රට යන හීන

“මං කවදාහරි දේශපාලනයට එනවා” කියල මහේශ් කියද්දි අමන්දලා උන්නෙ ඒලෙවල් පංතිවල. අමන්දායි මහේශුයි යාලු උනෙත් ඒලෙවල් පංතිවල ක්ලාස් එහෙම යන්න පටන් ගත්තයින් පස්සෙ. මහේශ් කියන්නෙ හරියට තමන් ගැන හිතාගෙන ඉන්න කෙනෙක් බව තේරෙද්දිත් අමන්දායි මහේශුයි යාලුවෙලා මහ කාලයක් නැතුවට මොකෝ අමන්දාට කොන්ද පණ තිබ්බෙ නෑ “අපි දෙන්නා ගැලපෙන්නෙ නෑ” කියලා මහේශ්ට කියල සම්බන්ධෙ නවත්තන්න.

“මට බයයි ඔය සම්බන්ධෙ නවත්තල දැම්මොත් මහේශ් කොතන ගිහින් මොනව මොනව කියාවිද කියලා” අමන්දා ඔහොම තමන්ගෙ යාලුවො එක්ක කිව්වත් එක්ක.

“අනේ බං, ඕකගෙ ලොකු කතා අහන් ඉන්නෙ නැතුව ඕකෙන් ගැලවෙන්න. මොන පිස්සුවක්ද? අනික ලොකු සීන් දානව විතරක් නෙවෙයි අරක කරන්න එපා මේක කරන්න එපා කියල ඔයාට කොච්චර බැරියර්ස් දානවද.

මට හොම්බට අනින්න හිතුනා එදා අර රන් සමනල ජෝඩුව වාගේ සිංදුව කියද්දි ක්ලාස් එකේ ට්‍රිප් එක දවසෙ ඒකෙ හරි වචනෙ රන් සමනල ජෝඩුව වාගේ නෙවෙයි රන් සමනල තෝඩු බබාගේ කියද්දි.

පුදුම මොට්ට මිනිහෙක්. ඔයා මොකට ඌ එක්ක යාලු උනාද කියල මට හිතාගන්න බෑ” කියලා හොඳම යාලුවෙක් උන කොහොමත් කියන දේ මූනටම කියලා දාන අප්සරා කියද්දිත් ඒ හැමදේම ඇත්ත බව දැනගෙන උන්නා උනත් අමන්දාට හයියක් තිබ්බෙ නෑ මහේශ්ගෙන් අයින් වෙන්නෙ.

කොහොමහරි ඒලෙවල් ඉවර වෙලා අමන්දා යුනිවසිටි සිලෙක්ට් වෙද්දි මහේශ්ට කැම්පස් යන්න නම් ලකුණු තිබ්බෙ නෑ. ඒ හන්දා තමා මහේශ් ඕපන් යුනි එකේකෝස් එකක් කරන්න ගියේ. ඒකත් නිකන් හරියට තමන් කරපු වරදක් වගේ මහේශ් දාහක් කතා කියද්දිත් අමන්දා කලේ අහගෙන ඉන්න එක.

“ඔය ගවන්මන්ට් යුනි යන උන් හිතන් ඉන්නෙ ලෝඩ් පකීර්ලා කියලා. ඕපන් යුනි එකේ එක්සෑම් අමාරුයි ඔක්කොටම වඩා. ගවන්මන්ට් ඒවයි නම් ලෙක්චර්ස්ලා එක්ක මගුල් නටන උන්ට හොඳ රිසල්ට් දෙනවා කියලා අපි නොදන්නවය” කියල අමන්දා හොඳ රිසල්ට් ගන්න හැම වෙලාවක කෝචෝක් දාන්න මහේශ් අමතක කරේ නෑ.

අමන්දාට එක එක ඒව කිය කිය උන්නු මහේශ් අච්චර හොඳයි කිව්ව ඕපන් යුනි එකේ ඩිග්‍රි එක හරියට කරෙත් නෑ. ඔහොම ඉද්දි තමා මහේශ්ට එකපාර බිස්නස් එකක් කරන අයිඩියා එකක් ආවෙ. ඒලෙවල් ක්ලාසස් යන ළමයින්ට ටියුශන් ක්ලාස් කරන්න ඕන කියලා හිතපු මහේශ් ඒකට ඕන කරන සල්ලි ඉල්ලුවෙත් අමන්දාගෙන්.

“මං ගාව සල්ලි නෑ මහේශ්. අනික ඔයා මේ එක එක වැඩ කිය කිය ඩිග්‍රී එකේ වැඩත් මිස් කරගන්න එකේ ඔය ක්ලාසස් කරගන්න ගියාට පස්සෙ ඔයාට කොහොමත් ඩිග්‍රි එකේ වැඩ කරගන්න බැරි වෙනවා නේද?”

“හිතේ තියෙන කුහකකම ඔහොම එලියට දාන්න එපා හලෝ. මොකක් හරි සීන් එකක් හන්ද ලකුණු දෙක තුනක් වැඩියෙන් අරගෙන තමුසෙ මේ කැම්පස් ගියා කියලා හෙන ලෝඩ් කියලා හිතන්න එපා. ගෑණුන්ට කවද්ද ඕයි ඩිග්‍රි අරන් හරි ගියේ. අනික තමුසෙ නිකන් කතා කරන්නෙ හරියට මේ මෙඩිසින් ගියා වගේනෙ. මහ ලොකුවට මාකටින් ඩිග්‍රි එකක් කරන්න යන්නෙ, කතාව නම් දොස්තර වෙන්න වගේ” කියලා එවෙලෙත් අමන්දාට කෝචෝක් දාන්න මහේශ් අමතක කලේ නෑ. ඔය කතාවල් දුර දිග ගියාට පස්සෙ තමයි මෙච්චර කාලයක් ගන්න බැරිවෙච්ච තීරනේ ගන්න අමන්දා කටයුතු කලේ. මහේශ් මුලදි මුලදි දස වද දුන්නත් ගත්ත තීරණේ කිසිම දෙයක් නිසා වෙනස් කරන්න අමන්දා හිතුවෙම නෑ.

“සම්බන්ධයක් නතර කරන්න කතාකරාම ඔහොම සතෙක් වගේ හැසිරෙනවනම් නතර කල එකමනෙ හොඳ” කියල හිතල අමන්දා වෙච්ච හැමදේම හිතෙන් අමතක කරලා දාන්න මහන්සි උනා.

කාලයත් එක්ක හිත සනසන ආදරයක් හොයාගෙන ජීවිතේ ලස්සන විඳින්න අමන්දාට අවස්තාව ලැබුනා. මෙලෝ වැඩක් නෑ කිව්ව මාකටින් ඩිග්‍රි එකෙන් ලංකාවෙ හොඳම කම්පනි එකක හොඳ පඩියකට ජොබ් එකක් හොයාගන්න පුලුවන් උනා.

කසාද බැඳලා කොළඹින් ගෙයක් අරගෙන ජීවත්වෙන්න පුලුවන් තත්ත්වෙකට ආවා විතරක් නෙවෙයි ජීවිතෙ ඇත්තටම ලස්සනට ගෙවුණා.

“මහේශ් ළමයිව පිටරට යවන ඒජන්සි එකක් පටන් අරගෙන” කියලා අමන්දා දැනගත්තෙත් ඉස්කෝලෙ ඒලෙවල් බැච් එකේ ගෙට් ටුගෙදර් එකකදි යාලුවෙක් කිව්වම. ඒකත් ඉතින් ඒ කනෙන් ඇහුවා මේ කනෙන් පිටකරා වගේ තමා අමන්දා බාරගත්තෙ.

හැබැයි තමන් ඒක එහෙම කනෙන් පිටකරාට මොකෝ එහෙම ඉන්න බැරිවෙච්ච මිනිස්සු වගේකුත් තමන්ගෙ ගම්පලාත්වල ඉඳලා තියෙන බව අමන්දා දැනගත්තෙ දවසක් දා හවසක රෑ කෑම කන ගමන් ටීවි එකේ නිව්ස් බලද්දි.

“____ නගරයේ පවත්වාගෙන ගිය විදේශ රටවලට සිසුන් යවන ඒජන්සියක හිමිකරු සල්ලිත් අරන් රටෙන් පැනලා ගිහින්. අද සුහද ටීවී සීසීටිවි ඇස යොමුවෙලා තියෙන්නෙ ___ නගරයේ පවත්වාගෙන ගිය මහේශ් බණ්ඩාර නම් පුද්ගලයෙකු එඩියු ටුවර්ස් නමින් පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ විශ්ව විද්‍යාලවලට දරුවන් යවන ඒජන්සි එකක් පැත්තට.

අර රටට මේ රටට දරුවන් යවනවා කියලා මිනිහා පැනලා ගිහින් තියෙන්නෙ කෝටි විස්සක මුදලකුත් හොරකං කරලා. දැන් අන්තිමේ රට යන හීනෙත් නෑ, ඒජන්සියත් නෑ, සල්ලිත් නෑ” කියලා නිව්ස් තිරේ මහේශ්ගෙ ෆොටෝ එකක් එක්කම දාලා පෙන්නද්දි “මේ කරුමෙන් මං ගැලවුනානෙ” කියල හිතල සතුටු වෙන එක පවා කරදරේට පත්වෙච්ච මිනිස්සුන්ගෙ පැත්තෙන් සාධාරණද කියලා නොහිත ඉන්න අමන්දාට බැරි වුණා.

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles