සුනාමි

“උමාලි ඔයාට පුලුවන්ද ශේන්ට ඇහෙන්නෙ නැති වෙන්න බාසුරට කෑම එකත් අරගෙන පල්ලෙහට එන්න කියන්න?”

කතාව පටන් ගත්තෙ ඔන්න ඔහොම. ජිම් යන හන්දයි, පාට් ටයිම් මොඩ්ලින් කරන හන්දයි උමාලි දවල්ට කන්නෙ අනිත් අය එක්ක එකට නෙවෙයි වෙනම. ඒකත් එයා උදේම ඇහැරිලා එහෙමත් නැත්තම් මීල් ප්‍රෙප් කරලා හදාගෙන තියෙන මොකක් හරි ඇඟට හොඳ, කාබ්ස් අඩු, ප්‍රෝටීන් වැඩි ලන්ච් එකක්.

ඔෆිස් එකේ උමාලි ළඟින්ම ආශ්‍රය කරන සෙට් එක තමයි බාසුර, චේතනා, ශේන්, පාරින්දි, තරුකි, විශාල් කියන්නෙ. උමාලිව අයින් කරාම මෙච්චර දවසක් අනික් කට්ටිය තමයි දවල්ට ගෙදරින් අරගෙන එන කෑම එක එහෙම කෑවෙ. ශේන් ආවෙ ළඟඳි. හැබැයි ලඟඳි ආවත් කට්ටියට සෙට් වෙන්න තියෙන හොඳම චාන්ස් එක ඔය දවල්ට කද්දි සෙට් වෙන එක හන්දා බාසුරලම තමයි ශේන්ටත් දවල්ට කන්න එන්න කියලා කිව්වෙ. දැන් මාස දෙකක් විතර මිනිහා ඇවිල්ලා.

තමන් නොදන්න මොකක් හරි දෙයක් මෙතන සිද්ද වෙන බව උමාලිට තේරුනේ පාරින්දි ඔන්න ඔය උඩ මැසේජ් එක එව්වම. ඒකත් “ශේන්ට ඇහෙන්නෙ නැති වෙන්න බාසුරට කෑම එක අරගෙන එන්න” කියන්නෙ ඇයි කියන ප්‍රශ්නෙ නොහිතා ඉන්න උමාලිට බැරිවුණා මෙච්චර දවසක් මේ එකට කෑම කාපු කට්ටිය හන්දා.

හැබැයි කතාකරන්න හොඳම වෙලාව ඕක නෙවෙයිනෙ කියල හිතලා තමයි කට්ටිය කාලා බීලා එනකම් උමාලි ඉඳියෙ. බාසුරලා ගිහින් කෑම කාලා ඇවිල්ලා ආයෙ පීසි එක ලඟ වාඩි වෙලා වැඩ කරන්න ගත්තම තමයි ශේන් කතාව පටන් ගත්තෙ.

“බාසු උඹලා කෑවද?” කියල ශේන් අහද්දි පාරින්දි, බාසුර, තරුකිලගෙ ඇස් වලින් එහෙට මෙහෙට වෙන කතාවක් උමාලි දැක්කා. නෝට් කරගත්තට නොදැක්කා වගේ හිටියා. තමන්ගෙ ටීම් එක තමයි. ඒ වුණාට කියන්නෙ නැතුව අහන්න බෑ නේද කියන අවුල උමාලිට තිබ්බා.

“ඔව් මචං මං බඩගිනි වෙලා කෑවා”

“පාරිලාත් කෑවද?” කියල ශේන් ඇහුවා පුටුවෙන් හැරිලා පාරිලා දිහා බලන ගමන්. ඒ බැල්ම මග අරින්න වගේ පාරි ඉඳියෙ ලැප්ටොප් එක දිහා බලාගෙනමයි.

“ඔව් බං මාත් කැවා”

“අඩෝ බං උඹලා දැන් අපිට තමයි කන්න කතාකරන්නෙ නැත්තෙ බඩගිනි යකෝ. මං යනවා මොනවා හරි කාලා එන්න” කියලා පර්ස් එකත් අරගෙන නැගිට්ට ශේන් එතනින් යද්දි ආයෙම වතාවක් අර බැල්ම කට්ටිය අතරෙ හුවමාරු උනා. වෙනසකට තිබ්බෙ ඒ බැල්ම ඇවිත් උමාලිගෙ ඇස් උඩ නතර වෙච්ච එක විතරයි.

“මොකද්ද අවුල?” කියලා උමාලි ඇහුවේ ඒ ඇස්වල රැඳිච්ච කතාව වචනෙන් අහන්න උවමනා හන්දා.

“පොඩි කෑම කේස් එකක්” කියලා කිව්වේ පාරින්දි

“පොඩි නෙවෙයි උමා, කෑම කේස් එකක්. කේස් එකක් නෙවෙයි සුනාමියක්” කියලා බාසුර කියද්දි ඔය සුනාමි කතාව කලින් සතියෙත් ලන්ච් රූම් එක ඇතුලෙදි තමන්ට ඇහිච්ච බව උමාලිට මතක් වුණේ එවෙලෙ.

“මොකද්ද වෙලා තියෙන්නෙ?”

“ඔයා දන්නවනෙ දවල්ට කන්න බත් ගේනවා අපි පස් දෙනාම. විශාල් එන්නෙ බෝඩිමේ ඉඳල හන්දයි ඌ උයන්නෙ නැති හන්දයි ඌ බත් ගන්නෙ කඩෙන්. ශේන් එක්ක කන්න බෑ උමා. ඌ බත් ගේන්නෙත් නෑ. අනික කන්න ගත්තම අනිත් උන්ට කන්න දෙන්නෙ නෑ, බිත්තර චිකන් කෑලි එහෙම ඌ සම්පූර්ණයෙන්ම කනවා.

ඔව් සුනාමියක් ආව වගේ. අන්තිමේ අපි හැමෝම අපි ගෙනාපු බත් එක කන්න වෙන්නෙ නැති හන්දා දවල්ට කාලා ඉවර වෙලා ආයෙ කඩෙන් ගිහින් කන්න ඕන. ඒකයි අපි දැන් උට කියන්නෙ නැතුව කන්නෙ”

“මට හොඳටම අවුල් ගියේ එදා ඌ විශාල්ට කිව්ව කතාවට” කියලා කතාවට ලුණු ඇඹුල් එක්කහු කරේ චේතනා.

“ඇයි ඒ මොකද්ද වුණේ?”

“විශාල් කඩෙන් නෙ බත් ගන්නෙ. ගෙදරින් ගෙන බත් තරං රහ නැතත් ඌ එහෙම හරි කන්ට්‍රිබියුට් කරනවනෙ. ශේන් එදා කන ගමන් විශාල්ට බැන්නා හොඳටම ජරා තැන්වලින් බත් ගේනවා, කන්න බෑ අරක මේක කියලා. විශාල්ට හොඳටම අවුල් ගියා. ශේන් සල්ලි දෙන්නෙත් නෑ. බත් ගේන්නෙත් බෑ. ඌ අපේ එකෙන් කාලා, ආයෙ අපිට කියන්නෙ නැතුව ගිහිල්ලා හොඳට ෆ්‍රයිඩ් රයිස් එහෙමත් කාලා එනවා. වැඩේ කැතයිනෙ. ඌත් එක්ක එක දවසක් හරි කාපු උන් ඌට දැන් කියන්නෙ සුනාමි කියලා. ඇයි හෝදන් යනවනෙ ඔක්කොම එක කටට” කියලා කිව්වේ බාසුර.

“ඔයාලා ඔය කතාව ශේන් එක්ක කිව්වද?”

“කොහොමද බං කියන්නෙ? එහෙම දෙයක් කටක් ඇරලා කියන්න පුලුවන්ද?” පාරින්දි ඇහුවෙ.

“ඇයි බැරි. මං කියන්නෙ අපි ඕක මිනිහට කියමු. මොක උනත් ඌ අපේ ටීම් එකේ එකානෙ. මිනිහගෙ වැරදි පුරුද්දක් හන්දා මිනිහව ඔෆිස් එකේ වෙන ටීම් වල අය අතරෙ චාටර් වෙනවනම් අපි කරන්න ඕන මිනිහට ඒක කියන එක.

අනික තමන් ගෙදරින් ගේන බත් එක කාටවත් හොරෙන් කන්න ඔයාලා ඇයි දුක් විඳින්නෙ? එහෙම වෙන්න ඕන නෑනෙ. මං හිතන්නෙ ශේන්ට වගේම අපිටත් හොඳයි ඕක එලිපිට කතා කරන එක. ඔයාලට බැරි නම් මම කියන්නම්. ඒත් හොඳම දේ ඕකට මූණ දුන්න ඔයාලගෙන් කෙනෙක් මිනිහට ඒක එක්ස්ප්ලේන් කරන එකම තමයි” කියලා උමාලි කියද්දි කට්ටියම මූණ බලන් ඉඳියා.

“උමා හිතනවද ඕක අපි කොහොමහරි කිව්වා කියමු, ඉන්පස්සෙ මිනිහා වෙනස් වෙයි කියලා”

“වෙනස් වුණේ නැත්තම් අපි මිනිහට මිනිහගෙ විදියට පාඩම උගන්නමු”

“ඒ කිව්වෙ?”

“මිනිහා ගිහින් හොරෙන් ෆ්‍රයිඩ් රයිස් අරගෙන ඇවිත් කනවා කිව්වනෙ”

“ඔව්”

“ඉතින් ඒවෙලාවට ඔයාලාගෙ බත් එක කන්න එයා එනවා වගේ ඔයාලාත් ගිහින් කාලා අඩුපාඩු ටිකකුත් කියලා එන්න. පත්තියන් වෙන බෙහෙතට අනුව ලෙඩේ හොඳ වෙන්නෙ නැතෑ නේද?”

More Stories

Don't Miss


Latest Articles