින් ”
විශ්මිත කියාගෙන ගියේය. මේඝා සාවදානව අසා උන්නාය. එසේ නම් අහස් තව මොහොතකින් මෙරටින් පිටවනු ඇත.
” අහස් කියන්නේ ලේසියකට කෙල්ලෙක් ගැන හිතන කෙනෙක් නෙමෙයි මේඝා. මොකක් හරි හේතුවක් නිසා ඌ ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේක ඌ ආවාට ගියාට ගත්ත තීරණයක් නෙමෙයි. ඔයා වගේ තනියම ඉන්න කෙල්ලෙක් ගෙන් ප්‍රයෝජන ගන්න හිතා ගෙන ගත්ත තීරණයකුත් නෙමෙයි. මං හිතනවා ඔයාට මම කියන දේ තේරෙනවා ඇති කියලා. එයා ගොඩක් වෙලාවට හිතුවේ ඔයාගේ පරණ ජීවිතෙන් ඔයාව එළියට ගන්නේ කොහොමද කියලා . ඔයාට ඇත්තටම ඒ ජීවිතෙන් එළියට එන්න ඕනේ නම් ඔයාට මීට වඩා හොඳ අවස්ථාවක් නෑ මේඝා ”
විශ්මිත කතාව නතර කළේය. තේරුම් ගන්නවා නම් මේඝා ට තමා මේ කී දේවල් හොඳටම ප්රමාණවත්ය. එහෙත් මේඝා තවමත් උන්නේ නිහඬවමය.
” ජීවිත කාලෙම පසුතැවෙන්න ඕනෙද මේඝා ? “
විශ්මිත එසේ ඇසුවේ මේඝා දෙස එක එල්ලේම බලා ගෙනය. ඉතින් මේඝාට එයට පිළිතුරු නොදී බැරි විය.
” නෑ ”
” ඔයාගේ සතුට ගැන ඌ හිතපු තරම් දන්නවද? ඔයා රිකවර් වෙන්න ඕන කියලා ඌ කරන්න හිතපු ඒත් කර ගන්න බැරි උන දේවල් දන්නවද ? අඩුම ගානෙ ඔයාට මතකද අර නිම්නාද එව්වා කියලා ඔයා හිතපු, නමක් ගමක් නැතුව මේ ඔෆිස් එකට ආපු ෆ්ලවර් බොකේ එක ? ”
ReplyForwardAdd reaction |