නුඹ තරම් ප්‍රේමයක් – 11

එකොලොස් වෙනි නෙත් සේයාව

චත්‍ර ඇහැරුනේ සිහිනි කලබලයෙන් කාමරයට ආ හඬිනි.  ඔහු උන්නේද අඩ නින්දකය. සිහිනිගෙ බියපත් මුහුන සියල්ල වටහා ගන්නට තරම් ප්‍රමාණවත් විය. චත්‍ර ඇඳෙන් පැන්නේය. කමිසයක් ගත ලා ගන්නටද අමතක විය. සිහිනිව පසෙකට කරමින් කාමරයෙන් පිටතට පැන්නේය.

චත්‍ර පඩි පෙළ බැස්සාට වඩා කලේ පඩි අතැරමින් පැනීමය. අවසාන පඩි කිහිපයෙන් පසු අත් වාරුව අල්ලාගෙන නැවතුනේය. අවිශ්ක, ඔහු උන්නේ පියාට ඉදිරියෙන් වන අසුනක බව ඔහු ක්ෂණයෙන් හඳුනාගත්තේය. අවිශ්කගේ වත පුරා වුයේ වෙහෙසකි. අම්මා  අසල බිත්තිය අසල හිටගෙන උන්නාය.

අවිශ්ක චත්‍රව දුටුවේය. ඊලඟ තත්පරයේ දෙදෙනා උන්නේ එකිනෙකා වැලැඳගෙනය. එකිනෙකා වැලඳගෙනය කීවාට, අවිශ්ක චත්‍රව වැළඳගෙන උන්නේය. චත්‍රගේ දෑත් වූයේ පහතට වැටීගෙනය. 

” පිං … මචං …..”

අවිශ්කට හැඬෙමින් තිබුණි. චත්‍රට කිසිවක් වැටහුනේ නැත.  අතුකෝරල යුවලද උන්නේ කිසිවක් වටහා ගන්නට නොහැකිවය. පඩිපෙලෙහි මැද නැවතී උන් සිහිනිද,  ඉදිරිපස දොර අසල උන් කපිලද උන්නේ අගක් මුලක් නොවැටහීගෙනය.

” ඔය ළමයා වාඩි වෙන්න …”

අතුකෝරළ මහතා ඉස්සර වූයේය. මෙතරම් නිවිමක් බලාපොරොත්තු වූයේ නැත. එහෙත්, දැන් යම් සිදුවීමක් තමා බලාපොරොත්තු නොවු ආකාරයෙන් සිදුවන බව අතුකෝරල මහතාට දැනෙයි. එය තමාට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම අවශ්‍ය බව අතුකෝරල මහතා කල්පනා කලේය. 

” මේ ළමයාව මට හරියටම මතක නෑ … මට මතක විදියට වීරකෝන්   ඉස්කෝලේ මහත්තයාගේ ලොකු පුතා …”

අවිශ්ක හිස සැලුවේය.

“මේ උදේ පාන්දර ..?..”

“සමාවෙන්න අංකල් …  මං හින්දා කරදරයක් වුනා නම් .. මට  මූ එක පාරක්  බඳාගන්නේ නැතුව ගෙදර යන්න බැහැ කියලම හිතුනා .. ඒකයි හයටත් නැතුව තියෙද්දීත් යාලුවා එක්ක  වාහනේ මෙහෙට හැරෙව්වේ ….”

කිසිවෙකු කිසිවක් කීවේ නැත.  සියල්ලෝම උන්නේ රංගනයකය.  චත්‍ර තිගැස්ම සඟවා ගන්නට උත්සාහ කරමින්  උන්නේය.

” මං … මං … නංගිවයි , බබාවයි දාලා ලේසියකට  එලියට යන්නේ නෑ අංකල්  රෑකට… ඒත්, ඊයේ මට පොඩ්ඩක් පැටලුනා….. ඊයේ යාලුවෙක්ගේ බැචුලර් එකක් තිබ්බා … මං ගියේ පැය දෙක තුනකින් එන්න බලාගෙන …. ගෙදර කිසිම අවුලක් තිබ්බේ නෑ … මම යනකොට … බබා  නිමලා අම්මා එක්ක අවුලක්ම නැතුව ඉන්නවා කීව  නිසා මම තව වෙලා එතැන රැඳුනා.”

ඔහු චත්‍ර දෙසට හැරුනේය.

” උඹ රැයක් දවාලක් නැතුව, හේතු හදාගෙන ගෙදර එන ගැන මගේ තිබුනේ හොඳ හිතක් නෙවෙයි චත්‍ර …. ඒකට හේතුව නංගී උඹට බෑ කියලා තියෙද්දීත් උඹ පස්සෙන් යන එක ඒකිට වදයක් හින්දා….. ඒත් .. ඒත් ඊයේ උබ නේන්න, මං නොදැනම මගේ නංගී ….හ්හ්හ්හ්හ් “

අවිශ්ක ගැඹුරු හුස්මක් කොටස් ලෙසින් පිට කලේය. ඔහු කඳුළු නවතාගන්නට උත්සාහ කලේ නැත. අතුකෝරල මහතා කිසිවෙකුට නොදැනෙන සේ තම බිරිඳ දෙස බැලුවේය. ඇය ඉන්නේද කිසිවක් වටහා ගන්නට නොහැකිව වග වටහා ගත්තේය.

” නංගීට මොකක්ම හරි එකක් නිසා පැනික් ඇටෑක් එකක් ඇවිල්ලා .. ඒකි රෑට හොරර් ෆිල්ම් බලන්න පුරුදු වෙලා හිටියා… කාලයක් නවත්තලා හිටියේ …. 

එයා කියන්නේ ෆිල්ම් එක බල බලා ඉද්දී බය වුනා. ලැප් එක ශට් ඩව්න් කරලා නිදාගන්න බැලුවට නින්ද ගියේම නෑ… පස්සේ නිමලා අම්මාව බලන්න යනකොට කවුරු හරි  පස්සෙන්  එනවා හිතුනලු…..  

ඊට පස්සේ මේකි ආයේ කාමරේට ගිහින් ෆෝන් එකත් අරන් සින්දුවකුත් දාගෙන සාලෙට එනකොට කකුල පැටලිලා .. ඒකි නම් කියන්නේ කවුරු හරි ඇවිල්ලා වැට්ටුවලු … 

මේ හොරර් මඟුල් බලලා ඔලුව කුරුවල් වෙලා බං … ඊට පස්සේ මොක වුනාද මතක නෑලු .. ආයේ මතක උඹ අයත්මා අයත්මා කිය කියා කෑ ගහනවලු …. උබත් හොඳටම බය වෙලා උන්නේ කියලා මතකලු …. හොස්පිටල් ගේනවත් මතකලු …”

චත්‍ර ගත් හුස්ම පහතට හෙලුවේ නැත.  අවිශ්ක හැරෙන්නට අන් සියලු දෙනාගේම තත්වයද වෙනස් වූයේ නැත. අවිශ්ක ඉන් පසුව පැවසූ කිසිවක් කිසිවෙකුට පැහැදිළිව ධාරණය වූයේද නැත. අවිශ්ක යන්නට සූදානම්ව නැගිටින තුරුම කිසිවෙක් නොවෙනස්ව උන් ඉරියව්වලම ගල් ගැසී උන්නායැයි කීමෙහි වරදක් නැත.

” මන්ත්‍රීතුමා … “

අවිශ්ක චත්‍ර අසළින් හිටගත්තේය.

” හොස්පිටල් එකෙන් කිව්වා බිල් උබට ෆෝර්වර්ඩ් කරන්න කියලා කිව්වා කියලා.. මං දැනටම උඹට ගෙවන්න බැරි තරමේ ණයකින් බැඳුනා මචං .. තව ණය එපා .. රිසිප්ශනිස්ට් එකට කතා කරලා කියපං ….”

චත්‍ර හිස සැලුවේය.

” මං … ගිහින් එන්නම් …. උඹ ඉඩ තියෙන වෙලාවක ඇවිල්ලා යමං …”

චත්‍ර හිස සැලුවේය.

අවිශ්ක දොර තෙක්ම ඇවිද ගියේය. චත්‍ර ඔහුගේ ගැඹුරුම ස්වරය වහා පාදාගත්තේය. කිසිඳු වෙනසක් නොදැනෙන්නට අවිශ්කගෙන් විමසුවේය.

“අයත්මාට කොහොමද බං ?…”

“දැන් ඕකේ… සතියක් විතර රෙස්ට් කරන්න කිව්වා…. එයාට කොහොමටත් හිමොග්ලොබීන් සීන් එක තිබ්බනේ.. ටිකක් වීක් වෙලා කිව්වා …  අද ඩිස්චාර්ජ් කරාවි …”

චත්‍ර හිස සැලුවේය.

අවිශ්ක යමක් සිහි වී මෙන් ආපසු හැරුනේය. ඉන් පසුව යමෙකු සොයන්නට මෙන් විමසිලිමත් වූයේය. ඔහු නැවතුනේ චත්‍ර පිටුපසින් උන් සිහිනි අසලය.

” නංගී .. අද අයත්මා ඉස්කෝලේ එවෙන්නේ නෑ කියලා ඉන්ෆෝර්ම් කරනවද?.. මට ටෙලිමේල් එකකට සිහියක් තියේවිද දන්නේ නෑ …. “

“හරි අයියේ හරි …. ඒ ගැන චුට්ටක්වත් හිතනන් එපා ….”

සිහිනි වහා ඉදිරිපත්ව කීවාය. අවිශ්ක ආපසු හැරුනේ ඇයට ස්තූතිවන්ත සිනහවක් පාමිනි. අවිශ්ක පිටව ගිය පසු කපිල ගේට්ටුව වසා දැම්මේය. චත්‍ර කිසිවෙකුට හෝ මුහුන දෙන්නට නොනැවතී කාමරයට වැඳුනේය. සිහිනි සෙටියට වැටුනාය.

” අයත්මාට තේරෙන්න ඇති ඇත්තටම වුන දේ කිව්වොත් ගෙවල් දෙකකින් එකක මිනියක් ඉස්සෙනවා කියලා … ඒ බොහෝ විට ඒ එයාගේ අයියා කියලත් හිතෙන්න ඇති … අවිශ්ක අයියා අපේ අයියාව මරනකල් අප්පච්චිලා බලන් ඉන්නේ නෑ කියලා දන්නවනේ .. එයා කතාවක් ගොතලා කියන්න ඇති …. අපි නොදන්නවා වුනාට අවිශ්ක අයියා දන්නවා ඇතිනේ පැනික් ඇටෑක් එයාට නෝර්මල් බව ….”

සිහිනි අම්මා සහ අප්පච්චී කිසිවක් විමසන්නට පෙරම කීවාය. අතුකෝරල මහතා නිරුවත් පපුව පිරිමැදගන්නා අතරේ හිඳගත්තේය.  දැනෙන්නේ වේදනාවකි. සිහින් වන්ම යුවතියක්, තම පුතුගෙන් අසාධාරනයකට ලක්ව, ඇය සතු වටිනාම මානව සබඳතා රැක ගැනීමේ අදහසින් ඒ අසාධාරණයට එරෙහි නොවීමට තීරනය කර ඇත. 

මව සහ පියා එක ළඟ දිනවල අහිමිව ගිය පසු. ශක්තියට වුන් සොයුරාගේ බිරිඳද අහිමිව ගිය ඇයට ජීවිතය දරා ගැනීම පහසු නොවන්නට ඇත. පියෙකු ලෙස මේ පුරවා ගත් අකුසලය මේ ආත්මයේම ගෙවා අවසන් කරන්නට සිදු වන බව අතුකෝරල මහතා  සිතුවේය.

සන්ධ්‍යා සතුටු වන්නටද දුක් වන්නටද සිතා ගන්නට නොහැකිව මෙන් බලා උන්නේ සිහිනි දෙසය. සිහිනිට එවැන්නක් සිදු වුවහොත් යන හැඟීම ඇගේ දෙපා අප්‍රාණික කර දැම්මේය. එවැන්නක් තනිව දරාගෙන ජිවත් වන්නට තමේ වාතාවරණයක් සිහිනි වටා ගොඩ නැංවුනහොත් යන හැඟීම  ඇය හඬවාලූවේය. ඕ වහා සිහිනි අසලින් හිඳගත්තාය. සිහිනිව වැලඳගත්තාය.

” අම්මේ…”

“මොකද්ද චූටී මේ අයියා කරගත්තේ …. “

“අයියා සිහියෙන් නෙවෙයි ඉන්න ඇත්තේ අම්මේ…. එයා එහෙම කරන්නේ නෑ අයත්මාට … ඒක අපි හැමෝගෙම නරක වෙලාව …. කපිල ට අයියා එක්ක යන්න පුලුවන් වුනා නම්, මේම වෙන්නේ නෑ මේවා…”

“අපේ මහත්තයෝ … අපි මොකද්ද කරන්නේ…”

අතුකෝරල මහතා කිසිත් නොපවසා උන්නේය. ඔහුට පවසන්නට කිසිවක් නැති වග හැඟෙන්නේය. අයත්මාගේ මුහුණ ලෙසින් මැවුන මුහුණෙන් ඔහුටද පෙනුනේ සිහිනිවය.

දේශපාලනයද, ගෞරව පදවිද යන සියල්ලම පසෙකලූ පසු තනිවූ දියණියකගේ වේදනාවෙන් අතුකෝරල මහතා පීඩිතව යමින් උන්නේය. අනෙක් පසින් සර්ව සාධාරණ වන්නට උත්සාහ කෙරූ මිනිසෙකු වූ තමා චත්‍රගේ පියා ලෙසින් ඉතා අසාධාරන වන ආකාරයද ඔහුට පෙනුනේය.

” අපිව කෑවා අර මිනිහා… “

අවසානයේ අතුකෝරල මහතා නැගිට්ටේ එලෙසින් තමාට පවසාගෙනය. එය සන්ධ්‍යාටද ඇසුණි. ඕ සිහිනිට බරව ඉකි බින්දාය. 

| අපේක්ෂා ගුණරත්න |

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles