තරංගාට ආයෙම දවසක සාගරව හම්බුණේ සනුකිව එක්කරගෙන රෝහලේ පැවැත්වෙන අර්ලි ඉන්ටවෙන්ශන් ප්‍රෝග්‍රැම් එකට ගිය දවසකය. එදා හවස ඒ වැඩේ අවසන් කර සනුකිවත් වඩාගෙන තරංගා පාර එහා පැත්තට පැන්නේ පික් මී එකක් ඕඩර් කරන්න බලාගෙනය.
තමන්ටම කියා මේ වගේ ගමන් බිමන් යන්න පුංචි හෝ වාහනයක් තිබුණනම් හොඳයි කියා හිතුණත් දැනටමත් දේවල් කරගන්නේ අමාරුවෙන්, තනියෙම මහන්සිවෙලා හන්දා වාහනයක් කියන්නෙ දුර හීනයක් බව තරංගාට අමුතුවෙන් කියාදෙන්න උවමනා නැත.
හවස් වරුවේ හන්දා ලොකු ආවක්වත් වැස්සක්වත් එන පාටක් පෙනෙන්න නොතිබ්බත් තරංගාට තියෙන ලොකුම බය සනුකි මොකක් හරි දේකට කලබල කර, වටේ පිටේ ඉන්න අයගේ අවධානය දිනාගනිවිද කියන එකය. ඒ වෙලාවට මිනිස්සු අමුතු විදියට තමන් දිහාවත් දරුවා දිහාවත් බලන එක තරංගාට තාම දරාගන්නට අමාරුය.
“මිනිස්සු සමහර වෙලාවට එහෙම බලන්නෙ ඇත්තටම ඇයි මේ දරුවා මෙහෙම කලබල කරන්නෙ කියලා හිතලා වෙන්නැති. මං ඒක උඩ දිගට හිතලා හිත රිද්දගන්න එක වැරදි ඇති. ඒ උනාට මට ඒ වගේ වෙලාවට හරියට දුක හිතෙනව අක්කෙ. අනික මගෙ හිත දන්නවනෙ බබාට ඕටිසම් කියලා, එතකොට කොහොමත් හිත රිදෙනවා” කියා තරංගා ඔය වගේ සිද්දියක් මීට කලින් වෙච්ච වතාවක් දුක නර්මදා එක්ක බෙදාගත්තේ විදියටය.
කොච්චර උත්සහ කරත් පික් මී රියක් සෙට් උනේම නැති හන්දා තරංගා ගේ හිත ඇතුලේ පුංචි පහේ කලබලයක් නොතිබ්බාම නොවේ. ඒ උනාට ඉතින් හිතේ තියෙන කලබලයේ හැටියට වැඩ කෙරෙන්නේ නැත.
දුරකතන නාද වුණේ තරංගා ආයෙම වතාවක් පික් මී රියක් දාන්න ගත් උත්සහය එතනම නතර කරන්න උනේ “ඩොක්ටර් වීරබාහු” ලෙසින් දුරකතන ඇමතුම දුරකතන මුහුණත මත ඇඳී තිබිච්ච හන්දාය.
“හෙලෝ ඩොක්ටර්”
“හෙලෝ තරංගා, ඔයාලා දෙන්නව මට පේනවා, ඉන්ටර්වෙන්ශන් ප්‍රෝග්‍රැම් එකට ඇවිත් ආයෙ ගෙදර යන්නද ඉන්නෙ?”
“ඔව් ඩොක්ටර්” කියන ගමන් තරංගා ඇස් උස්සා හතර අතේ බැලුවත් වෛද්‍ය සාගර කොතන ඉඳන් තමන් දිහා බලාගෙන ඉන්නවද කියන එක හොයාගන්න තරංගාගේ ඇස් වලට පුලුවන් උනේ නැත. සමහරවිට ඒ ඔහුව දකින්න ඇස්වලට තිබිච්ච කලබලය හන්දා වෙච්ච මග ඇරීමක් වෙන්නටත් පුලුවන.
“හරි, ඔයාලා දෙන්න ඔතනම ඉන්න, මම එන්නම් පික් කරන්න” කියා සාගර වීරබාහු දුරකතනය තියන්න කලින් “අනේ ඩොක්ටර් කරදර වෙන්න එපා” කියන වචන ටික කියා ඉවරකරන්න තරංගාට ඉඩක් ලැබුණේ නැත.
ඉන් විනාඩි පහකට දහයකට පස්සේ තරංගා උන්නේ සාගරගෙ මෝටර් රියේ වාඩි වී සනුකිව උකුල උඩ තියාගෙනය. හේතුවක් නොදන්නා මොකක් හො සැනසුම් සහගත හිනාවක් දෙනෙත අස්සේත් දෙතොල මත්තේත් ඇඳී තිබුණ බව තරංගාත් සාගරත් හිත අස්සෙන් දැන උන්නහ.
“ඔයා මිස් කරගන්නෙ නැතුව දිගටම ඉන්ටර්වෙන්ශන් ප්‍රෝග්‍රැම් එකට එනවා නේද?” සාගර ඇසුවේ වාහනය එකාතකින් පදවන අතරවාරයේම තමන්ගේ අත අල්ලාගෙන ඉන්න සනුකිගේ පුංචි ඇඟිලි අනෙක් අතින් පිරිමදින ගමන් ය. සනුකි උන්නේත් ඒ ඇඟිලි අල්ලගෙන මොන මොනවදෝ මුමුණන ගමන් ය.
“අනේ ඔව් ඩොක්ටර්, මම එකක්වත් මේ කාලෙටම මිස් කරගත්තෙ නෑ. කොච්චර වැඩ තිබ්බත් ඉතින් මම බබාගෙ වැඩ මුකුත් එහෙම මිස් කරගන්නෙ නෑ”
“ඒක හොඳයි”
“ශ්‍යාමනී කිව්වා මට ඔයා ජොබ් එකෙනුත් අස්වෙලා දැන් ෆ්‍රීලාන්ස් වගේ තමයි වැඩ කරන්නෙ කියලා”
“ෆ්‍රීලාන්සුත් කරනවා, ඊට අමතරව මමවර්ක් ෆ්‍රොම් හෝම් ජොබ් එකකුත් හොයාගත්ත ඩොක්ටර්. වියදම් තියෙනවනෙ. ඊටත් වඩා මම නැතිකාලෙ දරුවට මොනවම හරි විදියකට හොඳට ජීවත්වෙන්න මම හම්බු කරලා තියන්න ඕනනෙ ඩොක්ටර්. නැත්තම් ඉතින්…” කියා කතාව එතනින් නතර කරාට තරංගාගේ හිත අස්සේ වදදෙන ප්‍රහේලිකා මොනවද කියා හිතාගන්න බැරිකමක් සාගරට තිබුනේ නැත.
“ඕටිසම් කියන්නෙ අසනීපයක් නෙවෙයි කන්ඩිශන් එකක්” බව කොපමණ කිව්වත් අම්මලා ඒ පිළිගන්නට සූදානම් නැති මේ සාගර එරටදීත් මෙරටදිත් ඕන තරම් අත්දැකිම්වලට මුහුණ දී තිබේ.
“මං මේ දැන් අහන්න යන්නෙ පර්සනල් දෙයක්. මං මේක අහන එක හරිද වැරදිද කියන්න මම දන්නෙ නැ. මං හිතනව තරංගා මුකුත් මේ ගැන හිතන එකක් නෑ” කියලා සාගර මද පැකිලිමක් එක්ක අහද්දීම ඔහු මේ අහන්නට යන්නේ මේධංග හා බැඳුණ යමක් ගැන තේරුම්ගන්න තරංගාට අපහසු වුණේ නැත. තරංගා “අනේ කමක් නැ ඩොක්ටර් අහන්න” කියා කිව්වේත් මේධංග ගැනවත් තමන්ගේ ජීවිතේ ගැනවත් හංගන්න දෙයක් නැතැයි කියා සිතෙන තරමටම සාගර ගැන උපන් විශ්වසනීය සිතුවිල්ලක් නිසාය.
“දැන් හස්බන්ඩ් මොකද මේ ගැන කියන්නෙ?”
“අනේ මන්දා ඩොක්ටර් එයා කියන්නෙ මොන අප්‍රභංසද කියලා ඇත්තටම මට තියා එයාටවත් තේරෙනවද මන්දා. ඕන දෙයක් කරගන්න කියලා මම ලෝයර් කෙනෙක්ට ඩිවොස් එක ගැන කතාකලා. මොකද දැන් “ඩිවෝස් එක දෙන්න” කියලා මාවයි දරුවවයි ගෙයින් එලියට ඇදලා දාලාත් මාස ගාණක් ගියා ඒ පැත්තෙන් කිසිම සද්දයක් නෑනෙ.
දෙන්න දෙතැනක නන්නාදුනන මිනිස්සු දෙන්නෙක් විදියට ඉන්නවනම් අපි නිකන් නමට කසාදයක් කරගෙන ගිහිල්ලා වැඩක් නෑනෙ. ඒ නිසයි මම මගේ පැත්තෙන් පලවෙනි අඩිය තියන්න හිතුවෙ. මම කෝල් කරෙත් නෑ ඩොක්ටර්. මං අන්තිමට කතා කරපු වෙලෙත් මහ නරුම විදියට ඒ මනුස්සය ෆෝන් එකට රෙස්පොන්ඩ් කරේ. එහෙම එකේ ඇයි මම නිකන් බාල්දු වෙන්නෙ කියලා හිතලමයි මම අපේ ලෝයර්ටම එයාට කතා කරන්න කියලා කිව්වෙ.
කොහොමහරි ඒකෙන් පස්සෙත් මට කෝල් කරලා ආය බැන්නා මහ ලොකුවට ඩිවෝස් වෙන්නද හදන්නෙ? හිතාගෙන ඉන්නවද එයා ඩිවෝස් එක දෙයි අරකයි මේකයි කියලා. මට ඇත්තටම තේරෙන්නෙ නෑ ඩොක්ටර් මං මොකද්ද කරන්න ඕන කියලා”
“සමහර මිනිස්සු ඔය විදියට හැසිරෙනවා. සමහරු හරි කැමතියි තරංගා තව කෙනෙක්ට පාඩමක් උගන්වන්න. එහෙම අනුන්ට පාඩම් උගන්වන්න හිතාගෙන දේවල් කරන මිනිස්සු කොට්ටාසෙකුත් අපි අතරෙම ඉන්නවා. එයාලා හිතන්නෙ අපිට පාඩමක් ඉගැන්නුවොත් තමන් වීරයා කියලා.
ඕවට අපි අර පැසිව් ඇග්‍රෙශන්, වින්ඩික්ටිව් බිහේවියර් කියලත් කියනවා. සමහර වෙලාවට නාසිස්ටික් ගති ලක්ෂණ පෙන්වන මිනිස්සුන්ගෙ ඔය අරයට මෙයාට පාඩම් උගන්නන්න ඕන කියන ලක්ශණේ හරියට දකින්න පුලුවන්.
අපි හැමෝටම එක එක විදියෙ මානසික ලෙඩ තියෙනව තරංගා. හොඳට නිරෝගීව, සමාජයේ අනෙක් මිනිස්සු එක්ක කතා බහ කරලා ඉන්න මිනිස්සුන්ට තියෙන මානසික ලෙඩ වගේ දේවල් එක්ක බැලුවම මේ ඕටිසම් වගේ කන්ඩිශන්ස් ඇත්තටම හොඳයි කියලා තමයි කියන්න තියෙන්නෙ”
“ඩොක්ටර් කියන කතාව ඇත්ත. සමහරවෙලාවට මේධංග කිව්ව දේවල්, එයා හැසිරිච්ච විදිය, කියපු කතන්දර එහෙම මතක් වෙද්දි පවා මට වෙලාවකට පුදුම හිතෙනවා මේ ඉන්නෙ ඇත්තටම මම ආදරේ කරලා යාලුවෙලා බැන්ද මනුස්සයද කියලත්”
“අපි ගත්ත සමහර තීරණ ගැන අපිම දුක්වෙන, සතුටුවෙන, පුදුම වෙන දවසක් අපි හැමෝටම තියෙනව තරංගා. ඒක තමයි ඉතින් ජීවිතේ හැටි”
ඉන්පසුව ගෙවිච්ච විනාඩි කිහිපය තරංගාටත් සාගරටත් දැනුනේ කල්පාන්තයක් වගේ ය. ඒ විනාඩි කිහිපය ඇතුලත තරංගා මේධංග එක්ක ආදරයෙන් බැඳුණ අතීතයටත් සාගර තිශාලි එක්ක ආදරයෙන් බැඳී උන් එංගලන්තයටත් හිතෙන් දිව ගියහ. ඒ මොහොතකට “මේ දේවල් අද මෙහෙම වුනේ එදා එහෙම තීරණ ගත්ත හන්දා නේද?” කියා ආයෙමත් තමන්ගේ හිතට මතක් කර දෙන්නට වගේය.
ආදරය වෙලාවකට ලබා දෙන්නේ දරුණුතම අත්දැකීම් ය.කෙදිනක හෝ ජීවිතයේ අප ලබාගත් හොඳම පාඩම් වන්නේද ඒ දරුණුතම අත් දැකීම් ය.