හැමදාම බොන තේ එක වෙනුවට ඉන්දියන් චායි එකක රස බලමුද?

චායි තේ කියන්නෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේදී ඉන්දියාවේ ගොඩනැඟුණු අද වෙද්දි ලෝකය පුරාම ඉන්දීය ආභාෂය අරගෙන යන රස කළ තේ ආශ්‍රයෙන් ගොඩනැගුණු රස නහර පිනායන පානයක්. 

සාමාන්‍ය තේ පානය කරනවට වඩා මුලින්ම කිරි සහ සීනි තේ සමඟ මුසුකරල පානය කිරීමත් පසුව ඉඟුරු, කරදමුංගු වගේ කුළුබඩු එකතු කර කිරි තේ වලට වෙනස්ම රසයක් වගේම ප්‍රියමනාප සුවඳකුත් ලැබෙන විදිහට හදන මේ චායි තේ ලංකාවෙත් හරිම ප්‍රසිද්ධයි. 

චායි තේ හැඳීමේදි එකතු කර ද්‍රව්‍ය එකිනෙකාගෙන් එකිනෙකට වෙනස්. බොහෝ ඉන්දියානුවො තමන්ට ආවේණික අමුද්‍රව්‍ය එකතු කරල චායි තේ සෑදීම සිදුකරනවා අපිට දැකගන්න පුළුවන්. 

ඉතිං, චායි තේ හදන තවත් එක් ක්‍රමයක් අරගෙනයි smart lady අපි අද ඔබව හමුවෙන්නෙ. 

එහෙනම්, පුරුදු විදිහටම මුලින්ම අපිට අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගෙන ඉමු.

අවශ්‍ය ද්‍රව්‍ය 

(එක් අයෙක් සඳහා)

චායි මසාලා මිශ්‍රණය සෑදීම සඳහා 

කරදමුංගු 02 ක් 

කරාබුනැටි 02 ක් 

අඟල් භායක කුරුඳු පොතු කැබැල්ලක් 

ගම්මිරිස් ඇට 08 ක් 

චායි තේ සෑඳීමට 

සාදාගත් චායි මසාල මිශ්‍රණය

වතුර කෝප්ප 01 ⅓ ක් 

කිරි කෝප්ප ⅔ ක් 

අඟලක ඉඟුරු කැබැල්ලක් 

තේ කොළ තේ හැඳි 03 ක් 

සීනි ඔබට අවශ්‍ය ප්‍රමාණයට

සාදාගන්නා ආකාරය 

මුලින්ම, භාජනයක් ලිප තබා එයට වතුර එකතු කර වතුර මඳ ගින්නේ රත්වීමට තබාගන්න. 

ඊළඟට, වංගෙඩියක් හෝ බ්ලෙන්ඩරයේ කුළුබඩු අඹරන කොටසට චායි මසාලා සෑදීමට ගත් කුළුබඬු (මේ කුළුබඩු වෙනුවට වෙළඳපොලේ මිලදී ගැනීමට ඇති චායි මසාලා මිශ්‍රණයෙන් තේ හැඳි ½ ක් එකතු කරන්නත් පුළුවන්) සියල්ල එකතු කර තලාගන්න.

දැන් රත්වූ වතුර තලාගත් කුළුබඩු (හෝ චායි මසාලා මිශ්‍රණය) එකතු කර එයට ඉඟුරු කැබැල්ලත් ග්‍රේට් කර එකතු කරගන්න. 

වතුර නටන තුරු තබාගෙන තේ කොළ එකතු කරගෙන තවත් මිනිත්තුවක් පමණ උතුරවා ගන්න. 

ඔබට අවශ්‍ය නම් මේ වෙලාවේදීම සීනිත් එකතු කරගන්න පුළුවන්. 

ඊළඟට, එයට කිරි එකතු කර හොඳින් කලවම් කරගෙන නැවත උතුරන තුරු තබාගන්න. 

ඉක්මණින් භාජනයෙන් ඉවතට ඉතීරී යා හැකි නිසා ඔබ වඩා ප්‍රවේශම් සහගත විය යුතුයි. 

කිරි උතුරන ප්‍රමාණයට ආ පසු භාජනය පියනකින් වසා ගින්දර නිවා විනාඩියක් පමණ තබා ලිපෙන් ඉවත් කරගෙන පිළිඟන්වන්න ඔබට පුළුවන්. 

ඔන්න එහෙනම්, මේ විදිහට පිළියෙල කරපු උණුසුම් චායි තේ කෝප්පයක් රස විඳින්න දැන් ඔබට පුළුවන්.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles