රන් මල් දම් – 12

0
5232

දොලොස්වෙනි මල් දම

නිම්නාවී දිනය අවසන් කලේ වෙහෙසකිනි. බතක් රයිස් කුකරයේ තබා ඕ වම්බටු තෙල් දැම්මාය. ශීතකරණයේ වූ චිකන් බොරයට සිටින සේ පිසුවාය. ගොටුකොල සම්බෝලයක් සකසා පපඩම් බැද්දාය. ඊලඟ දිනය රාතිය වෙනුවෙන් ආහාර වට්ටෝරුවක් ගලපා ගැනීම අද රැයේ කරමියැයි සිතුවේ ශීතකරණයේ වූ එලවලු දෙස හොඳින් බලා උන් අතරේමය.  මන්දාරම් වේලාසන එන වග කීවද ඔහු පැමිණියේ පහහමාරද පසු වූ පසුවය. ඔහු ඒ පිළිබඳව නිම්නාවීට කණගාටුව  ප්‍රකාශ කරන්නටද අමතක කලේ නැත.

” මෙතනි ඔයාට කෙලින්ම 138 ගන්න පුලුවන් … පොඩි ට්‍රැෆික් එකක් හිටී කිරිබත්ගොඩ… පැය බාගෙන් කඩවත කොහොම වුනත් …”

” ඒක අවුලක් නැහැ …”

නිම්නාවී යටි හිතින් මන්දාරම්ට බැණ වදිමින් එලෙස කීවාය. ඔහු සිතා සිටින්නෙ මෙතනින් තම දිනය අවසන් බවය. එහෙත් තමා බසයකට නැග දිලුම්ගේ මිතුරාගේ නිවසට යා යුතුය. ඇඳුම් මාරු කර ගත යුතුය. ඉන් පසුව පැයක පමන ගමනක් ඇත. ඉන් පසුව  නිවෙසට ගොස් මේ විඩාව නැතිවා සේ හැසිරීමද කල යුතුය.

 නිම්නාවී ස්වර්ණාට සමුදුන්නාය. ඉන් පසුව මන්දාරම්ටද සමුදී වහා ගේට්ටුවෙ පිටතට ආවාය.

” අර යකා ලේට් වුනා මල්ලී .. මම දැන් කඩවතට එන ගමන් ….”

ඕ දිලුම්ටද පණිවුඩයක් තැබුවාය. ඉන් පසුව ඕ නොසන්සුන්ව පසුවන වෙලඳසැල් වල නාමපුවරු වලින් තම පසු කරන නගරය කියවා ගනිමින් කල් ගත කලාය.  වහා දිලුම්ගේ මිතුරාගේ නිවෙස අසලින් බැස ගත් පසු ඕ ඇඳුම් උනා දමා තම හුරු පුරුදු ඇඳුමට බැස්සාය.

” මං ගෙදර ගිහින් කතා කරන්නම් ….”

මිතුරාගේ බිරිදට සමුදී වහා මෝටර් රියට ගොඩ වූවාය. නිම්නාවී නිවසට පැමිණෙන විට හත හමාර පසු වී තිබුණි. අම්මා හෝ තාත්තා නිවසේ නොමැති බව වටහා ගත් පසු ඕ සැහැල්ලුවෙන් නාන කාමරය තුලට වැදි  නාගත්තාය. ගත වෙහෙසවා වැඩ කරන මිනිසුන්ට දැනෙන වේදනාවෙන් නැනෝ මාත්‍රික කොටසක් ඇයට දැනෙමින් තිබුණි. ඇගේ උරහිස් රිදුම් දෙන්නේය. දෙපා වලලුකර අසලින් රිදෙන්නේය. දෑත් බාහු යම් තදවීමක් දැනෙන්නේය. එහෙත් සිතට වෙනදා නොදැනුන  සුවපත් බවක් දැනෙන්නේය.

නිම්නාවී සිත් සේ  නාගත්තාය. හිස කේ වියලා ගත්තාය. ඉන් පසුව සැහැල්ලු ඇඳුමක් හැඳගෙන යහනේ වැතිරුණාය.එක්වරම මන්දාරම්ගේ කුඩා පුස්තකාලය සිහි විය. ඕ දෑස් පියාගෙන වස්සාන සිහිනය කවරය මවාගන්නට උත්සාහ කලාය. එහෙත් පසන් එවරද බාධා කරමින්  ඇස් මානයේ නැගී සිටියේය. ඕ යළි අවධානය වෙනස් කරගත්තාය.

යූ ටියුබ් වෙත පිවිස වස්සාන සිහිනය චිත්‍රපටයේ ගීත වාදනය වෙන්නට හැරියාය. දිලුම්  නිම්නාවීගේ කාමරයට ආවේ නිම්නාවී අඩ නින්දකට පිවිසෙන අතරේය. වාදනය වෙන ගීතය මොහොතක් අසා උන් දිලුම් අක්කගේ උවන මත වූ සැනසීමද කියවා ගත්තේය.

” අක්කේ …”

නිම්නාවී තිගැස්සී ඇහැරුනාය. සිටින්නේ දිලුම් බව වටහාගෙන යළි දෑස් පියා ගත්තාය.

” කාලා නිදාගන්නවකෝ අක්කේ … කෑවේ නෑ කියන්නේ මොකෝ  අර … අම්මලා පාන්දර වේවිලු එද්දී …”

” බඩගිනි නෑ … කාලා නිදාගන්න ….”

නිම්නාවී දෑස් වසාගෙනම පිළිතුරු දුන්නාය.

” ආහ් .. මන්දාරම් මහත්තයාගේ කෑම අල්ලලාම ගිහින් වගේ…”

දිලුම් විසුළු හඬක් මවාගත්තේය. නිම්නාවී දෑස් විවර කර බලා ඔහුට රැව්වාය. ඉන් පසුව කෙලින් වී හිඳගත්තාය. දිලුම්ද පසෙකින් හිඳගත්තේය.

” මොකෝ තත්වේ ?…”

” හොඳයි .. ඒ ආන්ටි නම් හොඳම හොඳයි … මට දුකයි එයාට එහෙම කලාට මම ….”

” විකාර මනසගාත ඔලුවට දාගන්නෙපා අක්කේ … ඔයා හිතලා, සැළසුම් කරලා කරපු දෙයක් නෙවෙයිනේ… ඒ වෙලාවේ ඒක වුනා.. දැන් හරි ඔයා ඒක නිවැරදි කරගන්න උත්සාහ කරනවනේ ….”

” හ්ම්ම් ….”

” නාවන වැඩ අමාරු නම් ඒකට මොකක් හරි ප්ලෑනක් ගහමුද ?…”

” බලමුකෝ .. හෙට නාවලා බලන්නම් …. ඒක තමා කරගන්න අමාරුම වැඩේ…අනෙක්වා නම් ප්‍රශ්නයක් නෑ.. අනෙක උයන්න ඉන්නවා ලතා කියලා ගෑණීයෙක් .. එ මනුස්සයා මගේ දිහා බලන්නේ එයාව ගිලින්න ආව රාස්සියෙක් දිහා බලන්න වගේ…  හරිම ආතතියයි එයා යනකල්….”

” ඒ මනුස්සයා හිතනවා ඇති ඉතින් තමුසේ ඒ මනුස්සයාගේ රස්සාවට බඩේ පාර ගහයි කියලා….”

දිලුම් කීවේය. නිම්නාවී එයට හිස සැලුවේය.

” මං මන්දාරම් කාරයාට කෝල් එකක් දීලා ප්‍රෝග්‍රෙස් එකක් ගන්නම් බලන්න …”

නිම්නාවී හිස සැලුවාය.

” අර චානක කියන එකා නම් මට ඇල්ලුවේ නෑ .. ඇණයක් වුනේ නෑනේ …”

” පිස්සුද .. එයා ටියුෂන් කරන එක්කෙනෙක් .. මන්දාරම්ගේ යාලුවෙක් ලු ….”

නිම්නාවී එලෙස පවසන විට ඇගේ දෙතොල් මත මන්දාරම්ගේ පුස්තකාලය සිහිවීමෙන් නැඟුන මන්දස්මිතය විය. දිලුම් එය හඳුනා ගත්තේ නැත.

දෙදෙනා රාත්‍රී ආහාරය ගෙන නින්දට ගියහ. පසුදා නිම්නාවී පිටව යන විට දිලුම් සේම රාජිකා සහ ඩයස් ද උන්නේ නින්දේය. ඕ කඩවත දිලුම්ගේ මිතුරාගේ නිවසට ගොස් සූදානම් වී හත හමාර වන විටම මන්දාරම්ගේ නිවස අසලින් බැස ගත්තාය. මන්දාරම් වෙනුවට ඕ පිළිගන්නට ආවේ චානකය.

” ගුඩ්මෝනින් මහත්තයා …”

නිම්නාවී යටහත් පහත් සිනහවක් සමඟ චානක ට කීවාය. චානකද පෙරලා ඇයට සුබ පැතුවාය. කාමරයට ගොස් සූදානම් වී පැමිනෙන්නෙමියි පවසා ඕ වහා  චානකට සමුදුන්නේ ඔහුගේ දෑස් ස්කැනර් මෙන් තමා මත වන බව දැනුන නිසාය.

මන්දාරම් කාමරයෙ පිටතට පැමිනෙන විට චානක උන්නේ මිදුලේ ඇවිදිමිනි. ඔහු කල්පනාවක සිටින අබ්ව පෙනෙද්දී මන්දාරම් දොරට හේත්තු වී මොහොතක් ඔහු දෙස බලා උන්නේය.. ඉන් පසුව ඔහු ඇමතුවේය.

” මොකෝ …. ටියුශන් පද්ධතිය කඩා වැටීමේ අවධානමක්ද?”

” උඹේ පද්ධතිය කඩා වැටීමේ අවධානමක් …”

චානක එලෙස පවසමින් මන්දාරම් වෙත ඇවිද ආවේය. ඉන් පසුව ඔහුගේ උරහිසට ඉහලින් සලයේ අන් කිසිවෙකු හෝ සිටීදැයි බැලුවේය.

” මොකෝ බං …”

” ඒ මට අරකි අල්ලන්නේ නෑනේ බං …”

චානක පහත් හඬින් මන්දාරම්ට කීවේය.

” කවුද ?…”

” අරකි බං .. අර නිම්නාවී ….”

මන්ඩාරම් දෑස් විසක් කරගෙන විමතිය හැඟෙව්වේය. නොවැටහෙන බව පෙන්වන මුහුනක් මවා ගත්තේය.

” ඒකි බං මට හිතෙන්නේ අපි හිතන් ඉන්න කෙනා නෙවෙයි ….”

” තේරෙන්න කියපං බං ….”

” ඒකි හෙන ආර්තික අපහසුතා තිබිලා, රට ගිහින් ජොබක් කරලා , එහෙම සීන් එකක් නේ ඩොකා කිව්වේ ?…”

” ඔව් …”

” මට ඒකි දැක්කම පේන්නේ හෙන සැපේ උන්න එකියක් වගේ නේ බං ..හැසිරීම වුනත් උඹ බලපං ….”

” අනේ යකෝ ඒකි අවුරුදු දෙකක් ඩුබායි ඉඳලා ඇවිත් තියෙන්නේ.. සමහරවිට මේඩ් වෙලා උන්න තැන හොඳ ඇති .. එතකොට ඉතින් හැදෙනවනේ …”

චානක හිස දෙපසට වනමින් එය ව්‍යාජ ලෙසින් පිලිගන්නා බව ඇඟෙව්වේය. මන්දාරම් ඔහුට බැණ වඳිමින් ඇමතුමකට සම්බන්ධ වූයේය.

” උඹ කිව්වට .. මට මෙතන මොකක්ම හරි අවුලක් දැනෙනවා බං ….”

ඔහු ඒ අතරේද කීවේය.

අපේක්ෂා ගුණරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here