යෝගා වලින් අපිට ලැබෙන ප්‍රතිලාභ 

අපිට හුරුපුරුදු මාතෘකාවක් ගැන වැඩිය කතා නොකරන, ඒ වුනත් හරිම වැදගත් කරුණු කීපයක් ගැන සාකච්ඡා කරන්නයි smart lady අපි අද මේ සූදානම් වෙන්නෙ.

Yoke / union එහෙමත් නැත්නම් සංස්කෘතික භාෂාවෙන් යෝගා / yoga කියල හඳුන්වන්නෙ පුරාණ ඉන්දියාව ආශ්‍රිතව නිර්මාණය වුණ කායික, මානසික සහ ආධ්‍යාත්මිකව පුරුදු පුහුණු කරන ලද හැසිරීම් කියල හඳුන්වන්න අපිට පුළුවන්.

බෞද්ධ, හින්දු සහ ජාන ආගම් ආශ්‍රිතව නිර්මාණය වුණ යෝගා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන රාශියක් ඉන්දියාවේ ස්ථාපිතව තිබුණා කියලත් මේ ගැන සොයාබලද්දි අපිට දැනගන්න පුළුවන්.

අපි බොහෝදෙනෙක්ට යෝගා ආභ්‍යාස කීවම මතකයට නැගෙන්නෙ ශරීරයේ හැඩය සහ නම්‍යශීලී බව පවත්වා ගන්න උදව් වෙන ව්‍යායාම වර්ගයක් කියලයි.

නමුත්, එතනින් එහා ගිය තවත් ප්‍රතිලාභ රාශියක් නිවැරදිව යෝගා අභ්‍යාස කිරීමෙන් ඔබට ලබාගන්න පුළුවන් කියල පර්‍යේෂකයන් සඳහන් කරනව. 

එහෙනම්, අපි අද කතා කරන්න සූදානම් වෙන්නෙ ඒ මොනවද කියලයි.

ශරීර ශක්තිය, සමබරතාව සහ නම්‍යශීලීබව පවත්වා ගැනීම

යෝගා අභ්‍යාස වල ඇති ගැඹුරු ස්වසන අභ්‍යාස සහ සෙමෙන් සිදුකරන චලනයන් රුධිර ගමනාගමනය ක්‍රමවත් කර මාංශපේෂී ශක්තිමත් කිරීම්ටත් එකම ඉරියව්වක වැඩි වේලාවක් රැඳී සිටීම සමබරතාව සහ ශරීර ශක්තිය ඇති කිරීමටත් හේතු වෙනවා. 

කොන්දේ සහ පිටුපස කොටසේ වේදනා සමනය කිරීම

නිදන්ගතව පවතින කොන්දේ යට කොටසේ වේදනාවන් සඳහා යෝගා අභ්‍යාස මූලික මට්ටමේ ප්‍රතිකාර ක්‍රමයක් විදිහට යොදාගන්න පුළුවන් කියල විශේෂඥයන් සඳහන් කරනවා. 

කොන්දේ වේදානවන් සමනය කර කොන්දේ චලන හැකියාවන් ක්‍රමානුකූලව වැඩි කිරීමට යෝග අභ්‍යාස උපකාරී වෙන බවයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ. 

ආතරයිටීස් සඳහා සහනය 

යෝග අභ්‍යාස වල යෙදීමෙන් ආතරයිටීස් නිසා සන්ධිවල ඇතිවෙන ඉදිමුම් වැනි මෘදු ස්වභාවයන් අඩු කිරීමේ හැකියාව තිබෙන බවත් සොයාගෙන තිබෙනවා.

හදවත නීරෝගී කරයි 

ශරීරයේ අනවශ්‍ය බර අඩු කර, රුධිර පීඩනය අඩු කිරීම තුළින් හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු කර ගැනීමට නිරන්තරයෙන් යෝග අභ්‍යාස වල යෙදීම ඉවහල් වන බව පර්‍යෙෂකයන් සඳහන් කරනවා. 

සුව නින්දක් ලබාදෙයි 

නිරන්තරයෙන් සහ ක්‍රමානුකූලව පුහුණු කරන ලද රටාවකට යෝග අභ්‍යාස වල නිරත වීමෙන් ඔබේ ශරීරය සහ මනස හොඳ නින්දක් ලැබීමට සූදානම් කිරීමටත් සුව නින්දක් ලබාදීමටත් හැකියාව තිබෙන බව පර්‍යේෂණ මඟින් සනාථ කරගෙන තිබෙනවා. 

ශක්තියක් සහ ප්‍රබෝධයක් ලබාදෙයි

ඔබේ ශරීරයේ සහ මනසේ ශක්තිමත්භාවය වැඩි කරන්න, ප්‍රබෝධමත්බවක් ලබාදෙන්න, ඍණාත්මක සිතුවිලි ඇතිවීමේ ඉඩකඩ අවම කරන්න නිරන්තර යෝග අභ්‍යාස වල යෙදීම හේතු වෙනවා. 

මානසික පීඩනය අවම කරයි 

මානසික පීඩනය කළමනාකරණය කරන්න, මානසික සෞඛ්‍ය නීරෝගීව පවත්වා ගන්න, පෝෂ්‍යදායි ආහාර රටාවක් ඇති කරන්න වගේම ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්නත් හොඳ නින්දක් ලබා ගන්නත් යෝගා අභ්‍යාස වල යෙදීම ඍජුව බලපාන බව පර්‍යේෂකයන් තහවුරු කරගෙන තිබෙනවා.

ස්වයං රැකවරණයක් ලබා දෙයි

ආතරයිටීස්, කාන්තා සෞඛ්‍ය ගැටළු, නිදන්ගත වේදනා, පිළිකා රෝග සහ සමබරතාව පිළිබඳ ගැටළු වලට ප්‍රතිකාර ලෙස යෝග අභ්‍යාස යොදා ගන්න පුළුවන් කියලත් විවිධ පර්‍යෙෂණ මඟින් තහවුරු කරගෙන තියෙනව කියලත් වාර්තා වෙනවා. 

යෝග අභ්‍යාස කොතරම් ප්‍රතිලාභ ගෙනාවත් ඔබේ ව‍ර්තමාන සෞඛ්‍ය තත්වය මත එයින් ලැබෙන ප්‍රතිලාභ එකිනෙකාට වෙනස් බව අපි පැවසිය යුතුමයි. ඒ නිසා ඔබේ වෛද්‍යවරයාගෙ උපදෙස් මත සුදුසුකම් ලත් යෝග උපදේශකවරයෙකුගේ අනුදැනුම යටතේ සැලසූ යෝග අභ්‍යාස කිරීම අනිවාර්ය බවත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

එහෙනම්, මේ වගේම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyReply allForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles