සඳක් තනියම  – 31

0
5212

“ දිනාරා අද ඔයාට පුළුවන්ද පැයක් විතර වගේ හවසට ඉඳලා යන්න.මේ අර්ජන්ට් ලෙටර්ස් වගයක් තියෙනවා ඒ ටික රෙඩි කරගත්තනම් හෙට උදේම යවන්න තිබුණා.තාත්තා මේ ටිකකට කලින් කතා කරලා කිව්වේ..මම ඔයාව ඩ්‍රොප් කරන්නම්..”

හදිසියේ කාර්යාලයට පැමිණුන අකලංක පැවසූයේ යුවතියගෙන්  දෑස් හංගාගෙනය දෙහෝරාවකටත් වඩා වැඩි කාලයක් කාර්යාලයෙන් පිටතට  පැමිණ නිස්කලංක පෙදෙසක වූ අවන්හලක කාලය ගෙවා දැමූ තරුණයා ආපසු පැමිණියේ තීරණයක් ගත්තාට පසුවය.සොහොයුරා සේම මිතුරන් දෙදෙනා පවසන්නේත් තවදුරටත් පමා නොවිය යුතු බවය.

“ ගෙදර නං ෂේප් කරගන්න උඹට පුළුවන් බං. කොහොමත් උඹේ අකැමැත්තෙන් ආන්ටි ඒ වගේ දෙයක් කරන්නේ නෑ.ඒ උනාට බං දිනාරා  කියන්නේ ලස්සන කෙල්ලෙක්.පාරෙ බැහැල  යද්දී  කැම්පස් එකට යද්දී ඕන තරම් කොල්ලොන්ගේ ඇස් ඒ කෙල්ල පිටිපස්සෙන් ඇති.සමහර තීරණ ගන්න මිනිස්සු හරි පුංචි වෙලාවක් විතරයි පාවිච්චි කරන්නේ..මං මේ කිව්වේ දිනාරාගේ හිතේ වුණත් හරි පොඩි වෙලාවකින් කෙනෙක්  ගැන කැමැත්තක් ඇතිවෙන්න පුළුවන්.අඩු ගානේ උඹ වචන වලින් හරි උඹේ කැමැත්ත එයා එක්ක කතා කරල තිබුනොත් එයා දෙපාරක් හිතයි..”

හේෂාන් පවා පැවසූයේ එසේය.අවසන අවන්හලින් පිටවීමට පෙර ඔහු සිය නෑනන්ඩියට  දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.

“ ජීවිතේ  වෙච්ච සමහර ප්‍රශ්න හින්දා කෙල්ල මැරේජ් එකක් ගැන හිතන්න බයෙන් ඉන්නේ.මං ඔයාට එදත් කිව්වේ…එයත් එක්ක කතා කරපු වෙලාවේ මට තේරුනේ ඒ ටික.එයා තනියම හැදුණු  ළමයෙක්.ඔයාට පුළුවන් හෙමින් සැරේ එයාට ඔයාගේ වටිනාකම, අපේ පවුලේ වටිනාකම තේරුම් කරලා දෙන්න.සමහරවිට ඔයා ඔයාගේ කැමැත්ත කියපු ගමන් එයා කැමැති වෙන එකක් නැහැ.ඔයාට ටිකක් ඉවසන්න වෙයි.තේරුණා නේද…වටිනාකමින් වැඩි දේවල් දිනාගන්න ටිකක් වෙහෙස වුණාට කමක් නෑ..ඕල්ද බෙස්ට් මල්ලි..”

ඈ පැවසූයේත්  ඒ ටිකමය.

“ මට පුළුවන් සර්..අර උදේට එන ත්‍රීවිලර් අංකල්ට පණිවිඩය දෙන්න කියලා මම ප්‍රියංකා ආන්ටිට  කියන්නම්.සර් මහන්සි වෙන්න ඕනේ නැහැ.”

“ මට මේ වැඩ ටික ඉවර කරලා කොහොමත් මරදාන පැත්තට යන්න වෙනවා.මොකද ෆ්ලවර් ඩෙකරේෂන්  බාර දීලා තියෙන්නේ මරදානේ ෆ්ලවර් ෂොප් එකකට.ඒ ගමන් ඔයාව ඩ්‍රොප් කරන එක මට කරදරයක් නෙමෙයි.”

“ එත් සර්ට අමුතුවෙන්ම ඒ පැත්තට යන්න වෙනවා.”

“ විනාඩි දහයක් යයි.අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන ඔයාට විනාඩි දහයක් වැය කරලා ලිෆ්ට්  එකක් දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි.”

කිසිවක් නොකියා දිනාරා ඔහු  ගෙනැවිත් දුන් ෆයිල් කවරයේ  වූ ලිපි කිහිපය පරීක්ෂා කරමින්  ඊට අදාල පිළිතුරු සඳහන් වූ ලිපි සකසන්නට පටන් ගත්තාය.අත්‍යාවශ්‍ය වැඩක්  නොවූවත් ලැප්ටොප් පරිඝනකය  දිගහැරගත් අකලංක බැරෑරුම් කර්තව්‍යක නිරත වන ආකාරයෙන් ඒ දෙස බලාසිටියේය.

ඒ අතරේදීත් වරින් වර යුවතියගේ සිහින් දිගු අතැඟිලි පරිගණකයේ යතුරු පුවරුව මත යුහුසුළුව ගමන් කරනා අයුරු ඔහු බලාගෙනය..තරමක් දිගට නියපොතු වවා  තිබූ දෑත්වල  මෙරුන් පැහැයකට හුරු කියුටෙක්ස් වර්ගයක් ගල්වා තිබිණ.ඇය ඇඳ සිටියේත් මෙරුන් පැහැ බලව්සයක්  සහ කෙටි ටයිට් වර්ගයේ සායකි. කළු පැහැ කෝට් ෂූ  සපත්තු  යුගල ඒ ඇඳුමට මනා ගැලපුමක් යැයි අකලංකට සිතිණ..කොහොමටත් දිනාරා ඇඳුම් තෝරා ගනිද්දී පිළිවෙලය.. තමා පිළිවෙලක් වූයේත් ඒ පිළිවෙල දෙස බලා ගෙනයැයි අකලංකට සිතුවේ ප්‍රථම වතාවටය.

පැය එකහමාරට  ආසන්න කාලයක් ගෙවී ගියේය.අකලංක තම අත් ඔරලෝසුවට එබුණේ දිනාරා ප්‍රින්ටරයෙන්  පිටතට ගත් කොල  කිහිපයත්  රැගෙන තමා වෙත ඇවිද එද්දීය. වේලාව පස්වරු හයයි හතළිස් පහ ලෙස අත් ඔරලෝසුවේ සටහන්ව තිබිණ.තරුණයාගේ මුව මත ඇඳී ගියේ ජයග්‍රාහී සිනහවකි.

අඩ හෝරාවකට  පමණ පෙර ඇය ප්‍රියංකා ටීචර් අමතා තවත් පැය එකහමාරක් පමණ ප්‍රමාද වන බවත් අකලංක සමග නිවසට පැමිණිය හැකි බවත් පවසනු ඔහු  අසාගෙනය.

අකලංක ඇය ගෙන ආ ලිපි වලට අත්සන් තැබුවේ නිහඬවය.ඒ අතරේම ඕ මුද්‍රිත ලිපි කවර සකස් කළාය.

“ අපි යමු නේද දිනාරා…”

දිනාරා හිස වැනුවේ ඔහුට එකඟවය.වාහනයේ යතුරත් රැගෙන අකලංක ඉස්සර වූයේ ඇයට නිදහසේ පැමිණෙන්නයැයි  පවසමින්ය.

“ මම මෙහෙම එන එක සර්ට කමක් නැද්ද..”

දිනාරා  එසේ ඇසුවේ අකලංක ඇර දුන් දොරින් වාහනයේ ඉදිරිපස අසුනට නගිනා ගමන්ය.

“ අයියෝ දිනාරා… ඒ විකාර අදහස් ඔයාගේ ඔළුවට දෙන්නේ කවුද. අපි හැමෝම මේ ආයතනයේ දියුණුවට වැඩ කරන අය.අපි ඉන්නේ ටීම් වර්ක් එකක..ඉතින් මම ඔයාට ලිෆ්ට් එකක් දෙන එක  වරදක් කියලා මම හිතන්නේ නෑ..”

 අකලංක එසේ පැවසූයේ අනිත් පසින් වාහනයට නගිමින්ය.මද දුරක් ඉදිරියට පැමිණෙනතුරු දෙදෙනාගෙන් එක් අයෙකුවත් වදනක්වත් කතා නොකළ තරම්ය.වාහනය පුරා පැතිර තිබුණේ අසාමාන්‍ය අයුරේ නිහඬතාවයකි.

තරුණයාගේ හදවත ඒ නිහඬතාවය තරමටම අසාමාන්‍ය අයුරකින් ගැහෙමින් තිබිණ. යළිත් මෙවන් වූ නිදහස් හෝරාවක් හමුවේදැයි යන්න සැක සහිතය. කලක් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාවූත්  විවාද කණ්ඩායමේ නායකයාවූත්  පාසල් ජනමාධ්‍ය ඒකකයේ සභාපතිවූත් පසු කලෙක පුද්ගලික විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ලේකම් ධූරය හෙබවූත්  තරුණයා මේ අසාමාන්‍ය නිහඬකම දරන්නේ යුවතියක ඉදිරිපිටදී යැයි සිතත්දී  අකලංකගේ මුවෙහි ඇඳී ගියේ සිනහවකි. මහජන පුස්තකාලය ඉදිරිපසින් කලා භවන පාරට හැරවූ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථය මීටර් සියයක් පමණ ඉදිරියට ගොස් විහාර මහා දේවී උද්‍යානයේ පසුපස දොරටුවට මඳක් එහායින් වූ තුරු  සෙවනක නතර කෙරිණ. මද  අඳුර විසින් ගිල  ගනිමින් තිබූ කොළ පැහැ පරිසරය දෙස බැලූ දිනාරා අකලංක දෙසට හැරුණේ නෙතු විසල් කරගෙනය.මේ ඇයට හුරු පුරුදු පාර නොවේ..

“ ඇයි සර් මෙතන..….”

“ දිනාරාත් එක්ක මට ටිකක් කතා කරන්න ඕනේ.ඒකට මීට වඩා සුදුසු වෙලාවක් ආපහු හම්බ නොවෙයි  කියලා මට හිතුනා.විනාඩි දහයක් මට දෙන්න පුළුවන් නේද දිනාරා.මමත් එක්ක එනවා කියලා කියපු නිසා ප්‍රියංකා ටීචර් බය වෙන එකක් නැහැ.”

යුවතියගේ දෑස් බිමට හැරවුනේ නිරායාසයෙන්ය.අකලංක  මද හඩකින් වාදනය වෙමින් ගීතය සම්පූර්ණයෙන්ම නවතා දැමුවේය.ඔහුට ඕනෑ වූයේ යුවතියගේ සුසුමක වෙනස පවා අත් විඳින්නටය.

“ කමක් නෑ කියන්න …”

ඇගේ වෙව්ලන දෙතොල්  අතරින් පිට වූ ඒ වදන්  අකලංකට ඇසුණේ යාන්තමටය.යුවතිය බියවී ඇතුවාට සැකයක් නොවේ.අකලංකට දැණුනේ දුකකි.ඔහු කොහොමටවත් තවෙකෙකු අපහසුතාවයට පත් කරන්නට කැමති වූවෙකු නොවේ.එහෙත් මෙවර ඉදිරියට තැබූ දෙපා ආපසු ගත හැකි කමක් ඔහුට වූයේ නැත.එසේ වී ජීවිතයට විය යුතු නරකම අහිමිවීම සිදුවේ යයි ඔහු බියය.

“ සමහර විට මම මේ අහන්න හදන දේ ගැන දිනා දිනාරාට අවබෝධයක් ඇති.ඒ වගේම මේ ගෙවිච්ච කාලෙත් එක්ක මං ගැන යම්කිසි දැනීමකුත් දිනාරාට ඇති..දිනාරා ප්ලීස් මං කියන දේ අහගෙන ඉන්න.ඔයාගේ උත්තරේ  මොකක් උනත් මං තරහ නෑ…”

ඔහුගේ වදන් අන් කවරදාටත් වඩා නිවී   තිබිණ.දිනාරි හිස ඔසවා ඔහු දෙස බැලූයේ එවේලෙහිය.ඒ දෑස්  මුල වූයේ ගලා වැටෙන්නට ආසන්න කඳුළකි.

හදවත ඉදිකටු තුඩකින් පාරා රිදවනවාසේ හැඟීමක් ඇයට දැනෙන්නට විය.

“ මං ඔයාට ආදරෙයි  දිනාරා… මම ඔයාව මැරි කරන්න කැමතියි.ප්‍රියංකා ටීචට කතා කරන්න , ඔයාගේ රිලේෂන්ස්ලත් එක්ක කතා කරන්න මම කැමතියි.මම තදින්ම විශ්වාස කරනවා මගේ අම්මවත් තාත්තවත් ඔයාට  අකමැති වෙන එකක් නෑ…”

ඔහු කියවාගෙන ගියේ  කලින් කට  පාඩම් කරගෙන උන් පරිද්දෙන්ය.දිනාරා වේගයෙන් ඇසිපිය සලණු  අකලංක බලාගෙනය. ඒ වේගයෙන්ම ගැහෙන කොපුල් වලට ලේ උනා  තිබිණ. සිය දෙපා  එකකට එකක්  ලං කරගෙන   ඒ මත තබාගෙන උන් අත් බෑගය මත වූ දෑත් එකට පැටලී තිබිණ.

“ දිනාරා….මං හරි නිදහසේ ඉඳපු කොල්ලෙක්.එහෙම හිටියේ මගේ තාත්තයි අයියයි මගේ ජීවිතේ  කිසිම බරපතල  කාරණයකදී මට දෙපාරක් හිතන්න ඉඩ නොදීපු නිසා. ඒ නිදහස ජීවිතේ කොතනකදිවත් මං වැරදි විදිහකට පාවිච්චි කළේ නෑ..නොදැනුවත්වම මම ජීවිතේ වගකීම් ගැන හිතන්න පටන් ගත්තෙ ඔයා නිසා දිනාරා.ඔයා දිහා බලාගෙන මං මගේ අඩුපාඩු හදා ගත්තා..මං අදටත් දන්නෙ නැහැ ඔයා ඒක හිතා මතා කළ දෙයක්ද නැත්නම් ඉබේටම සිද්ධවුණු දෙයක්ද කියලා. මං පැහැදිලිවම කියනව දිනාරා ඔයාගේ රූපෙට නෙමෙයි මම ආදරය කළේ. ගොඩක් තැන්  වලදි ඔයා මගේ හයියට ඉඳිද්දී මට හිතුනා මේ හයිය ඔෆිස් එකේදී විතරක් නෙමෙයි මගේ ජීවිතයටත් මේ වගේම තිබුනොත් හොඳයි කියලා. මං මට හරි ආදරෙයි  දිනාරා.ඒ වගේම තමයි මං මගේ අම්මට,  තාත්තට,  අයියට අක්කට පුදුම විදිහට ආදරෙයි. අපේ ගෙදර පන්සලක් වගේ හරි නිහඬ තැනක්.ආදරේ පිරුණු තැනක්.අක්කා ආවට පස්සේ ඒ පන්සලට හරියට ලයිට් දාලා වගේ වර්ණවත් වුණා. එදා ඉඳලම මට ලොකු ඕන කමක් තිබුණා ඒ ලස්සන පින් බිමට හඳක් පායනවා දකින්න. දිනාරා මගේ ජීවිතේ මට  ඕන තරම් ගර්ස්ලා  ආශ්‍රය කරන්න ලැබුණා.අදටත් මට පිරිමි යාළුවො තරමටම ගෑණු යාලුවෝ ඉන්නවා. ඒත් මට මගේ ගෙදරට එක්කරගෙන එන්න තරම් සුදුසුයි කියලා හිතුණු ගෑණු යාළුවෙක් කවදාවත් හම්බ වුණේ නෑ.මගේ වම් පැත්තේ හිටගන්න පළුවන් කියලා හිතුණු කෙනෙක් ඒ අය අතරේ හිටියේ නෑ. ඒ තෝරා ගැනීම හරි පරිස්සමින් කරන්න ඕනේ කියලා මගේ හිත දැනගෙන හිටියා.මොකද මං දන්නවා එහෙම එන සමහරුන්ට එක තත්පරෙන් ඒ සතුට විනාස කරලා දාන්න. අම්මටයි තාත්තටයි ඕනේ චූටි දුවෙක්.අයියට ඕනෙ මට තරම් ආදරේ කරන්න  නංගි කෙනෙක නෑනට ඕනේ  එයත් එක්ක කියව කියවා ජීවිතේ බෙදා ගන්න යාළුවෙක් වගේ නෑනා කෙනෙක්..ඒකයි මං කිව්වේ මං මගේ ජීවිතේට හරි ආදරෙයි කියලා. මම විශ්වාස කරනවා දිනාරා ඔයාට ඒ ටික කරන්න පුළුවන් වෙයි කියලා..”

ඒ හඬ සෘජු වූත් පැහැදිලි වූත් එකකි. මේ ජීවිතයේ වූ වටිනාම අහිමිවීම වන්නට පුළුවණ.එහෙත් දිනාරා වූයේ අද ඉර බැසගොස් උදාවන හෙට දවසටත් බියපත්වය.

“ සර් ඒත්…”

යුවතියගේ හඬ හැඬුම්  මුසුව තිබිණ.ඈ ඕනෑවටත් වඩා හුස්ම  උඩ පහත හෙළුවාය. අකලංක ඇගේ අත්බෑගය මත වූ දෑත් අල්ලා ගත්තේ එවේලෙහිය. ඔහුගේ සිතෙහි වූයේ පෙර නොවූ තරම් දිරියකි.ඔහුට ඕනෑ වූයේ ඇයට ශක්තියක් වන්නටය.ඒ දෑත්  සීතලව තිබිණ. 

( යළිත් හමු වෙමු ආදරයෙන්…)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here