මල් බිඟුන් – 19

ආර්ය ගේ මෝටර් රථය නැවතුණේ මල්වත්තගේ නිවසත් මහානාම නිවසත් වෙන් කරනා පොදු තාප්යෙන් වෙන් වෙන ගේට්ටු දෙක ඉදිරියෙහි ය. ඒ වෙලාවේ ශාක්‍ය මිදුලෙහි සක්මන් කරමින් සිටියේ ය. නිධී ආයු බලන්නට ඕනේ කියමින් ගේ ඉදිරියට විත් කලබලයක් කරන බව දැනුම් දී අම්මා මණී ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණු ගමන්, ශාක්‍ය ගෙදර ආවේ ය. ඔහු තමන්ගේ ම ව්‍යාපාරයක් කරන්නෙකි. ඒ ජංගම දුරකතන අලෙවි සැලකි. සාප්පුවේ සේවයට ඉන්නා තරුණයෙකුට එය බාර දී ශාක්‍ය ඉක්මන් කොට ගෙදර පැමිණියේ ආර්ය කොල්ලුපිටියේ කාර්යලයේ සිට පැමිණෙන විට ඔහු ට සිය වාරයක් ගෙදර පැමිණිය හැකි බැවිනි. ඒ වෙලාවේ ගෙදර සිටියේ මණී හැරුණ විට රුසිරු හා මේනකා ද ආයු ද පමණකි. නිධී ගේ ඊළඟ පියවර කුමක් විය හැකිද කියා විශ්වාසයක් නැති බැවින් ද ගෙදර පිරිමියෙකු දෙදෙනෙකු සිටිනා එක කෝකටත් ආරක්ෂිත බැවින් ද ශාක්‍ය ඉක්මනට ගෙදර එන්නට තීරණය කළේ ය.

නිධී නික්ම ගියේ  ඔහු පැමිණි පසුයි. ආයු ව මේනකා සමගින් ගෙතුළට කොට දොරගුළු දමා ශාක්‍ය මිදුලෙහි සක්මන් කරමින් සිටියේ ය. රුසිරු හයිය ඇති පොල්ලක් සොයා අතට හසුවන තැනක එය තැබුවේ ය.

“දැං ලොකයිය නිධීව ඩිවෝස් කරනව කියල ශුවර්ද…”

රුසිරු ට සිය වයසට ඇත්තට ම මේ තරම් බරපතල කාරණා තේරෙන්නේ නැති තරමි.

“කේස් එක ෆයිල් කරලනෙ. නිධීටත් සිතාසි ලැබුණයි කිව්වෙ”

“එක අතකට ඔහොම ගිය ගෑනියෙක්නං ඕන්නෑ තමයි නේද ඕයි…”

“ඕන්නෑනං තමයි. ඒත් ආයුව හදාගන්න හිතං ඉන්නෙ කොහොමද දන්නෑ අපේ එක්කෙනා…”

ආර්ය ගේ මෝටර් රථය ගුරුපාර අයිනේ නතර වන විට ඔවුන් සිටියේ එහෙව් කතාබහක ය. නතර වූ ඒ මෝටර් රථයේ ඉදිරි දොර හැරගෙන අමාගී ඉන් බැසගන්නා විට, ඇතුළතින් අගුළු දමා තිබූ ගේට්ටුව අරින්නට පැමිණි අයිය මලෝ වික්ශිප්ත වූහ. ඔවුන් දෙදෙනා ගැන වගේ වගක් නොමැතිව අමාගී ගේ දෙසට දිව ගියා ය. පටුපස හැරී ඈ යන දෙස බලා සිටි ශාක්‍ය, යළි ආර්ය දෙස බැලුවේ විශ්මයෙනි.

“මාගි තමුසෙ එක්කද ආවෙ…”

“මගදි අමාගීව හම්බවෙලා දාං ආවෙ”

ආර්ය නො සැලකිලිමත් ලෙස කීවේ ය. ගෙතුළට දිව ගිය අමාගී ආයු වඩාගෙන සිපගෙන සිපගෙන ගියා ය.

“මගෙ මැණික”

“මා එනකල් බබා බලං හිටියනෙ. ඉතිං මා ආවෙ නෑනෙ”

ඔහු කීවේ හුරතලයෙනි. අමාගී ගේ දෑස් තෙත් වී ආයේ ය. ඇය තවත් තදින් ඔහු සිප ගත්තා ය. ඊට පස්සේ අයියා මලෝවරුන් කතා බහ කළේ නිධී ගේ ඊළඟ උපක්‍රමය කුමක් විය හැකි ද කියා ය. ආයු හුරතල් කරමින් අමාගී ඔවුන් පේන මානයේ සිටියා ය. ආයේ ආයු බලන්නට මේ ගෙදරට නො එන්නට සිතා උන් බවක්වත් ඇයට අමතක වී ගිහින් තිබිණ. ශාක්‍ය නම් අමාගී ආර්ය ගේ රියෙහි පැමිණීම ගැන වැඩිපුර සිතුවේ ය. ඔහු ට එය වැඩිපුර දැනී තිබිණ. වැඩිපුර රිදී තිබිණ. ආයුව බදාගෙන අම්මා කෙනෙකු ගේ ආදරයෙන් ඔහු සිප ගන්නා අමාගී ඔහු ගේ හිතට කරදර කළේ ය.

“බියර් එකක් බොමුද ඕයි…”

හවස් වීගෙන එන විට ශාක්‍ය ආර්යගෙන් විමසුවේ ය. දකුණතෙහි මහපටැඟිල්ල ඔසවා මුලින් ම කැමැත්ත පල කළේ රුසිරු ය.

“මගෙ ළඟ වොඩ්කා එකක් ඇති. රට ඉඳං ආපු යාළුවෙක්ගෙන් හම්බවුණ එකක්. එහෙනං ඒක තාත්තටයි දුරේ අංකල්ටයි සෙට් වෙන්න දෙමු. පොඩ්ඩා අරං එනවකො බියර් ටිකක්”

ලෙස පවසා ආර්ය කලිසම් සාක්කුවෙන් මුදල් පසුම්බිය ඇද්දේ ය.

“මං දෙන්නං ලොකයියෙ”

“නෑ නෑ මේකෙන් ගේනවකො පොඩ්ඩ”

ඒ සියල්ල සැලසුම් වූයේත් සූදානම් වූයේත් ඉතා ඉක්මනට ය. කාගේත් හිත් වල එක එක ආකාරයේ අමාරුකම් තිබිණ. එක එක විදිහට රිදී, තැලී, ඉදිමී, තුවාල ලබා තිබිණ. ඒවා ට පිරිමැද ගැනීමක් අවැසි විය. ඔසු බිඳක සහනයක් අවැසි ව තිබිණ. මේ අවස්ථාව මගහැරගත නො හැකි ලෙස ඔවුන් ට දැනෙමින් තිබිණ. රුසිරු විසින් ඇමතුමක් දෙන ලදුව පූජන ද මඳක් ඉක්මනින් ගෙදර ආවේ ය. රුසිරු අමාගී ට කියා බිත්තර ඔම්ලට් එකක් ද සොසේජස් බැදුමක් ද තනවා ගත්තේ ය. චිකන් ඩෙවල් එකක් පූජන අවන්හලකින් ගෙන ආවේ ය.

ඔවුන් ගේ කතාබහ ආරම්භ වූයේ නිධී ඔස්සේ ය. එදා මේනකාට කලින් නික්ම යාමේ අවස්ථාව ලැබිණ. ඇගේ රූපලාවන්‍ය හා විලාසිතා ගැන ද තරුණයන් ගේ සිනා කතා ඇදී ගියේ ය.

“ඔහොම යනකොට මේනකාට හිතෙයිද දන්නෑ රට ගිහින් බේබි සිටින් කරනවට වැඩිය ලොකයියව බැඳගෙන ඒ ජොබ් එක කරං හිටියනං හරි කියල”

පූජන විහිළුවක් කළේ ය.

“හපෝහ්… ආයෙ ගෑනුනං ඕන නෑ”

ආර්ය ගත් කටට ම කීවේ ය. මල්ලිලාගේ හදවත් වලට අහේතුක සැනසිල්ලක් දැනුණාදැයි කිව නො හැකි තරමි.

“කොහොමත් බේබි සිටර් කෙනෙක් ඕනනෙ”

“ඒකනෙ. එකපාර වැඩ දෙකම කරගත්තෑකි මෙහෙම”

ඔවුහු හඬලමින් සිනහ වූහ.

ඒ වගේ අවස්ථාවක් මහානාම ගෙදර විරල ය. අයියලා මල්ලිලා පිටතදී මිස ගෙදර දී මේ විදිහට මධු විතකින් ප්‍රසිද්ධියේ සප්පායම් වී නැති තරම ය. නමුත් දැන් ඔවුන් පොඩි ළමයින් නොවන හින්දා කිසිවෙකු ගේ විරෝධයක් එල්ල වන්නේ නැත. අයියලා මල්ලිලා මේ විදිහට හෝ එකමුතු වී ඉන්නවා නම් හොඳ යයි මණී සිතුවා ය. අමාගී පරණ පුරුදු අමාගී විදිහට යළි ගෙදරට ගොඩ වී තිබීම ද මණී ට සැනසිල්ලක් වූයේ ය. ඇය සිතාගෙන සිටියේ ම ඒ අමාගී මහානාමලාට අහිමි වී ගියා කියා ය.

අහම්බෙන් වොඩ්කා එකක් ලැබුණ සතුට උපුල් මහානාම ගේ හා දුරේශ් මල්වත්තගේ ගේ මුහුණු වලින් ද වැක්කෙරෙමින් තිබිණ. එදා, ජනවාරි පළවෙනිදාට නියමිත මධුවිත බෝතලය හිස් කරන්නට සිදු වූයේ හිත් වල කිසිදු සතුටකින් නොවේ. අතීතයේ පුරුදු වේදනාවක් අලුතෙන් විඳිමින් ද සිය පවුල් වල ළමයින්ගේ ජීවිත මත්තෙහි ඇති වූ කළු පැල්ලම් ගැන අවිනිශ්චිත භාවයකින් ද යුතුව ය. අද ය කියා එහි වෙනසක් නැත ද හිත් වලට යම් සහනයක් දැනෙමින් තිබේ. විශේෂයෙන් ම සන්දේශ් ගේ ජීවිතය හිතූ තරම් නරකාදියකට නො වැටීම ගැන පවුල් දෙකේම වැඩිහිටියන් ට සතුටු විය හැක. ආර්ය ද බලාපොරොත්තු වූවාට වැඩි ඉක්මනින් හිත හදාගෙන ඇති බවක් පෙනේ. නිධී නිසා ඔහු අඳුරට වැටුණ බවක් පෙනෙන්නට නැත. එක ම කණගාටුව ආයු අසරණ වීම ය.

“ජීවිතේ කියන්නෙ එහෙම ගමනක් තමයි දුරේ. අපි හිතං ඉන්න තරමට ඉරි ගහල කොටු ගහල අපිට ඕන පාර වල ජීවිතේ ගමන් කරවන්න බෑ. ඒක යන්නෙ ඒකට නියමිත පාරෙ. නියම කරල තියෙන්නෙ අපිට උඩිං ඉන්න කෙනෙක්. අපි ඒ නූල් සූස්තර වලට අපි නොදැනම රඟනව. එච්චරයි”

සාමාන්‍යයෙන් නිහඬ මහානාම, මල් පැන් පොදක් තොලගාන කල මඳක් වැඩිපුර දොඩමලු වෙයි.

“අම්ම කෙනෙක් නැතුව මගෙ ළමයි හතර දෙනෙක්ම හැදුනෙ මහා. දෙයියංගෙ පිහිටෙන් ආයුව හොඳට හදාගන්න ආර්ය පුතාට බැරි වෙන්නෑ. අපි පවුල් දෙකක්ම ඉන්නවනෙ”

“මට තියන ලොකුම සතුට මෙච්චර දෙයක් වෙලත් මේ පවුල් දෙක හිත් බිඳගන්නැතුව සාමයෙං ඉන්න එකයි දුරේ. එදත් අපි එකට හිටිය… අදත් අපි එකට ඉන්නව. එදත් අපි එකතු වෙලා ළමයි ටික බලාගත්ත. අදත් අපි එකතු වෙලා අර නොදරුව ගැන බලනව. මට පුදුමෙ දුරේ… අම්ම කෙනෙක් නැතුව හැදුන දුරේගෙ පොඩි එකීට අපේ පොඩි එකා ගැන තියන කැක්කුම දැක්කහම. ළමය මෙහෙං අඬනකොට කෙල්ල විදුලියක් වගේ දුවං එනව. දරු දුකෙං පපුවක් ඇවිලෙන්න අම්ම කෙනෙක් වෙන්න ඕනම නෑ දුරේ”

“දරුවො වදපු නිසා විතරක් ගෑනියෙක්ට අම්ම කෙනෙක් වෙන්නත් බෑ මහා. ඒක අපි හොඳටම අත්විඳල තියනවනෙ”

සේපාලිකා ගහ යට බංකුව තරම් මේ පුරාතන මිතුරන් දෙදෙනා ගේ සාමීචී කතා වලට හොඳ තැනක් වෙන නොමැති තරම ය. ඔවුන් ගේ සාදය බෝ රෑ බෝ වන තුරු නිමා නොවෙනා එකකි. අක්ක නගෝ තිදෙනා ආයු සමග සෙල්ලම් කරමින් ගෙදොරකඩ බිම හිඳ සිටියහ.

“මාත් වෙලාවක අයිය බලන්න එන්න ඕනෙ ලොකූ”

අමාගි ඒ එළියට දැම්මේ හදවතේ කොතැනක සැඟවී තිබුණ අවශ්‍යතාවයක් ද කියා ඇය පවා නො දත්තා ය.

“නෑ නෑ ඕන්නෑ”

අශ්විනී ගේ ප්‍රතිචාරය ද කලින් සූදානම් කොට තබාගත් එකක් සේ ඉක්මන් වූයේ ය.

“එයා අසනීප වෙලා ඉස්පිරිතාලෙක නතර වෙලා ඉන්නව නෙවෙයිනෙ ගෙදර අය පෝලිමට ගිහින් බලල එන්න. එයා වරදක් කරල දඬුවම් විඳින කෙනෙක්නෙ. ඉතිං ඔහොම තනියම හිටපුදෙන්. එතකොටනෙ ඒක දඬුවමක් වෙන්නෙ”

“ලොකූ… උසාවියෙන් වැරදිකාරයො කියල තීන්දු කරල හිරේ යවන මිනිස්සුංවත් බලල එන්න ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට යන්න පුළුවන් නේද… ඉතිං අපේ අයිය ඊටත් වැඩිය ලොකු වරදක් කරපු මනුස්සයෙක්ද…”

අමාගී ගේ වදන් දෝංකාර දෙන්නා සේ යළි යළි ඇසෙන්නට විය. අශ්විනී පිළිතුරු නොදී සිටියා ය. සමහර කාරණා හිතට ඒත්තු ගන්වා විසඳුමක් ලබා ගත හැක්කේ ප්‍රමාද වී ය.

බීර සාදය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සහෝදර සමාගමයක් විය. ආර්ය මීට පෙර මල්ලිලා සමගින් මෙහෙම හවුලකට සම්මාදන් වී ම නැත. එවැන්නකත් අමුතු මිහිරක් තිබේ. කවදාකවත් නොවූ තරමට ඔවුන් සමීප වෙමින් ද වටහා ගන්නට උත්සාහ කරමින් ද සිටියහ.

“තමුසෙලගෙන් කවුද අර අමාගිව සෙට් කරගෙන ඉන්නෙ…”

අතර මගකදී ආර්ය අඩ සිනහවකින් එසේ විචාලේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරෙනි. “මම” යයි කියන්නට හැකියාව තිබිණි නම් ඔවුන් තිදෙන ම බෝ කැමැත්තෙන් එසේ පවසනු ඇත.

“තමුසෙද…”

මඳ තත්පර වීමකින් පසු ආර්ය ශාක්‍යගෙන් ඍජු ව විමසී ය.

“පිස්සුද ලොකයියෙ… එහෙම එකක් නෑ”

“එහෙනං තමුසෙද…”

ප්‍රශ්නය ඊළඟට යොමු වූයේ පූජන වෙතට ය. ඔහු හඬ නගා සිනහ වූයේ ය.

“ඒ හොල්මන කැමතිනං මං දැන් වුනත් කැමතී. අහල බලනවකො මට කැමතිද කියල”

“එහෙනං චාන්ස් එක පොඩ්ඩට නේ…”

රුසිරු ගේ මුහුණෙහි ලැජ්ජාශීලී සිනහවක් ඇඳිණි.

“තමුසෙල තුන්දෙනාගෙන් කවුරු වුණත් කමක් නෑ. එතකොට අමාගි ආයුට පුංචි අම්මනෙ වෙන්නෙ. එයාගෙ ආදරේ ආයුට නැති වෙන්නෑනෙ… ඒ දෙන්නගෙ සම්බන්දෙ කැඩිල බිඳිල යන්නෑනෙ. ඒ දෙන්ගෙම හිත් රිදෙන්නෙත් නෑනෙ. ඇත්තටම ඒ දෙන්නගෙ ආදරේ හරි පුදුමයි ඕයි”

එය අතිශය සංවේදී වූ මොහොතකි. කාගේත් හදවත් අසංඛ්‍යය වූ සංඛ්‍යාතයකින් කම්පනය වෙමින් තිබෙන්නට ඇත. නමුත් කිසිවෙකු ගේ මුවට වචනයකුදු නො නැගිණි. සැබවින් තිදෙනාට ම වචන අමතක වී තිබූ තරම ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles